ක්ලියෝපැට්‍රා ලොවක් වසඟ කළ අභිමානවත් පෞරුෂයකට හිමිකම් කී, රාජ්‍ය පාලනයේ දී මහා අධිරාජයන්, සෙන්පතියන් සමග කරට කර සිටි දැවැන්ත චරිතයකි. ඇගේ රූපශ්‍රීය මෙන්ම ඇගේ රාජ්‍ය පාලන හැකියාව ද, ඇය වටා ගෙතුනු ඓතිහාසික පුරාවෘත්තයන් ද අදටත් ලොව කළඹවනසුළු ය. ඇය තමාට වයස අවුරුදු 39ක් වන විට ජීවිතයෙන් සමුගන්නී ය. ඒ, සියදිවි හානිකර ගැනීමෙන් ය. ඇගේ අවසාන සැමියා වූ මාර්ක් ඇන්ටනී, ඔහු විසින්ම තම උදරයට මාරාන්තික පිහිපහර එල්ලකර ගනිමින් දිවිනසා ගැනීමෙන් අනතුරුව එළැඹි ආසන්න දිනයක දී, ක්ලියෝපැට්‍රා ස්වකීය පරිවාර කාන්තාවන් සමග පුද්ගලික කුටියකට වැදී සියදිවි නසාගත් බව සඳහන් ය.
ඇයගේ දිවිනසාගැනීම සහ එය සිදුකරගත් ආකාරය පිළිබඳව විවිධ විමර්ශකයන් විවිධ අර්ථකතනයන් දී ඇති අතර වඩාත් ප්‍රචලිතම ප්‍රකටම කාරණය වන්නේ ඇය සර්ප දෂ්ඨනයක් මඟින් තම දිවි තොරකරගත් බව ය. ඒ පිළිබඳ සිතුවම් පවා පුරාණයේ නිර්මාණය වී තිබේ.
ක්ලියෝපැට්‍රාගේ සියදිවි නසාගැනීම සිදුවූ ආකාරය ගැන ප්‍රසිද්ධ මතයන් මේවා ය:
- විෂඝෝර සර්පයෙකු ලවා ඇගේ පයෝධරයන්ට දෂ්ඨ කරවා ගැනීමෙන් දිවිනසාගත් බව
- ඇය ඇගේ කෙස් කළඹ තුළ සඟවාගෙන සිටි මාරාන්තික විෂක් භාවිතයෙන් දිවිනසා ගන්නට ඇති බව
- ඇය මාරාන්තික සර්ප විෂක් සහිත විලවුන් ආලේපනයක් සිරුරේ ගල්වාගෙන දිවිනසාගත් බව
- මාරාන්තික සර්ප විෂ කැවූ ඉඳිකටු තුඩක් වන් සියුම් උලක් භාවිතාකොට දිවිනසාගත් බව
ඊට අමතරව පුරාණ වංශකතාකරුවකු වන ප්ලූටාර්ක්ගේ අදහස වූයේ සත්‍ය වශයෙන්ම සිදුවූ දෙය කිසිවකුත් නොදන්නා බව යි. අමතක නොකළ යුතු යි, මේ සිදුවීම සිදුවන්නේ ක්‍රිස්තු පූර්ව 69 තරම් දුර ඈත අතීතයක බව.
ක්ලියෝපැට්‍රා නයිල් නදියේ රූමතිය ලෙස විරුදාවලි ලද්දා ය. පුරාණ මිසර දේශයේ රාජිණිය ඇය වූවා ය. එතරම් රූපසම්පන්න, එතරම් එතරම් බලසම්පන්න ඇය වයස අවුරුදු 39 දී සියදිවි නසාගැනීමට පෙළඹවූ ඛේදවාචකය කුමක්ද?
මේ ඇගේ ජීවිතයේත් මරණයෙත් කතන්දරය යි.
