බලංගොඩ මානවයා කියන්නේ අපේ පුරාණ මානවයා බව ඔබ දන්නවා. නමුත් මේ ප්‍රාග් ඓතිහාසික මානවයා සොයාගෙන, විද්‍යාත්මක වර්ගීකරණයක් ලබා දීලා ජාත්‍යන්තරයට ගෙන ගිය කෙනා ගැන නම් වැඩි දෙනෙක් දන්නෙ නැහැ. ඔහු ආචාර්ය පී. ඊ. පී. දැරණියගල. අන්න ඒ විශිෂ්ට සත්ත්ව හා මානව විද්‍යාඥයා ගැන සොයා බලමින් බලංගොඩ යුගයට පිය මනින්නයි අපේ මේ සූදානම.
ජීවන තතු
විශිෂ්ට ඉතිහාසඥයකු ලෙස සැලකෙන ශ්‍රීමත් පෝල් ඊ. පීරිස්ට දාව, හිල්ඩා ඔබේසේකර ගේ පුතකු ලෙස පෝල් එඩ්වඩ් දැරණීයගල උපත ලබන්නේ 1900 මැයි 8 වනදා යි. දැරණියගල පවුලේ සොයුරු සොයුරියන් සිව්දෙනෙක් හිටියා. ඒ, කොළඹ යුගයේ අගනා චිත්‍ර ශිල්පියකු වූ ජස්ටින් පීරිස් දැරණියගල, මිරියම් පීරිස් නම් ප්‍රකට නර්තනවේදිනිය, රැල්ෆ් පීරිස් නම් සමාජ විද්‍යාඥයා සහ තුන්වැනියා නොහොත් බාලයා පෝල් එව්ඩඩ් දැරණියගල හෙවත්, අප කවුරුත් මානව විද්‍යාඥයකු ලෙස දන්නා පී. ඊ. පී. දැරණියගල යි.
පී. ඊ. පී. දැරණියගල මුලින් ම අධ්‍යාපනය ලැබුවේ රජයේ පුහුණු විද්‍යාලයෙන්. පසුව, ගල්කිස්සේ සාන්ත තෝමස් කොලීජියෙන් ද ඉගෙන ගත්තා. මෙරට මූලික පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනයට 1919 දී ඔහු පිවිසුණේ ලොව ප්‍රකට සරසවියක් වන එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යි. එයට ඇතුළත් වීමට පෙර, එවකට මුදල් ගෙවා ඇතුළත් විය යුතු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් ව කාය ව්‍යවච්ඡේද විද්‍යාවත් (Anatomy) හදාරා තිබෙනවා.
ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු ලෙසත් නමක් දිනා සිටියා. ඉන් අනතුරුව, හාවර්ඩ් විශ්වවිද්‍යාලයටත් ඇතුළත් වී අධ්‍යාපනය ලබා තිබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, 1925 දී ශ්‍රී ලංකාවට පැමිණ කෞතුකාගාර සහ ධීවර දෙපාර්තමේන්තුවට සත්ත්ව විද්‍යාඥයකු ලෙස සම්බන්ධ වුණා. 1937 වසරේ දී කොළඹ කෞතුකාගාරයේ වැඩ බලන අධ්‍යක්‌ෂ තනතුරක් ඔහුට හිමි වුණා. දෙවසරක් කැපවීමෙන් එහි සේවය කළ ඔහු, 1939 අප්‍රේල් මස 27 වනදා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ලෙස පත් වුණා. පී. ඊ. පී. දැරණියගල කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයා යි. 1963 ජූලි මාසයේ එම තනතුරින් විශ්‍රාම යනතෙක් ඔහු එහි සේවය කරනවා. 1961 සිට 1964 දක්වා කාලයේ විද්‍යෝදය සරසවියේ පීඨාධිපති වශයෙන් ද සේවය කර තිබෙනවා. 1976 වසරේ දී ඔහු, සිය දිවි ගමන නිම කරනවා.
