එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීම සහ සදාම් හුසේන් බලයෙන් පහ කිරීම

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයක් විසින් ඉරාකය ආක්‍රමණය කිරීම සහ ඉරාක පාලක සදාම් හුසේන් බලයෙන් පහ කිරීම 21 වන සියවස මුල් කාලයේ දී ලෝක දේශපාලනයෙහි විශාල විවාදයක් නිර්මාණය කළා.

මෙම ආක්‍රමණය සිදු වූයේ ලෝකයේ බොහෝ රටවල විරෝධය මැද යි. එමෙන්ම ඊට සම්බන්ධ වූ රටවල ද විශාල ජනතා විරෝධයක් මෙම ආක්‍රමණයට එරෙහිව ගොඩ නැගුණා. සදාම් පාලනය බිඳ වැටීමෙන් පසු සිදුවූ සිද්ධීන් විසින් ඇමරිකාවේ කීර්තියට බරපතල හානියක් සිදු කළ අතර විශාල ඇමරිකානු ජීවිත ප්‍රමාණයක් අහිමි වීමට ද ඉරාක අර්බුදය හේතුවක් වුණා.

ඉරාක ආක්‍රමණය සඳහා මාර්ගය

එකල ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ පාලනයෙහි එක් සාර්ථකත්වයක් වූයේ ඇෆ්ඝනිස්ථානය වෙත යොමුව තිබූ අවධානය ඉරාකයට එරෙහිව යුධ වැදීම දක්වා වෙනස් කිරීමට සමත් වීම යි. 2001 සැප්තැම්බර් 11 වන දා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එවකට අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට නායකත්වය දුන් ඔසාමා බින් ලාඩ්න්ට රැකවරණය දුන් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇමරිකාව යුධ මෙහෙයුම් ඇරඹූ අතර ඊට ලොකු විරෝධයක් මතු වූයේ නැහැ. එම වසර නිම වෙද්දී ඇෆ්ඝන් තලේබාන් පාලනය පෙරළා දැමීමට ඇමරිකාව ප්‍රමුඛ ත්‍රස්ත විරෝධී සන්ධානය සහ තලේබාන් විරෝධී ඇෆ්ඝන් උතුරුදිග සන්ධානය සමත් වුණා.

තලේබාන් පාලනය බිඳ වැටීමෙන් පසු ඇමරිකානු පාලනය තම අවධානය ඉරාකය දෙස යොමු කළා. බුෂ් විසින් කොන්ග්‍රස් සභාව අමතා කරන වාර්ෂික කතාව මේ සඳහා යොදාගත්තා. 2002 ජනවාරියේ ඔහු කළ කතාවේදී ත්‍රස්තවාදයට උපකාර කරන “අයහපත්කමෙහි අක්ෂය” (Axis of Evil) ලෙස ඉරාකය​, ඉරානය සහ උතුරු කොරියාව යන රාජ්‍යයන් නම් කළා. නමුත් මෙහි වැඩි අවධානය යොමු වූයේ ඉරාකය දෙසට බව පෙනෙන්න තිබුණා.

ඉරාකය දෙසට එල්ල වූ මූලික චෝදනාව වූයේ එරට සමූහ ඝාතක අවි තිබෙන බවත් එය කලාපයේ සාමයට සහ ඇමරිකානු හමුදාවන්ට තර්ජනයක් වන බවත් යන කරුණු යි. ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකම ඇමරිකානු හමුදා රැඳී සිටියා.

සදාම් හුසේන් පාලනය

සදාම් හුසේන් නියෝජනය කළ අරාබි සමාජවාදී බාත් පක්ෂය ඉරාකයේ බලයට පැමිණියේ 1968 දී යි. එකල ඔහු එරට අගමැති වූ අතර 1979 දී ඔහු කලින් ජනාධිපතිවරයා වූ අහමඩ් හසන් අල්-බකර් බලයෙන් ඉවත් කර එම තනතුරට පත් වුණා.

