ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තය බලා යන අතරවාරයේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තුර්කියේ සංචාරයක නියැළුණා. 1915 වසරේ ගැලිපොලි අර්ධද්වීපයේ සටන් සිදු වූ ස්ථාන දැකබලා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වුණා. කණ්ඩායමේ මානසික තත්ත්වය ඉහළ නැංවීම මෙම ගමනේ බලාපොරොත්තුව වුණා.
ගැලිපොලි යනු විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතිකයන්ට අමතක නොවන මතකයක් වනවා. ගැලිපොලි ගොඩබැසීම් සිදු වූ අප්‍රේල් 25 වන දා එම දෙරටෙහි “ඇන්සැක් දිනය” ලෙස සමරනු ලබනවා. ඇන්සැක් යන වදනෙන් ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා බලකා යන අර්ථය හැඟවෙනවා. (Australian and New Zealand Army Corps – ANZAC). ඇන්සැක් දිනය යනු ගැලිපොලි සටන පමණක් නොව පළමු ලෝක යුද්ධයෙන් මියගිය සියළු ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා සාමාජිකයන් සිහි කෙරෙන දිනය යි. නමුත් එම දිනය භාවිතයට ආවේ ගැලිපොලි යුධ ව්‍යාපාරය හේතුවෙන්.
තුර්කිය යුද්ධයට එළඹීම
පළමු ලෝක යුද්ධය ඇරඹුණේ 1914 ජූලි 28 වන දා ඔස්ට්‍රියා-හංගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමගයි. සතියක් තුළ දී ප්‍රංශය, රුසියාව සහ බ්‍රිතාන්‍යය, සර්බියාව ආදී රටවල් එක් පාර්ශවයකත්, ජර්මනිය සහ ඔස්ට්‍රියා-හංගේරියාව අනෙක් පාර්ශවයේත් වශයෙන් යුරෝපීය රටවල් දෙකට බෙදී යුධ වැදීමට වුණා.
මේ සමයෙහි තුර්කිය පාලනය කළේ ඔටෝමන්වරුන් විසින්. ඔටෝමන් අධිරාජ්‍යය ජර්මනිය සමග ඉතා සමීප සබඳතාවක් ගොඩ නගාගෙන තිබුණා. 1914 ඔක්තෝබර් 29 වන දා තුර්කි නවික සේනා කළු මුහුදේ රුසියානු නවික යාත්‍රාවලට පහර දෙමින් යුද්ධයට අවතීර්ණ වුණා.
1914 දෙසැම්බරයේදී තුර්කි හමුදා සහ රුසියානු හමුදා අතර කොකේසස් ප්‍රදේශයේ ඇති වූ සටන්වලින් රුසියාවට තරමක ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුණා. මේ අවස්ථාවේ තුර්කි අවධානය වෙනතක යොමු කෙරෙන ප්‍රහාරයක් දියත් කරන ලෙස රුසියානුවන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියා. මෙම ඉල්ලීම බ්‍රිතාන්‍ය යුධ ලේකම් හර්බර්ට් කිච්නර් වෙත 1915 ජනවාරි 2 වන දා ළඟා වුණා. තුර්කියට එරෙහිව විශාල යුධ හමුදාවක් යෙදවීමට මේ අවස්ථාවේ දී හැකියාවක් නොමැති බව තීරණය කළ කිච්නර් ඩර්ඩනැලිස් සමුද්‍ර සන්ධිය දෙසට නාවික ප්‍රහාරයක් දියත් කිරීම පිළිබඳ අවධානය යොමු කළා.
