Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිට්ලර්ගේ පරමාණු බෝම්බ ව්‍යාපෘතිය පසුබැස්සූ කමාන්ඩෝ ප්‍රහාරය​

නෝර්වේ රාජ්‍යයේ දකුණුදිග ටෙලෙමාර්ක් ප්‍රදේශයේ හර්දන්ගර්විද්දා හෙවත් හර්දන්ගර් සානුව සිසිරයේ දී දැඩි සීතලකින් යුතු ප්‍රදේශයක්. කෙතරම් සීතලෙන් යුක්ත ද කිවහොත් ගිනි දැල්ලක් පවා සීතලෙන් මුදවා දැමිය හැකි තරම් එය ප්‍රබල බව එහි ජනයා අතර ප්‍රකට කියමනක් වනවා. මෙම ප්‍රදේශය දෙවන ලෝක යුධ සමයේ දී ඓතිහාසික කමාන්ඩෝ ප්‍රහාරයක් හේතුවෙන් ප්‍රකට වුණා.

1943 පෙබරවාරියේ දී මෙම ප්‍රදේශයේ වූ බැර ජලය කර්මාන්තශාලාවක් වූ වර්මොක් වෙත නෝර්වීජියානු කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල වුණා. මෙම ප්‍රහාරය හේතුවෙන් කම්හලෙහි වැඩ කටයුතු මාස ගණනකට ඇණ හිටියා.

බැර ජලය

කතාව ඉදිරියට යාමට පෙර බැර ජලය යනු කවරක්දැ යි කෙටියෙන් විස්තර කිරීම වැදගත්. හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ සමස්ථානික කිහිපයක් තිබෙනවා. එයින් බර අඩු ම සමස්ථානිකයෙහි න්‍යෂ්ටියේ වන්නේ ප්‍රෝටෝනයක් පමණයි. නමුත් ඊළඟ සමස්ථානිකයේ ප්‍රෝටෝනයක් හා නියුට්‍රෝනයක් වනවා. මෙම දෙවන සමස්ථානිකය ඩියුටීරියම් ලෙස හඳුන්වනවා.

සාමාන්‍ය ජලයෙහි හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් තිබෙනවා​. ඇතැම් ජලය අණුවල හයිඩ්‍රජන් වෙනුවට තියෙන්නේ ඩියුටීරියම්. මෙයට බැර ජලය යයි කියනු ලබනවා.

බැර ජලය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සඳහා යොදාගන්න පුළුවන්. මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවලින් අවශ්‍ය නම් පරමාණු බෝම්බ සඳහා අවශ්‍ය විකිරණශීලී ද්‍රව්‍ය නිපදවාගත හැකියි.

වෙමෝර්ක් බැර ජලය කම්හල​

1933 දී නෝර්ස්ක් හයිඩ්‍රෝ සමාගම විසින් රූකාන් හි වෙමෝර්ක් බැර ජලය කම්හලෙහි වැඩ කටයුතු ඇරඹුණා. 1940 දී ජර්මනිය විසින් නෝර්වේ අල්ලාගත් පසු මෙම කර්මාන්තශාලාවේ අයිතිය ජර්මානුන් අතට පත් වුණා.

රූකාන් ප්‍රදේශය (Google)

ජර්මානුන් 1939 දී ඔවුනගේ පරමාණු බෝම්බ ව්‍යාපෘතියක් පටන් ගෙන තිබුණා. එයට නම දී තිබුණේ “යුරන්වරෙයින්” හෙවත් “යුරේනියම් සමාජය​” යනුවෙන්. එහි ප්‍රධානියා ලෙස කර්ට් ඩීබ්නර් කටයුතු කළ අතර, වර්නර් හයිසන්බර්ග් වැනි විද්‍යාඥයින් එහි කටයුතු කළා.