ඉරාකයේ ප්‍රධාන ජන කොටස් තුනක් සහ විවිධ සුළු ජනකොටස් සිටිනවා. ප්‍රධාන වශයෙන් අරාබි ජාතිකයන් සහ කුර්දි ජාතිකයන් ලෙස ජනවාර්ගික පදනමෙන් ප්‍රධාන කණ්ඩායම් දෙකක් වන අතරම, අරාබීන් ද සුන්නි ඉස්ලාම් ලබ්ධික සහ ශියා ඉස්ලාම් ලබ්ධික ලෙස බෙදෙනවා. මේ අනුව ඉරාකයේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් වන්නේ ශියා ලබ්ධික අරාබීන්, සුන්නි ලබ්ධික අරාබීන් සහ කුර්දීන්. මොවුන් අතර එතරම් හොඳ සාමයක් නැහැ.

සදාම් සහ ඔහුගේ වැඩිමහළු පුත් උදේයි (Getty Images)

2003 තෙක්ම ඉරාකය පාලනය කළේ සුන්නි අරාබි කණ්ඩායම් විසින්. සදාම් ද සුන්නි අරාබි ජාතිකයකු වුණා. ඔහුගේ පාලන සමය තුළ ශියා අරාබීන්ට මෙන්ම කුර්දීන්ට ද දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු වුණා. 1980 දශකයේ දී කුර්දීන් මර්ධනය කිරීම සඳහා රසායනික අවි ප්‍රහාර පවා එල්ල කළ බවට බොහෝ සාධක තිබෙනවා.

1990 අගෝස්තුවේ දී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරනු ලැබුණා. ඉන්පසු ජාත්‍යන්තර ප්‍රජාව ඉරාකයට එරෙහි යුධ මෙහෙයුමක් දියත් කළා. ඊට නායකත්වය දුන්නේ ඇමරිකානුවන් විසින්. 1991 දී ඉරාකයට එරෙහිව දියත් වූ ගල්ෆ් යුද්ධයෙන් පසු කුවේටයෙන් ඉරාක හමුදා පළවා හැරුණා. නමුත් එම අවස්ථාවේ සදාම් පාලනය එළවා දැමීම දක්වා යුධ මෙහෙයුම් දියත් කෙරුණේ නැහැ. 2002 වන විට ජෝර්ජ් ඩබ්. බුෂ් පාලනයේ අදහස වූයේ සදාම් බලයෙන් එළවීම යි.

යුධ විරෝධය​

ඉරාකය සතුව සමූහ ඝාතක අවි ඇතැයි යන චෝදනාව සනාථ කිරීම පහසු වූයේ නැහැ. ඇමරිකාව සහ එරටට විශාල වශයෙන් සහය දැක්වූ බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් දිගටම කියා සිටියේ ඉරාකය සතුව එවන් අවි ඇති බව යි. එහෙත් අනෙකුත් රාජ්‍යයන් බොහොමයක් ඒ පිළිබඳ දැරුයේ සැකමුසු ආකල්පයක්.

මේ හේතුව නිසාම, ඉරාක ආක්‍රමණය සඳහා ජාත්‍යන්තර මුහුණුවරක් ලබාදීමට බුෂ් පාලනය දැරූ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වුණා. ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය හැරුණ කල්හි, ඊට සහය දැක්වූයේ රාජ්‍යයන් අතලොස්සක් පමණයි. මේ අතර ඇමරිකාවේ ද විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ද දැවැන්ත යුධ විරෝධී උද්ඝෝෂණ මතු වුණා. බ්ලෙයාර්ගේ කම්කරු පක්ෂය තුළින්ම පවා ඔහුට එරෙහි විරෝධතා මතු වුණා.

මුලින්ම එල්ල වූ ගුවන් ප්‍රහාර (NBC)

කෙසේ වෙතත් මේ කිසිවකින් බුෂ් පාලනයේ තීරණය වෙනස් කෙරුණේ නැහැ. 2003 මාර්තු 20 වන දා සදාම්ගේ ජනාධිපති මැදුරක් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් යුද්ධය ඇරඹුණා. මාර්තු 21 වන දා ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා සිය දැවැන්ත ඉරාක ආක්‍රමණය ඇරඹූවා. මේ සඳහා ඉරාක කුර්දි පැශ්මර්ගා සෙබළුන් ද එක් වුණා.