උපත සහ පුද්ගලික දිවිය
ක්ලියෝපැට්‍රා ක්‍රිස්තු පූර්ව 69 දී පුරාණ මිසරයේ ඇලෙක්සැන්ඩ්‍රියාහි දී මෙලොවට බිහිවිය. මිසරයේ ඉපදුනත් ඇගේ සම්භවය මිසර හෙවත් ඊජිප්තු සම්භවයට අයත් නොවූ බවට විශ්වාස කෙරේ. ඇගේ පරම්පරානුගත වංශය ටොලමික වංශය යි. එය මැසිඩෝනියානු ග්‍රීසියටත් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ජෙනරාල්වරයකු වන ටොලමි I සොටර්ගේ පරම්පරාවටත් උරුමකම් කියයි. ක්‍රි. පූ. 323 දී ටොලමි මිසරයේ පාලනය භාරගත් අතර, සියවස් තුනක් පුරාවට දිවයන, ග්‍රීක භාෂාව කථාකරන අඛණ්ඩ පාලක රාජ වංශයක් මිසරය තුළ ගොඩනගන්නට මුලපිරී ය. ක්ලියෝපැට්‍රා අයත්වන්නේ එකී රාජවංශයට ය. එහෙත් ඇය කුඩාකල පටන් ඉතාම හොඳින් පුරාණ මිසර භාෂාව, සිරිත්-විරිත්, ආගමික සංස්කෘතික අංගයන් මනාව ප්‍රගුණ කළා ය. උගත්කමත්, දක්ෂතාවයත් නිසා ඇයට විවිධ භාෂාවන් චතුර ලෙස කතාකීරීමේ හැකියාව තිබුණි. හත්වන
ක්ලියෝපැට්‍රා පුරාණ මිසරයේ සම පාලකයා විය. ඇය පළමුව ඇගේ පියා සමගත්, පියාගෙන් පසුව බාල සොයුරන් දෙදෙනා සමගත්, අවසාන කාලය ඇයගේම පුත්‍රයා සමගත් ඊජිප්තු රාජධානිය පාලනය කළා ය.
වසර 39ක් වූ ඇගේ ජීවිත කාලය තුළ ඇය දරුවන් සිවුදෙනෙකු ලැබුවා ය. එයින් ක්ලියෝපැට්‍රාට සහ මාක් ඇන්ටනිට නිවුන් දරුවන් වන ක්ලියෝපැට්‍රා සෙලීන් සහ ඇලෙක්සැන්ඩර් හීලියෝස් ලැබුණි. සිසේරියන් හෙවත් “ලිට්ල් සීසර්” යනු ක්ලියෝපැට්‍රාගේ වැඩිමහල් දරුවා වන අතර ඔහු ජුලියස් සීසර්ට දාව ඉපදුනු බවට උපකල්පනය කෙරේ. ටොලමි ෆිලඩෙල්ෆස්, මාක් ඇන්ටනි සහ ක්ලියොපැට්රා යුවලට දාව උපන් බාලම දරුවා ලෙස සැලකේ.
ක්ලියෝපැට්‍රාගේ විවාහය
ක්ලියෝපැට්‍රාගේ විවාහය පිළිබඳව ද විවිධ මතිමතාන්තර තිබෙන අතර ඇයට වරින් වර ස්වාමි පුරුෂයන් කීපදෙනෙකු සිටි බැව් සඳහන් වේ. ටොලමික් රාජවංශයේ කුල සිරිත අනුව ප්‍රථමයෙන් ඇගේ විවාහය සිදුවන්නේ ඇගේම යොවුන් සහෝදරයා සමග ය. සාමාන්‍යයෙන් ඊජිප්තුවේ රාජවංශයන්ගේ සිරිතක් වූයේ පරම්පරාවේ පාරිශුද්ධතාවය අඛන්ඩව රැකගැනීම සඳහාත්, රාජ්‍ය බලය ස්වකීය වංශය තුළම රඳවා ගැනීම සඳහාත් එකම පවුලේ සහෝදර සහෝරියන් අතර මෙලෙස ආවාහ විවාහ සිදුවීම ය. ඒ අනුව ඇගේ මුල්ම ස්වාමිපුරුෂයන් දෙදෙනාම ඇගේම සොයුරන් දෙදෙනා විය. එයින් පළමුවැන්නා වූ ටොලමි XIII ක්‍රි. පූ. 47 දී දියේ ගිලී මියගියේ ය. දෙවැන්නා වූයේ ටොලමි XIV ය. ක්ලියෝපැට්‍රාට ජුලියස් සීසර් සමග ආදර සම්බන්ධයක් තිබුණත්, එහිදී විවාහයක් සිදුනොවී ය. මෙම සම්බන්ධය පැවතුණේ ටොලමි XIV හා විවාහය තිබියදීම ය (ඔහු අවු. 12ක දරුවෙකු විය). කෙසේ නමුත් සීසර් රෝමයේ දී ඝාතනය කරන ලදී. ඒ ආසන්නයේම වාගේ ටොලමි XIV ද මරණයට පත්විය.