මිත්‍ර පාක්ෂිකයන් මෙම වැඩපිළිවෙල පිළිබඳ අවධානයෙන් සිටියා. නෝර්වේ හි සිට තොරතුරු සපයන නට්සි විරෝධීන් විසින් වෙමෝර්ක් කර්මාන්ත ශාලාවේ කටයුතු පිළිබඳ ව ද තොරතුරු ලබා දෙනු ලැබුණා. ජර්මානුන් පරමාණු බෝම්බයක් නිපදවන උත්සාහය කෙතරම් දුරට ගෙනගොස් තිබුණිදැ යි ඔවුනට අවබෝධයක් වූයේ නැහැ. නමුත් එම කටයුතු ඉදිරියට යන බවට ඔවුනට සැකයක් වුණා. විශේෂයෙන් ම ජර්මානුන් වෙමෝර්ක් හි නිෂ්පාදන ධාරිතාව විශාල වශයෙන් ඉහළ නැංවීම ද මෙම සැකයට හේතු වුණා.

ඔපරේෂන් ගනර්සයිඩ් මෙහෙයවූ නෝර්වීජියානුවා, යෝකිම් රොන්නෙබර්ග් (Elin Hoyland)

වෙමෝර්ක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කටයුතු සූදානම් වුණේ 1942 දී. සත්‍ය වශයෙන් ම එම වසරේ දී ම සිය පරමාණු බෝම්බ ව්‍යාපෘතිය අතැර දමා තිබුණා. නමුත් මිත්‍ර රටවල් මේ පිළිබඳ දැන සිටියේ නැහැ.

ප්‍රහාරය සඳහා මූලික කටයුතු

වෙමෝර්ක් කර්මාන්තශාලාව පිළිබඳ මූලික ඔත්තුව ලබා දුන්නේ ලෙයිෆ් ට්‍රොන්ස්ටාඩ් නම් නෝර්වීජියානු යටිබිම්ගත ක්‍රියාකාරිකයෙක්. ඔහු පසු ව ස්වීඩනය හරහා බ්‍රිතාන්‍යයට පළා ආවා. ඔහුගේ තොරතුරු මත වෙමෝර්ක් වෙත පහරදීම සැලසුම් කරනු ලැබුණා.

ඇමෙරිකානු බලධාරීන් වඩා කැමැත්තක් දැක්වූයේ මෙම කර්මාන්ත ශාලාව වෙත බෝම්බ දැමීමට යි. නමුත් ට්‍රොන්ස්ටාඩ් ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඊට හේතු දෙකක් වුණා. කම්හලේ ද්‍රව ඇමෝනියා ගබඩාවට බෝම්බ වැටීමෙන් අසල රූකන් හි සිවිල් වැසියන් හානියට පත් වීමේ ඉඩකඩ ඉන් එකක්. අනෙක් කරුණ වූයේ බැර ජලය ගබඩා පිළව යට, කොන්ක්‍රීට් තට්ටුවකින් ද ආරක්ෂිත ව තිබීම යි.

මේ සමය වන විට ඇමෙරිකානුවන් රහසිගත මෙහෙයුම් පිළිබඳ එතරම් ම ප්‍රවීණයින් වූයේ නැහැ. නමුත් සතුරු පෙරමුණු පිටිපස එවන් කටයුතු සඳහා බ්‍රිතාන්‍යයන් තුළ යම් ප්‍රවීණත්වයක් තිබුණා. එකල එහි වූ විශේෂ මෙහෙයුම් ආයතනය (Special Operations Executive) වෙත මෙම මෙහෙයුම බාර දෙනු ලැබුණා. ඔවුන් විසින් එංගලන්තයට පළා ආ නෝර්වීජියානුවන් පිරිසක් මේ සඳහා බඳවාගෙන ඔවුනට ස්කොට්ලන්ත කඳුකරයේ දී විශේෂ කමාන්ඩෝ පුහුණුවක් ලබා දෙනු ලැබුණා.

මූලික මෙහෙයුම්

1942 දී “ඔපරේෂන් ග්‍රවුස්” නම් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. මෙහි දී සිදු කෙරුණේ කුඩා නෝර්වීජියානු කණ්ඩායමක් ප්‍රදේශයේ ඔත්තු බැලීම සඳහා ඒ වෙත ගොඩ බස්වනු ලැබීම යි.

