අවුෂ්විට්ස් සංහාරය සැඟවීමට දැරූ නාසි ප්‍රයත්නය

ඉතිහාසය තුළ ලොව වඩාත් ම මානව විරෝධී අපරාධයන් සිදුකර තිබෙන්නේ බලය හොබවන රජයන් විසිනි. විටෙක තම කටයුතුවලට එරෙහි වන සියලුම ප්‍රගතිශීලීන්ට එරෙහි ව නීති විරෝධී අන්දමින් ද, තවත් විටෙක අපරාධයන් නීත්‍යනුකූල කරමින් ද ඔවුන් අපරාධ සිදුකරයි. නමුත් ඔවුන් කිසිදා තමන් සිදුකළ අපරාධ හෙළිවීමට ඉඩ නොදෙයි. තම අපරාධ ඉතිහාසය තුළ වළ දැමීමට හැකි සෑම ක්‍රියාවක් ම සිදුකරයි. අද මෙන්ම එදාටත් එය සත්‍යයක් විය.

නාසි ජර්මනිය යනු ඉතිහාසය තුළ බිහි වූ බිහිසුණු ම රාජ්‍යයන් අතරින් එකකි. ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ පැමිණ ක්‍රමයෙන් බලය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍යයේ කිසිවෙකුට අභියෝග කළ නොහැකි බලවතෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් දියත් කළ පාලනය තුළ රාජ්‍යයේ සතුරන් ලෙස නම් කළ විරුද්ධ මතධාරී ජර්මන් ජාතිකයන්ට පවා හිමි වූයේ අමිහිරි වධ බන්ධන සහ මරණය යි. හිට්ලර් විසින් අභියෝගයක් ලෙස සැලකූ යුරෝපයේ යුදෙව් ජනගහනය සඳහා අවසන් විසඳුමක් ලෙස, ගෑස් කාමරවලින් සැදුම්ලත් වධ කඳවුරු කිහිපයක් යුරෝපයේ ස්ථාපිත කරන ලදී. මෙම වධ කඳවුරු වෙත ජර්මනියේ මෙන්ම යුරෝපයේ යටත් කරගත් සියලු රාජ්‍යවල ජීවත් වූ යුදෙව් ජාතිකයන් සමූහ වශයෙන් එක්රැස් කර, ගෑස් කාමර තුළ සමූහ ඝාතනය කොට සිරුරු දවා හළු කර දමන ලදී.

thedailybeast

මෙම කටයුතු නාසි හමුදාව සහ විශේෂයෙන්ම ගෙස්ටාපෝ පොලිසිය විසින් දියත් කරන ලදී. එනම්, මෙම කටයුතු නාසි රාජ්‍යයට අනුව නීත්‍යනුකූල කටයුතු විය. විරුද්ධවාදීන් මර්දනය කිරීමට ද ගෙස්ටාපෝ පොලිසිය විශේෂයෙන් මැදිහත් විය.

ගෙස්ටාපෝ ප්‍රධානී හෙන්රිච් හිම්ලර්, හිට්ලර් සමඟ (nacion)

දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වන ආසන්නතම සිදුවීම වන්නේ හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම යි. ඒ 1939 සැප්තැම්බර් මස 1 වන දා යි. මසකුත් දින පහකට පසු ව ඔක්තෝබර් 6 වන දා පෝලන්තය සම්පූර්ණයෙන් ම ජර්මන් පාලනයට නතු විය. වඩාත් ම මනුෂ්‍ය ඝාතන සිදු වූ වධ කඳවුරු ඉදිකරන ලද්දේ පෝලන්තයේ ය. අවුෂ්විට්ස් ඉන් එකකි. මෙහි සිදුකළ ඝාතන ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන 1.1කි. ගෑස්කාමර තුළ වේදනාවෙන් අවසන් හුස්ම හෙළූ ගැහැණුන්ගේ, මිනිසුන්ගේ, සහ දරුවන්ගේ නියපොතු පහරින් සීරුම් ඇති වූ වානේ බිත්ති තවමත් එහි මතකයන් ලෝකයට කියාපායි. එහි මතකයන් නැවත නැවත පවසන්නේ ජාතිවාදයේත්, යුද්ධයේත් ඇති අතිඅමානුෂිකභාවයේ තරම ය.

