ඉතිහාසෙට ගිය අපේ රටේ අශ්ව කෝච්චි කාලේ කතා

අශ්ව කෝච්චිය කියන්නේ මගී පෙට්ටි පිරුණු කෝච්චියක් නම් නෙවෙයි. අශ්වයන් දෙදෙනකු ඇදගෙන යන අශ්ව රථයක්. ‘හෝර්ස් කෝච්’ කියන වචනය තමයි අශ්ව කෝච්චිය බවට පත්වුණේ. ආසියාවේ ප්‍රථම තැපැල් ගෙන යන අශ්ව කෝච්චිය ආරම්භ කළේ  ලංකාවෙ යි.  මේ අශ්ව කෝච්චි යුගයේ ඉතිහාසගත රස මතක හාරා අවුස්සා බැලීමක්.

 එංගලන්තයේ අශ්ව කෝච්චි රථයක්- dailymail.co.uk

ආසියාවේ තැපැල් වාර්තාවක්

වර්ෂ 1832 වනවිට උඩරට වතුවලට ලැබෙන ලිපි සහ වෙනත් ව්‍යාපාරික තැපැල් ලිපි බෙදාහැරීම ඉංග්‍රීසින්ට ගැටලුවක් වී තිබුණා. ඒ කාලේ තැපැල් ප්‍රවාහනයට වේගවත් ප්‍රවාහන ක්‍රමයක් තිබුණේ නැහැ. පයින් දුවන පණිවිඩකරුවන් තමයි නගරයෙන් නගරයට තැපැල් ගෙන යාම සිදු කළේ. මේ නිසා තමයි කොළඹ සිට නියමිත වේලාවකට පිටත් වන වේගවත් තැපැල් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ඉංග්‍රීසින්  තීරණය කළේ. රෝයල් මේල් කෝච් නමින් හැඳින්වූ එම සේවය ආරම්භ කළේ අශ්වයන් දෙදෙනකු යෙදූ රථයකින්. එය සිංහලෙන් අශ්ව කෝච්චිය කියන නම ලැබුවා.

1832 පෙබරවාරි 01 වෙනිදා සර් රොබට් විල්මට් හෝටන් (1831-1837) ආණ්ඩුකාරයාගේ මැදිහත්වීමෙන් තමයි පළමු තැපැල් රථය කොළඹ සිට මහනුවරට ධාවනය ආරම්භ කළේ. එය ආසියාවේ පළමු  ‘‘මේල් කෝච්’’ (තැපැල් රථ සේවය) ලෙස තැපැල් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල වූ පවුම් 2000 සපයා ගැනීමට රජයට සම්බන්ධ සමාගමක් පිහිටවූ අතර එහි එක් කොටසක් පවුම් 50ක් වූ බව සඳහන් වෙනවා. සමාගමේ කොටස් සියල්ල විගසින් අලෙවි වූ අතර ආණ්ඩුකාර විල්මට් හෝටන් ද එහි කොටස් හතක් ලබාගත් බව සඳහන් වෙනවා. සෙසු කොටස් යුරෝපීයයන් ලබාගෙන තිබෙනවා.

 ආණ්ඩුකාර විල්මට් හෝටන්-wikipedia.org

 

තැපැල් ලිපි ප්‍රවාහනය කරන අතරම මගීන්ටත් මෙහි ගමන් කළ හැකි වුණා.  කොළඹ සිට මහනුවරට  ගමන් කිරීමට අශ්ව කෝච්චියට පැය 14ක්  ගතවී ඇති අතර, මහනුවර සිට කොළඹට පැමිණීමට  ගතව ඇත්තේ පැය දොළහයි. කොළඹ සිට මහනුවරට ගමන් කරන මගියකුගෙන් අය කළ මුදල සැතපුමකට පැන්ස හතක් ලෙස සඳහන් වෙනවා. මහනුවරට සම්පූර්ණ මගී ගාස්තුව පවුම් දෙකහමාරක් වුණා. අශ්ව කෝච්චිය ගමන ආරම්භ කර ඇත්තේ කොටුව කුමාර වීදියේ තානායම අසලින් (රෝයල් හෝටලය). පාන්දර 4.00ට ආරම්භ කරන අශ්ව කෝච්චියට අඳුරේ ම බොහෝ දුරක් ගමන් කළ හැකි වුණ.