ඉන් මාසයකට පසු ව 1942 නොවැම්බරයේ දී බ්‍රිතාන්‍ය කමාන්ඩෝවරුන් 39 දෙනෙකු ග්ලයිඩර් දෙකක් මඟින් යවන ලද්දේ කර්මාන්තශාලාවට පහර දීමට යි. අයහපත් කාලගුණික තත්ත්වය සහ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් මෙම උත්සාහය අසාර්ථක වුණා. ඉන් එක් කණ්ඩායමක් ගිය ග්ලයිඩරය කන්දකට කඩා වැටී එහි වූ සියල්ලන් ම මියගියා. අනෙක් කණ්ඩායම ඉලක්කයට බොහෝ ඈතින් අනතුරුදායක ගොඩබැසීමක් කළ අතර, එහි දී කිහිපදෙනකු මියගියා. අනෙක් පිරිස ජර්මානුන් අතට පත් ව ඔවුන්ව ද මරාදමනු ලැබුණා.

මේ අතර “ඔපෙරාෂන් ග්‍රවුස්” මඟින් ගොඩබස්වන ලද කුඩා කණ්ඩායම දිගටම ප්‍රදේශයේ රැඳී සිටියා. මෙම කණ්ඩායම “ස්වැලෝ” (ලිහිණියා) ලෙස සිය සංකේත නාමය වෙනස් කළා. ඔවුන් ඉතා අපහසු තත්ත්වයන් යටතේ ප්‍රදේශයේ වනයේ සැඟව සිටිමින්, පිනිමුවන් ආදී සතුන් දඩයම් කර ආහාර සපයා ගනිමින් ප්‍රදේශයේ ඔත්තු බැලීම කරගෙන ගියා.

“ඔපරේෂන් ගනර්සයිඩ්”

1943 පෙබරවාරියේ දී පමණ බ්‍රිතාන්‍යයෙන් ස්වැලෝ කණ්ඩායම වෙත පණිවිඩයක් ලැබුණා. ඉන් කියැවුණේ කුඩා කමාන්ඩෝ පිරිසක් බැරජලය කම්හලට පහර දීමට පැමිණෙන බව යි. කලින් වතාවේ මෙන් නොව, මෙම වතාවේ සය දෙනෙකුගෙන් යුක්ත කුඩා කණ්ඩායමක් මේ සඳහා එවීමට තීරණය කර තිබුණා. යෝකිම් රොන්නෙබර්ග් නම් නෝර්වීජියානුවාගේ නායකත්වයෙන් යුතු මෙම පිරිස තනිකර ම නෝර්වීජියානුවන් වුණා. නමුත් ඔවුන් සැරසී සිටියේ බ්‍රිතාන්‍ය නිල ඇඳුම්වලින්. ඊට හේතුව වූයේ යම් හෙයකින් ඔවුන් අල්ලා ගන්නා ලද්දේ නම් එම කණ්ඩායම බ්‍රිතාන්‍යයන් වේ යන නිගමනයට ජර්මානුන් පැමිණෙනු ඇතැ යි වූ අනුමානය යි. මෙම කණ්ඩායම නෝර්වීජියානුවන්ය යි හඳුනා ගත්තේ නම් ප්‍රදේශයේ නෝර්වීජියානු සිවිල් වැසියන්ගෙන් ජර්මානුන් පළිගනු ඇතැ යි සාධාරණ සැකයක් තිබුණා.

ගනර්සයිඩ් මෙහෙයුමට සහභාගී වූවෝ (Norway’s Resistance Museum)

1943 පෙබරවාරි 16 වන දා ඔවුන් හර්දන්ගර් සානුව ප්‍රදේශයට පැරෂුට් මඟින් ගොඩබැස්සා. නමුත් ඔවුන් ගොඩ බසින ලද්දේ බලාපොරොත්තු වූ ප්‍රදේශයෙන් තරමක් ඈතින්. ඒ හේතුව නිසා ස්වැලෝ කණ්ඩායම​ හමුවීමට ඔවුනට දින පහක් ඇවිද යාමට සිදුවුණා.

විශාල අකරතැබ්බයකින් තොර ව කමාන්ඩෝ කණ්ඩායම ස්වැලෝ කණ්ඩායම හමුවුණා. ඉන්පසු ඔවුන් කර්මාන්තශාලාව වෙත ප්‍රහාරය සැලසුම් කළා. මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ පෙබරවාරි 27 වන දා.

