Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළමු කොටස ගැයීම තහනම් ජර්මන් ජාතික ගීය​

ලෝකයේ විවිත්‍රවත් ඉතිහාසයක් සහිත ජාතික ගීත ගණනාවක් තිබෙනවා. නමුත් පළමු කොටස ගායනා කිරීම තහනම් වූ ජාතික ගීයක් තිබේ නම් ඒ ජර්මන් ජාතික ගීය යි. ජර්මන් ජාතික ගීය ලෙස අද භාවිතා කරන Deutschlandlied (ජර්මනියේ ගීතය) හෙවත් Das Lied der Deutschen (ජර්මානුවන්ගේ ගීතය​) කොටස් තුනකින් යුත් ගීයක්. නමුත් වර්තමානයේ ජාතික ගීය ලෙස ගායනා කෙරෙන්නේ එහි තුන්වන කොටස පමණ යි. එහි පළමු කොටස වාදනයට තහනමක් පනවා නැතත් එහි පද ගායනය තහනම්.

ඇතමුන් මෙම ගීතය හඳුනා ගන්නේ එහි පළමු පද පේළියෙන්. එය Deutschland, Deutschland über alles (ඩොයිෂ්ලන්ඩ්! ඩොයිෂ්ලන්ඩ්! ඌබර් ආලෙස්) යයි ශබ්ද නගා ගායනය කරනු ලබනවා. නමුත් මෙම කොටස ගායනය තහනම් හෙයින් ප්‍රසිද්ධ ස්ථානයන්හි ගායනා කෙරෙන්නේ නැහැ.

“අධිරාජයා දෙවියන් රැකදේවා!”

සත්‍ය වශයෙන්ම මෙම ගීතය සඳහා සංගීතය​ මුලින්ම නිර්මාණය වූයේ වර්තමාන ජර්මනියේ පාලකයකු වෙනුවෙන් නොව ශුද්ධ රෝම අධිරාජ්‍යයේ සහ පසුව ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ පාලකයා වූ දෙවන ෆ්‍රැන්සිස් අධිරාජයා වෙනුවෙනුයි. ඒ 1797 දී යි.

සුප්‍රකට ඔස්ට්‍රියානු සංගීතඥයකු වූ ජෝසෆ් හේඩ්න් මෙහි නිර්මාණකරු වුණා. ලෝරන්ස් ලියෝපෝල්ඩ් හෂ්කා විසින් ලියන ලද “ෆ්‍රාන්ස් අධිරාජයා දෙවියන් රැකදේවා!” නම් පද්‍යයට හේඩ්න් මෙසේ සංගීතය මුසු කළා.

ඉංග්‍රීසි චිත්‍ර ශිල්පී තෝමස් හාර්ඩි විසින් අඳින ලද ජෝසෆ් හේඩ්න්ගේ චිත්‍රයක් (Public Domain)

පසු කාලීනව නව අධිරාජයින් බලයට පත් වෙද්දී මෙහි පද වෙනස් කළ ද 1854 දී පොදු පද මාලාවක් හඳුන්වා දුන්නා. 1918 දී හැප්ස්බර්ග් රාජ වංශය බලයෙන් නෙරපනු ලබන තෙක් එය ඔස්ට්‍රියාවේ ජාතික ගීය වුණා.

පහතින් දක්වා ඇති වීඩියෝවෙන් ඔබට එම ගීය අහන්නට පිළිවන්.

1918 න් පසුවද ඔස්ට්‍රියානු රජාණ්ඩුවාදීන් මෙම ගීය භාවිතා කළා. නමුත් එය එරට නිල ගීයක් ලෙස යළි භාවිතා කෙරුණේ නැහැ.

ජර්මනියට වෙනම පද මාලාවක්

මේ සමයේ ජර්මනිය තනි රටක් වුණේ නැහැ. ප්‍රශියාව​, බැවේරියාව​, සැක්සනිය ආදී තරමක් විශාල ස්වාධීන රාජ්‍යයන් මෙන්ම ඉතා කුඩා කුමාරවර රාජ්‍යයන් ආදිය වර්තමාන ජර්මනිය තිබෙන ප්‍රදේශයෙහි එදා දකින්න තිබුණා. ජර්මනිය එක්සත් විය යුතු බවට එම ප්‍රදේශයන්හි ජීවත් වූ ජාතිකවාදීන් විශ්වාස කළා.

