1979 වසරේ සිට 2003 වසරේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය ආරම්භ කරන තුරු එරටේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ සදාම් හුසේන් නම් පාලකයා යි. 2003 වසරේ දී සදාම් යනු යුධකාමී නායකයෙක් බවත් ලොවට පිළිලයක් බවත්, ජන සංහාර කිහිපයකට වගකිව යුතු බවත්, ඔහු සතුව රසායනික අවි ඇති බව හා අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධානයන්වලට උදවු උපකාර කරන බව පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කෙරෙනවා.
ඇමෙරිකානු හමුදාවලට මුහුණ දීමට තරම් හමුදා ශක්තියක් ඒ වන විට සදාම් හුසේන් ගොඩනගාගෙන තිබුනේ නෑ. විශේෂයෙන් ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට තරම් ශක්තිමත් ගුවන් ආරක්ෂණ පද්ධතියක් ඉරාකය සතුව පැවතියේ නෑ. ඒ හේතුවෙන් යුද්ධයෙන් පාරජයක් ලබන ඔහුව 2003 වසරේ දෙසැම්බර් මාසයේ දී අල්ලා ගැනීමට ඇමෙරිකානු හමුදා සමත් වෙනවා.
ඇමෙරිකානු හමුදාව විසින් ඔහුව අල්ලා ගන්නේ සදාම්ගේ උපන් ගම වන ටික්රිට් හි භූගත බංකරයක සැඟවී සිටිය දී යි. ඉන් පසුව එනම්, 2006 වසරේ දී ඇමෙරිකානු හිතවත් දේශීය අධිකරණයකින් සදාම්ට මරණ දණ්ඩනය නියම කරනවා. ඒ සමූල ඝාතන චෝදනාවකට වැරදිකරු කරමින්. සදාම්ට මරණය ගෙන දුන් ඒ සංහාරය හඳුන්වන්නේ ඩුජායිල් සංහාරය නමින්. සදාම්ගෙන් පසුව ඔහුගේ සහචරයන් පිරිසකට ද මරණ දඬුවම හිමිවෙනවා.
ෂියා ගෝත්‍රිකයන් 148 දෙනක් ඝාතනය කළ ඩුජායිල් සංහාරය
මේ සිදුවීමට මුල් වන්නේ 1982 වසරේ ජූලි 8 වන දින සිදු වූ සදාම් හුසේන් ඝාතනය කිරීමට දැරූ අසාර්ථක උත්සාහයක්. ඩුජායිල් කියන්නේ ෂියාවරුන් සිය බල පරාක්‍රමය පතුරවන ප්‍රදේශයක්. ඔවුන් ඉරාකයේ පක්ෂයක් නිර්මාණය කර තිබූ අතර එය හඳුන්වන්නේ දවා පක්ෂය (Dawa Party) ලෙස යි. 1980 වසරේ දී දවා පක්ෂය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන සදාම් එය ඉරාකය තුළ තහනම් කිරීමට කටයුතු කරනවා.
දවා පක්ෂය විසින් සුන්නි ඉස්ලාමයට අයත් සදාම් හුසේන් ඝාතනය කිරීමට උත්සාහ දරන්නේ ඉහත කී දිනයේ දී යි. ඔහු ගමන් ගත් මෝටර් රථයට ෂියාවරුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. මඟ රැක සිට ඔවුන් මෝටර් රථ පෙළ වටකරගෙන වෙඩි තැබීම ආරම්භ කරන අතර දෙපාර්ශවය අතර පැය හතරකට ආසන්න කාලයක් පුරාවට වෙඩි හුවමාරුව පවතිනවා.
වෙඩි හුවමාරුවෙන් සදාම්ට හානියක් නොවන නමුත් ඔහුගේ ශරීර ආරක්ෂකයන් දෙදෙනක් මරණයට පත්වෙනවා. වෙඩි තැබීමට හවුල් වූ ෂියාවරුන් බොහෝ දෙනක් ඝාතනය වන අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගනු ලබනවා.