මේ සීරුම් අමිහිරි මරණයේ සටන් ය (rebrn)

දෙවන ලෝක යුද්ධය තුළ ජර්මනිය අපේක්ෂා නොකළ ලෙස ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ පසුබෑම 1944න් පසු ව සනිටුහන් විය. සෝවියට් රතු හමුදාවන් විසින් නැගෙනහිර යුරෝපයේ තිබූ සියලු ජර්මන් බලයන් බිඳිමින්, 1945 අප්‍රේල් වන විට ජර්මනියේ බර්ලින් දක්වා ම පැමිණ තිබුණි. 1944 නොවැම්බර් මස ගෙස්ටාපෝ පොලිස් ප්‍රධානී මෙන්ම ‘අවසන් විසඳුමේ’ එක් නිර්මාපකයෙකු වන හෙන්රිච් හිම්ලර් විසින් විශේෂ නියෝගයක් නිකුත් කරමින් පැවසුවේ අවුෂ්විට්ස්හි ගෑස් කාමර විනාශ කර දමන ලෙස යි. නමුත් මෙය හිට්ලර්ගේ නියෝගවලට පටහැනි විය. මන්ද, හිට්ලර්ගේ වෙනස් නොවූ නියෝගය ව තිබුණේ යුරෝපයේ ඉතිරි යුදෙව්වන් සියල්ල ම වහා ම විනාශ කර දමන ලෙස යි. මේ වන විට හමුදා සහ ආණ්ඩුව බිඳ වැටෙමින් පැවති නිසා මෙය නාසි නායකයන් අවසානයට පෙර සූදානමක් විය.

පෝලන්තයේ දී රතු හමුදා (rt)

නමුත් අවුෂ්විට්ස් නිලධාරීන් හිම්ලර්ගේ අණ පිළිපදිමින් ගෑස් කාමර ගලවා ඉවත් කිරීම ආරම්භ කරන ලදී. නැගෙනහිර දෙසින් පැමිණෙමින් සිටි සෝවියට් රතු හමුදා අවුෂ්විට්ස් වෙත පැමිණීමට පෙර ඩයිනමයිට් යොදා ගෑස් කාමර විනාශ කර දැමීමට කටයුතු කළ නමුත්, නාසින් නොසිතූ ලෙස සුන්බුන් ඉතිරි විය. 1945 ජනවාරි 27 වන දා රතු හමුදාව විසින් අවුෂ්විට්ස් කඳවුර මුදාගත් අතර ඒ වන විට එහි 7000ක පමණ මියැදෙමින් සිටි සිරකරුවන් බේරා ගන්නා ලදී. මෙම වධ කඳවුරු යුදෙව්වන් සඳහා පමණක් නොව යුද්ධයේ දී අල්ලාගත් සෝවියට් වැසියන් මරා දැමීමට ද උපයෝගී කරගන්නා ලද අතර, එසේ සිටි පිරිස් ද මුදාගැනීමේ දී හමුවිය.

විනාශ කළ දහනාගාරයක් (Auschwitz)

මෙසේ ඉතිරි ව සිටියේ ඉතාමත් ම දුර්වල ව සිටි පිරිස වූ අතර, ඉතිරි 60,000ක සිරකරුවන් හිම්ලර්ගේ නියෝගය මත ජර්මනිය වෙත ගෙනයාමට පා ගමනින් පිටත් ව සිටියේ ය. එය සැබැවින් ම මරණයේ පා ගමනක් විය. ගමන අතරතුර කිසිදු ආහාරයක් හෝ ජලය නොලැබුණු අතර දුර්වල වන සියලු දෙනාට වෙඩි තබා මරා දමන ලදී. පැන යාමට උත්සාහ කිරීම සුපුරුදු ලෙස ම වෙඩි ප්‍රහාරයට ලක්වීමට හේතු විය.

