Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැගෙනහිර සහ බටහිර ජර්මනිය අතර ඓතිහාසික පාපන්දු තරඟය​

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දේශපාලනික වශයෙන් උණුසුම් සහ උද්‍යෝගීමත් තත්ත්වයන් ඇති වූ තරඟ කිහිපයක්ම දකින්නට පිළිවන්. මේ අතරින් ඓතිහාසික තරඟයක් වූයේ 1974 ලෝක කුසලාන තරඟාවලියේ දී පැවති බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය අතර තරඟය යි. මෙය මෙම රටවල් දෙකෙහි ජාතික කණ්ඩායම් අතර​ පවත්වන ලද එකම අන්තර්ජාතික තරඟය ලෙස ඉතිහාසගත වූ අතර එයින් ජයග්‍රහණය කළේ නැගෙනහිර ජර්මනිය යි.

(මීට අමතරව ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල්වල දී මෙම දෙරට මුණ ගැසී තිබුණ ද එහිදී බලපාන නීති අනුව ප්‍රබලම ජාතික කණ්ඩායම් වෙත තරඟ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ).

නැගෙනහිර ජර්මන් පාපන්දු

ජර්මනිය පාපන්දු ක්‍රීඩාවේ දිගු සම්ප්‍රදායක් තිබූ රටක් වුණා. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් එරට දෙකඩ වූ පසු නැගෙනහිර සහ බටහිර ජර්මනියේ වෙනමම පාපන්දු ක්‍රීඩාව දියුණු වුණා. කොමියුනිස්ට්වාදී නැගෙනහිර ජර්මනියේ දේශීය ලීගය රජයේ බලපෑම්වලට දැඩි සේ හසු වුණා. විශේෂයෙන්ම නැගෙනහිර ජර්මනියේ ඔත්තු සේවය ලෙස කටයුතු කළ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, හෙවත් ස්ටාසි ආයතනය, මෙහෙයවූ එරික් මීල්කෙ ප්‍රකට පාපන්දු ක්‍රීඩා ලෝලියකු වූ අතර ඔහු සහය දැක්වූ ක්‍රීඩා සමාජයට මේ හේතුවෙන් විශේෂ වාසි සැලසුනා.

එරික් මීල්ක (stephenr66/Flickr)

කොමියුනිස්ට් හන්ගේරියාවේ පාපන්දු ක්‍රීඩාව වර්ධනය වීමට රාජ්‍ය මැදිහත් වීම ප්‍රබල දායකත්වයක් දැක්වූ නමුත්, කොමියුනිස්ට් නැගෙනහිර ජර්මනියේ එම තත්ත්වය ඊට වෙනස් වුණා. මේ හේතුවෙන් බටහිර ජර්මනියේ පාපන්දු ක්‍රීඩාව හොඳ මට්ටමකට ළඟා වෙද්දී නැගෙනහිර ජර්මනියට එම තත්ත්වයට ළඟා වීමට බොහෝ කල් ගතවුණා.

නැගෙනහිර ජර්මනිය ඉතිහාසයේ සුදුසුකම් ලද එකම ලෝක කුසලාන තරඟාවලිය වූයේ 1974 දී බටහිර ජර්මනිය සත්කාරකත්වයෙන් පැවති තරඟාවලිය යි. මෙහි දී රටවල් දෙකම එක කාණ්ඩයක් යටතේ මූලික වටයේ තරඟ සඳහා සහභාගී වීමට නියමිත වීම විශේෂත්වයක් වුණා.

මේ අනුව ඉතිහාසයේ පළමු වතාවට දෙරට ජාත්‍යන්තර පාපන්දු තරඟයක දී තරඟ වැදීමට නියමිත වුණා. මෙම තරඟය පවත්වන ලද්දේ බටහිර ජර්මනියේ හැම්බර්ග් නගරයේ දී.