ඔස්ට්‍රියානු අධිරාජ්‍යයා වෙනුවෙන් සැදුණ ගීයෙහි පද මාලාව ජර්මන් රාජ්‍යයන්ට ගැලපුණේ නැහැ. ඔස්ට්‍රියාව ජර්මන් බස කතා කරන රටක් වුව ද ඔස්ට්‍රියා අධිරාජ්‍යය යනු විවිධ ජාතීන් ජීවත් වූ විශාල ප්‍රදේශයක්. ජර්මන් ජනයා වෙනුවෙන් පොදු ගීයක් හඳුන්වා දෙන අදහසින්, හේඩ්න්ගේ සංගීතය සඳහා නව පදමාලාව ලියූවේ ඕගස්ට් හයින්රික් හොෆ්මාන් ෆොන් ෆැලර්ස්ලේබන් විසින්.

කාර්ල් ජෝර්ජ් ක්‍රිස්ටියන් ෂූමාර්කර් විසින් 1819 දී අඳින ලද හොෆ්මාන්ගේ චිත්‍රයක් (Public Domain)

දෛවයේ සරදමකට මෙන්, 1841 දී ඔහු මෙම පදමාලාව ලියූවේ එවකට විදේශයකට අයත් බිමක දී යි. මෙය ලියැවුණේ හෙලිගෝලන්ත දූපතේ නිවාඩුවක් ගත කරන අතරතුර යි. එකල හෙලිගෝලන්තය බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ප්‍රදේශයක්.

මෙම පද මාලාවෙන්, විශේෂයෙන්ම පළමු කොටසින්, හොෆ්මාන් එක්සත් ජර්මනියක දේශසීමා පිළිබඳ අදහසක් ජනිත කළා. එමෙන්ම ජර්මානු ජනතාව අන් සියල්ලන්ටම වඩා ඉහළින් සිටින්නේ යයි ඔහු කියා සිටියා.

මෙම ගීයෙහි ජර්මන් වචන සහ එහි දළ සිංහල අර්ථය පහතින් දැක්වෙනවා.

Deutschland, Deutschland über alles,

Über alles in der Welt,

Wenn es stets zu Schutz und Trutze

Brüderlich zusammenhält.

Von der Maas bis an die Memel,

Von der Etsch bis an den Belt,

|: Deutschland, Deutschland über alles,

 Über alles in der Welt! 😐

ජර්මනිය​, ජර්මනිය සියල්ලට ඉහළින්
ලෝකයේ සියල්ලට ඉහළින්
සුරක්ෂාව සහ ආරක්ෂාව වෙනුවෙන්
එය සැමවිට සහෝදරත්වයෙන් සිට ගනී
මියුස් නදියේ සිට නීමන් නදිය දක්වා
අඩිගේ නදියේ සිට බෙල්ට් ඕඩය දක්වා
ජර්මනිය, ජර්මනිය සියල්ලට ඉහළින්
ලෝකයේ සියල්ලට ඉහළින්

Deutsche Frauen, deutsche Treue,

Deutscher Wein und deutscher Sang

Sollen in der Welt behalten

Ihren alten schönen Klang,

Uns zu edler Tat begeistern

Unser ganzes Leben lang.

|: Deutsche Frauen, deutsche Treue,

 Deutscher Wein und deutscher Sang! 😐

ජර්මන් වනිතාව​, ජර්මන් පක්ෂපාතීත්වය​
ජර්මන් වයින් සහ ජර්මන් ගීතය​
ලොව සදා කල් පවතී
එහි මනරම් බව සුරැකී
අප ගෞරවාන්විත කාර්යයන් සඳහා පොළඹවමින්
අප දිවිය පුරා
ජර්මන් වනිතාව​, ජර්මන් පක්ෂපාතීත්වය​
ජර්මන් වයින් සහ ජර්මන් ගීතය​

Einigkeit und Recht und Freiheit

Für das deutsche Vaterland!

