බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හංවැල්ල කැලණි ගං ඉවුරේ පිහිටි ඓතිහාසික මතක සටහන් රැසක් සහිත ප්‍රදේශයක්. කොළඹ සිට හංවැල්ලට දුර කිලෝ මීටර් 30ක්. අද එය නගරයක් බවට පත් ව තිබුණ ද ඈත අතීතයේ දී මෙය පිටිසර ලක්ෂණ සහිත ගමක පිහිටි තොටුපොළක් වූණා.
1960 දශකයේ හංවැල්ල පාලම ඉදිකරන තුරු ම හංවැල්ල තොටුපොළක් ලෙසයි පැවතුණේ. එය සීතාවක රාජසිංහ කාලයේ සිට ම ඉතිහාසයේ සඳහන් වන වැදගත් සංග්‍රාමික මධ්‍යස්ථානයක්. මේ එහි අතීතය සොයා බැලීමට ගත් උත්සාහයක්.
ගුරුබැවුල
ඈත අතීතයේ වන උයන්, මල්වතු, ලිය ගොමුවලින් පිරුණු සුන්දර පරිසරයක සිරි අසිරිය ගුරුබැවුලේ පැවැති බව පෙනෙනවා. සැලළිහිණි සංදේශයේ ද ගුරුබැවුල ගැන සඳහන් වුණත් ඒ හංවැල්ල විය නොහැකි බව වී. ඩී. ද ලැනරෝල් ඇතුළු වියතුන් පෙන්වා දෙනවා. ඒ ගුරුබැවිල කෝට්ටේ හා කැලණිය අතර ගමන් මගේ හමු වූ ගමක් බවයි පැවසෙන්නේ.
සිංහල රජුන්ගේ කාලයේ දී මේ පෙදෙස හැඳින්වුණේ මායාදුනු කෝරළය යනුවෙනු යි. එයට හේතුව මායාදුනු ගම එහි පිහිටා තිබීම යි. එය පසුව සියනෑ කෝරළය බවට වෙනස් වුණා. ගුරුබැවුල යනුවෙන් ග්‍රාම නාමය සෑදී ඇත්තේ ගුරු පැහැති බෑවුමක් ඇති ප්‍රදේශය නිසා බවත් ගුරු කියත මත්ස්‍යයන් හිටපු විල ගුරුබෑවුල බවත් ආදී වශයෙන් ගුරුබැවුලට ග්‍රාම නාම රාශියක් තිබෙනවා.
ගුරුබැවුල බළකොටුව
සීතාවක රජවරුන් හංවැල්ලේ බළකොටුව මුලින් ම කරවා ඇත්තේ සීතාවක පෘතුගීසින්ට එරෙහි ව යුද වැදීමේ දී සේනාව නවත්වා තැබීමට යි. බළකොටුවේ භූගෝලීය පිහිටීම අනුව පර සතුරු උවදුරු හමුවේ සතුරාට පහසුවෙන් පහර දීමට නොහැකි යි. වර්ෂ 1521 දී කෝට්ටේ රාජධානිය බිඳවැටීමෙන් පසුව සීතාවක රාජධානිය ගොඩ නැගූ මායාදුන්නේ රජු මෙහි බළකොටුවක් ඉදි කළ බව සඳහන් වෙනවා. රාජාවලිය සඳහන් කරන්නේ පැරණි උඩරට මාර්ගයේ කේන්ද්‍රස්ථානයක වූ හංවැල්ල හා ගිරාඉඹුල සම්බන්ධ කර කඩවතක් පැවති බවයි.