නාවික මෙහෙයුමක්
මෙම අදහස වැඩිදියුණු කළ වින්ස්ටන් චර්චිල් ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධිය කපාගෙන යන ආකාරයේ තරමක විශාල නාවික මෙහෙයුමක් සඳහා කිච්නර් කැමති කරවා ගත්තා. මේ අනුව සමුද්‍ර සන්ධියේ අතුරා තිබූ බෝම්බ සහ දෙපස බලකොටු විනාශ කරමින් එල්ල කරන ප්‍රහාරයක් සඳහා අද්මිරාල් සැක්වින් කාර්ඩන් විසින් සැලසුමක් සකස් කළා. ප්‍රංශයේ ද සහය ලබාගෙන මේ සඳහා පැරණි යුධ නැව් සමූහයකින් සමන්විත නාවික සේනාංකයක් එකතු කරගත්තා.
මෙම මෙහෙයුම එතරම්ම විශාල සූදනමකින් යුක්තව සිදු කළ එකක් නොවේ. පෙබරවාරි 17 වන දා මූලික නිරීක්ෂණ කටයුතුවලින් පසුව 19 වන දා ප්‍රහාර දියත් කිරීමට නෞකා ළඟා වුණා. එහෙත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින පහකට මෙම ප්‍රහාරය කල් ගියා. පෙබරවාරි 25 වන දා නාවික ප්‍රහාර ඇරඹෙද්දී තුර්කි හමුදා පිටත බලකොටුවලින් ඉවත්ව ගොස් සිටියා.
කාර්ඩන් අනුමාන කළේ සති දෙකක් තුළ නාවික බල ඇණියට ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධිය ඔස්සේ කොන්ස්තන්තිනෝපලය කරා යා හැකි බවයි. ඉන්පසු තුර්කි අගනුවර වෙත පහර දීමට හැකි වේ යයි ඔහු අදහස් කළා. නමුත් මෙම ක්‍රියාන්විතය සඳහා සූදානම් වීම ඇදී ගියේ මන්දගාමීව යි. අයහපත් කාලගුණික තත්ත්වය ද ඊට හේතු වුණා. නමුත් කාර්ඩන් මන්දගාමී ලෙස කටයුතු කරන බවටත් චෝදනාවක් එල්ල වුණා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් මීළඟ ප්‍රහාරය එල්ල කිරීමේ වගකීමෙන් කාර්ඩන් නිදහස් කර, එය අද්මිරාල් ජෝන් ඩි රොබෙක් වෙත පවරනු ලැබුණා. මාර්තු 18 වන දා මිත්‍ර නෞකා විසින් නැවතත් බලකොටු වෙත පහර දෙනු ලැබුණා.
ඩාර්ඩනැලිස්හි බලකොටු වෙත යළි නාවික ප්‍රහාරය දියත් කෙරුණේ මාර්තු 18 වන දා යි. මෙම ප්‍රහාරය සැලකිය යුතු සාර්ථකත්වයක් ලබාගත්තා. නමුත් මේ අතරතුර තත්ත්වය කණපිට හැරවුණ යමක් සිදු වුණා. කලින් නිරීක්ෂණය නොකළ මුහුදු බෝම්බ කිහිපයක් යුධ නැව්වල ගැටී නැව් තුනක් ගිලාබත්ව තවත් නැව් කිහිපයකට හානි සිදු වුණා.
ඊළඟ දිනයේ දී ද නාවික ප්‍රහාරය එල්ල වූයේ නම් තුර්කි සේනා ප්‍රදේශයෙන් පසුබැසීමට ඉඩ තිබුණා. නමුත් මිත්‍ර පාක්ෂික නෞකාවලට වූ හානි හේතුවෙන් ඊළඟ දිනයේ දී ප්‍රහාරය දියත් කෙරුණේ නැහැ.