විශිෂ්ට දරු පිරිසක්
පෝල් දැරණියගල විවාහ වුණේ ප්‍රීනි මොළමුරේ සමඟ යි. එම විවාහයෙන් ආචාර්ය දැරණියගලට දරුවන් හතරදෙනා යි. ඒ අර්ජුන, සිරාන්, රනිල් හා ඉෂානි. මෙයින් රනිල්, සුප්‍රසිද්ධ 43 කණ්ඩායමේ පුරෝගාමී සිතුවම් ශිල්පියකු වූ වුණා. සිරාන් දැරණියගල පියා ගේ අඩිපාරේ යමින් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට එක් ව ප්‍රාග් ඓතිහාසික කැණීම් මඟින් විශාල මෙහෙයක් ඉටු කළා. පියා නැවැත්වූ තැන් සිට බොහෝ දුරක් ඉදිරියට ගිය ඔහු, ජාත්‍යන්තර ව ප්‍රකට පුරාවිද්‍යාඥයකු වනවා.
බලංගොඩ මානවයා
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බලංගොඩ මානවයා ආචාර්ය පී.ඊ.පී. දැරණියගල ගේ අගනා සොයා ගැනීමක්. බලංගොඩ මානවයා නමින් ඔහු විද්‍යාත්මක ව නම් කළේ, අප රටේ ජීවත් වූ මධ්‍ය ශිලා යුගයට (මෙසොලිතික) යුගයට අයත් මානවයන්. බලංගොඩ අවට මැණික් පතල්වලින් ගොඩ දැමූ සත්ත්ව ශේෂ එක්රැස් කිරීමෙන් හා ඒ පිළිබඳ පර්යේෂණ කිරීමේ දී පුරාණ මානව ශේෂත් හමු වුණා. 1945 දී ඔහු අපගේ ආදී ම මුතුන්මිත්තා හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා නොඑසේ නම්, ‘බලංගොඩ මානවයා’ පිළිබඳ ව අනාවරණය කළා. ‘හෝමෝ සේපියන් බලංගොඩෙන්සිස්’ ලෙස එම මානවයා නම් කළා. මෙහි ප්‍රථම නිදර්ශකය ඔහු රාවණා ඇල්ල ගුහාව කැණීමෙන් සොයාගත්තා.
දකුණු පළාතේ බන්ඩත්තර කියන තැන තිබුණු මැටිඔරු සුසානයක් මුලින් ම කැණීම් කළේ, ආචාර්ය දැරණියගල යි. රාවණා ඇල්ල, අයගම මානෙල් ගල්ගේ, දියවින්න උඩුපියන් ගල්ගේ වැනි ගල්ලෙන් විශාල ප්‍රමාණයක් ඔහු කැණීම් කර තිබෙනවා. 1956-61 කාලයේ උඩවලවේ වන මැද පිහිටි ‘බෙල්ලන්බැඳි පැලැස්ස’ කියන එළිමහන් බිම කැණීම් කිරීමේ දී නොසිතූ ලෙස මානව ඇටසැකිලි 8ක් සොයා ගත්තා. ඉන්පසු අප රටේ ප්‍රාග් ඓතිහාසික මානවයා ගැන ලෝක අවධානය යොමු වුණා.
1958 වසරේ දී ස්‌පෝලියා සෙලනිකා හි 28 වන වෙළුමට එම සොයාගැනීම පිළිබඳ ශාස්‌ත්‍රීය ලිපියක් ද සම්පාදනය කර, එම සොයාගැනීම ඔහු ලෝකයට අනාවරණය කළා.
ඔහුට කැණීම්වලින් හමු වූ ප්‍රාග් මානව අවශේෂ සහ ඔවුන් භාවිත කළ ක්ෂුද්‍ර ශිලා මෙවලම්, රත්නපුර ජාතික කෞතුකාගාරයේ සහ කොළඹ ජාතික කෞතුකාගාරයේ දී දැකගත හැකි යි. ඊට අමතර ව, ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයෙත් ඔහු සොයාගත් පොසිල එකතුවක් ප්‍රදර්ශනය කෙරෙනවා.
ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ටයෙක්
තම ජීවිත කාලයේ දී විෂයය ක්‌ෂේත්‍ර ගණනාවක ම කෙළ පැමිණීමට තරම් ආචාර්ය දැරණියගල දක්‌ෂයකු වුණා. එය කලාතුරකින් පුද්ගලයකුට පිහිටන ගුණයක්. ඔහු පළ කළ ශාස්‌ත්‍රීය ලිපි, ග්‍රන්ථ, පරිපාලන වාර්තා ආදිය හාරසියයක් පමණ වනවා. මත්ස්‍ය විද්‍යාව, උරග හා උභයජීවී විද්‍යාව, පක්‌ෂී විද්‍යාව, ක්‌ෂීරපායී විද්‍යාව, පාෂාණිභූත විද්‍යාව ආදී ස්‌වභාව විද්‍යා විෂයයන් ද ඊට අමතර ව; ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව, පැරණි බිතු සිතුවම්, දැව කැටයම්, ඇත් දළ කැටයම්, පැරණි සටන් ක්‍රමෝපායයන්, කුකුළන් කෙටවීම ඇතුළු අනෙකුත් සතුන් පොරයට යෙදවීම, පැරණි ආයුධ, ජන කවි ඇතුළු ක්‌ෂේත්‍ර ගණනාවක් ම සම්බන්ධ පර්යේෂණවල නියුතු වෙමින් ශාස්‌ත්‍රීය ලිපි ගණනාවක් හා පොත් රාශියක් ඉංග්‍රීසියෙන් පළ කොට තිබෙනවා. අවාසනාවකට මෙන් ඒ අතරින් සිංහලයට පරිවර්තනය වී තිබෙන්නේ කෘති කිහිපයක් පමණ යි. ඔහු ගේ ශාස්‌ත්‍රීය ලිපි 1929 සිට 1975 තෙක් ම පළ වුණා.
තෙල් සායම් හා දිය සායම් චිත්‍රවලට ද, දැව කැටයම්වලට ද දැරණියගල දස්කම් දැක්වූවා. ඔහු ගේ පොත්වල චිත්‍ර ඇඳ ඇත්තේ ද ඔහු ම යි. මසුන්, සර්පයන්, කටුස්‌සන්, හූනන් හා ඉදිබුවන් ඇතුළත් වර්ණ රූප සහිත ග්‍රන්ථ තුනක් පළ කර තිබෙනවා. A coloured atlas of some vertebrates from Ceylon යනුවෙන් වෙළුම් තුනක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ශාස්‌ත්‍රීය ව ලියා ඇති මේ ග්‍රන්ථ ත්‍රිත්වය, 1950 දශකයේ දී කෞතුකාගාර ප්‍රකාශන ලෙස එළිදැක්වුණා.
ජුරාසික් යුගය
ශ්‍රී ලංකාවේ පොසිල අධ්‍යයනයේ සමාරම්භකයා පී.ඊ.පී. දැරණියගල යි. ජාතික කෞතුකාගාරයට අවශ්‍ය නිදර්ශක සපයා ගැනීමේ අරමුණින් තමයි ඔහු එය අරඹන්නේ. වයඹ පළාතේ තබ්බෝව, ආඩිගම හා පල්ලම පිහිටි වසර මිලියන 100ක් පමණ පැරණි, ජුරාසික් යුගයට අයත් පර්ණාංග ආදී ශාක පොසිල ඔහු අධ්‍යයනය කළා. ඒ ගැන පර්යේෂණ ලිපි ලිව්වා. යාපනය අර්ධද්වීපයේ හා ගිනිකොනදිග ශ්‍රී ලංකාවේ වූ මිනිහා ගල්කන්දේ පිහිටි, වසර මිලියන 2500කට එහා යන මයෝසීන යුගයට අයත් සත්ත්ව පොසිලත් ඔහු සොයා ගත්තා. ප්ලයිස්‌ටොසීන අවදියේ රත්නපුර අවට තිබී ඇත්තේ තෙත් වගුරු බිමක් ලෙස යි. ඒ කාලය වසර මිලියන 2 සිට වසර 10,000ක කාලයට අයත් ලෙස දැරණියගල කාලනිර්ණය කර තිබෙනවා. ඒ කාලයේ ජීවත් වූ විශාල ක්‌ෂීරපායී සතුන්ගේ පොසිල පිළිබඳත් ඔහු පර්යේෂණ කර විද්‍යාත්මක නම් ලබා දී තිබෙනවා.
