Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගැමුණු – සද්ධාතිස්ස සොයුරන් යුදවැදුණු යුද පිටිය: යුදඟනාව

ඌව පළාතේ පිහිටා ඇති බෞද්ධාගමික සිද්ධස්ථාන අතර ප්‍රධාන තැනක් ගන්නා ඓතිහාසික යුදඟනාව පූජා භූමියේ පිහිටා තිබෙන යුදඟනාව දාගබ (චෛත්‍ය) ඌව පළාතේ පිහිටා තිබෙන විශාලත ම දාගබ ලෙස සැලකෙයි. එහි ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යයි. ඉපැරැණි මූලාශ්‍රයන්හි සඳහන් කරුණුවලට අනුව දුටුගැමුණු- සද්ධාතිස්ස සටන වැනි විශේෂ සිදුවීම් ගණනාවක් මෙම පූජා භූමිය ආශ්‍රිතව සිදු වී ඇත. මෙම ලිපිය ලියැවෙන්නේ ඓතිහාසික යුදඟනා පූජා භූමියේ ඉතිහාසය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳවයි.

පිහිටීම

බුත්තල නගරයේ සිට වැල්ලවාය නගරය දෙසට දිවෙන මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරක් ගමන් කරන විට මාර්ගයේ දකුණු පසින් යුදඟනාව පූජා භූමියට පිවිසෙන මාර්ගය පිහිටා තිබේ. එතැන් සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගිය විට ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරයට පිවිසිය හැකිය. පැරණි පොතපතේ මෙය සඳහන් වන්නේ යුදඟනා විහාරය වශයෙනි.

යුදඟනා විහාර භූමියේ චූලංගණීසෑය සහ යුදඟනාසෑය යනුවෙන් දාගබ් දෙකක්‌ පිහිටා ඇති අතර දුටුගැමුණු කුමරුන් සහ සද්ධාතිස්‌ස කුමරුන් අතර සටන සිදුවූ චූලංගනී පිටිය යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ස්‌ථානය බව මූලාශ්‍රවල සඳහන් වේ.

දුටුගැමුණු- සද්ධාතිස්ස යුද්ධය

කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ගැමුණු කුමරු රුහුණේ රජතුමන් ලෙස පෙනී සිටි අතර තම සොහොයුරා මොන යම් මොහොතක හෝ තමන් සමඟ සටනට එතැයි අපේක්ෂාවෙන් තිස්ස කුමරු දිගාමඩුල්ලට වී සිටියේය. දුටුගැමුණු කුමරු සිය මවු බිසව සහ කඩොල් ඇතු ඉල්ලා තිස්ස කුමරුන් වෙත හසුන් පත් යොමු කළ ද තිස්ස කුමරු එයට පිළිතුරක් යොමු කළේ නැත. මේ අයුරින් අවස්ථා තුනක දී පමණ යැවූ ලිපිවලට පිළිතුරක් නොලැබුණු බැවින් තිස්ස කුමරුන් හා සටනට දුටුගැමුණු කුමරු සූදානම් විය.

ඒ අනුව මාගමින් දුටුගැමුණු කුමරුන් පිටත් වූ බව ඇසූ තිස්ස කුමරු චූලංගනී පිටියට හෙවත් වර්තමාන යුදඟනා විහාරය පිහිටි භූමියට පැමිණ කදවුරු ලා සිටියේය. දුටුගැමුණු කුමරු ද සිය සොහොයුරාගේ සංග්‍රාම ශක්තිය අවබෝධ කර නො ගෙන සටනට බට නිසා සිය සේනාව මෙන් දස ගුණයකටත් වඩා විශාල සේනාවක් සමඟ යුද්ධ කිරීමට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සටන ජය ගැනීමට අපහසු බව අවබෝධ කර ගත් දුටුගැමුණු කුමරු මාගම බලා පසුබැස්සේ ය.

