ප්‍රංශයට දරුණු පරාජයක් අත්කර දෙමින් වියට් මින් ගරිල්ලට ජයග්‍රහණය හිමි කරමින් යුද්ධය අවසන් වූ පසුව වියට්නාමය දෙකඩ වූ අතර දකුණු වියට්නාම් පාලකයා ඡන්දය පවත්වා උතුර හා දකුණ එක් කිරීමට විරෝධය පෑමත් සමඟ දකුණු වියට්නාමය හා වියට් කොන්ග් ගරිල්ලන් අතර ගැටුම් ඇති වෙනවා.
මෙහිදී ඇමරිකානු රජයේ සහයෝගය දකුණු වියනාමයට හිමිවෙන අතර වියට් කොන්ග් ගරිල්ලන්ට උතුරු වියට්නාමයේ හා සෝවියට් සංගමයේ සහය හිමි වෙනවා. අනතුරුව යුද්ධය සදහා ඇමරිකානු හමුදා වියට්නාමය බලා පැමිණෙන්නේ කොමියුනිස්ට්වාදී උතුරු වියට්නාමය පරාජය කර තමන්ට හිතවත් වියට්නාම් රජයක් ගොඩ නැගීමේ අරමුණෙන්. අද ලිපිය දිග හැරෙන්නේ එතැන් සිටයි.
ඇමරිකානු හමුදා වියට්නාමය බලා
1961 වසරේ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මෙතෙක් කල් ඇමරිකාව විසින් දකුණු වියට්නාමයට යුධ හමුදා පුහුණුව, අවි ආයුධ ලබා දීම හැරුණු කොට භට පිරිස් ද යැවීමට තීරණය කරනවා. ඒ අනුව 9000ක භට පිරිසක් දකුණු වියට්නාමයට පැමිණෙනවා. මෙම භට පිරිස වියට්කොන්ග් ගරිල්ලන් සමඟ සටන් කිරීම සදහා පැමිණි අතර මීට පෙර ඇමරිකාව ඒවා තිබුනේ යුධ උපදේශකයන් පමණයි.
න්ගෝ ඩින්හ් ඩියම් ව ඝාතනය කිරීම
ඇති වූ ගැටුම් මෙන්ම ඇමරිකානු මැදිහත් වීම තුළින් ද මේ වන විට දකුණු වියට්නාමය තුළ බොහෝ නොසන්සුන්කාරී වටපිටාවක් නිර්මාණය වී තිබූ අතර න්ගෝ ඩින්හ් ඩියම් (Ngô Đình Diệm) විසින් බෞද්ධ ආගමට විරුද්ධව කටයුතු මෙහෙයවීම සීග්‍රයෙන් වර්ධනය වෙනවා. ඔහු විසින් බොහෝ ආගමික සංවිධාන තහනම් කරන අතර ජාත්‍යන්තර බෞද්ධ කොඩිය වෙසක් මාසයේ එල්ලා තැබීම ද තහනම් කරනවා. කොමියුනිස්ට්වාදීන් මෙන්ම ජාතිකවාදීන් ද බොහෝ ප්‍රමාණයක් මරා දැමු බැවින් ඔහු වෙත එල්ල වූ ජනතා අප්‍රසාදය ක්‍රමයෙන් වැඩි වෙනවා.
මේ කාලය වන විට ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්තනෝමතික පාලනයක් රැගෙන යන න්ගෝ ඩින්හ් ඩියම් ව අත් අඩංගුවට ගෙන ඝාතනය කරන්නේ 1963 වසරේ නොවැම්බර් 2 වනදායි. ඔහුව ඝාතනය වීමෙන් පසුව දකුණු වියට්නාමයේ හමුදා පාලනයක් ස්ථාපිත වන අතර හමුදා ප්‍රධානියා ලෙස ජෙනරාල් ඩුවාන් වැන් මින් (Dương Văn Minh) පත්වෙනවා. තවත් මාස කිහිපයකට පසුව හමුදා කුමන්ත්‍රණයකින් දකුණු වියට්නාම් ආණ්ඩුවේ බලය ලබා ගන්නේ න්ගුයෙන් ඛාන් (Nguyễn Khánh) නම් ජෙනරාල් වරයායි.