කොළඹ- මහනුවර අශ්ව කෝච්චි සේවය සමරමින් නිකුත් කළ මුද්දරයක්- jungle.lk

 රෝයල් මේල්

රෝයල් මේල් අශ්ව කෝච්චි සේවාව ආරම්භ කොට දින තුනකට පසු ඒ පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වූ ‘ද කලම්බු ජර්නල්’හි පළ කොට ඇති අතර එය පසු කලෙක ‘ලක්මිණි පහණ’ පත්‍රයේ   ලිපියක ඇතුළත් කර තිබෙනවා:

දැන් ඉතින් මේල් අශ්ව කෝච්චිය අරඹා ඇති හෙයින් සිලිං 9 ක් සපයා ගත හැකි ඕනෑම කෙනෙකුට රට ඇතුළට යෑමට මාර්ගය විවෘතව ඇත. යටත් පිරිසෙයින් මේ කාරණය අතින්වත් අප ඉන්දියාවට වඩා ඉදිරියෙන් ගමන් කර ඇති බව කිව යුතු අතරම ලෝකයේ කුඩා දිවයිනක් වන ලංකාවට ඉංග්‍රීසි ක්‍රම සහ සිරිත් විරිත් හඳුන්වා දීමෙන් කළ හැකි සේවය මහත් බව පෙන්වා දිය යුතුය.  අශ්ව කෝච්චිය පටන් ගන්නේ අලුයම 4 ට නිසා මහහේන දක්වාම ඉර අව්වක් නැතිවම යා හැක. රථයේ ලාම්පු හොඳාකාර ඇති හෙයින් රාත්‍රී කාලයේ අන්ධකාරයෙන්ද අනතුරක් සිදුවිය නොහැක්කේ විශේෂයෙන්ම රථාචාර්යා මාර්ගය ගැන හොඳ දැනීමක් ඇති කරගැනීම නියත නිසාය.

එයට අතරතුර නගින මගීන් ගෙන් හැතැප්මකට පැන්ස 9 ක් බැගින් ද අයකර තිබෙනවා. මෙහි නැවතුම්පළවල් ලෙස මහර (හැ. 8 1/2), හෙනරත්ගොඩ (හැ. 16 1/2), උතුවන්කන්ද (හැ. 55) ආදී වශයෙන් තිබුණු බව පැවසෙනවා. උතුවන්කන්දේ දී සුප්‍රකට සොරදෙටුවකු වූ සරදියෙල්, අශ්ව කෝච්චිය කීපවරක් ම ආපසු හරවා බඩු කොල්ල කා තිබෙන බවත්  මේ නිසා ම ඔහු ඇල්ලීමට හමුදා යැවීමට සිදුවූ බව ද සඳහන් වෙන තවත් පුවතක්.  කොළඹ – මහනුවර අශ්ව කෝච්චියෙන් වාර්ෂිකව පවුම් 7000ක ලාබයක් ලැබුණු බවත් එවකට වාර්තා වී තිබෙනවා.  

අශ්ව කෝච්චිය මහනුවර දී- facebook.com

කෝච්චියේ පහසුකම්

ඇතුළත එකිනෙකට මුහුණ ලා ආසන දෙකක් සවි කර තිබුණා. ඉන් එකක මගීන් තිදෙනා බැගින් අසුන් ගැනීමට හැකි වුණා. ඉදිරියේ රථාචාර්ය සඳහා පහත් අසුනක් තිබූ අතර එතැන ද එක් මගියකුට හෝ දෙදෙනකුට ඉඩ තිබුණා. පසුපස මාර්ගය දෙසට මුහුණ ලා තවත් ආසනයක් පැවති අතර එය අඩුම ගමන් ගාස්තුව ගෙවන්නන්ට ලබාදෙන අපහසු ම ආසනය වුණා. ආසන සීමිත නිසා කලින් වෙන්කර ගැනීම අවශ්‍ය වූ බව යි සඳහන් වන්නේ.