මෙසේ පිටත් කළ සිරකරුවන් ජර්මනිය බලා රැගෙන ගොස් වහලුන් ලෙස ජර්මනියේ සේවයේ යෙදවීම හිම්ලර්ගේ අරමුණ විය. පිරිසක් අතරමඟ දී ජර්මනියට දුම්රිය මඟින් පිටත් කරන ලදී. තවත් කොටසක් පළාගිය අතර, මියගිය පිරිස පිළිබඳ නිශ්චිත වාර්තාවක් සඳහන් ව නොමැත.

බේරාගත් සෝවියට් දරුවෙක් (history)

නැවත ගෙස්ටැපෝ නියෝගයක් අනුව කඳවුරේ ඉතිරි සිරකරුවන් සියල්ල මරා දැමීමට පිරිසක් පැමිණි අතර, 700ක් පමණ එසේ මරා දැමිණි. එපමණක් නොව, ඔවුන් කඳවුර සතු ව තිබූ ලිඛිත වාර්තා විනාශ කර දැමීමට ද කටයුතු කරන ලදී. ජනවාරි 27 දා රතු හමුදාව පැමිණි විට කුසගින්නේ මියයමින් සිටි සිරකරුවන්, වෛද්‍ය පරීක්ෂණවලට ලක්කර සිටි ළමුන් මෙන්ම නාසින් හට විනාශ කිරීමට නොහැකි වූ අපරාධ සාක්ෂ්‍ය රැසක් ඉතිරි ව පැවතුණි. ආපසු රැගෙන ගිය සිරකරුවන් සතු ව තිබූ බඩු භාණ්ඩ තොගයක් ද ඒ අතර විය. එපමණක් නොව, ටොන් 7.7ක හිස කෙස්, පිරිමි ඇඳුම් කුට්ටම් 370,000ක්, සහ කාන්තා ඇඳුම් සහ කබා 837,000ක ප්‍රමාණයක් ඇතුළු භාණ්ඩ තොගයක් ගබඩා තුළ ඉතිරි ව තිබුණි. රතු හමුදාවේ උපකාරයෙන් ඉතිරි 7000ක පිරිසෙන් කොටසක් දිවි බේරාගත් අතර, ඉතිරි පිරිස වැළඳී තිබූ රෝග සහ කුසගින්න නිසා මරණයට ගොදුරු වූහ. ඒ අතර ජනවාරි 27 වන දා සිදුකළ මෙම ඓතිහාසික මුදාගැනීම පිළිබඳ ව එකල එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල පුවත්පත්වල කිසිදු සඳහනක් නොකර සිටීම ද විශේෂත්වයකි.

සිරකරුවන් සතුව තිබූ පාවහන්, ආබාධිත පුද්ගලයන්ගේ උපාංග, හිසකෙස්, කඳවුර තුළ දී ලබාගත් ඡායාරූප (Pic by; History/ Edit; RoarMedia)
දිවි බේරාගත් අයෙකු විසින් මතකයෙන් ඇඳි චිත්‍රයක් (Auschwitz)

නාසින් විසින් ඉතිහාසයෙන් මකා දැමීමට උත්සාහ කළ තම අපරාධයන් පිළිබඳ තොරතුරු අවසානයේ වධ කඳවුරින් විවිධ අවස්ථාවල පැනගොස් සහ මුදාගැනීමෙන් පසු ව දිවි බේරාගත් අය විසින් හෙළි කරන ලදී. අද අවුෂ්විට්ස් යනු ප්‍රතිසංස්කරණය කරන ලද, සංරක්ෂිත, යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද කෞතුකාගාරයකි. මේ මතකය එහි දී වේදනාකාරී මරණය උරුමකරගත් සියලු මනුෂ්‍යයන් වෙනුවෙනි.

දුම්රිය පැමිණෙන දොරටුව (videoblocks)

 

Related Articles

Exit mobile version