බලංගොඩ මානවයා කියලා හඳුන්වන්නේ අප රටේ ජීවත් වූ මධ්‍ය ශිලා යුග මානවයයි. ඔවුන් ජීවත් වූ යුගය මෙසොලිතික යුගය කියලයි පුරාවිද්‍යාඥයෝ හඳුවන්නේ. ශ්‍රී ලංකාවෙන් හමුවන ප්‍රාග් ඓතිහාසික මානවයා සාමාන්‍ය ව්‍යවහාරයේදී බලංගොඩ මානවයා යනුවෙන් (Homo Sapiens Balangodensis) හැඳින්වීමට හේතුව එම ශේෂ මුලින් ම රත්නපුර බලංගොඩ අවට කලාපයෙන් හමුවීමයි. ඒ කැණිම්වලට මුල් වූ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල ගැන අපි මෙයට පෙර ඔබ දැනුම්වත් කළා.
ඔහුගේ පුත් ආචාර්ය ශිරාන් දැරණියගල වගේ ම අමෙරිකානු මානව විද්‍යාඥ ආචාර්ය කේ.ඒ.ආර්. කෙනඩි 60 දශකයේ මේ මානවයාගේ ශාරීරික ලක්ෂණ හෙළිදරව් කර ගැනීමේ පර්යේෂණවලට දායක වුණා. එම පර්යේෂණවලින් හෙළි වූ ආකාරයට බලංගොඩ මානවයා ආදිවාසී වැද්දන්ගේ මීමුත්තායි. මේ ප්‍රාග් ඓතිහාසික මනවයා විසූ බලංගොඩ අවට පිහිටි ලෙන් කිහිපයක කැණීම් පිළිබඳ තොරතුරුවල එකතුවක්. මෙම කැණීම් සියල්ල ම කළේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයි.
උඩුපියන් ලෙන
උඩුපියන් ලෙන පිහිටා තිබෙන්නේ බලංගොඩ සිට කිලෝමීටර 24ක් දුරින්. බලංගොඩ සිට කල්තොට පාරේ ගමන් කරන විට පසෙකින් දියවින්න දියඇල්ල දකින්න ලැබෙනවා. උඩුපියන් ගල්ගේ පිහිටා තිබෙන්නේ මේ ඇල්ලට නුදුරු වනාන්තරයෙයි. දියඇල්ල අසලින් ද අලංකාර ඇල්ලක් කඩා හැලෙනවා. එය වියළි කලාපයට අයත් පෙදෙසක්. දියවින්න දේවගිරි විහාරය අසලින් හැරී වනාන්තරය හරහා ඇදී යන අඩිපාරක ගමන් කිරීමෙන් උඩුපියන් ගල් ලෙනට ළඟා වීමට පුළුවන්. එය ඉතා සුන්දර වටපිටාවක පිහිටි ගල්ලෙනක් ලෙස සඳහන් කළ හැකියි.
මුලින් ම මේ ලෙනේ කැණීම් කර තිබෙන්නේ සබරගමුවේ ප්‍රාග් ඓතිහාසික සාධක ගැන උනන්දු වූ ජාතික කෞතුකාගාර හිටපු අධ්‍යක්ෂ ආචාර්ය පී. ඊ. පී. දැරණියගලයි. ඔහු 1936 දී කැණිම් කර ඉතා කෙටි වාර්තාවක් ලියලා තිබුණා ඉන් ධාන්‍ය ඇට හමු වූ බව එහි සඳහන් වෙනවා. ඒ කාලෙ පුරාවිද්‍යා ක්‍රමවේදවලට අනුව නොවේ කැණීම් කර තිබෙන්නේ. මෙහි කැණීම් යළිත් ක්‍රමවත් ව ආරම්බ කළේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව 2016 දීයි. මේ ලෙනෙහි මහාචාර්ය සෝමදේව සිදු කළ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් දඩයම් යුගයේ මානවයා ක්‍රමයෙන් ගොවි යුගයකට අවතීර්ණ වූ සැටි පෙන්නුම් කෙරෙන ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අවස්ථාව ලැබුණා.