පුරාණ රයිනෝසිරස්, හිපපොටේමස්, සිංහ හා විශාල හස්ති පොසිල ඔහු මැණික් පතල්වලින් සොයා ගත්තා. අපේ රටෙන් වඳ වී ගිය ගව වර්ගයට අයත් සතකු ලෙස සැලකෙන ගවරා පිළිබඳ ව දීර්ඝ වශයෙන් පර්යේෂණ පැවැත්වූවා. දැරණියගල පවසන්නේ, අදින් වසර 200ක් පමණ වන තෙක් ම ගවරා අප රටේ වනාන්තරවල විසූ බව යි. ගවර හිස්‌කබල් කොටස්, හකු, දත් ඇතුළු ශරීරයේ අනෙකුත් කොටස් මැණික් පතල්වලින් හමු වී තිබෙනවා. මෙසේ හමුවන ගවර විශේෂය අප රටට ආවේණික බවට ඔහු මත පළ කරනවා. සීගිරියේ අවධානයට ලක් නොවූ ගුහාවක තිබූ බිතුසිතුවම් ගැනත් ඔහු අධ්‍යයනය කර වාර්තා සපයා තිබෙනවා. ඒ ගුහාව පසුව, දැරණියගල ගුහාව ලෙස හැඳින්වුණා.
ශාස්ත්‍රීය සේවය
පී.ඊ.පී. දැරණියගල ඉතිහාසය, භූ විද්‍යාව, පුරාවිද්‍යාව, පාෂාණිභූත විද්‍යාව, ඛනිජ පිළිබඳ විද්‍යාව, ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව ඇතුළු ක්‌ෂේත්‍ර ගණනාවක ම ශාස්‌ත්‍රීය ලිපි පළ කර තිබෙනවා. ඔහුගේ ලිපි ජාත්‍යන්තර ප්‍රකාශනවලත් පළ වී තිබෙන්නේ අප රටට කීර්තියක් ද අත්කර දෙමින්. ඔහු ආචාර්ය උපාධිය විදිහට පර්යේෂණ කර තිබෙන්නේ, ලංකාවේ ප්ලයිස්ටොසීන යුගය හෙවත් හිම යුගය ගැන යි. කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් 1958 වසරේ දී ‘The Pleistocene of Ceylon’ නමින් ඒ පොත පළ කර තිබෙනවා. මහා හිම යුගයේ දී ලංකාවේ පරිසර තත්ත්වයත්, ඒ කාලයේ ලංකාවේ ජීවත් වුණු සතුන් ගැනත් එම පොතේ විස්තර කෙරෙනවා. ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි බොහොමයක් පළ වූයේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශනය කළ ‘ස්‌පෝලියා සිලැනිකා’ ශාස්‌ත්‍රීය සංග්‍රහයේ යි. ඊට අමතර ව, රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රකාශනයේ ද ඒවා පළ කෙරුණා. ඔහු ලියා තිබෙන ලංකාවේ කොඳුඇට පෙළ සහිත සතුන් පිළිබඳ වර්ණ රූප අන්තර්ගත පොත් පෙළ (Some vertebrate animals of Ceylon) බෙහෙවින් ඇගයීමට ලක් වූ කෘතියක්. ලංකාවේ දැනට සිටින හා පෙර සිට වඳ වී ගිය හස්තින් පිළිබඳවත් (Some Extinct Elephants, Their Relatives and the Two Living Species) කෘතියක් ඔහු අතින් රචිත යි. අපේ රටේ අලි වෙදකම මෙන් ම ලංකාවේ පැරණි ත්‍රාසජනක ක්‍රීඩා (Some Sinhala combative, field and aquatic sports and games) පිළිබඳත් සොයා බලා පොත් ලියා තිබෙනවා.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ධුරය දරන අතර ම, රාජකීය ආසියාතික සංගමයේ සභාපති ධුරයේ ද ඔහු කලක් කටයුතු කළා. අමෙරිකා පෘෂ්ඨවංශී පාෂාණීභූත සංගමය, ඉන්දියානු සිස්‌ටමැටික් සූලොජී සංගමය, ඉන්දියානු පැසිපික් ධීවර කවුන්සිලය, ඉන්දියානු සත්ත්ව විද්‍යා ඇකඩමිය, මිනිසා පිළිබඳ අධ්‍යයනයේ අමෙරිකා පදනම ඇතුළු ජාත්‍යන්තර සංගම් රාශියක ම නිලතල හා සාමාජිකත්වය ඔහු දරා තිබෙනවා. ඔහුගෙන් මානව විද්‍යා ක්‌ෂේත්‍රයට ඉටු වූ සේවයට ගෞරවයක් වශයෙන් 1960 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනැමුණා.