පොළොන්නරුව පුරාණ නටබුන් අතර තිබෙන දෙමළ මහා සෑය වන්දනාකරුවන් හෝ සංචාරකයන් නැරඹීමට එතරම් උනන්දු වන තැනක් නොවෙ යි. එයට හේතුව එය පස් කන්දක් මිස අලංකාර තැනක් නොවීමයි. අක්කර තුනහමාරක් විශාල මේ දැවැන්ත ඉදිකිරීම ගැන මහාවංශයේ විශ්වාස කළ නොහැකි සටහනක් යොදා තිබෙනවා. වනාන්තරය වැවුණු පස් ගොඩැල්ලක් වන මේ දාගබ වසර කිහිපයකට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැණීම් කළා. එහිදී එතෙක් සිතා නොසිටි කරුණු රාශියක් හෙළි වුණා.
මහ පැරකුම්බා
පළමුවන පරාක්‍රමබාහු වර්ෂ 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජ කළ අදත් නිතර කතාබහට ලක්වෙන පාලකයෙක්. රජු පොළොන්නරුවඅග නගරය පුළුල් කිරීමට උනන්දු වුණු අතර ම පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් හා ඇළ මාර්ග ඉදිකර කෘෂිකර්මාන්තයේ වර්ධනයට දායක වුණා. බුදුදහමට ද විශාල සේවයක් කළ රජකෙනෙක්.
රටේ හමුදා ශක්තිය වර්ධනය කළ ඔහු විදේශ රටවල් ආක්‍රමණය කර ජයග්‍රහණය කළ බව මහාවංශය සඳහන් කරනවා.දකුණු ඉන්දියාව සහ මියන්මාරය සමඟ කළ සටන්වලින් ඔහු ලැබූ ජයග්‍රහණ මහාවංශයේ විස්තර කෙරෙනවා. උත්තරාරාමය නමින් හැඳින්වූ ගල් විහාරය කරවූයේ මේ රජු යි. පොළොන්නරුව වටදාගෙය, ලංකාතිලක විහාරය, ආලාහන පිරිවෙන, ජේතවනාරාමයසහ දෙමළ මහා සෑය ද ගොඩ නංවන ලද්දේ ඔහුගේ පාලන කාලයේ දී යි.
මහාවංශ කතා
පොළොන්නරුව නටබුන් නගරයේ ගල් විහාරයට දකුණින් ඇති ප්‍රධාන මාවතේ උතුරු දෙසට ගමන් කළ විට දෙමළ මහා සෑයට ළඟා විය හැකි යි. තිවංක පිළිම ගෙය සහ ගල්විහාරය අතර පිහිටා ඇති දෙමළ මහා සෑය අදටත් පවතින්නේ මහා පස්කන්දක් ලෙස යි. ගල් විහාරය කරවීමෙන් පසුව තමයි රජු මේ දාගබ ඉදිකිරීම අරඹා තිබෙන්නේ. දෙමළ මහා සෑයට ඒ නම ලැබී ඇත්තේ මහා පරාක්‍රමබාහු රජු දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශය සමඟ කළ සටන්වල දී ඒ ප්‍රදේශ ජයගෙන අල්ලා ගෙන ආ දෙමළ වහලුන් 12,000 ක් යොදා ඉදිකළ බැවින් යැයි මහාවංශය වර්ණනා කරනවා.
මේ දාගබ දකුණු ඉන්දියාවට පෙනෙන උසකින් ඉදි කළ බව ද මහාවංශයේ සඳහන් වෙනවා. සමහරුන් පවසන්නේ මේ සෑයට දෙමහල් සෑය යන නම ලබා දී තිබුණු බවත් පසුව එය දෙමළ මහා සෑය වන්නට ඇති බවත්. මහාවංශයේ ද මේ දාගබ ගැන සඳහන් වන්නේ දෙමළ සෑය යන නමිනු යි. මහාවංශයට අනුව දාගබේ වට ප්‍රමාණය රියන් 1300ක් වූ බව මහාවංශයෙන් පැවසෙනවා. එය බෞද්ධ ලෝකයේ විශාල ම ස්මාරකය කිරිමට පරාක්‍රමබාහු රජුට අවශ්‍ය වුණා. මේ දාගබ සම්පූර්ණ කිරීමට මහාපරාක්‍රමබාහු රජුට නොහැකි වී ඇති බව යි එහි නටබුන්වලින් පැහැදිලි වන්නේ. එය ගරා වැටී ඇති බැවින් නිශ්චිත මිනුම් දැන ගත නොහැකි යැයි පර්යේෂකයන් සඳහන් කරනවා.
කැණිම් පසුබිම
පොළොන්නරුවේ දෙමළ මහා සෑය ඉදිකර ඇත්තේ මෙතෙක් සිතා සිටි ආකාරයට නොවන බවත්, එය කිසිදු ඉදිකිරීමකට දෙවැනි නොවන විස්මිත නිර්මාණයක් බවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී සඳහන් කර තිබෙනවා.
වර්ෂ 1900 වන විට දෙමළ මහා සෑය ලෙස හඳුනා ගෙන තිබුණේ වෙනත් නටබුන් ස්ථානයක් බව යි පුරාවිද්‍යා වාර්තාවලින් පෙනෙන්නේ. දෙමළ මහා සෑයේ නටබුන් උණගලා වෙහෙර ලෙස වැරදියට හඳුන්වා තිබෙනවා. වර්ෂ 1905 පුරාවිද්‍යා පාලන වාර්තාවේ එය නිවැරදි කර තිබෙනවා. විටින් විට මෙහි කැණිම් කටයුතු ආරම්භ කළ ද එය සම්පූර්ණ වුණේ නැහැ.
1984 දී සහ 1991 දී මෙහි කැණීම් සිදුකර ඇති අතර කැණීමේ දී චෛත්‍යය මධ්‍යයෙන් බොරළු ස්තරයක් හමු වී තිබෙනවා.මෙසේ බොරළු හමුවන්නේ පිහිටි පොළොවේ යැයි තිබූ මතය හේතුවෙන් මුලින් ම පුරාවිද්‍යාඥයන් නිගමනය කැර ඇත්තේ පිහිටි කන්දක් වටකර ගඩොල් බැදීමෙන් දාගබ ඉදිකරන්නට ඇති බව යි.
2014 දී කළ කැණීම්
වර්ෂ 2014 දී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි කැණීම් නැවත ආරම්භ කළා. මහාචාර්ය ගාමිණී අධිකාරිගේ අධීක්ෂණයෙන් ආචාර්ය නිමල් පෙරේරාගේ මූලිකත්වයෙන් එහි කැණීම් සිදුවුණා. එහිදී හමු වූ සාධක අනුව කන්දක් වටකර තැනූ ඉදිකිරීමක් යන මතය ඉවත දමන්නට සිදුව තිබෙනවා.
අක්කර තුනහමාරක පමණ විශාල භූමියක පැතිර ඇති දාගබ කැණීමේ දී පෙනී ගොස් ඇත්තේ දාගබ ඉදිකර තිබෙන්නේ අඩි හැටක් පමණ උස එවැනිම පළලක් ඇති වෘත්තාකාර විශාල බැම්මක් පිළිස්සූ ගඩොලින් බැඳ ඒ මැද පස්වලින් පිරවීමෙන් පසුව බවයි. මේ ආකාරයේ දාගබ් පරාක්‍රමබාහු රජු විසින් යුදඟනාවේ සහ දැදිගමත් ඉදි කර තිබෙනවා. අර්ධ වශයෙන් තනා ඇති ඒ දාගබ් හඳුන්වන්නේ කොටවෙහෙර දාගබ් කියල යි. පොළොන්නරුවේ පබළු වෙහෙරත් මේ වර්ගයක් අයත් දාගබක්.