මගීන්ගේ ගමන් මලු, බඩු බාහිරාදිය කෝච්චියේ වහල උඩ ද, එහි බිම ද තැබීම සිදු කර තිබෙනවා. රියදුරු තද නිල් පාටින් යුත් කෝට් එකක් හැඳ කලිසමක් සහ කළු පාට සපත්තු දෙකක් පැළඳ සිටියා. සහායක ආරක්ෂකයා සිට ඇත්තේ කලිසම් කෝට්  වෙනුවට සරුවාලයක් වැනි ඇඳුමක් පැළඳගෙන යි.   

 එංගලන්තයේ මුල් යුගයේ අශ්ව කෝච්චියක්- twitter.com

ගාල්ලට අශ්ව කෝච්චිය

මහනුවර අශ්ව කොච්චිය ජනප්‍රිය වී ලොකු ලාභයක් ලබන්නට වූ අතර  ඉන් පසු කොළඹ – ගාලු අශ්ව කෝච්චිය ද ආරම්භ වුණා. එය 1938 ජූලි වැනි දා ‘ද ගෝල් රෝයල් මේල්’ නමින් ආරම්භ කර තිබෙනවා. මෙහි ගමන් ගාස්තුව හැතැප්මකට පැන්ස 7 ක් වුණු අතර කොළඹ සිට ගාල්ලට යුරෝපීය මහත්වරුන්ට ගාස්තුව පවුම් දෙකයි සිලිං 10ක් වුණු අතර මුදලිවරුන්, දේශීය වංශවතුන් හා ඔවුන්ගේ පරපුරේ අයට පවුම් 1 සිලිං 10ක් වුණා. පෙරකදෝරු සහ සාමාන්‍ය ස්වදේශිකයන්ට ගාස්තුව පවුම් 1ක් වූ බව පැවසෙනවා.   මේ මුදලට අමතර ව අශ්ව කරත්තය නතර කරන තානායම්වල දී රියදුරුට සහ ආරක්ෂකයාට කෑම්බීම් සැපයීමට ද ඔවුන්ට සංතෝෂම් ගෙවීමට ද මගීන්ට අමතර මුදලක් වියදම් වී තිබෙනවා. රථය තැනින් තැන නැවතී ගමන් කළ අතර එක දිගට ධාවනය කළ දුර සැතපුම් හතක් වුණා.

ගාලු අශ්ව කෝච්චිය කොටුවේ බේලි වීදියේ කාර්යාලයෙන් පාන්දර 5.00ට කොටු පවුරේ කාලතුවක්කුව වෙඩි හඬ නිකුත් කළ විගස  පිටත්වීම සිදුවුණා. එය ගාල්ලට ළඟාවන විට රාත්‍රී 7.00 පමණ වී තිබෙනවා. පාලම් නොතිබුණු ඒ කාලේ ගංගාවලින් රථය එතෙරකර ඇත්තේ පාරු මගින්.

 අශ්ව කෝච්චිය වෙනුවෙන් 2016 දී නිකුත් කළ මුද්දරයක්-  jungle.lk

අශ්ව කෝච්චිය ප්‍රචලිත වේ

පසුව ගාල්ලේ සිට කළුතරටත්, කොළඹ සිට රත්නපුරයටත් ගම්පොළ සිට නුවරඑළියටත් මේ සේවය පැතිර ගියා. එමෙන් ම මහනුවර සිට මාතලේට සහ දඹුල්ලට ද පොල්ගහවෙල සිට කුරුණෑගලට ද අශ්ව කෝච්චි සේවා ඇරඹී තිබෙනවා. පොල්ගහවෙල- කෑගල්ල – අරණායක, යාපනය- පේදුරුතුඩුව එකල පැවති තවත් අශ්ව කෝච්චි සේවා කිහිපයක්.