යුදඟනා වෙහෙර ඉහළ අහසට දිස්වන අයුරු – Facebook- “ආවොත් පෙනෙයි කඳු අතරින් බදුල්ලේ”

මාගමට වී නැවැතත් සේනාව සංවිධානය කරමින් සිටි දුටුගැමුණු කුමරුන් මෙම ගැටුමෙන් ජීවිත රැසක් විනාශ විය හැකි බව දත් නිසා සටන නවතා දමා තමා කරා පැමිණියහොත් සමාව ලබා දෙන බව සඳහන් කරමින් තිස්ස කුමරු වෙත හසුන් පතක් යොමු කළ ද තිස්ස කුමරු එය සරදමක් ලෙස සිතී ය. මේ නිසා  දෙවැනි වරටත් මෙම බළ සේනා යුදඟනාවේ දී මුහුණට මුහුණ ලා හමු වූ අතර එම අවස්ථාවේ දී ගැමුණු කුමරුගේ සේනාව ජයග්‍රහණය කරන බව දුටු තිස්ස කුමරු පලා ගොස් අසල පිහිටි දෙමටමල් විහාරයෙහි සැඟවිණි.

භික්ෂූන් වහන්සේලාගේ රැකවරණය මධ්‍යයේ සිටි තිස්ස කුමරු නැවැත තමන්ට අභියෝගයක් නො වන බව වටහා ගත් දුටුගැමුණු කුමරු විහාරමහාදේවිය හා කඩොල් ඇතු ද රැගෙන මාගම බලා පිටත් විය. පසුව ගෝධත්ත නම් ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් දෙසොහොයුරන් සමගි කරවන ලද අතර දුටුගැමුණු රජු තිස්ස කුමරුට දිගාමඩුල්ල ප්‍රදේශය භාර කරවා එහි කෘෂිකර්මාන්තය නගාසිටුවීමට උපදෙස් දිණි.

දුටුගැමුණු හා සද්ධාතිස්ස යන දෙසොහොයුරන් අතර සංග්‍රාමය සිදු වූ චූලංගනී පිටිය හෙවත් යුදඟනා පිටිය මෙම බුත්තල යුදඟනා පුරාවිද්‍යා භූමිය ම බව ජනශ්‍රැති හා සාහිත්‍යමය මූලාශ්‍රවලින් තහවුරු වේ. සද්ධාතිස්ස සිය සොහොයුරා සමග යුද වැදීමෙන් කරගත් පාප කර්මය මැකීමටත්, එම සටන සදා සිහිවීම පිණිසත් මෙම යුදඟනා දාගබ ඉදි කරවූ බව ඉතිහාසගත තොරතුරු ප්‍රකාශ කරයි.

කඩොල් ඇතුගේ මිය යාම

දුටුගැමුණු රජු සමඟ ඉතා සමීපව කටයුතු කළ කඩොල් ඇතු තම ස්වාමියා වූ දුටුගැමුණු රජුගේ අකල් වියෝව හේතුවෙන් කම්පා වීම නිසා දැඩි ලෙස රෝගාතුර විය. මේ පිළිබඳ අවධානය යොමු කළ සද්ධාතිස්ස රජු ඇත්ගොව්වන්ගේ උපදෙස් පරිදි කඩොල් ඇතුගේ උපන් ප්‍රදේශය වූ මාගම් පුරවරයට ඇතා රැගෙන ගිය බව පවසයි. මෙසේ රැගෙන යන අතරතුර අසාධ්‍ය වූ කඩොල් ඇතා යුදඟනාව දාගබ දෙසට නමස්කාර කරමින් මිය ගිය බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ. එම ඇතා ගේ දේහය මෙම පූජා භූමිය ආසන්නයේ පිහිටි පොරමැඬිල්ල නම් ස්ථානයේ මිහිදන් කර ඇත. පසුව එහි දී වෙන් කරගත් ඇතා ගේ දළ යුගළය දුටුගැමුණු රජු මිය යාමට පෙර නියම කළ පරිදි කතරගම දේවාලයට පූජා කර ඇත. 

යුදඟනාව යනු රත්නාවලී චෛත්‍යය ද?

යුදඟනා දාගබ යනු මහා පරාක්‍රමබාහු රජු, සිය මව, එනම් රත්නාවලී බිසව සිහිවීම පිණිස කරවන ලද “රත්නාවලී” නම් දාගබ බවට තවත් මතයක් තිබේ. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සඳහන් කරන්නේ පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ මෑණියන් ආදාහනය කළ බවට සැලැකෙන රුහුණු රට “ඛීරගාමය” මෙම යුදඟනා ප්‍රදේශය බවයි. ඔහුගේ මතය වන්නේ මහා පරාක්‍රබාහු රජු සිය මෑණියන් සිහිපත් වීම පිණිස තැන වූ රියන් 120 ක්‌ උස රත්නාවලී සෑය වර්තමාන යුදඟනා දාගබ බවයි.