වර්තමාන හංවැල්ල නගරයේ තානායම පිහිටි එක් පසෙකින් ගඟට බෑවුම් වූ උස් බිම්කඩ අතීතයේ ගුරුබැවුල බළකොටුව පැවැති ස්ථානය වශයෙන් හැඳිනගෙන තිබෙනවා. මේ බිම අද නම් අක්කර දෙකක් පමණ වුවත් පුරාණයේ ඒ අවට බිම් ද බළකෙටුවට අයත් ව පවතින්නට ඇති. මායාදුන්නේ රජතුමන් මෙන් ම ඔහුගේ පුත්‍රයා වූ සීතාවක රාජසිංහ රජතුමාත් කොළඹට නුදුරු මේ ස්ථානය පෘතුගීසි විරෝධී අරගලයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිත කළ බව ඉතිහාසයෙන් පේනවා.
රාජසිංහ රජුගෙන් පසු මේ ස්ථානය පෘතුගීසින් අත්පත් කරගෙන ඔවුන්ගේ බළකොටුවක් වශයෙන් ද පාවිච්චි කර තිබෙනවා. ජොරනියේ ද අවන්ඩෝගේ නායකත්වයෙන් යුක්ත ව වර්ෂ 1597 දී මෙහි කොටුබැම්ම නැවත ඉදි කළ බව පැවසෙනවා. ඔවුන් එසේ බළකොටුව වඩාත් සවිමත් ව ඉදිකරන්නට ඇති බවත් පේනවා. එක් පසෙකින් කැලණි නදියට බෑවුම් වූ බළකොටු බිමේ ආරක්ෂාවට දිය අගලක් ද කපාගෙන තිබුණා. අදටත් දිය අගල තිබූ ස්ථානයේ සලකුණු දකින්නට පුළුවන්. 1960 වනවිටත් ගඟ උතුරා ගිය අවස්ථාවල දිය අගල ජලයෙන් පිරෙන බව වී. ඩී. ද ලැනරෝල් ලියා තිබෙනවා. තානායමේ ප්‍රවේශ මාර්ගය තැනීම සඳහා පසුව දියඅගල දෙපසින් ම ගොඩකර තිබෙනවා.
මායාදුන්නේ රජු පෘතුගීසීන්ට හා බුවනෙකබාහුට එරෙහිව කැලිකට්හි සැමොරින් නම් පාලකයාගෙන් යුද ආධාර ලබා, යුද්ධයට ගොස් පරාජය වූයේ ගුරුබැවිලේ දී බව රාජාවලිය සඳහන් කරනවා. පසුව එදිරිල්ලේ රාල හා කුරුප්පු ආරච්චි වැනි සෙන්පතියන් විසින් යළිත් ගුරුබැවුල බළකොටුව සිංහලයන් වෙතට යළිත් අත්පත්කර ගත් බව සඳහන් වෙනවා.
1593 දී අසවේදු සෙනෙවියා විසින් ගුරුබැවිල යටත් කර ගනු ලැබීමෙන් එහි පෘතුගීසි බලය ස්ථිර වුණා. ඉන් පසු එහි පෘතුගීසි සෙබළු නවත්වා කොළඹ – මහනුවර මාර්ගය ආරක්ෂා කිරීමට ඔවුන් කටයුතු කළබව පේනවා.
ලන්දේසි කාලයේ හංවැල්ල
ලන්දේසි සමයේ දී මෙම කොටුව තරුවක ආකාරයට කබොක්ගල් භාවිතයෙන් සවිමත් ආකාරයට ඉදිකරවා තිබෙනවා. එම ඉදිකිරීම් 1684 දී අවසන් වූ බව සඳහන්. පහතරට පෙදෙස් ලන්දේසීන්ට නතු වීමෙන් පසු කොළඹ සිට මහනුවර බලා යන දූතයන්ගේ අතරමඟ නවාතැනක් සේ ගුරුබැවුල බළකොටුව භාවිත වීම දැකගත හැකි යි. දූතයන් අඩු තරමින් එක් දවසක් වත් හංවැල්ලේ නවාතැන් ගත් බව දූත වාර්තා පිරික්සන විට පෙනී යන කරුණක්. ලන්දේසි යුගයේ දී හංවැල්ල මෙන් ම ගුරුබැවුල යන නම් දෙක ම එතැනට භාවිත කර තිබෙනවා.