පළමු කාණ්ඩය​

නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය පළමු වටය සඳහා පළමු කාණ්ඩය යටතේ තරඟ වැදුණා. ඔවුන් සමඟ එම කාණ්ඩයට ඇතුලත් වූයේ චිලී රාජ්‍යය සහ ඔස්ට්‍රේලියාව යි. මෙය ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ජර්මනිය යන දෙරටම සහභාගී වූ පළමු ලෝක කුසලාන තරඟාවලි වීම ද විශේෂිත කරුණක් වුණා.

බටහිර ජර්මනිය 1974 ජූනි 14 වනදා චිලී රාජ්‍යය සමඟ 1-0 ක් ලෙස ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය ආරම්භ කළා. නමුත් ඔවුනගේ ක්‍රීඩා විලාශය ධනාත්මක නොවූ අතර ක්‍රීඩා ලෝලීන් ඒ පිළිබඳව සිය අප්‍රසාදය පළ කළා. මීළඟට ඔවුන් ඔස්ට්‍රේලියාව පරදා 3-0 ක් ලෙස ජයග්‍රහණයක් වාර්තා කළ නමුත් එය ද ඇතැම් ක්‍රීඩා ලෝලීන්ගේ සතුටට හේතු වූයේ නැහැ. බටහිර ජර්මන් කණ්ඩායම තවමත් සිය සාමාන්‍ය ක්‍රීඩා විලාශයට පැමිණ නැති බවට චෝදනා එල්ල වුණා. මේ අනුව නැගෙනහිර ජර්මනිය සමඟ තරඟය එළඹෙන විට බටහිර ජර්මනිය ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබා තිබුණ ද ඔවුන් එතරම් ධනාත්මක තත්ත්වයක සිටියේ නැහැ.

තරඟයට පෙර දෙපිළ​. නිල් පැහැ හැඳ සිටින්නේ නැගෙනහිර ජර්මනිය යි (Soccer Football or Whatever)

නැගෙනහිර ජර්මන් කණ්ඩායම ජූනි 14 වනදා සිය පළමු තරඟයට මුහුණ දුන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව යි. එහිදී ඔවුන් 2-0 ක් ලෙස ජයගත්තා. චිලී දේශය සමඟ තරඟය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිම වුණා. මේ අතර ඔස්ට්‍රේලියාව සහ චිලී අතර තරඟ ය 0-0 ක් ලෙස නිමව තිබූ හෙයින් බටහිර ජර්මනිය සමඟ තරඟයට එන විට නැගෙනහිර ජර්මනිය ද ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබා තිබුණා.

කෙසේ නමුත් මෙම තරඟය දෙපාර්ශවයටම වැදගත් වුණා. ධනවාදී බටහිර ජර්මනිය සහ සමාජවාදී නැගෙනහිර ජර්මනිය තම ආර්ථික දේශපාලන ක්‍රමවේදයන් පිළිබඳ තරඟයක එක් කොටසක් ලෙස මෙය දැකීම ස්වාභාවික කරුණක් වුණා.

දවසේ වීරයා – ස්පාර්වසර්

1974 ජූනි 22 වනදා මධ්‍යම යුරෝපා වේලාවෙන් සවස 7.30ට හැම්බර්ග් නගරයේ ෆෝක්ස්පාර්ක්ස්ටේඩියන් හිදී (Volksparkstadion) බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය අතර ඓතිහාසික තරඟය ඇරඹුණා. බැලූ බැල්මට මෙම තරඟයේ වඩා ප්‍රබල කණ්ඩායම වූයේ බටහිර ජර්මනිය යි. ඔවුන් සත්කාරක රාජ්‍යය වූ අතරම පාපන්දු ලොව නම රැඳවූ වීරයන් වූ ෆ්‍රාන්ස් බෙකන්බවර්, ගර්ඩ් මුලර්, සෙප් මේයර්, උලී හර්නස්, බර්ටි වොග්ට්ස් වැනි ක්‍රීඩකයන් එම පිළ නියෝජනය කළා.