හමුදා ජුන්ටාවට ඇමරිකානු සහය හිමි වෙන අතර උතුරු වියට්නාම් නායක වන හෝ චි මිං ද ඇමරිකානු හමුදා වලට යටත් නොවන බවත් ඔවුන් යුද්ධ කරන තුරු උතුරු වියට්නාම් හමුදාව මෙන්ම වියට් කොන්ග් ගරිල්ලන් ද සටන් කරන බව පවසනවා. මේ වන විට ඇමරිකානු ජනාධිපතිවරයා වූ කෙනඩි ද ඝාතනය වී තිබූ අතර නව ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ ලින්ඩන් ජොන්සන් ය. (Lyndon Johnson)
ඇමරිකාව යුද්ධයට මුල පිරූ ටොංකිං බොක්කේ (Gulf of Tonkin) ප්‍රහාරය
යුද්ධය සදහා උතුරු වියට්නාමයට එරෙහිව ඇමරිකානු හමුදාවේ පළමු විශාලතම මැදිහත් වීම මෙය වන අතර 1964 වසරේ අගෝස්තු 2 වනදා උතුරු වියට්නාමයට අයත් මුහුදේ වෙරළ ප්‍රදේශකදී ගැටුම හටගන්නවා. මෙහිදී ඇමරිකානු යුධ යාත්‍රාවක් සමඟ උතුරු වියට්නාම් නාවික හමුදා බෝට්ටු කිහිපයක් ගැටෙන අතර එම මාසයේම 4 වනදා මුහුදේ දී දෙපාර්ශවය අතර දෙවන ගැටුම ද ඇති වෙනවා.
වියට් කොන්ග් ගරිල්ලන් සමඟ ඇමරිකානු ගැටුම් පැවතියත් ඇමරිකානුවන් මේ වන තුරු උතුරු වියට්නාමය සමඟ යුද්ධයට අවතීර්ණය වී නොසිටි අතර දෙපිරිස අතර සිදු වූ පළමු ගැටුම ලෙස උතුරු වියට්නාම් මුහුදේ ඇති වූ මේ සටන හදුන්වා දිය හැකියි. මෙම සිදුවීමෙන් අනතුරුව ඉතා කෝපයට පත්වෙන ඇමරිකානු ජනාධිපතිවරයා උතුරු වියට්නාමයට බෝම්බ හෙළීම ඉතා ඉක්මනින් සිදු කරන ලෙස අණ කරනවා. ඒ අනුව 1964 වසරේ අගෝස්තු 5 වනදා උතුරු වියට්නාමයට පළමු ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම වන පියර්ස් ඇරෝව් මෙහෙයුම (Operation Pierce Arrow) ආරම්භ කරනවා.
1964 වසරේ දී වියට් කොන්ග් ගරිල්ලන් හා උතුරු වියට්නාම් හමුදා එකතු වී ඇමරිකානු හමුදාව ට බින්ග් ජියා මෙහෙයුම (Battle of Binh Gia) වැනි ප්‍රහාර එල්ල කරන නමුත් පළමුවරට එල්ල කළ බෝම්බ ප්‍රහාර වලට අමතරව ඇමරිකානු ගුවන් හමුදාව තවත් ගුවන් ප්‍රහාර උතුරු වියට්නාමයට එල්ල කරන්නේ නෑ. එම වසර තුළ උතුරු වියට්නාමයට ප්‍රහාර එල්ල නොකරන්නේ වසර අවසානයේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වීම හේතුවෙන් බව ඇතැමුන් විසින් සදහන් කරනවා.
උතුරු වියට්නාමය සහමුලින් ම විනාශ කිරීමට ඇමරිකාව සැරසේ
සෝවියට් සංගමයේ නව නායකයා ලෙස 1964 වසරේදී ලියන්ඩ් ඉලීච් බ්‍රෙෂ්නෙව් (Leonid Ilyich Brezhnev) පත්වෙන අතර ඔහු විසින් උතුරු වියට්නාමය ට හමුදාමය හා ආර්ථිකමය උපකාර සැපයීම වේගවත් කරනවා. මේ හේතුවෙන් හොඳින් අවි ආයුධ වලින් සන්නද්ධ වන උතුරු වියට්නාම් හමුදාව, වියට් කොන්ග් ගරිල්ලන් හා එකතුව 1965 වසරේ පෙබරාවාරි 7 වන දා ප්ලයිකු හි (Pleiku) පිහිටි හලොවෙයි (Camp Holloway) කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා.