‘යොහාන් වුල්ෆ්ගන්ග් හෙයිඩ්ට්‘ලංකාවේ අත්දැකීම් පදනම් කර ගෙන ජර්මනියේ දී ලියූ පොත ආර්. රේවන් හාට් Heydt’ s Ceylon නමින් ඉංගිරිසියට නඟා තිබෙනවා. ඔහු සිය කෘතියට 1736 දී හංවැල්ල බළකොටුවේ ස්වභාවය දක්වා ඇඳි චිත්‍රයට අනුව බළකොටුව ඉදිරිපස සිංහල ගැමියන් කත් රැගෙන යන ආකාරය, කාන්තාවක් තල්අතු යටින් ගමන් කරන අයුරු නිරූපණය කර තිබෙනවා. මෙම සිතියමේ ඔහු නම සඳහන් කර ඇත්තේත් හංවැල්ල ලෙස ම යි.
1736 දී හෙයිඩ්ට් ‘සිය කෘතියේ සඳහන් කරන ආකාරයට හංවැල්ලේ ලන්දේසි බළකොටුව කුඩා බළකොටුවක් වන අතර එය ඉතා පිරිසුදු ව සකසා තිබුණු ස්ථානයක්. එහි හතළිහත් පනහත් අතර භට පිරිසක් සේවයෙහි නිරත ව සිටියා. පසුව 1761 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු පහතරට ආක්‍රමණය කර හංවැල්ල ද සිය පාලනයට යටත් කර ගෙන කොටුව වටා රැකවල් යොදා තිබෙනවා.
ස්වභාවික ව අශ්ව ලාඩමක හැඩය ගත් හංවැල්ල කොටුව කබොක් ගලින් ප්‍රාකාර බැම්මක් බඳවා ගඟට මුහුණ ලා සිටින සේ තැනූ ආලින්දයකින් ද යුක්ත ගොඩනැගිල්ලක්. බළකොටුවේ ආරක්ෂාවට මුර අට්ටාල හතරක් පැවතියා. හේවායන් සඳහා ශාලා තුනක්ද දගබඩා දෙකක් ද ඉදි කර තිබුණා. කොටුව මැද දැවමය ඝණ්ඨා කුලුනක් ද ළිඳක් ද තිබුණා.
ඉංග්‍රීසි පාලන කාලය
වර්ෂ 1796 දීරටේ මුහුදුබඩ පළාත්වල අයිතිය ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසින් අත්පත් කර ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 1800 දී බ්‍රිතාන්‍යයන් යටතේ ගමන් කළ මැක්ඩොවල්ගේ දූත චාරිකාව පිළිබඳ ව රොබට් පර්සිවල් An Account of The Island of Ceylon නමින් ලියූ කෘතියේ ( ‘රොබට් පර්සිවල් දුටු ලංකාව‘ නමින් යසපාල වනසිංහගේ පරිවර්තනය ) ඔහු හංවැල්ල ‘ගුරවඩි‘ (Gurrawaddi) නමින් හඳුන්වනවා. ඒ ඔහු ගුරුබැවුල උච්චාරණය කළ ආකාරය යි. පර්සිවල් 1797 දී ඉංගිරිසීන්ගේ මෙහෙයවීමෙන් බළකොටුවේ නවතා සිටි සිපොයි භටයන්ගෙන් සමන්විත බළකාය සිංහල හමුදා විනාශ කළ බව පවසනවා.
ශ්‍රී වික්‍රම – ඉංග්‍රීසි අතර ගුරුබැවුලේ සටන
වර්ෂ 1803 දී උඩරට ආක්‍රමණය කළ ඉංගිරිසි හමුදා බිහිසුණු පරාජයකට පත්ව විශාල අලාභහානිවලට ලක්ව පසුබැස පැමිණි පසු, කොළඹ ආක්‍රමණය කළ හැකි යයි උඩරට මහ රජු ශ්‍රී වික්‍රම රාජසිංහ කල්පනා කළා. ඒ අනුව ඔහු ලෙව්කේ සෙනෙවි ප්‍රධාන කොටගත් සේනාවක් සමඟ හංවැල්ල දක්වා පැමිණෙනවා.