ADN-ZB / Mittelstädt / යුර්ගන් ස්පාර්වසර් (Bundesarchiv, Bild 183-M1022-361 / Mittelstädt, Rainer / CC-BY-SA 3.0)

නැගෙනහිර ජර්මන් කණ්ඩායමේ මේ ආකාරයේ හුරු පුරුදු නම් ඇති ක්‍රීඩකයන් වූයේ නැහැ. මීට එක් හේතුවක් වූයේ නැගෙනහිර ජර්මන් ක්‍රීඩකයන්ට බටහිර රටවල ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබීම යි. පළපුරුද්ද අතින් ද බටහිර ජර්මන් ක්‍රීඩකයන් සිය ප්‍රතිවාදීන්ට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටියා.

මේ හේතුව නිසාම වඩා වැඩි පීඩනයක් එල්ල වූයේ බටහිර ජර්මනිය වෙත බව නොරහසක්. එමෙන්ම පළමු තරඟ දෙකේ දී ක්‍රීඩා ලෝලීන් දැක්වූ ප්‍රතිචාරයන් ද මෙම පීඩනය වැඩි කිරීමට හේතු වුණා. ප්‍රවීණ පුහුණුකරුවකු වූ හෙල්මුත් ශූන් බටහිර ජර්මන් පිළෙහි පුහුණුකරු වුණා. නායක ෆ්‍රාන්ස් බෙකන්බවර් සිය ක්‍රීඩකයන්ට කියා සිටියේ ශූන් වෙනුවෙන් මෙම තරඟය ජයගත යුතු බවයි.

කෙසේ වෙතත්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ තම විශිෂ්ඨත්වය පෙන්නුම් කිරීම කෙරෙහි කොමියුනිස්ට් රජයන් විශාල අවධානයක් යොමු කළ හෙයින් නැගෙනහිර ජර්මන් කණ්ඩායමට ද විශාල පීඩනයක් ඒ අංශයෙන් එල්ල වී තිබුණා.

මෙම තරඟය නැරඹීම සඳහා 60,200ක් වූ නරඹන්නන් පැමිණ සිටි අතර ඒ අතර නැගෙනහිර ජර්මනියෙන් විශේෂ අවසරයක් මත පැමිණි 2,000ක ආධාරකරුවන් පිරිසක් ද වුණා.

තරඟයේ පළමු භාගයේ දී දෙපිළම අවස්ථා කිහිපයක් උදා කරගත් නමුත් ගෝලයක් ලබාගැනීමට අපොහොසත් වුණා. ගර්ඩ් මුලර් එල්ල කළ පහරක් දැලේ පැති කණුවක වැදුණ අතර නැගෙනහිර ජර්මනිය ගෝලයක් ලබාගැනීමට වූ සෘජු අවස්ථාවක් අහිමි කරගත්තා.

දෙවන භාගයේ දී බටහිර ජර්මනිය තරඟය තම පාලනයට නතු කරගත් නමුත් ඔවුනට ගෝල වාර්තා කළ හැකි වූයේ නැහැ. මේ අතර 77 වන විනාඩියේ දී ලද අවස්ථාවකින් ප්‍රයෝජන ගත් යුර්ගන් ස්පාර්වසර් නැගෙනහිර ජර්මනිය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා.

ඓතිහාසික ගෝලය (Getty Images)

තරඟයේ තවත් ගෝල වාර්තා නොවූ අතර තරඟය අවසන් වූයේ නැගෙනහිර ජර්මනියට ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දෙමින්.