චූලංගනී විහාර පරිශ්‍රය – Google Maps- Wishwajith Weerasinghe

යුදඟනා දාගබේ විශේෂත්වය

දැනට ඌව පළාතේ ඇති විශාලත ම දාගබ යුදඟනා දාගබ වන අතර මහාචාර්ය පරණවිතානය මහතා, එය කොටවෙහෙර නමින් හැඳින්වෙන දාගබ් විශේෂයට අයත් බව පෙන්වා දී තිබේ. පේසා වළලුවලට ඉහළින් දාගබ බැඳීම නවතා සමතලා කොට, ඒ මැද කුඩා ස්‌ථූපයක්‌ ගොඩනඟා තිබීම කොට වෙහෙරක විශේෂ ලක්‌ෂණයකි.

 පසුව කළ කැණීම්වලදී අනාවරණය වූ කරුණුවලට අනුව යුදඟනා චෛත්‍යය කොට වෙහෙරක් නොව සතරැස් කොටුවක් හා කොත් කැරැල්ලක් සහිත වූ පූර්ණ දාගබක් වශයෙන් තිබී ඇති බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයකු වන ආචාර්ය ඩව්.එච්. විජයපාල මහතා ප්‍රකාශ කොට ඇත.  වර්තමානයේ මෙම දාගබේ උස මීටර් 26 පමණ වන අතර එහි වට ප්‍රමාණය අඩි 1,083 කි.

යුදඟනා දාගබට දකුණු දිසාවෙන් පිහිටි යුදඟනා වැව මහානාග රජු කරවන්නට ඇතැයි ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන අතර වැවේ ජල ධාරිතාව අක්‌කර අඩි 1,000 ක්‌ පමණ ද වපසරිය අක්‌කර 150 ක් පමණ ද වේ.

නනිශ්ශංකමල්ල රජු කර වූ බවට සැලැකෙන ටැම් ලිපිය – Google Maps – Bishan Buddhika

යුදඟනා දාගබ ආශ්‍රිත වෙනත් ඉදිකිරීම්

යුදඟනා සෑය ආසන්නයේ මීටර් 600 පමණ ඉදිරිපසින් චූලංගනී සෑය ඇතුළු විහාර සංකීර්ණයක් ද දක්‌නට ඇත. එය අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන අතර ස්‌ථූපයක්, බෝධිඝරයක්, උපෝසථාගාරයක් සහ වෙනත් ආරාමික ගොඩනැඟිලිවලින් සමන්විත ව තිබී ඇති බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. එහි පිහිටි පිළිමගෙයි නටබුන් වූ බුද්ධ ප්‍රතිමා ක්‍රිස්තු වර්ෂ 6-7 සියවස්‌වලට අයත් ඒවා බව කියැවේ.

ඊට අමතර ව යුදඟනා දාගැබ අසල පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රජු කරවූ ටැම් ලිපියක් ද ඇති අතර එය ගාවුත කණු ගණයට අයත් වේ. ජනතාවට අවවාද කිරීමේ අරමුණෙන් පොළොන්නරුවේ සිට රුහුණ දක්වා වූ මාර්ගයේ ප්‍රධාන ස්ථානවල මෙම කණු පිහිටුවූ  බව කියැවේ.

මහනුවර යුගයේ දී අනුග්‍රහය ලැබීම

බුත්තල යුදඟනා රාජමහා විහාරයට වර්ෂ 1716 දී රාජාධිරාජසිංහ රජු කළ නින්දගම් පූජාවක් ස්ථිර කරමින්” ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ‘යුදඟනා වෙහෙර සන්නස’ නිකුත් කොට ඇත. ඒ අනුව එම ගම්වරයට අයත් භූමි ප්‍රමාණය අක්කර 1,739 කි. යුදඟනා දාගබට ඉදිරිපසින් වර්තමානයේ දක්නට ලැ‌බෙන බුද්ධ ප්‍රතිමා මන්දිරය ද මෙම වකවානුවට ම අයත් වන අතර  එහි ඉදිරිපස කොටස පසු කාලයේ දී එකතු කරවූවක් බව පෙනී යයි.

