සමහර නිවාස සහ ඉඩම්වල පිහිටීම ඒවායේ ජීවත් වන අයට අවාසනාව ගෙන එන බව සමහරු විශ්වාස කරති. උදාහරණයක් ලෙස යම්කිසි පුද්ගලයකු අනපේක්ෂිත ලෙස අනතුරකට ලක් වූ හෝ මිය ගිය අවස්ථාවක එය සිදු වූයේ ඔවුන් ජීවත් වන නිවසේ හෝ නිවස ඉදිකර ඇති ඉඩමේ දෝෂයක් නිසා යැයි විශ්වාස කරන අය බොහෝ වෙති.
ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල පමණක් නොව එක්සත් රාජධානිය වැනි යුරෝපා රටවල පවා මෙවැනි විශ්වාස සමාජගත වී තිබේ. ඔවුන්, අවාසනාව ගෙන එන බවට විශ්වාස කරන දෑ අතර ඉඩම් සහ නිවෙස් පමණක් නොව පුටු, මේස සහ ඔරලෝසු වැනි ගෙදරදොර උපකරණ ද වේ.
එක්සත් රාජධානියේ උතුරු යෝක්ෂයර් හි පිහිටි කෞතුකාගාරයක තබා ඇති, වසර 300කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන, ‘මරණයේ පුටුව’ නමින් හඳුන්වන එවැනි පුටුවක් පිළිබඳවයි මේ ලිපිය.
උතුරු යෝක්ෂයර්හි ජීවත් වූ තෝමස් බස්බි නම් පුද්ගලයකු 1700 දශකයේ දී කළ ශාපයක් හා බැඳී ඇති බවට සැලකෙන මෙම පුටුව මේ වන විට කෞතුකාගාරයක එල්ලා තබා ඇත. මෙහි අසුන්ගත් පුද්ගලයන් කිහිප දෙනකු අනපේක්ෂිත ලෙස මිය ගිය බැවින් එය මරණයේ පුටුව ලෙස හැඳින්වේ.
තෝමස් බස්බි
උතුරු යෝක්ෂයර්හි හැදී වැඩුණු තෝමස් 1700 දශකය වන විට තරුණ වියේ පසු විය. එතරම් දුරට අධ්‍යාපනයක් ලබා නොතිබූ ඔහු මුදල් ඉපැයීම සඳහා ව්‍යාජ කාසි සකස් කිරීම ඇතුළු විවිධ නීතිවිරෝධී කටයුතුවල නිරත විය. ඊට අමතර ව ඔහු සොරකම් කිරීම් සහ කප්පම් ගැනීම් වැනි දේ ද කළ බව කියැවේ. මේ කාලය වන විට ඔහු සිය ගම් ප්‍රදේශයේ ම ජීවත් වූ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබිණි. ඩැනියෙල් ඕටි නම් වූ ඇගේ පියා ද තෝමස් මෙන් ම ව්‍යාජ කාසි සකස් කිරීමෙන් මුදල් ඉපයූ අයෙක් විය.
ඝාතනයක්
පසුකාලීන ව ඔවුන් දෙදෙනා එක්ව ව්‍යාජ කාසි සකස් කිරීමට පටන් ගත්හ. මේ කාලය තුළ තෝමස් සිය දියණිය සමඟ සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බව දැන ගත් ඕටිගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි. ඊට අමතර ව කාසි සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද ඔවුන් අතර විවිධ මතගැටුම් ඇති වී තිබේ. දිනක් ඔවුන් දෙදෙනා අතර මෙවැනි කරුණක් නිසා ඇති වූ ගැටුමක් අතරතුර තෝමස් එල්ල කළ පහරක් නිසා ඕටි ජීවිතක්ෂයට පත් විය.
ඕටිගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රතිපලයක් ලෙස ඉතා කෙටි කලක් තුළ තෝමස් අත්අඩංගුවට ගැනීමට එරට විමර්ශන අංශවලට හැකි විය. අදාළ නඩු විභාගය අවසානයේ ඔහු එම ඝාතනයට වරදකරු බව තහවුරු වූ අතර ඔහු එල්ලා මරා දැමීමට නියම විය. එල්ලා මරා දැමූ තෝමස්ගේ මළ සිරුර ප්‍රසිද්ධ ස්ථානයක එල්ලා තැබූ බව ද පැවැසේ.
මරණයට පෙර අවන්හලකට රැගෙන ගිය තෝමස්
මරණ දඬුවම නියම වූ තෝමස් එල්ලා මැරීමට පෙර උතුරු යෝක්ෂයර්හි, සෑන්ඩ්හැට්න්හි පිහිටි අවන්හලකට රැගෙන ගොස් තිබේ (වර්තමානයේ ද එම ගොඩනැඟිල්ල දැකිය හැකි ය). ඔහු එල්ලා මරා දැමුවේ එම ස්ථානයේ දී බවට එක් මතයක් වන අතර තවත් සමහරුන් පවසන්නේ ඔහුගේ අවසාන ඉල්ලීමට අනුව මත්පැන් පානය කිරීම සඳහා එම අවන්හලට රැගෙන ගොස් ඇති බව යි. වර්තමානයේ පවා එම ස්ථානය අවට තෝමස්ගේ අවතාරය සැරිසරන බව කියැවේ.