වෙමෝර්ක් කම්හල පිහිටියේ කඳුකර ස්ථානයක යි. එයට ඇතුල් වීමට ක්‍රම තුනක් තිබුණා. කර්මාන්තශාලාවට ඉහළ කඳු මුදුනේ සිට පැමිණිය හැකි වුණත් එම ප්‍රදේශයේ බිම් බෝම්බ අතුරා තිබුණා. කර්මාන්තශාලාව වෙත පාලමක් ද වැටී තිබුණත් එය දැඩි ලෙස ආරක්ෂා කෙරුණා. කම්හල තිබුණ තැනින් පහළ වූ ප්‍රදේශයෙන්, අර්ධ වශයෙන් හිම මිදී තිබූ ගඟක් තරණය කර, අඩි පන්සීයක කන්දක් නැග කර්මාන්තශාලාවට පැමිණිය හැකි වුණා. මෙම කණ්ඩායම තෝරාගත්තේ ඒ තුන්වන ක්‍රමය යි.

කම්හල දෙසට වූ දුම්රිය මාර්ගය (atomicheritage.org)​

මෙම අසීරු මාර්ගය ගෙවාගෙන නව දෙනෙකුගෙන් යුතු වූ ප්‍රහාරක කණ්ඩායම කම්හල අසලට පැමිණියා. මෙහි දී කණ්ඩායමේ අයෙකු වූ ක්නුට් හවුකෙලිඩ්, බ්‍රිතාන්‍යයේ දී රොන්නබර්ග් විසින් මිලට ගෙන තිබූ ලෝහ කපනයකින් ආරක්ෂිත ලෝහ වැට කපා භූමියට ඇතුල් වීමට මාර්ගය විවර කරගත්තා.

ඉන්පසු, මෙම නව දෙනා කණ්ඩායම් දෙකකට බෙදුණා. පස් දෙනෙකු ප්‍රදේශය මුර කරද්දී, සිව් දෙනෙකු පුපුරණ ද්‍රව්‍ය රැගෙන බැරජලය ගබඩාව කරා ගමන් කළා. ඔවුන් බලාපොරොත්තු වූයේ එක් දොරකින් කම්හලට​ ඇතුල් වීමට යි. නමුත් එම දොර අගුළු ලා තිබුණා.

මේ අවස්ථාවේ රොන්නෙබර්ග් වෙනත් උමං මාර්ගයක් සොයාගැනීමට සමත් වුණා. එහෙත් ඔහු සමග එයින් ඇතුල් වූයේ තවත් එක් අයෙකු පමණයි. අනෙක් දෙදෙනා මෙම උමග දැක තිබුණේ නැහැ. කෙසේ නමුත් ඔවුන් ද ජනේලයකින් ඇතුල් වීමට සමත් වී තිබුණා.

මේ කණ්ඩායම බැර ජලය නිපදවන කෝෂ අසල බෝම්බ රඳවා ඒවාට තත්පර තිහකින් දැල්වෙන සේ ගිනි නූල් යෙදුවා. ඉන්පසු, ඒවා දල්වා කණ්ඩායම පළා ගියා. එතැනින් රූකාන් ප්‍රදේශයට පළා ගිය පිරිස ඉන්පසු, කුඩා කණ්ඩායම් ලෙස බෙදී ගොස් ස්වීඩනයට පැමිණීමට සමත් වුණා.

මෙම ප්‍රහාරය දෙවන ලෝක යුධ සමයේ කෙරුණ සාර්ථක ම කමාන්ඩෝ ප්‍රහාරයක් ලෙස සලකනු ලබනවා. එයට නායකත්වය දුන් යෝකිම් රොන්නෙබර්ග් පසුගිය ඔක්තෝබර් 21 වන දා මියගියා.

 

කවරයේ පින්තූරය: වෙමෝර්ක් කර්මාන්තශාලාව​ (grob831 - Flickr)

මූලාශ්‍රයයන්:

  1. Operation Gunnerside (Atomic Heritage Foundation)
  2. Joachim Ronneberg - Obituary (The Guardian)

Related Articles