ශ්‍රී දළදා මාලිගාවේ වතාවත්වල දී, විශේෂයෙන් ම සෑම වසරක ම ඇසළ මාසයේදී ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර පැවැත්වීමේ දී ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී පත්තිනි සහ ශ්‍රී කතරගම යන සිවු මහා දේවාලයන්ට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ඉතිහාස කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ 1753 වර්ෂයෙන් පසු ව, එනම් කිර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සිට වර්තමානය දක්වා මෙම දේවාල, ශ්‍රී දළදා පෙරහරේ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇති බවයි.
ඓතිහාසික මහනුවර සිවු මහා දේවාලයන්හි භෞතික පිහිටීම පිළිබඳ ව සැලකීමේ දී ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම සහ ශ්‍රී පත්තිනි යන දේවාල තුන ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ පිහිටා ඇති අතර ශ්‍රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්‍යයට වන්නට පිහිටා ඇත. මෙයින් ශ්‍රී නාථ හා ශ්‍රී පත්තිනි යන දේවාල දෙක දළදා මාලිගා චතුරශ්‍රය තුළ ප්‍රාකාරයකින් වට වී තිබෙනු දක්නට ලැබේ.
නාථ දේවාලය
ඓතිහාසික ඇසළ පෙරහරේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහර නාථ දේවාලයේ පෙරහරයි. බෞද්ධ සාහිත්‍යයට අනුව නාථ දේවාලය කැප වී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි.
ශ්‍රී ලංකාවේ හයවැනි රාජධානිය වූ ගම්පොල සිය රාජධානිය කොට ගත් තුන්වන වික්‍රමබාහු රජු ( ක්‍රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් ලවා ජය භූමියක් සෙවී ය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණා රාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කිපයක් රැගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබු පඳුරකට වීසි කළ විට ඉන් සුදු හාවකු මතු වූ බව මුලාශ්‍රයන්හි සඳහන් වේ. තවත් ගල් කැටයක් වීසි කළ විට සිවලෙකු මතු වු අතර, එම සිවලා හාවා ලුහුබැඳ ගියේය. හාවා තමා සැඟ වී සිටි පඳුර අසල ගස් බෙනය දක්වා දුව විත් ආපසු හැරී සිවලා පසුපස ලූහු බැන්දේ ය යන සිද්ධියක් ද, කොටියකු විසින් ලුහුබඳිනු ලැබු මුවකු මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලුහුබඳින ලද සිද්ධියක් ද, යන ආශ්චර්යයජනක දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සලකා තිබේ.
පසුව සෙංඛණ්ඩ නම් බමුණා වෙතින් දැනගත් විස්තර රාජපුරුෂයන් මේ බව රජතුමාට දැන්වීමෙන් පසු තුන්වන වික්‍රමබාහු රජතුමන් මෙම ස්ථානයෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩනැංවූ බව කියැ වේ. බමුණාගේ නමින් එම නගරය සෙංකඩගලපුරය ලෙස නම් වී ඇතැයි පුරා වෘත්තයන්ගෙන් කියැ වේ. චුලබෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජු දවස නාථ නම් බ්‍රාහ්මණයකු විසින් ගෙන එන ලද දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ නම් වී යැයි පැවසෙන මතයක් ද පවති.
මෙම දේවාල ගොඩනැඟිල්ල සෙංකඩගලපුර (මහනුවර) පුරවරයේ ඇති පැරණි ම ගොඩනැගිල්ලකි. ශ්‍රී දළදා මාලිගාවටත් පෙරාතුව මෙම ගොඩනැඟිල්ල ඉදි කළ බව කියැ වේ. මහනුවර රජවරුන් ඔටුනු පැළඳවීම සහ කඩු කරලීම සිදුකළේ ද, රජුට නමක් තැබීමේ දි පුස්කොළවල ලියූ නම් කිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරා ගැනිම සිදු කළේ ද නාථ දෙවියන් ඉදිරියේ බව සාහිත්‍යයේ සඳහන් වේ. කප් සිටුවීමේ දි කපෙහි මුල් කොටස බෙදා දෙනුයේ ද, දිය කැපුම් මංගල්‍යයේ දී පළමු ව ගැටඹේ තොටට බැසීමට හැක්කේ ද නාථ දේවාලයටයි. නාථ දෙවියන්ගේ වර්ණය කහ බවත්, රථය හංසයා බවත් ඓතිහාසික මුලාශ්‍රවල සඳහන් වේ.
ශ්‍රී විෂ්ණු දේවාලය
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරෙහි ගමන් ගන්නා දේවාල පෙරහර අතර දෙවනුවට ගමන් කරනුයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහරයි. ගුරුළා සිය රථය කරගෙන දස අවතාරයෙන් පෙනී සිටිමින් සෙත් ශාන්තිය සලසන, මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරී ව ආරක්ෂාව සලසන බවට පුරාතනයේ සිට ජනතාව විශ්වාස කරන විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කැප කොට ඇත. මෙම දේවාලයට අමතර ව, ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් කැපවු තවත් ප්‍රධාන දේවාල කිපයක් ම දිවයිනේ පිහිටා තිබේ.