තරඟයෙන් වූ බලපෑම​

මෙම තරඟයේ පරාජයත් සමඟ බටහිර ජර්මන් පුහුණුකරු ශූන් දැඩි මානසික කඩා වැටීමකට භාජනය වුණා. නායක බෙකන්බවර්ට තරඟාවලියේ ඉතිරි දුර යෑමේ දී වැඩි කාර්යභාරයක් කිරීමට මේ නිසා සිදු වුණා.කෙසේ වෙතත් නැගෙනහිර ජර්මනිය සමඟ වූ පරාජය බටහිර ජර්මනියට වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පෙරලුණා. දෙවන වටයේදී ද තරඟ පැවතියේ A සහ B වශයෙන් කාණ්ඩ දෙකක් ලෙස යි. මෙහි දී පළමු කාණ්ඩය ජයගත් නැගෙනහිර ජර්මනියට එවකට ලොව ප්‍රබලම කණ්ඩායම ලෙස සැළකුණ නෙදර්ලන්තය සමඟ එකම කාණ්ඩයේ තරඟ කිරීමට සිදු වුණා. දෙවන වටයෙන් ඉදිරියට යාමට නැගෙනහිර ජර්මනියට අවස්ථාව ලැබුණේ නැහැ. ඔවුන් 1-0ක් ලෙස බ්‍රසීලයට සහ 2-0ක් ලෙස නෙදර්ලන්තයට පරාජය වී 1-1ක් ලෙස ආර්ජන්ටිනාව සමඟ තරඟය ලකුණු සම කර ගැනීමට සමත් වුණා.මේ අතර බටහිර ජර්මනිය සිය ක්‍රීඩා ශෛලිය තරඟයෙන් තරඟයට ඔප මට්ටම් කරගැනීමට සමත් වුණා. දෙවන වටයේ දී B කාණ්ඩය යටතේ තරඟ වැදුණ ඔවුන් යුගෝස්ලාවියාව 2-0ක් ලෙසත්, ස්වීඩනය 4-2ක් ලෙසත්, පෝලන්තය 1-0ක් ලෙසත් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියා. බටහිර ජර්මනිය අවසන් තරඟයට ද සුදුසුකම් ලබා එහි දී නෙදර්ලන්තය පරාජය කොට ලෝක ශූරතාව දිනා ගත්තා.

ෆ්‍රාන්ස් බෙකන්බවර් ලෝක කුසලානය අතැතිව (Getty Images)

මෙම තරඟයෙන් පසුව නැගෙනහිර ජර්මනිය නැවත වතාවක් බටහිර ජර්මනිය සමඟ තරඟයකට එකඟ වූයේ නැහැ. ඔවුනට බටහිර ජර්මනිය හමුවේ පරාජය වීමේ කැමැත්තක් නොවීම ඊට හේතුවයි.පාපන්දු ක්‍රීඩාවෙන් කෙසේ වෙතත්, පසු කාලයක දී නැගෙනහිර ජර්මනියේ ආර්ථික සහ දේශපාලන ක්‍රමය අර්බුදයක් කරා ගමන් කළා. මෙහි ප්‍රතිඵලය වූයේ 1989 නොවැම්බර් 9 වනදා බර්ලින් තාප්පයේ බිඳ වැටීම යි. එයින් වසරකට පසු නැගෙනහිර ජර්මනිය යළි බටහිර ජර්මනිය හා එක්සත් වුණා.එක්සත් වීමෙන් මාසයකට පසු, 1990 නොවැම්බරයේ දී, දෙරටේ කණ්ඩායම් අතර සුහද තරඟයක් පැවැත්වීමේ සැලසුමක් වුණා. නමුත් නැගෙනහිර ජර්මනියේ පාපන්දු ලෝලීන් ඊට පෙර දිනවල ස්ථාන කිහිපයක කලබල ඇති කිරීම හේතුවෙන් ආරක්ෂක හේතූන් මත එම තරඟය අවලංගු කෙරුණා.

Cover Image: බටහිර ජර්මන් නායක බෙකන්බවර් (සුදු ජර්සිය​) සහ නැගෙනහිර ජර්මන් නායක බර්නාර්ඩ් බ්‍රන්‍ෂ් (නිල් ජර්සිය​) තරඟයට පෙර​ (gtz.com)

මූලාශ්‍ර​:

  1. Iconic World Cup Moments: 1974 World Cup – East Germany 1-0 West Germany (Sportskeeda)
  1. Glenn Phillips and Tim Oldham, World Cup ’98, London (1998)
  1. FourFourTwo, December 2009
  1. FIFA Match Report (German DR vs German FR) June 22, 1974

Related Articles