මේ වනවිට උඩරට හමුදා මාතර, තංගල්ල සහ හලාවත ඉංගිරිසි බළකොටුවලට ද පහර දී තිබුණා.1803 සැප්තැම්බර් 06 වනදා හංවැල්ලට පහර දුන් උඩරට හමුදා සටන් වැදුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මෙහෙයවීමෙනු යි. යුද්ධයට දක්ෂ ලෙවුකේ දිසාවේ ද සටනට එක් වී සිටියා.
ඉංග්‍රීසීන් හංවැල්ල සටනින් පරාජයෙන් වැලකුණේ කපිතාන් විලියම් පොලොක්ගේ උපක්‍රමශීලිත්වය නිසා බව පැවසෙනවා. මේ බිහිසුණු සටන මැද කාලතුවක්කු උණ්ඩයක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අසලට වැටුණු අතර රජු වහා සිය පිරිස සමඟ සටන් බිමෙන් ඉවත් වුණා. රජු යනු දුටු අනෙක් සේනාව ම පලා ගියෙන් ඉංග්‍රීසින්ට සටනින් ජය ලැබුණා.
එම සටන අවස්ථාවේ දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දක්ෂ සෙනවියකු වූ ලෙව්කේ දිසාවේ හංවැල්ල බළකොටුව යටත් කර ගැනීමට කටයුතු නොකළ බව පවසමින් වෙනත් අය රජුට කියූ කේලාම් බස් අසා ඔහුගේ හිස ගසා දැමීමට රජු නියම කරනවා. හංවැල්ල නිරිපොළ වක්ඔය අසල කොට්ටැල්ල වෙලේ දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතින් මරු වැලඳ ගන්නට ඔහුට සිදුවෙනවා. ඉන් පසුවයි රජු ඇතුළු පිරිස මහනුවර බලා ගමන් කරන්නේ.
වේල්සයේ කුමාරයා
ඉංග්‍රිසි පාලනය රට පුරා ම ස්ථාපිත වුණු පසුව බළකොටුවේ ආරක්ෂක අවශ්‍යතා ඉවත් වී එය තානායමක් බවට පත්වෙනවා. රුවන්වැල්ල බළකොටුවත් මේ කාලයේ තානායමක් බවට පත්කර තිබුණා. ක්‍රිස්තු වර්ෂ 1875 වන විට හංවැල්ල ප්‍රධාන පෙළේ තානායමක් බවට පත්ව තිබුණු බව පෙනෙන්නේ ලංකාවේ සංචාරය කළ ‘ඇල්බට් එඩ්වර්ඩ්’ වේල්ස්හි කුමාරයා (පසුව සත්වන එඩ්වඩ් රජු) 1875 දෙසැම්බර් මස 17 වන දින තානායමට පැමිණි බවට වාර්තාවල සටහන් වන නිසයි.
ඔහු පැමිණි අවස්ථාව ස්මරණය කිරීමට රෝපණය කළ කොස් පැළය අද තානායම් බිමේ විශාල වෘක්ෂයක් බවට පත්වී තිබෙනවා. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන ලද ස්මාරකයක් ලෙස ද ප්‍රකාශ කර තිබෙනවා. හංවැල්ල පැරණි බළකොටුව සහ දිය අගල ද ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශිත යි. තානායම් බිමේ තිබෙන ගල් බංකු දෙක ද ඉංග්‍රීසි කාලයට අයත් වෙනවා. ඒවා රාජකීයයන්ට විවේකී සුවය ලබමින් වාඩි වී සිටින්නට සැදූ ආසන බවයි පැවසෙන්නේ.