කැණිමේ දී දෙමළ මහා සෑය මත තිබූ කුඩා දාගබ ද සංරක්ෂණය කර තිබෙනවා. එක් පේසා වලල්ලක් සහිත එහි ද ඉතිරි ව පවතින්නේ ගර්භය පමණ යි. දාගබ මතට පිවිසි විට එහි විශාලත්වය කෙතරම් දැයි සිතාගත හැකි යි.
දාගබේ තාක්ෂණය
අතිවිශාල ඉදිකිරීමක් වන දාගබ සෑදීමට අපූරු තාක්ෂණයක් භාවිත කර තිබෙනවා. දාගබේ මධ්‍යය පුරවා ඇත්තේ පස්, බොරළු, කුඹුරුවල මැටි, වැව්වල රොන් මඩ ආදී බොහෝ ද්‍රව්‍ය භාවිත කිරීමෙන්. මේ දාගබට අඩියක පමණ පස් හෝ මඩ තට්ටුවක් දමා එයට ජලය යොදමින් අඩිය අඟලට තලා ඇති බව හෙළි ව තිබෙනවා. ඒ වැඩි ශක්තියක් ලබා ගැනීමටයි. කැණිම්වලින් හෙළිවුණු කරුණු අනුව සමහර තැන්වල බොරළු තට්ටුව සෙන්ටිමීටර පහක් පමණ ඝනකම යි.
මෙය ඉතා ශක්තිමත් දාගබක් බව හෙළි ව තිබෙනවා. මෙතරම් විශාල ඉදිකිරීමක කල්පැවැත්ම සඳහා ඒ තාක්ෂණය ගැළපෙන බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ. දාගැබ මධ්‍යයේ කැණීම් කරන විට වළං කැබලි, පොළොන්නරුවේ ම ගොඩනැගිලිවලින් ඉවත් කළ කොටස් පවා හමු ව තිබෙනවා. ඒ වගේ ම ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවන රතුවන් දුඹුරු පස් සහිත ප්‍රදේයකින් ද පස් ගෙනවිත් තිබෙනවා. මේ දාගබේ තිබී ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් පවා හමු වූ බව ආචාර්ය නිමල් පෙරේරා සඳහන් කරනවා.
දෙමහල් දාගබ
පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ අඩි හැටක් පමණ උසකින් සමතලා ආකාරයට ඉදි කළ දාගැබ මධ්‍යයේ හතරැස් මළුවක තවත් කුඩා දාගබක් තිබෙන බැවින් මෙය දෙමහල් දාගබක් බව යි.
දාගබේ කාල නිර්ණය කිරීමට අඟුරු නියැදි කිහිපයක් අමරිකාවේ බීටා ඇනලිටික් ආයතනයට යවා කළ කාල නිර්ණයේ දී ඒවා ක්‍රිස්තු වර්ෂ 1025-1165 කාලයට අයත් බව හෙළි වී තිබෙනවා. ඒ කාලය පරාක්‍රමබාහු රජ කළ සමයට සමපාත වෙනවා. දෙමළ මහා සෑයේ මුදුනට නැගුණු විට අදත් පොළොන්නරුව ප්‍රදේශය ම දර්ශනය වෙනවා. වනාන්තරය අතරින් පැරණි දාගබ් ද දැක ගත හැකි යි.
වර්තමාන තත්ත්වය
මෙහි කැණීම් දිගට ම සිදුනොවන බවත් විටින් විට ටික ටික සිදුවන බවත් තමයි අපට පේන්නේ. වෙහෙර මත ගස්වැල් වැවී තිබෙනවා. පසුගිය වර්ෂයේ දාගබේ සංරක්ෂණ කටයුතු සඳහා යුද හමුදාවේ ද සහාය ලැබුණු බවට වාර්තා පළ වුණා. එහෙත් එය ඉදිරියට ඇදී යන්නේ මන්දගාමීව යි. ලංකාවේ විශාලත ම දාගබ ලෙස සැලකිය හැකි මෙහි සංරක්ෂණ කටයුතු කඩිනමින් කළ හැකි නම් එය අපේ ඉතිහාස උරුමයන්ට කරන විශාල සේවයක් බව අපගේ හැඟීම යි.