ගොඩබැසීම
මෙම තත්ත්වය යටතේ මීළඟ පියවර ලෙස තීරණය කරන ලද්දේ ගැලිපොලි අර්ධද්වීපය වෙත ගොඩබැසීම යි. ඒ සඳහා අණදෙන නිලධරියා ලෙස ජෙනරාල් ඉයන් හැමිල්ටන් පත් කෙරුණා. ඔහු සැලසුම් කළ පරිදි මිත්‍ර හමුදා ගැලිපොලියේ ප්‍රධාන ප්‍රදේශ දෙකක ගොඩබැසිය යුතු වුණා. බ්‍රිතාන්‍ය සේනාංක අර්ධද්වීපයේ දකුණුදිග හෙලෙස් තුඩුව අසළ වෙරළ පහකට ගොඩ බැසීමට සැලසුම් කරනු ලැබුණා. එම වෙරළවල් V, W, X, Y, සහ S ලෙස නම් කර තිබුණා.
ජෙනරාල් (පසු කාලීනව ෆීල්ඩ් මාර්ෂල්) විලියම් බර්ඩ්වුඩ් විසින් අණදෙන ලද ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත සේනාංක අර්ධද්වීපයේ බටහිරින් වූ කබා ටෙපේ යන ස්ථානයෙන් ගොඩබැසිය යුතු වුණා. මේ අතර ප්‍රංශ සේනාංකයක් ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධියෙන් අනෙක් පස, එනම් ආසියාතික තුර්කියේ, ඓතිහාසික ට්‍රෝයි නගරය පිහිටි ප්‍රදේශය අසලට ගොඩ බැසීමට නියමිත වුණා. තව ද, ගැලිපොලි අර්ධද්වීපයේ ඉහළ කොටසේ වූ බුලෙයාර් ආසන්නයට නාවික සේනාංකයක් යවන්නට සැලසුම් කෙරුණේ තුර්කීන් නොමග යැවීමට යි.
ග්‍රීසියට අයත් ලෙම්නොස් දූපතේ මිත්‍ර හමුදා ඒකරාශී වන බව තුර්කීන් නිරීක්ෂණය කළා. නමුත් ප්‍රහාරය කොයි අතකින් එල්ල වේදැ යි ඔවුන් දැන සිටියේ නැහැ. මෙම අවස්ථාවේ ගැලිපොලිය ආසන්නයේ රඳවන ලදුව සිටියේ තුර්කි පස්වන හමුදාව යි. ජෙනරාල් ඔටෝ ලීමන් ෆොන් සැන්ඩර්ස් නම් ජර්මන් නිලධාරියා එහි අණදෙන්නා වුණා.
තුර්කි සේනාංක ගැලිපොලි අර්ධද්වීපයේ වෙරළබඩ ප්‍රදේශයෙන් මඳක් ඇතුළට ගෙන රැඳවීමට තීරණය කරනු ලැබුණා. ඊට හේතු දෙකක් මුල් වුණා. එකක් නම් එවිට නාවික ප්‍රහාරවලින් ආරක්ෂා වීමට හැකියාව ලැබීම යි. අනෙක් හේතුව වූයේ අවශ්‍ය විටෙක අවශ්‍ය ස්ථානයට හමුදා යැවීම පහසු වීම යි.
1915 අප්‍රේල් 25 වන දා හිමිදිරියේ ගැලිපොලි ගොඩබැසීම් ක්‍රියාවට නැගුණා. මෙහිදී ඔස්ට්‍රේලියානු පළමු ඩිවිෂනය මීටර් 1,800ක් පමණ වූ කබා ටෙපේ වෙරළට ගොඩබැසිය යුතු වුණා. මෙය තුර්කීන්ට නොහැඟෙන සේ කළ යුත්තක් වුණා. ඔවුන් එහි සිට හැකි ඉක්මණින් අර්ධද්වීපය තුළට වැදී, අසල වූ උස්බිම් අල්ලාගෙන, කිලෝමීටර් 3.5ක් පළමු දිනය තුළ ඉදිරියට යා යුතු වුණා. ඔස්ට්‍රේලියානුවන් මුලින් ගොඩබැස්ස පසු නවසීලන්ත බ්‍රිගේඩයක් ඔවුන් ගේ සහයට ගොඩබැසීමට නියමිත වුණා.
කුමක් හෝ හේතුවකින් මෙම සැලැස්ම සම්පූර්ණයෙන්ම අවුල් වී ගියා. ඊට හේතු වූයේ ඔස්ට්‍රේලියානුවන් අඳුරේම වැරදි වෙරළට ගොඩබැසීම යි. කබා ටෙපේ වෙනුවට ඔවුන් ඊට උතුරින් වූ අරි බර්නු උස්බිම දෙස ගමන් කළා. ඇතැම් නිලධාරීන් මෙම වරද තේරුම් ගත්තත් ඒ වෙද්දී එය නිවැරදි කිරීමට කාලයක් වූයේ නැහැ.
මෙයින් කරුණු දෙකක් සිදු වුණා. එකක් නම් තුර්කීන් විසින් ඔස්ට්‍රේලියානුවන් දැකීම යි. ඔවුන් ගොඩබසින සේනාංක් වෙත වෙඩි තැබුවා. කෙසේ නමුත් එම ප්‍රහාර ද මැඩගෙන ඔස්ට්‍රේලියානුවන් වෙරළාසන්න උස්බිම් අල්ලා ගත්තා.
දෙවන කරුණ ඊට වඩා කල් පවතින ගැටළුවක් වුණා. ඔස්ට්‍රේලියානුවන් ගොඩබැස්සේ මීටර් 400ක පමණ වෙරළකට යි. මීටර් 1,800ක වෙරළක් පිළිබඳ සිත්හි තබාගෙන හමුදා සෙබළුන්, අවි ආයුධ සහ වෙනත් උපාංග ගොඩබෑමට සැලසුම් කර තිබුණා. දැන් එම සියළු පිරිස් සහ භාණ්ඩ මීටර 400ක් දිගු වෙරළ තීරයක බැස්වීමට සිදු වුණා.
වෙරළෙහි වූයේ දැඩි ව්‍යකූල තත්ත්වයක්. ගොඩබසින හමුදාවන්ට තම ඉලක්ක පිළිබඳ අදහසක් වූයේ නැහැ. ඔවුන් වැරදි ස්ථානයට ගොඩබැස්ස නිසා නව ඉලක්ක ගැන අදහසක් තිබුණේ නැහැ.
මෙහි ප්‍රතිඵලය වුණේ හමුදා සේනාංක, අවි ආයුධ සහ සැපයුම් ආදිය ගොඩබැසීමත්, තුවාලකරුවන් ආපසු ගෙන යාමත් හේතුවෙන් වෙරළ තදබදයෙන් පිරීම යි. තම බර අවි ගොඩ බෑමට නොහැකි වූ හෙයින් නවසීලන්ත බ්‍රිගේඩය විශාල අපහසුතාවකට පත් වුණා. ඔවුනට ඉදිරියට යාමට සිදු වූයේ කාලතුවක්කු ආධාර නොමැතිව යි. එක් ඉන්දියානු කාලතුවක්කු බැටෑලියනයක් නවසීලන්ත බ්‍රිගේඩයේ සහායට පැමිණියා.
මේ තත්ත්වයන් යටතේ වුණත් තුර්කි හමුදා පසුබැස්සා. මේ අවස්ථාවේ දී අර්ධද්වීපයේ අභ්‍යන්තරයේ හමුදා කණ්ඩායමක් නිරීක්ෂණය කරන නිලධාරියකු සිටියා. ඔහු සිටි ප්‍රදේශයට පසුබසින හමුදා සෙබළුන් පිරිසක් පැමිණියා. වහා ඔවුන් නැවතූ ඔහු තමා සමග උන් පිරිස ද රැගෙන වෙරළ දෙසට දිව ගියේ අමතර සේනාංකවලට ද එදෙසට එන ලෙස පණිවිඩ යවමින්. ඔහු අන් කිසිවකුත් නොව ගැලිපොලි සටනින් ලෝක ප්‍රසිද්ධ වූ මුස්තාෆා කෙමාල් නම් නිලධාරියා යි.