කුපිත වූ සදාම් සංහාරයකට අණ කරයි
මේ සිදුවීමෙන් දැඩි කෝපයට පත්වෙන සදාම් කැරැල්ලට සම්බන්ධ වූ අයගේ පවුල්වල පිරිස් පවා ඝාතනය කිරීමට හා අත්අඩංගුවට ගෙන වධ හිංසා පැමිණවීමට අණ කර සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ෂියා ගෝත්‍රිකයන් 148දෙනකු පමණ ඝාතනය වන අතර තවත් දහස් ගණනක් කාන්තාරයේ පිහිටි සිරකදවුරුවලට ගාල් කරනවා.
සදාම්ට එරෙහි නඩු විභාගය
2003 වසරේ දෙසැම්බර් 13 වන දා ඇමෙරිකානු හමුදාව සදාම්ව අල්ලා ගැනීමෙන් පසුව බැඩ්ගෑඩ් හි කඳවුරක රඳවනවා. අනතුරුව සදාම්ට එරෙහිව නඩු විභාගය ආරම්භ වෙනවා. එහිදී ඩුජායිල් සංහාරය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවේ දී ඔහුට මනුෂ්‍යත්වයට එරෙහි කළ අපරාධ සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වෙනවා. එම චෝදනාවලට සදාම් වැරදිකරු ලෙස අධිකරණයෙන් තීරණය කරන අතර 2006 වසරේ දෙසැම්බර් 30 වන දා ඔහුව එල්ලා මැරීමට විනිසුරුවන් තීරණය කරනවා.
සදාම්ට එරෙහිව නඩු විභාගය කරගෙන යන ලද්දේ ඇමෙරිකානු ආක්‍රමණයෙන් පසු පිහිට වූ ඉරාක විශේෂ අධිකරණය (Iraqi Special Tribunal) මඟින්. මෙහිදී මෙම අධිකරණය කෙරෙහි ජාත්‍යන්තර විවේචන එල්ල වූ අතර ඔවුන් පවසන්නේ ඇමෙරිකානුවන්ට හිතවත් පාලනයක් යටතේ සදාම් හුසේන්ව එල්ලා මරා දැමූ බව යි. එම අධිකරණය පිහිටුවන්නේ ඇමෙරිකානු පාලනය යටතේ 2003 වසරේ දී යි. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරන්නේ සදාම් හුසේන් ජාත්‍යන්තර අධිකරණයක් වෙත රැගෙන නොගොස් දේශීය අධිකරණයකින්ම දඬුවම් පැනවූ බව යි.
සදාම්ට එල්ල වූ අනෙක් බරපතල චෝදනාව – අන්ෆාල් වර්ග සංහාරය
සදාම් එල්ලා මරණ විටත් ඔහුට හා ඔහුගේ සහචරයන්ට විරුද්ධව තවත් නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒ 1986 – 1989 කාල වකවානුව තුළ සදාම්ගේ උපදෙස් මත උතුරු ඉරාක් කුර්දිස්තාන් වැසියන් 50 000 – 180 000ත් අතර ප්‍රමාණයක් මරා දැමීම යි. එය වර්ග සංහාරයක් ලෙස ලෝක ප්‍රජාව විසින් හැඳින්වූ අතර මේ සඳහා ඉරාක හමුදා විසින් විශාල ප්‍රමාණයේ රසායනික ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙය අන්ෆාල් වර්ග සංහාරය (Anfal genocide) ලෙස ද හඳුන්වනවා.
සදාම් එල්ලා මැරීමෙන් පසුව ද මෙම වර්ගවාදී ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග වෙන අතර එහි ප්‍රධාන චූදිතයා ලෙස නම් කෙරෙන්නේ අලී හසාන් අල්-මජීඩ් නම්, සදාම්ගේ ඥාති සොහොයුරෙක්. මොහුගේ අන්වර්ථ නාමය වන්නේ කෙමිකල් අලි යන්න යි. නඩු විභාගය අවසානයේ දී අලී හසාන්ට මෙන්ම, වර්ග සංහාරය වෙන සමයේ ඉරාකයේ සිටි ආරක්ෂක ඇමතිවරයාට හා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට මරණ දණ්ඩනය නියම වෙනවා. 2010 වසරේ දී කෙමිකල් අලී ව එල්ලා මරා දමනවා.