ක්ලියෝපැට්‍රාගේ අවසන් ප්‍රේමය වූයේ සීසර්ගේ ජෙනරල්වරයෙකු වූ මාර්ක් ඇන්ටනි ය. පසුකලෙක ඔහු ඔක්ටේවියන් අතින් ලැබූ තීරණාත්මක පරාජයකින් පසු සියදිවි නසාගත්තේ ය.
ඇගේ විවාහයන් දෙස බලන විට මුල් විවාහයන් දෙකම පවුලේ සාමාජිකයන් සමග සිදුවූවේ බොහෝවිට ඇගේ උවමනාවටම නොව රාජවංශයේ සම්ප්‍රදායය අනුව බැව් පෙනී යයි. ඉන් අනතුරුව සිදුවූ සීසර් සහ මාක් ඇන්ටනි සමග විවාහයන් පවා ලිංගිකත්වයට වඩා, ඒ ඒ පුද්ගලයන්ගේ ද ක්ලියෝපැට්‍රාගේ ද දේශපාලනික උවමනාවන් මත, බලය ලබාගැනීම හෝ බලය රැකගැනීම ආදිය උදෙසා වූ කිසියම් න්‍යායපත්‍රයකට අනුව සිදුවූ ඒවා බැව් පෙනීයයි. ඒ හැරෙන්නට ක්ලියෝපැට්‍රා යනු දුටුවන් වශීකරන, අයස්කාන්ත පෙනුමක් තිබුණු චරිතයක් බව ඇතැම් ඉතිහාස කතා කියයි. ඇය මනා පෞරුෂයකින් හෙබි, ව්‍යක්ත කථනයෙහි යෙදුන, විචක්ෂණශීලී නුවණකින් යුක්ත රාජ්‍ය පාලිකාවක් ලෙස කටයුතු කළ බැව් පෙනේ.
එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර විවාහ සිදුවීම ටොලමික් රාජවංශයේ සම්ප්‍රදායය වූ ලෙසින්ම, බලය අල්ලාගැනීම, ඒ සඳහා එකම පවුලේ අය වුව ද ඝාතනය කිරීම, ඔවුන් සමග සටන් කිරීම, එකිනෙකාට විරුද්ධව කුමණ්ත්‍රණ සිදුකිරීම ද ටොලමික් සම්ප්‍රදායයේම සාමාන්‍ය අංගයක් විය. ඒ අනුව ක්ලියෝපැට්‍රා කිරුළ උදෙසා තම සොයුරා ද විවාහක පුරුෂයා ද වූ ටොලමි XIII සමග සටන් කළා ය. ඇයට ජුලියස් සීසර්ගේ සහාය හිමිවන්නේ මෙතැන දීයැ යි විචාරකයෝ පවසති. සටනින් පරාජය වන ටොලමි XIII නයිල් ගංගාවේ ගිලී මියගිය බැව් සඳහන් ය. යුද්ධයෙන් අනතුරුව බලය හිමිකරගත් ක්ලියෝපැට්‍රා තම බාල සොහොයුරා වූ කණිෂ්ඨ ටොලමි සමග විවාහ වූ නමුත් බලය උදෙසා අරගලයේ දී ඔහු ද ඝාතනයට ලක්වූ බවට මතයක් තිබේ. ඉන්පසුව ඇගේ බලය හෝ කිරුළ සඳහා කිසියම් හෝ බලපෑමක් කළ හැකියැ යි ඇය සැලකූ ඇගේ සොයුරිය වූ අර්සිනෝව ඝාතනය කිරීමට පවා ක්ලියෝපැට්‍රා සැලසුම් කළා ය. ඉන්පසුව ඇය සීසර්ගේ රැකවරණය මත ඊජිප්තුවේ පාලනය ගෙනගියත්, සීසර් සමග රෝමයේ වාසය කළ බැව් සඳහන් ය. ඒ කාලය වන විට ඇය රෝමය තුළ කිසියම් ජනප්‍රියත්වයක් ලබා තිබුණි. ඇය රෝමයේ සිටින අතරතුර, ක්‍රිස්තු පූර්ව 44 දී රෝම සෙනෙට් සභාවේ දී පිහි ඇනුම් කා සීසර් ඝාතනය විය.