මහනුවර යුගයට අයත් විහාර මන්දිරය –  R. Windsor

මෙහි ඇති බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා නුවර යුගයේ කලා ශෛලිය නියෝජනය කළත් එහි කටයුතු ග්‍රාමීය කලාකරුවකු අතින් සිදු වූ බව ඇතැම් සිතුවම් ආදිය දෙස බලන විට පෙනී යයි. ඇතුළත නිරූපණය කොට ඇති කතරගම හා ගණ දෙවියන්ගේ සිතුවම් එයට මනා නිදසුන් වේ. වර්තමානය වන විට මෙම ප්‍රතිමා ගෘහය ද ප්‍රතිංස්කරණයට ලක් කො‌ට ඇත.

මෑත කාලීන ප්‍රතිසංස්කරණ කටයුතු

වනගත ව තිබූ යුදඟනා දාගැබ ප්‍රතිසංස්‌කරණ කටයුතු මුල් අවධියේ දී මොණරාගල දිස්ත්‍රිස්කයේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ ගල්ටැම්වත්තේ ශ්‍රී චන්දජෝති නාහිමියන්ගේ මැදිහත් වීමෙන්  ආරම්භ විය. එය එතරම් සාර්ථකත්වයට පත් නොවූ නිසා වර්ෂ 1979 දී  එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වූ ඊ.එල්.බී. හුරුල්ලේගේ මැදිහත් වීමෙන් නැවත වරක් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය. පසුව යම් යම් හේතු නිසා එම වැඩ කටයුතු අඩාල වී දාගබ වටා යළිත් වල් බිහි විය.

වර්ෂ 1992 දී බුත්තල ගම්උදාවට සමගාමීව නැවත වරක් චෛත්‍යයේ පිළිසකර කිරීම් ආරම්භ කළ අතර ඒ සමග ම යුදඟනා දාගබ සංවර්ධන අරමුදලක් ද ඇති කරන ඇත. එනිසා එහි ප්‍රතිසංස්කරණ කටයුතු යුහුසුලුව සිදු වූ අතර ඒ සදහා අවශ්‍ය ගඩොල් ලක්ෂ ගණනක් නිපදවා ඇත්තේ 87-89 කාලයේ රජයේ අත්අඩංගුවට පත් ව පුනුරුත්ථාපනය කළ තරුණයන් ය. දාගබේ පතුලේ සිට පේසා වළලු දක්‌වා ප්‍රතිසංස්‌කරණය කර, ගර්භයෙහි ද විශාල වැඩ කොටසක්‌ නිම කරන්නට එවකට හැකියාව ලැබිණි. ඉන් අනතුරුව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නැවත වරක් මන්දගාමී විය.

ඝණ දෙවියන්ගේ සහ කතරගම දෙවියන්ගේ සිතුවම් – R. Windsor

තෙවැනි වරට යුදඟනා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2003 වර්ෂයේ දී එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ඩබ්. එච්. විජයපාල  ගේ පූර්ණ අධීක්ෂණයෙන් ආරම්භ වූ අතර ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා එක්ව සංරක්ෂණ කටයුතු සිදු කර ඇත. දැනට යුදඟනා දාගබ ආශ්‍රිත ව සිදු කර ඇති පුරාවිද්‍යා කැණීම්වලින් පුරාවස්තු රාශියක් සොයාගෙන තිබේ. ඒ අනුව පළමු පාංශු ස්ථරයේ තිබී වළං කැබලි රාශියක්, ලෝම සෙම්බුවක් සහ VOC කාසි 400ක් පමණ සොයා ගෙන ති‌බේ.

දාගැබේ බටහිර පෙදෙසට වන්නට කළ කැණීම්වලින් සෙන්ටිමීටර් 61 ක් පමණ උස් වූ ලෝහ කරඬුවක් හමු වූ අතර ඒ තුළ නාථ දෙවියන්ගේ යැයි සිතිය හැකි දේව ප්‍රතිමාවක් හා බුදු පිළිම තුනක් ද තිබී ඇත.වර්තමානය වන විට දාගබේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී ඇති අතර මෙම පරිශ්‍රය මධ්‍යම සංස්කෘතික අරමුදලේ යුදඟනා සංරක්ෂණ ව්‍යාපෘතිය ලෙස නම් කො‌ට ති‌බේ.

කවරයේ පින්තූරය- යුදඟනා දාගබ - Google Map- Thameera Malinga

මූලාශ්‍ර:

ඓතිහාසික යුදඟනාව - ඌරුගමුවේ අස්සජී හිමි

මව් සෙනෙහසට පුද දුන් දාගැබ ඓතිහාසික යුදඟනාව ස්තූපය - උදේනි අරුණසිරි

 

Related Articles