සදාම් පාලනය බිඳ වැටේ

ඇමරිකානු ආක්‍රමණයේ දැවැන්ත යුධ ශක්තිය හමුවේ වැඩිකල් ප්‍රතිරෝධය දැක්වීමට ඉරාක සේනාංක සමත් වූයේ නැහැ. කෙටි කලකින් දකුණුදිග ඉරාකයේ තෙල් ළිං ආල්ලාගැනීම සඳහා ආක්‍රමණික හමුදා ක්‍රියා කළා. මෙහිදී බ්‍රිතාන්‍ය හමුදාවන්ට ආක්‍රමණයේ මුල් දිනයේ දීම උම් කාසාර් වරායේ දී සැලකිය යුතු ප්‍රතිරෝධයකට මුහුණ දීමට සිදු වුණා. එම සටන නිම වූ පසු බ්‍රිතාන්‍ය හමුදා බස් රා නගරය කරා ගමන් ගත්තා.

ඇමරිකානු සේනා නසිරියා සහ නජාෆ් ප්‍රදේශයන්වල දී තරමක ප්‍රහාරයන්ට මුහුණ දුන්නා. නමුත් බැග්ඩෑඩ් අගනුවර කරා යන ගමනේ දී වැදගත්ම ස්ථානය වූයේ කර්බාලා ප්‍රදේශය යි. බැග්ඩෑඩයට දකුණින් පිහිටි කර්බාලා ප්‍රදේශයේ කිලෝමීටර් 40ක් පමණ පළල් “කර්බාලා හිඩැස​” පිහිටා තිබෙනවා. එය යුප්‍රටීස් නදිය සහ රසසා විල අතර වන ප්‍රදේශයක්. මෙහි ඉරාක හමුදා විසින් සිය විශේෂ බලකායක් වූ “රිපබ්ලිකන් ආරක්ෂක බලකාය​” ඇතුළු ප්‍රබල සේනාංක රැඳවූවා. එම ප්‍රදේශයට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානුවන් කටයුතු කළා.

මෙයින් පසු ඇමරිකානුවන් උතුරුදිග ප්‍රදේශයෙන් බැග්ඩෑඩය වෙත පැමිණීමට උත්සාහ කරන සේයාවක් පෙන්වා සිටියා. කුර්දි සේනාවල ක්‍රියාකාරීත්වය ද මෙයට හේතු වුණා. මේ අනුව ඉරාක බලධාරීන් තීරණය කළේ කර්බාලාවට වඩා උතුරුදිගින් එන ප්‍රහාර වැදගත් විය හැකි බව යි. ඔවුන් තම සේනාංකවලින් කොටසක් එදෙසට යැවීමට කටයුතු කළා.

බැග්ඩෑඩය කරා. අප්‍රේල් 7, 2003. නගරයෙන් දකුණුදිග පිහිටි පාලමකදී. (AP)

මෙම අවසරයෙන් ප්‍රයෝජනය ගත් ඇමරිකානුවන් කර්බාලා දෙසට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. අප්‍රේල් 6 වන දා වෙද්දී කර්බාලා ප්‍රදේශය හරහා ඇමරිකානු සේනා වේගයෙන් බැග්ඩෑඩය කරා ගමන් ගත්තා.

සාමාන්‍යයෙන් නාගරික ප්‍රදේශයක සටන් කිරීම දැඩි ජීවිත හානි අපේක්ෂාවෙන් කළ යුත්තක් වනවා. ඇමරිකානුවන් ද බැග්ඩෑඩයේ සටන් කිරීම පිළිබඳ සිටියේ යම් දෙගිඩියාවකින්. එහෙත් ප්‍රබල ගුවන් ප්‍රහාර හමුවේ ඉරාකයේ හොඳම හමුදා බල ඇණි කීතු කීතු වී තිබුණා. අප්‍රේල් 9 වන දා බැග්ඩෑඩය විශාල අභියෝගයකින් තොරව අල්ලාගනු ලැබුණා. සදාම් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වූ උදේයි සහ කුසේ පළාගොස් තිබුණා.