කොළඹ සිට මහනුවරට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයෙහි, මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන අලූත්නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුණු එවැනි පැරණිත ම දේවාලවලින් එකකි. අතීතයේ දී මහනුවර ඇසළ මහා පෙරහරට කලින් පෙරහර පැවැත්වෙන අලූත්නුවර දේවාලයේ සිට කප පේ කොට (වතාවත් සිදු කර) සිවු මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාර දුන් බව කියැ වේ.
මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැඟීමෙන් අනතුරුව එය මහා දේවාලය වශයෙන් හැඳින්වීමට පටන් ගත් අතර රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බඳින චාරිත්‍රය ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ දී බව ඉතිහාස මුලාශ්‍රවල සඳහන් වේ. ඇසළ මහා පෙරහරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත්, පෙරහරින් පසු සිදු වන ‘වලියක් නැටුම’ පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගනි.
ශ්‍රී කතරගම දේවාලය
14 වන සියවස දී පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර ඓතිහාසික කතරගම දේවාලය 16 වන සියවස දී වඩාත් ජනප්‍රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවි නමින් කැපවී ඇත. කැති නැකතින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත්තේ ය. මුහුණු සයකින් හා අත් දොළොසකින් යුත්, රක්ත වර්ණ ශරීරයකින් යුතු කතරගම දෙවියන් මොණරා සිය රථය ලෙස යොදා ගන්නා බව ජනතාව විශ්වාස කරන අතර කතරගම දෙවියන් උදෙසා සිදු කරන නර්තන අතර කාවඩි නැටුම ප්‍රධාන තැනක් ගනී.
බොහෝ සිංහල නගර සහ ග්‍රාමවල කතරගම දෙවියන් උදෙසා පවතින පූජස්ථාන දැකගත හැකි වේ. ඔහු එක ආරකෂක දෙවි කෙනකු යැයි සලකා ඇත. වන්දනාකරුවන් ඉතා අසීරු ලෙස කැලය තුළින් පයින් ගමන් කර දෙවියන්ට වූ බාර ඔප්පු කර ඇත. වන්දනාකරුවන් ලෙස ලංකාවේ සහ ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජනතාව මෙන් ම සිංහලයන් ද හැඳින්විය හැක.
ශ්‍රී ලංකාවේ බොහෝ සිද්ධස්තාන, වැඩි වශයෙන් ම නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සිද්ධස්ථාන කතරගම දේවාලය හා සම්බන්ධතා පවත්වන අතර ඔවුන්ගේ පූජෝත්සව සදහා උතුරේ සිට වන්දනාකරුවන් ගෙන්වා ගැනීම සිදුකරයි. 15 වන ශතවර්ෂයේ සිට 17 වන ශතවර්ෂය දක්වා කාලය තුළ ඉදි වූ ඇම්බැක්කේ වැනි රට අභ්‍යන්තරයේ පිහිටි සිද්ධස්ථාන මඟින් ද සිංහලයන් කතරගම දෙවියන්ට අනුග්‍රහ දක්වා තිබිණි.1950 සිට කතරගම දෙවියන් ඇදහීම සිංහල ජනතාව තුළ දේශාභිමානී හැඟීමක් එක්කර තිබිණි. ජනතාව සිද්ධස්ථානය වාර්ෂිකව වන්දනාකරන අතර වාර්ෂික සැණකෙළි ද පවත්වයි. මෙහිදී මිනිසුන් ආවේෂ වීම ද, හින්දු දහම හා සබැඳි ගිනි පෑගීම, කාවඩි හා පිටේ ගසාගෙන කොකුවලින් ඇදගෙන යාම වැනි පූජාවිධි ද සිදු කරයි.
ශ්‍රී පත්තිනි දේවාලය
ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලිවලින් එක් ගොඩනැගිල්ලක් වශයෙන් ඓතිහාසික සෙංකඩගල ශ්‍රී පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ ඉමහත් පුජෝපහාරයට පත්වන පත්තිනි දේව මැණියන් සත් වාරයක් ඉපදී ඇතැයි, ජනප්‍රවාදයන්හි දැක්වේ. පත්තිනි දේවිය වරෙක ජලයෙන් ද, වරෙක මලෙන් ද, වරෙක නාග කඳුලෙන් ද, වරෙක කදුරු පොත්තෙන් ද, වරෙක පිනි බිඳුවෙන් ද, වරෙක අකුණු සැරෙන් ද, අවසානයෙහි අඹෙන් ද, උපන් බව ඓතිහාසික මුලාශ්‍රවල සඳහන් වේ.
විශේෂයෙන් පත්තිනි ඇදහිල්ල තුළින් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත් සැලසෙන බව විශ්වාස කෙරෙන අතර, සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ට රෝග, සුවපත් කරගැනීමට හා දරුවන් නොමැති අයට දරුවන් ලබාගැනිමට භාර හාර වන, උත්තම දේවතාවියක් ලෙස පත්තිනි දේව මැණියෝ ගෞරවාදරයට බඳුන් වෙති. පත්තිනි දේවාලයේ පෙරහර ඇසළ පෙරහරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහරයි. මෙම දේවාල පෙරහරේ වැඩමවන ඇතා පිට බැඳි රන්සිවිගෙය තුළ තැන්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මැණියන්ගේ රනින් නිමවු කුඩා ප්‍රතිමා වහන්සේ නමකි.