මාර්ක් ඇන්තනි හා විවාහය
ක්ලියෝපැට්‍රා සහ මාර්ක් ඇන්ටනි එකතුවන්නේ සීසර්ගේ මරණයෙන් අනතුරුව ය. ඔවුන් දෙදෙනා එකිනෙකාට මහත් ප්‍රියතාවයක් දැක්වූ බව පැවසෙන අතර එය ඓතිහාසික ප්‍රේම පුරාවෘත්තයක් බවට පත්වූයේ එනිසා ය. ඇය ඔහු සමග විවාහ වූ අතර ඒ විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබුණි. කෙසේ නමුත් රෝමය තුළ මාර්ක් ඇන්ටනිගේ ජනප්‍රියත්වය ඉතා තදින් පහළ බසිමින් තිබුණි. රෝමය තුළ මාර්ක් ඇන්ටනිට මෙන්ම ක්ලියෝපැට්‍රාට ද විරුද්ධව අපකීර්තිමත් ආරංචි පැතිරයමින් තිබුණි. මාර්ක් ඇන්ටනිගේ විරුද්ධවාදියා වූ ඔක්ටේවියන් මාර්ක් ඇන්ටනි හඳුන්වනු ලැබුවේ කුමන්ත්‍රණකාරී, වංචාකාරී, ද්‍රෝහී පාලකයෙකු ලෙස යි. ඒ නිසාම රෝම සෙනෙට් සභාව ක්ලියෝපැට්‍රාට හා මාර්ක් ඇන්ටනිට එරෙහිව දැඩි විරෝධය ප්‍රකාශ කළේ ය.
යුද්ධය සහ පරාජය
මේ අතර, මාර්ක් ඇන්ටනි සහ ඔක්ටේවියන් අතර සබඳතා බිඳවැටුණි. ඔවුන් අතර දෙදෙනා මතභේදය ක්‍රමයෙන් සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වුණි. ක්‍රිස්තු පූර්ව 32 දී මාර්ක් ඇන්ටනි පාර්ශවය සහ ඔක්ටේවියන් පාර්ශවය නිල වශයෙන් යුද්ධයට ගිය අතර ඔක්ටේවියන් ඒ සම්බන්ධව බොහෝ චෝදනා නිවැරදි හෝ වැරදි ලෙස ක්ලියෝපැට්‍රා මත පැටවීය. එයින් අනතුරුව යුධ ගිනිදැල් ඇරඹුනි. බෙලෝනා දේවාලයේ දී ඔවුහු චාරිත්‍රානුකූලව යුද්ධය ප්‍රකාශ කළහ. ක්ලියෝපැට්‍රාට එරෙහිව යුද්ධය ප්‍රකාශයට පත්කළ නමුත්, ඇත්ත වශයෙන්ම එය එල්ලවූයේ මාර්ක් ඇන්ටනි වෙත ය.
මාර්ක් ඇන්ටනි ගොඩබිම ප්‍රමාණාත්මක වාසියක් ලබා සිටිය ද යුද්ධය මුහුදු සටන් මත තීරණය වූ අතර, අවසානයේ ඇක්ටියම් අසල දී අයෝනියන් මුහුදේ සටනේ දී සිදුවූ දේ අභිරහසකි. සුප්‍රසිද්ධ ඇක්ටියම් නාවික සටනට ක්ලියෝපැට්‍රා මිසර යුධ නැව් ගණනාවක් සමගින් මාර්ක් ඇන්ටනිගේ සේනාවට ආධාර පිණිස ඉදිරිපත්ව ගියත්, ඔක්ටේවියන්ගේ නාවික හමුදා බලය හමුවේ ඉතා ඉක්මනින්ම ක්ලියෝපැට්‍රාට මිසරයට ආපසු පලායාමට සිදුවිය.