Danach lasst uns alle streben

Brüderlich mit Herz und Hand!

Einigkeit und Recht und Freiheit

Sind des Glückes Unterpfand;

|: Blüh’ im Glanze dieses Glückes,

 Blühe, deutsches Vaterland! 😐

එක්සත්භාවය​, යුක්තිය සහ නිදහස​

ජර්මන් පීතෘභූමිය සඳහා

ඒ කරා අප ගමන් කරමු

සහෝදරත්වයේ හදවතින් අත් වැල් බැඳගෙන​

එක්සත්භාවය​, යුක්තිය සහ නිදහස​

වාසනා මහිමය ගෙනෙයි

මෙම වාසනා මහිමයේ දීප්තියෙන් වැජඹෙනු​

වැජඹෙනු, ජර්මන් පීතෘභූමිය.

මෙහි දෙවන කොටස වර්තමාන කාලයට එතරම් නොගැලපේ යන මතය හේතුවෙන් එය ගායනා කෙරෙන්නේ නැහැ. නමුත් ඊට තහනමක් පනවා නැහැ. එහෙත් පළමු කොටස ගායනය තහනම් කර තිබෙනවා. ඊට හේතු මෙම ගීයේ ඓතිහාසික භාවිතාව සමග බැඳී තිබෙනවා.

ජාතික ගීය​

1848 දී ජර්මනියේ ප්‍රදේශ ගණනාවක (තවමත් ජර්මනිය යනු විවිධ රාජ්‍යයන්ට බෙදී තිබූ භූමියක් වුණා) සමූහාණ්ඩුවාදී කැරලි ඇති වුණා. මෙය පොදුවේ 1848 විප්ලවය ලෙස හඳුන්වනවා. විප්ලවවාදීන් ජර්මන් එක්සත්භාවය පිළිබඳ සිහින දුටුවා. 1778 දී නිර්මාණය කෙරුණ නූතන ජර්මන් ධජය මෙන්ම හොෆ්මාන් විසින් පද රචනා කෙරුණු ජර්මනියේ ගීතය මෙම අරගලයේ සංකේතයන් බවට පත් වුණා.

1871 දී ජර්මනිය එක්සත් වූ අවස්ථාවේ එහි වූ විවිධ රාජ්‍යයන්. ප්‍රශියාව නිල් පැහැයෙන් වේ. ගිණිකොණදිග ප්‍රදේශයේ සයන් වර්ණයට හුරු පැහැයෙන් බැවේරියාව දැක්වේ. (Wikimedia Commons)

ජර්මනිය 1871 ජනවාරියේදී නිල වශයෙන් එක්සත් වුණේ ජර්මන් අධිරාජ්‍යය ලෙස යි. මෙය 1918 දී බිඳ වැටුණේ පළමු ලෝක යුද්ධය අවසානයේ දී යි. මෙයින් පසු බිහි වූ ජර්මන් සමූහාණ්ඩුව පසු කලෙක වයිමාර් ජනරජය ලෙස හැඳින්වුණා. 1922 දී වයිමාර් සමූහාණ්ඩුව විසින් මෙම සම්පූර්ණ ගීය සිය ජාතික ගීය ලෙස නම් කරනු ලැබුණා.

1933 දී ඇඩොල්ෆ් හිට්ලර් බලය අල්ලාගත් පසු මෙහි පළමු කොටසට විශේෂ අවධානයක් යොමු කළා. මෙය ඔහුගේ ජර්මන් ව්‍යාප්තිවාදී අදහස් ජනතාවට ඒත්තු ගැන්වීමට ප්‍රබල කරුණක් වුණා. ජර්මන් ජනයා අන් සියල්ලන්ටම වඩා ශ්‍රෙෂ්ඨ ජාතියක් බව හිට්ලර්ගේ මතය වුණා. තව ද ජර්මන් දේශසීමා මෙම ගීයෙහි සඳහන් පරිදි විය යුතු යයි ද එයින් හැඟවුණා. මෙහි ප්‍රතිඵලය වුණේ “ජර්මනියේ ගීතය​” නට්සිවාදය හා තදින් බැඳීම යි.