අප්‍රේල් 9 වන දා සවස් යාමයේ සදාම් හුසේන්ගේ විශාල ප්‍රතිමාවක් බැග්ඩෑඩයේ දී බිම දමනු ලබන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ සමස්ථ ලෝකයාම දුටුවා. සදාම්ගේ පාලනය අවසන් බවට වෙනත් සාධක අවශ්‍ය වූයේ නැහැ.

අස්ථාවරත්වය

සදාම් පාලනය බිඳ දැමුව ද ඉරාකය පාලනය කිරීම පිළිබඳ ක්‍රමවත් සැලසුමක් ඇමරිකානුවන් වෙත තිබුණු බවක් දිස් වූයේ නැහැ. පෝල් බ්‍රෙමර් යටතේ අතරමැදි පාලන අධිකාරියක් පිහිටවූ නමුත් බ්‍රෙමර්ට ඉරාකය පිළිබඳ හොඳ වැටහීමක් ඇති බව පෙනෙන්නට වූයේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ ඉරාකය තුළ විශේෂයෙන්ම සුන්නි ඉස්ලාමික කණ්ඩායම්වල කැරලි ඇති වීම යි. එමෙන්ම ඇෆ්ඝනිස්ථානයේ දී පරාජය වූ අල් කයිඩාවට ද ඉරාකයට රිංගා ගැනීමට අවස්ථාව ලැබුණා.

සැඟව සිටි උදේයි සහ කුසේ හුසේන් සහෝදරවරුන් 2003 ජූලි 22 වනදා හමුදා මෙහෙයුමකින් මරා දැමුණා. සදාම් හුසේන් ද දෙසැම්බර් 13 වන දා අත්අඩංගුවට ගැනුණා. සදාම් අත්අඩංගුවට ගැනීමෙන් ඉරාක කැරලි නිම වේ යයි ඇමරිකානුවන් බලාපොරොත්තු වූවා නම් එය කඩ වුණු බලාපොරොත්තුවක් බවට පත් වූවා. බොහෝ ඉරාක වැසියන්ට 2003 අප්‍රේල් 9 වනදායින් පසු සදාම් හුසේන් යනු අවලංගු කාසියක් වූ අතර ඔවුන් විරුද්ධ වූයේ ඇමරිකානුවන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට යි.

යුධ අපරාධ පිළිබඳ නඩු විභාගයකින් පසු 2006 දෙසැම්බර් 30 වනදා සදාම් හුසේන් එල්ලා මරා දැමුණා. එහි වීඩියෝවක් පිට වීමෙන් පසු ඉරාක රජය කෙරෙහි එරට සුන්නි ජාතිකයන්ගේ කෝපය තවත් වැඩි වුණා. නමුත් ඉරාක රජයට විරෝධය දැක්වූ එකම කණ්ඩායම සුන්නි ලබ්ධිකයන් නොවෙයි. මුක්ටාඩා අල් සදාර් වැනි ශියා නායකයින් ඇතැම් විට ඊට වඩා ප්‍රබල අභියෝගයක් වුණා.

ඇමරිකානු ප්‍රතිපත්ත්වල අසාර්ථකත්වය පිළිබඳ කදිම සාධකයක් ලෙස බොහෝ දෙනා සදාම්ගෙන් පසු ඉරාකයේ ගමන් මඟ දකිනවා.

Cover Image: සදාම් හුසේන් පිළිමය බිම හෙළීම, අප්‍රේල් 9, 2003. බැග්ඩෑඩ් (Getty Images)

මූලාශ්‍රයයන්:

  • Saddam: The Secret Life by Con Coughlin
  • State of Denial: Bush at War, Part III by Bob Woodward

Related Articles

Exit mobile version