සටන ඇන්ටනි සහ ක්ලියෝපැට්‍රාගේ ඉරණම තීන්දු කළේ ය. ඔක්ටේවියන් මුහුදු සටන් ජයගෙන ඊජිප්තුවට ගොඩබැස, එහි අගනුවර වූ ඇලෙක්සැන්ඩ්‍රියාව බලා ගමන්කළේ ය. ගොඩබිම මත සුළු සටනක් ජය ගැනීමට ඇන්ටනි සමත්වුව ද, ඔහු සහ ක්ලියෝපැට්‍රා කොටුවිය. එය තීරණාත්මක පරාජයකි. සටනින් පසු ක්ලියෝපැට්‍රා තමා විසින්ම සකස්කරවා තිබූ සොහොන් ගැබක රහස් කුටියකට පලාගොස් සිය රැකවරණය සලසාගත්තා ය. ඒ, ඇයගේ මරණය පිළිබඳව ව්‍යාජ ආරංචියක් පැතිරයාමට සලස්වමිනි. එහෙත් එයින් සිදුවූයේ මාර්ක් ඇන්ටනිට එය සැබෑවක් බවට සන්නිවේදනය වී තිබීම යි.
ක්ලියෝපැට්‍රා මියගිය බවට වූ ව්‍යාජය සත්‍යයක් බව විශ්වාස කළ මාර්ක් ඇන්ටනි සියදිවි නසාගැනීමට තීරණය කළේ ය. ප්ලූටාර්ක් පවසන පරිදි ඇන්ටනි ක්ලියෝපැට්‍රා ගැන මෙසේ පවසා තිබේ; “ඔබ නැතිවීම ගැන මට වේදනාවක් නොමැත. මක්නිසාද යත් ඔබ සිටින තැනට මම එකවරම පැමිණෙන නිසා ය. නමුත් අණදෙන නිලධාරියෙකු වන මම ධෛර්යසම්පන්න කාන්තාවකට වඩා පහත්බව හෙළිවීම මට මහත් වේදනාවක් ගෙන දෙයි”. කෙසේ වුව ද අවසානයේ, ව්‍යාකූලත්වයට පත්ව සිටි මාර්ක් ඇන්ටනි ස්වකීය තියුනු කිරිච්චියෙන් ළයට ඇනගත් නමුත් එකවරම මියගියේ නැත. ඒ වෙනුවට, මරණීය තුවාල ලබා සිටිය දී ඔහු ක්ලියෝපැට්‍රා වෙත ගෙනයනු ලැබූ අතර ක්ලියෝපැට්‍රා ඔහුව සොහොන්ගෙය තුළට ගෙන යහනක් මත තැබුවා ය. එහිදී ඔහුගේ මරණය සිදුවූ බව සඳහන් ය.
ඔක්ටේවියන් නගරයට ඇතුළු වූ විට ක්ලියෝපැට්‍රා ඔහු සමග විවිධ අයුරින් තර්ක කිරීමට, කතාබහෙන් තීරණයකට එළඹීමට උත්සාහ කළා ය. එහෙත් ඔක්ටේවියන් ඇගේ කිසිදු අදහසකට, තර්කයකට අනුකූල බවක් දැක්වූ බව සඳහන්ව නැත. ඇයව රෝමයට රැගෙනගොස්, යුධ ජයග්‍රහණයේ සැමරීමේ ජය කුසලානයක් ලෙස වීදි සංචාරය කිරීමේ අදහසක් නම් ඔහු සතුව තිබී ඇත.
සිය නියත ඉරණම කුමක්දැයි හොඳින් වටහාගත් මිසරයේ රැජිණට විකල්පයක් ඉතිරි නොවී ය. අවසානයේ මිසරයේ රාජ්‍යත්වයේ දිව්‍යමය සලකුණයැ යි සැලකූ අති ඝෝර සර්පයෙකුගේ විෂ ශරීරගතකොට ගෙන ඇය මරණයට පත්වූවා ය.