මෙහිදී නියං ආකාරයේ ආයුධ, උල් ආයුධ, සත්ව දත්, අස්ථිවලින් තැනූ උල් ආයුධ, තැලුම් ගල් ආදිය හමු වුණා. ආහාරයට ගත් බෙල්ලන්ගේ කවච, පිළිස්සුණු ධාන්‍ය ඇට වර්ග හමුවීම ද විශේෂත්වයක්. මෙම කැණීම්වලින් වසර 5000ක් පැරණි රතු කහඳ පාෂාණයෙන් මිනිස් හදවතේ හැඩයට කපා සකස් කරන ලද උඩින් විදින ලද (ක්වාට්ස් තිරිවානා ගල් විශේෂයෙන් ) ගෙල පලඳන මාල පෙත්තක් හමු වීම මගින් එකල මානවයාගේ ශරීර අලංකරණ විධි ගැන අදහසක් ලබාගත හැකි ව තිබෙනවා. පිළිස්සුණු වී වර්ග තුනක් ද හමු වී තිබෙනවා. ඒ අනුව දඩයම් මානවයා වී වගාකිරීමට හුරුවී නව ශිලා යුගයට පැමිණීම ගැන අදහසක් ලබා ගත හැකියි.
ලුණුගල්ගේ ධාන්‍ය ඇට
බලංගොඩ ඉලුක්කුඹුර ලුණුගල්ගේ කියන ස්ථානයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මෙහෙයවීමෙන් මහාචාර්ය රාජ් සෝමදේව කැණීම් කළේ 2015 දියි. මෙම ගල් ගුහාවේ කළ කැණීමෙන් පිළිස්සී ගිය වී ඇට සමඟ ධාන්‍ය වර්ග 35ක ඇට වර්ග හමු වී තිබෙනවා. ඒ සමහර ඒවා අද ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන ඒවා. වලඳ සහල්, කුඩු මිරිස්ස, වල් අබ වගේ ඇට වර්ග එම ලෙනේ හමුවුණා. ගල් මෙවලම් සමඟ තමයි මේ ධාන්‍ය ඇට ලැබී තිබෙන්නේ.
එකම ගුහාවකින් හමුවූ විශාල ගිනිගල් එකතුවක් ලුණුගල් ගෙයින් හමු වීම විශේෂත්වයක්. ගිනිගල් එකතුව සහ ධාන්‍ය දඩයක්‌කාර මිනිසාගේ ජංගමශීලී ගතිපැවැතුම්වල වෙනසක් පළමු වතාවට නිරූපණය කරන බව මහාචාර්ය සෝමදේව සඳහන් කරනවා. ලුණුගල්ගේ සැබවින් ම දඩයම් යුගයෙන් ගොවි යුගයට රූපාන්තරණය වූ වග පිළිබිඹු කරන පුරාවස්‌තු නිධියක් වැනියි.
අමෙරිකාවේ දී කළ විද්‍යාත්මක කාල නිර්ණවලින් මේ ධාන්‍ය අදින් අවුරුදු 6350ක් පැරණි බව හෙළි වුණා. ඉන් අපට තේරෙනවා මීට අවුරුදු 6350කට එපිට කාලයේදී මේ රටේ හිටිය මිනිස්සු මේ ධාන්‍ය ඇට වර්ග ආහාර ලෙස පරිභෝජනය කරන්න පටන් ගත් බව. මේ නිසා ඔවුන්ගේ දඩයම් ස්වභාවය තරමක් අඩු වී ගිය බවට සාධක ද මින් හමුවෙනවා.
අළුගල්ගේ මෝර දත් පළඳනා
බලංගොඩ ඉලුක්කුඹුරට නුදුරු මැද්දේකන්ද නම් කඳු ආශ්‍රිත කලාපයේ පිහිටි ඉතා දුෂ්කර ඉසව්වක ලෙනක් ලෙස හැඳින්විය හැකියි. බලංගොඩ කල්තොට පාරේ ගොස් කිරිමැටිතැන්න හන්දියෙන් වැලිගෙපොල පාරේ කිලෝමීටර 10ක් දුරින් කෝන්ගස්තැන්න හන්දිය පිහිටා තිබෙනවා. එහි සිට තවත් කිලෝමීටර 5ක් ගමන් කරන විට පනාන ගම්මානයට පිවිසිය හැකියි. පනාන ගමේ සිට කිලෝමීටර 3ක් ගමන් කිරීමෙන් අළුගල්ගේ ලෙනට ළඟාවිය හැකියි. මේ ලෙන කැණීමෙන් මධ්‍ය ශිලා යුග මානවයා ගැන සාධක රාශියක් හමු වුණා. ගල්ආයුධ මෙන් ම සත්ව අස්ථිවලින් තැනූ ආයුධ ද විශාල වශයෙන් මින් හමු වී තිබෙනවා.