 කෝච්චියට මාරුවුණු තැපෑල- Marina Bruce- fullemptyquarter.wordpress.com

අපූරු අත්දැකීමක්

ලංකාවේ ගාලු වරායෙන් ගොඩබැස කොළඹට අශ්ව කෝච්චියේ ගමන්ගත් මඟියකු වූ පසුව දකුණු පළාතේ නියෝජ්‍ය රාජ නීතිඥ ලෙස සේවය කළ සර් හෙන්රි චාල්ස් “CEYLON AND CINGALESE” කෘතියේ සඳහන් කරන්නේ ගාල්ලෙන් පාන්දර 5.00ට පිටත්වන අශ්ව කෝච්ච්ය වෙලාවට නම් ගමන් ආරම්භ නොකරන බව යි. ඔහු ඒ පිළිබඳව මෙසේ සඳහන් කරයි.

ලංකාවේ රාජකීය තැපෑල රෝද හතරක් මත ක්‍රියාත්මක වන අතර, ඊට සමාන කිසිවක් යුරෝපයෙහි දැන් දක්නට නොලැබෙයි. එහෙත් මේ ලංකා කෝච්චියේ රෝද හතර, එංගලන්තයේ පෞරාණික වාහනයක් බවට පත්ව තිබෙන අතර ලංකා කෝච්චියේ බඳ කොටස එංගලන්ත කෝච්චියේ බඳෙහි උඩු කොටස කපා දමා දොරවල් ඉවත් කළ හොත් ඉතිරිවන යටි කොටස හා සම තැන් ගන්නේය. ලංකා කෝච්චියේ රියදුරු අසුන, රියදුරුගේ පිට පෙදෙසත් වාහනයේ ඉදිරි ආසන පෙළෙහි වාඩි ගන්නා මඟීන්ගේ පිට පෙදෙසත් එකිනෙකට ගැටෙන පරිදි ඉදි වී ඇත. පියස්ස සමෙන් තැනී වාර්නිෂ් ආලේපයෙන් ඔප් නැන්විණි. යටි පැත්ත කපු පිළියෙන් ආවරණය කෙරුණේ ය. සිහින් යකඩ කූරු හතරක් මත රැඳුණු පියස්ස , රථයේ හැම හැල හැප්පීමක් පාසාම මැස්සක් සේ සෙලවෙයි. සමින් තැනුණු තිර පියස්සෙන් එල්ලා වැටී තිබෙන අතර, වැස්සෙන් අවුවෙන් වැළකීම සඳහා එම තිර දිග හැර පහළ දමා ගන්නට හෝ වාතාශ්‍රය ලබා ගැනීම පිණිස එය උඩු අතට හකුළා දමන්නට මඟීන්ට පිළිවන.”( ලංකාව සහ සිංහලයෝ- හෙන්රි චාල්ස් සර්, පරි ප්‍රේමචන්ද්‍ර අල්විස්, 27 පිට).

1865 ඔක්තෝබර් 02 වෙනිදා දුම්රිය සේවාව මුල්වරට අඹේපුස්ස දක්වා ආරම්භ වෙනවා. පළමු දුම්රිය මැදිරි 10කින් යුක්ත වුණු අතර එහි මගීන් 84ක් ගමන් කර තිබෙනවා. දුම්රිය සේවය පසුව තවත් දීර්ඝ වෙනවා.  1867 සිට තැපැල් ගෙන යෑම දුම්රියට බාර දුන් අතර ක්‍රමයෙන්  අශ්ව කෝච්චි සේවාව සම්පූර්ණයෙන් ම අභාවයට ගොස් අතීතයට එක් වෙනවා.

 කවරයේ ඡායාරූපය - අශ්ව කෝච්චිය කොළඹ කොටුවේ දී- pinterest.com

මූලාශ්‍ර:

lankalibrary.com/geo/mailcoach.htm

royalcollege.lk

lankadeepa.lk

ලංකාව සහ සිංහලයෝ- හෙන්රි චාල්ස් සර්, පරි. ප්‍රේමචන්ද්‍ර අල්විස්

බ්‍රෝහියර් දුටු ලංකාව - ආර්. එල්. බ්‍රෝහියර්, පරි. අභය හේවාවසම්

Related Articles

Exit mobile version