අප්‍රේල් 25 රාත්‍රියේ බර්ඩ්වුඩ් අරි බර්නු වෙත ගොඩබැස්සා. ඔහු එහි වූ හමුදා නායකයන් සමග සාකච්ඡා කර අවසානයේ තීරණය කළේ හමුදාව එදින රාත්‍රියේ ඉවත් කරගත යුතු බව යි. ඊළඟ දිනයේ තුර්කීන් පහර දුනහොත් ආරක්ෂා වීම අසීරු වග පෙනී යාම ඊට හේතුව යි. මෙම තීරණය බර්ඩ්වුඩ් විසින් හැමිල්ටන් වෙත දන්වන ලද අතර ඔහුගේ නිගමනය වූයේ එම අවස්ථාවේ හමුදා ඉවත් කරගැනීම අපහසු බව යි. තිබුණ තත්ත්වය යටතේ එක් රැයකින් සම්පූර්ණ හමුදාවම ඉවත් කරගැනීම පහසු නොවන බව පෙනෙන්නට තිබුණා. ඒ අනුව හැකි ඉක්මණින් ආරක්ෂිත අගල් හාරා අරි බර්නුහි කඳවුරු බැඳීමට තීරණය වුණා.
පසුදින තුර්කි ප්‍රහාරයක් පැමිණියේ නැහැ. මේ නිසා මීළඟ දිනවල අරි බර්නු ආශ්‍රිතව යුධ පෙරමුණ එකතැන සිර වුණා.
මේ අතර 25 වන දා හෙලස් තුඩුව වෙත ගොඩබට බ්‍රිතාන්‍යයන්ට දැඩි ප්‍රහාරයකට ලක් වීමට සිදු වුණා. එහි ගොඩබට 9,000ක් දෙනාගෙන් 3,000ක් පමණ පළමු දිනයේම මියගොස් හෝ තුවාල ලබා හෝ සිටියා.
මේ අතර ගැලිපොලියට ප්‍රතිවිරුද්ධව සුළු ආසියානු වෙරළට ගොඩ බැස්ස ප්‍රංශ සේනාවලට ද ප්‍රබල ප්‍රහාර එල්ල වූයෙන් ඔවුන් ද එයින් ඉවත් කරගනු ලැබුණා. පසුව එම සේනා හෙලස් තුඩුව ප්‍රදේශයට ගෙනෙනු ලැබුණා.
සුව්ලා බොක්ක
අරි බර්නු සහ හෙලස් තුඩුව ප්‍රදේශයන්හි යුධ පෙරමුණ එකතැන හිර වීමත්, විවිධ උත්සාහයන් ගත්ත ද එම තත්ත්වය වෙනස් නොවීමත් හේතුවෙන් නව මෙහෙයුමක් සැලසුම් කරනු ලැබුණා. ඒ සුව්ලා බොක්කට ගොඩබැසීම යි.
මෙම මෙහෙයුමෙහි කොටස් තුනක් වුණා. අරි බර්නු ප්‍රදේශයේ (දැන් එයට ඇන්සැක් බොක්ක යන නම තබා තිබුණා) සිට එල්ල කරන ප්‍රහාරක මෙහෙයුමක්, ඊට උතුරින් වූ සුව්ලා බොක්ක වෙත ගොඩබැසීමක් සහ හෙලස් තුඩුව ප්‍රදේශයේ ප්‍රහාරයක් එම කොටස් තුන යි. මෙහි මූලිකම ප්‍රහාරය වුණේ ඇන්සැක් බොක්කෙන් එල්ල වූ ක්‍රියාන්විතය යි. හෙලස් තුඩුව ප්‍රදේශයේ ක්‍රියාන්විතය එම ප්‍රදේශයේ වූ තුර්කි සේනා ඇන්සැක් බොක්ක වෙත යැවීම වැළැක්වීමේ උත්සාහයක් පමණක් වුණා.