ශාපලත් පුටුව
මෙම ලිපියේ ප්‍රස්තුතය වන ‘මරණයේ පුටුව’ වන්නේ ඉහත කී අවන්හලේ රැඳී සිටි කාලය පුරාවට තෝමස් අසුන්ගත් පුටුව යි. ඔහු බොහෝ වෙලාවක් එහි අසුන්ගෙන සිටි බවත් එල්ලා මැරීම සඳහා රැගෙන යාමට පෙර ඒ දෙස බලා ශාපයක් සිදු කළ බවත් කියැ වේ. ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට ඔහු එම ශාපය සිදු කර ඇත්තේ “මගේ පුටුවේ අසුන්ගන්න ඕනෑම අයකුට ඉක්මනින් මරණය ළඟා වනු ඇත” යනුවෙන් පවසමිනි. එතැන් පටන් මෙම පුටුවේ අසුන් ගන්නා සියලු දෙනාම පාහේ බලාපොරොත්තු නොවූ ආකාරයට ඉක්මනින් මරණයට පත්වන බවට මතයක් පවතී.
පුටුවේ අසුන් ගත් අයට අත් වූ ඉරණම
පුටුවක් ශාප ගැන්විය හැකි ද යන්න තරමක් ගැටලු සහගත කරුණක් වන නමුත් මෙම පුටුව ඉහත කී අවන්හලේ තබා තිබූ කාලය තුළ එහි අසුන්ගත් කිහිප දෙනකු සැබැවින් ම නොසිතූ ලෙස අකල් මරණවලට ගොදුරු වී තිබේ.
1894 වසරේ එක්තරා දිනයක පිරිසුදු කරන්නෙක් මෙම පුටුවේ අසුන් ගත් බවත් ඊට පසු දින උදෑසන ඔහු ඊට යාබද ස්ථානයක එල්ලී මිය ගොස් සිටි බවත් කියැවේ. එමෙන් ම දෙවැනි ලෝක යුද්ධය අතරතුර එම අවන්හලට යාබද කඳවුරක රැඳී සිටි කැනේඩියානු හමුදා භටයන් පිරිසක් සිය නිර්භීත බව පෙන්වීම සඳහා මෙම පුටුවේ අසුන්ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා යුද මෙහෙයුම් අතරතුර මිය ගොස් තිබේ.
1967 දී මෙම පුටුවේ අසුන් ගත් රාජකීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් දෙදෙනෙක් මෝටර් රථයකින් ආපසු නිවෙස් බලා යමින් සිටියදී ගසක ගැටීමෙන් මිය ගොස් තිබේ. ඊට වසර කිහිපයකට පසු මෙහි අසුන් ගත් ඉදිකිරීම් ශිල්පියෙක් පැය කිහිපයකට පසු වහලයකින් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇත. සමකාලීනව, අත්වැරදීමකින් මෙහි අසුන් ගත් පිරිසුදු කරන්නෙක් මොළයේ ලේ කැටියක් සිරවීමෙන් මියගොස් තිබේ.
අවසන් මරණය
තමන්ට අයත් අවන්හල තුළ වූ පුටුවේ අසුන් ගත් බොහෝ දෙනකු අනපේක්ෂිත ලෙස මරණයට පත් වීම පිළිබඳ අවන්හල පිහිටි භුමියේ එවකට හිමිකරු, ටෝනි අර්න්ෂෝ දැඩි ලෙස කම්පාවට පත් විය. එබැවින්, 1978 දී ඔහු කිසිවකුටත් අසුන් ගැනීමට නොහැකි වන පරිදි පැරැණි බීර පීප්ප කිහිපයක් අතර එය ස්ථානගත කළේ ය. කෙසේ වෙතත් අවන්හලට පැමිණි එක්තරා භාණ්ඩ අලෙවි කරන්නෙක් එතරම් සුවපහසු පුටුවක් ඒ ආකාරයෙන් තබා ඇත්තේ ඇයිදැයි විමසා එහි අසුන් ගත්තේ ය. ඊට මිනිත්තු කිහිපයකට පසු ඔහු ද රිය අනතුරකින් මිය ගොස් තිබේ.
කෞතුකරගාරයට භාරදීම
තවදුරටත් එය අවන්හලේ තබා ගැනීම භයානක යැයි සිතූ ටෝනි 1978 වසරේ අගභාගයේ දී එය ‘Thirsk’ හි පිහිටි කෞතුකාගාරයට භාර දුන්නේ ය. අද ද මෙම පුටුව එම කෞතුකාගාරයේ තබා ඇති අතර විශේෂත්වය වන්නේ කිසිවකුටත් අසුන් ගැනීමට නොහැකි වන පරිදි එය බිත්තියක එල්ලා තිබීම යි.
විවිධ මත
මෙම පුටුව සම්බන්ධයෙන් වන පුරාවෘත්තය පිළිබඳ ඉතිහාසඥයන් විවිධ මත පළකර තිබේ. මේ පිළිබඳ අධ්‍යයනය කළ ඉතිහාසඥයෙක් වූ ආචාර්ය ඇඩම් බෝවෙට් පවසා ඇත්තේ එහි ඇති සමහර කැටයම් යන්ත්‍රානුසාරයෙන් කරවන ලද ඒවා බව ය. කෙසේ වෙතත් 1700 ගණන්වල එවැනි යන්ත්‍ර සූත්‍ර නොවූ බැවින් මෙය සාදා ඇත්තේ 1840 දශකයේ දී විය හැකි බව ඔහු සඳහන් කළේ ය.
තවත් සමහරුන් පෙන්වා දී ඇත්තේ මෙම පුටුව හා සම්බන්ධ සියලු මරණ සිදු වූයේ 1840 දශකයෙන් පසුව බැවින් එය සාදා ඇත්තේ කුමන කාල වකවානුවක දී ද යන්න පිළිබඳ තර්ක කිරීමෙන් පලක් නොමැති බව ය. දැනටත් එය කෞතුකරගාරයේ එල්ලා තැබීම තුළින් ඒ හා බැඳී ඇති කිසියම් අභිරහසක් ඇති බව තහවුරු වන බව ඔවුහු පවසති.