කාලරත්ක මැටි භාජන කොටස් ද පබළු කිහිපයක් ද ගුහාවෙන් හමුවූ දෑ අතර තිබෙනවා. මුහුදේ ජීවත්වන මෝරාගේ දත් තුනක් මේ ස්ථානයෙන් ලැබුණා. කොරල් කැබැල්ලක් ද හමුවුණා. ඒ අනුව මෙහි සිටි මානව කණ්ඩායම් මුහුද දක්වා සංචාරය කළ බව පැහැදිලියි. ඔවුන් ලුණු ලබාගැනීමට එසේ සංචාරය කළා විය හැකියි. මෝර දත් අතර තිබූ එම දතකින් කළ පෙන්ඩනය විශේෂ සොයාගැනීමක් වුණා. මෝර දතකින් කළ පෙන්ඩනයක් අත්තනගල්ල අලවල ලෙන කැණීමෙන් ද එයට පෙර හමු ව තිබුණා. මෙම ස්ථානයේ කාල නිර්ණය ක්‍රි. පූ. 3450ට අයත් බව හෙළි ව තිබෙනවා.
අළු ගල්ගේ කැනීමෙන් විශාල සතුන් වන ගෝනා, මුවා, කිඹුලා, කුරු හිපපොටේමස් වැනි ක්ෂීරාපායී ඇටකැබලි හමුවුණා. මිරිදිය සහ ගස් ගොලුබෙල්ලන්ගේ කවච අධික ව හමුවු අතර ධාන්‍ය සහ ශාඛ කොටස් හමුවුණේ ස්වල්ප වශයෙන්.
පනාන ගල්ගේ දඩයම් සතුන්
බලංගොඩ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගම්මාන අතර තිබෙන පුරාණයේ භික්ෂුන් භාවිත කළ බවට සාධක සහිත ලෙනක් තමයි පරගහමඩින්ත ගල්ගේ. කඳුබෑවුම් සහිත පනාන ගම්මානයේ කුඹුරු වට කර ගත් සුන්දර පෙදෙසක තමයි මේ ලෙන පිහිටා තිබෙන්නේ. පුරාණ මානවයාට අවශ්‍ය ජල පහසුව වගේ ම දඩයම් සඳහා සතුන් ද එදා ඒ අවටින් සපුරා ගැනීම පහසු වුණා. එම ලෙන පසුකාලීන ව කටාරම් කොටා භික්ෂූන් වහන්සේට පූජා කර තිබෙනවා. දැන්නම් එහි භික්ෂු වාසයක් නැහැ. මේ ලෙන ගොවින් වී පිදුරු ආදිය දැමීමට භාවිත කරන බවයි දැනගන්නට ලැබුණේ.
පනාන ලෙනෙන් සොයාගත් ශාක ද්‍රව්‍ය කාබන් කාල නිර්ණය අනුව වසර හාරදහස් තුන්සිය පනහක කාල නිර්ණ ලැබී තිබෙනවා. පුරාණ ක්ෂුද්‍ර ගල් ආයුධ වගේ ම සත්ව අස්ථි කොටස් ද මේ ලෙනෙන් හමු වුණා. පනාන ලෙන කැණීමෙන් සොයා ගත් සත්ව හා ශාඛ කොටස් විශ්ලේෂණයේ දී ඒවා නුදුරින් පිහිටි අළු ගල්ගේ තුළින් සොයාගත් ඒවාට වඩා වෙනසක් පවතින බව පෙනී ගොස් තිබෙනවා.
මෙහිදි හමු වූ සතුන්ගේ අස්ථි කොටස්වල බහුල ව තිබුණේ කුඩා සතුන් වන දඬු ලේනා, මීමින්නා, වඳුරා, රිලවා, වලි කුකුළා වැනි සතුන්ගේ ඇටකැබලියි. එම ගල්ලෙනින් වෙනත් ලෙන්වල බහුල ව හමු වන මිරිදිය සහ ගස් ගොලුබෙල්ලන් හමු වුණේ නැහැ. මානවයා සත්ව දඩයම වෙනුවට ධාන්‍ය ආහාරයට ගැනීමට යොමුවෙමින් සිටි නිසා එවැනි සාධක හමුවන්නට ඇති බවයි පෙනෙන්නේ.
බලන්ගොඩ මානවයා සම්බන්ධ තවත් ලිපිවලට මෙම සබැඳියෙන් පිවිසෙන්න.