මිත්‍ර හමුදා බලාපොරොත්තු වූයේ ඇන්සැක් බොක්ක සහ සුව්ලා බොක්ක ප්‍රදේශයෙන් හමුදා ඉදිරියට ගෙනවිත් ඔවුන් එක්ව ගැලිපොලි අර්ධද්වීපය ඔස්සේ තුර්කි ප්‍රදේශයන් වෙත කඩා වැදීම යි. එවිට හෙලෙස් තුඩුව අසල වූ තුර්කි සේනා ඉබේම කොටු වීමට ඉඩ තිබුණා.
නමුත් මෙම ප්‍රහාරයත් සිතූ තරම් සාර්ථක වුණේ නැහැ. දින කිහිපයකට පසු ආපසු සටන් පෙරමුණ එකතැන නැවතුණා.
ගැලිපොලියේ සටන් දිගටම ඇදී යද්දී මිත්‍ර හමුදා අතර රෝගාබාධ ද පැතිරෙන්නට වුණා. සටන ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා.
පසුබැසීම
ඔක්තෝබර් 16 වන දා ජෙනරාල් ඉයන් හැමිල්ටන් ලන්ඩනයට කැඳවනු ලැබුණා. ගැලිපොලියේ අසාර්ථකත්වයට ඔහුගේ නායකත්වය හේතු වූ බවට චෝදනා මතු වුණා. ඔහුගේ ස්ථානයට ජෙනරාල් සර් චාර්ල්ස් මොන්රෝ පත් කරන ලද අතර නව අණදෙන නිලධාරියාගේ නිර්දේශය වූයේ මිත්‍ර හමුදා ඉවත් කරගැනීමට කටයුතු කළ යුතු බව යි.
බ්‍රිතාන්‍ය යුධ ලේකම් කිචනර් සාමි ගැලිපොලියෙන් ඉවත් වීම කෙරෙහි එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඊට සාධාරණ හේතු තිබුණා. තුර්කියට එරෙහිව සිදු වන දැවැන්ත පරාජයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් ප්‍රදේශයන්හි මුස්ලිම් ජනයා අතර බ්‍රිතාන්‍යයේ කීර්ති නාමය පළුදු වේ යනුවෙන් ද ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී කටයුතු සඳහා පෙළඹෙනු ඇතැ යි ද කිචනර් සැක කළා. නමුත් ගැලිපොලි පෙරමුණෙහි සංචාරය කළ මොන්රෝ තදින්ම කියා සිටියේ යුධ ව්‍යාපාරය බේරාගත නොහැකි තත්ත්වයක පවතින බව යි.
අවසානයේ දී හමුදා ඉවත් කිරීමේ තීරණය ගනු ලැබුණා. දෙසැම්බර් 19 වන විට සුව්ලා සහ ඇන්සැක් ප්‍රදේශවලින් හමුදා ඉවත් කිරීම අවසන් වුණා. 1916 ජනවාරි 8 වන දා හෙලෙස් තුඩුවෙන් ද හමුදා ඉවත් කිරීම නිමා වුණා.
ගැලිපොලි යුධ ව්‍යාපාරය බ්‍රිතාන්‍යයන්ට බරපතල පාරාජයක් වූ නමුත් එයින් ඔවුනට උපක්‍රමිකව වාසි සිදු නොවූයේයැ යි කිව නොහැකියි. මෙම සටන හේතුවෙන් ඔටෝමන් අධිරාජ්‍යයේ හොඳම සේනාංක කිහිපයක් වසරකට ආසන්න කාලයක් ගැලිපොලියේ රැඳී සිටීම වෙනත් පෙරමුණුවල සටන්වලට වැදගත් වුණා.