තහනම සහ යළි හඳුන්වා දීම

නට්සින් විසින් මෙම ගීය වැදගත් ලෙස සැලකීම හේතුවෙන් 1945 දී ජර්මනිය යුද්ධයෙන් පරාජය වීමත් සමග මිත්‍ර රටවල් එම ගීය ගැයීම තහනම් කළා.

1949 දී බටහිර ජර්මනිය (නිල වශයෙන් ජර්මන් ෆෙඩරල් ජනරජය​) ස්වාධීන රාජ්‍යයක් වූ පසු 1952 දී එරට චාන්සලර් කොන්රඩ් අඩෙනුවර්ට මෙම ගීය යළි ජාතික ගීය බවට පත් කිරීමට අවශ්‍ය වුණා. නමුත් ඔහු අවධාරණය කළේ යුක්‍තිය, සාධාරණත්වය​, එක්සත්කම ආදිය පිළිබඳ කියැවෙන තුන්වන කොටස පමණක් ජාතික ගීය ලෙස යොදාගන්නා බව යි. මෙහිදී එක්සත්කම පිළිබඳ අවධාරණය කිරීම තුළින් එවකට බෙදී තිබුණ ජර්මනිය එක්සත් වීමේ බලාපොරොත්තුව ජනිත කෙරුණා.

ජර්මනියේ වර්තමාන ජාතික ගීය ගායනය කරන අවස්ථාවක් පහතින්.

මේ අතර 1949 ඔක්තෝබරයේදී නැගෙනහිර ජර්මනිය ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර එරට වෙනමම ජාතික ගීයක් භාවිතා කළා. එය “Auferstanden Aus Ruinen” (සුන්බුන් තුලින් ගොඩ නැගෙමින්) නමින් හැඳින්වුණා.

එහි ගායනයක් පහතින් දැක්වෙන වීඩියෝවෙහි අඩංගු වනවා.

1990 දී නැගෙනහිර ජර්මනිය නැවත බටහිර ජර්මනිය සමග එක්සත් වූ පසු ජර්මනියේ වත්මන් ජාතික ගීය ලෙස “ජර්මනියේ ගීතය​” භාවිතා වනවා.

පළමු කොටස තහනමට හේතු

“ජර්මනියේ ගීතයේ” පළමු කොටස ගායනය තහනම් වීමට හේතු අතර ප්‍රධානම හේතුවක් වන්නේ නට්සිවාදීන් එම කොටස උත්කර්ශයට නැගීම යි.

“ජර්මනියේ ගීතයෙන්” දැක්වෙන ජල මාර්ග හතර සහ වත්මන් ජර්මන් දේශසීමා (රතු පැහැ මායිම​). කොළ පැහැයෙන් දැක්වෙන්නේ පළමු ලෝක යුද්ධයට පෙර ජර්මන් බස වහරන ජනයා බහුතර ජනගහනයක් වූ ප්‍රදේශයි. (Wikimedia Commons)

එමෙන්ම එම ගීයෙහි දැක්වෙන දේශසීමා සහ ජර්මනියේ වත්මන් දේශසීමාවන් අතර පවත්නා නොගැලපීම ද මෙම කොටස ගායනා කිරීමෙන් වැළකී සිටීමට හේතු වනවා. හොෆ්මාන් මෙම ගීයට පද රචනා කරන සමයෙහි ජර්මන් ජනතාව පදිංචි වී සිටි ඇතැම් ප්‍රදේශයන්හි වර්තමානයේ ජර්මානුන් දකින්න ලැබෙන්නේ නැහැ. එමෙන්ම එයින් දැක්වෙන ඇතැම් ප්‍රදේශ මේ වනවිට වෙනත් රාජ්‍යයන් හි ප්‍රදේශයන් වන හෙයින් නිල ගීයක එවන් දේශසීමා පිළිබඳ සඳහන් කිරීම අර්බුදයක් ඇති කිරීමට හේතු වනවා. එම නිසා ද මෙම කොටස ගායනා කෙරෙන්නේ නැහැ.

Related Articles