මෙම ප්‍රහාරයේ දී ඇමරිකානු හමුදාවට පරාජය හිමි වෙන අතර ලැබූ පරාජයත් සමග උතුරු වියට්නාමයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලය (National Security Council) මෙන්ම ඇමරිකානු සෙනට් මණ්ඩලය විසින් ද තීරණය කරනවා. ප්‍රහාරයෙන් පැය 12ක ට පසුව දකුණු වියට්නාම් ගම්මාන වලට බෝම්බ හෙළීමේ මෙහෙයුම වන ෆ්ලේමිං ඩාර්ට් (Operation Flaming Dart) ආරම්භ කිරීමට ජනාධිපති ලින්ඩන් ජොන්සන් විසින් අවසර ලබා දෙනවා.
ෆ්ලේමිං ඩාර්ට් මෙහෙයුම හා රෝලිං තන්ඩර් මෙහෙයුම
ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව, දකුණු වියට්නාම් ගුවන් හමුදාව සමඟ එක්ව 1965 වසරේ පෙබරවාරි 7 වන දා සිට 24 වන දා දක්වා ගුවන් මගින් උතුරු වියට්නාමයට බෝම්බ හෙළීමේ මෙහෙයුම වන “ෆ්ලේමිං ඩාර්ට්” ආරම්භ කරනු ලබනවා. එම ප්‍රහාර සඳහා මුලික ඉලක්ක වන්නේ උතුරු වියට්නාමයේ පිහිටි වියට්නාම් යුධ කදවුරු හා වියට්නාම් ගරිල්ලන්ගේ හමුදා සැපයුම් කලාපයයි (logistics and communications zone). නමුත් මෙම ගුවන් ප්‍රහාර ඇමරිකානුවන් සිතූ අන්දමට සාර්ථක වන්නේ නෑ.
දින කිහිපයක ගුවන් මෙහෙයුමෙන් පසුව ඇමරිකානුවන් විසින් උතුරු වියට්නාමයට බෝම්බ හෙලීම සඳහා රෝලිං තන්ඩර් (operation Rolling Thunder) නමින් තවත් මෙහෙයුමක් ආරම්භ කරනවා. එය උතුරු වියට්නාමයට එරෙහිව ඇමරිකානු හමුදා විසින් ආරම්භ කළ විශාල ගුවන් මෙහෙයුමක් වූ අතර 1965 වසරේ මාර්තු 2 වනදා සිට 1968 වසරේ නොවැම්බර් 2 වනදා දක්වා වසර තුනක අධික කාලයක් තිස්සේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා.ඒ යටතේ ටොන් මිලියන ගණනක බෝම්බ ප්‍රමාණයක් උතුරු ප්‍රදේශය වෙත හෙළනවා.
1961 වසරෙන් පසුව වියට්නාමය තුළ ඇමරිකානු භට පිරිස සීග්‍රයෙන් ඉහළ නඟින අතර එය 1964 වසර වන විට 16 500ක් දක්වා ඉහළ යනවා. මෙලෙස ඇමරිකානු හමුදා විසින් ගරිල්ලන්ට හා උතුරු වියට්නාම් හමුදාවට එරෙහිව දරුණු ආකාරයේ භූමියේ මෙහෙයුම් ආරම්භ කරන්නේ 1965 වසරෙන් පසුවයි. ඒ එම වසරේ අගෝස්තු මාසයේදී වියට් කොන් ගරිල්ලන්ට එරෙහිව ඇමරිකානු මැරීන් භටයන් විසින් ස්ටාර්ලයිට් මෙහෙයුම (Operation Starlite) ආරම්භ කරමින්.
1965 සිට 1975 දක්වා ඇමරිකානු භටයන් වියට්නාමයෙන් එළවා දැමීමට වියට් කොන්ග් ගරිල්ලන් හා උතුරු වියට්නාම් හමුදාව සිදු කළ මෙහෙයුම් පිළිබඳවත්, ඔවුන් ව විනාශ කිරීම සඳහා ඇමරිකානු සෙබළුන් විසින් සිදු කළ අදියර කිහිපයකින් යුත් මෙහෙයුම් පිළිබඳවත් තොරතුරු රැගෙන තවත් ලිපියකින් හමුවෙමු.
කවරයේ ජායාරූපය – ඇමරිකානු මැරීන් භටයන් – ස්ටාර්ලයිට් මෙහෙයුමේ දී (The Lexington Park Leader)