Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගජබා රජතුමා සොළීන්ව මට්ටු කළ හැටි

සියවස් 14ක පමණ කාලයක් පුරාවට පැවති අනුරාධපුර රාජධානිය රජවරුන් 120කට වැඩි ප්‍රමාණයකගේ පාලනය යටතේ පැවතුණා. ඉන් ඇතැම් පාලකයන් දුර්වල අයුරින් රට පාලනය කරද්දී දකුණු ඉන්දීය ආක්‍රමණ මෙරටට එල්ල වුණා. අනුරාධපුර යුගයේ ලංකාවට පැමිණි දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් අතරින් ශ්‍රී මාර ශ්‍රී වල්ලභ, එළාර, සහ රාජ රාජ යන රජවරුන් අප රටට විශාල හානියක් සිදුකළා. 

චෝල සහ පාණ්ඩ්‍ය රජවරුන් අනුරාධපුරයට හානි කරද්දී, දකුණු ඉන්දියාවේ එම රාජ්‍යයන්ට ගොස් චෝල සහ පාණ්ඩ්‍ය රජවරුන්ව මට්ටු කළ සිංහල රජවරුන් දෙදෙනෙකු ද සිටියා. 9 වන සියවසේ දී පාණ්ඩ්‍ය දේශයට සේනා යවා ශ්‍රී මාර ශ්‍රී වල්ලභ පරාජය කිරීමට සහාය දුන් දෙවන සේන රජතුමා ඉන් එක්කෙනෙක්. පිට දේශයකට ගොස් සිය බලය පෙන්වූ අනිත් රජතුමා බවට පත්වුණේ පළමුවන ගජබා රජතුමා යි.

දෙවන සේන රජතුමා පාණ්ඩ්‍ය අධිරාජ්‍යයාගෙන් පළිගත්තේ, සිය පියා වුණු ආදිපාද කස්සප ඔහුගේ සේනා අතින් මරණයට පත්වුණු නිසා යි. එසේම ගජබා රජතුමා සොළී රජතුමාට පාඩමක් ඉගැන්වූයේ සිය පියාගේ රාජ්‍ය කාලයේ දී ඔහු අතින් සිදුවුණු වැරැද්දක් නිවැරදි කරගැනීම සඳහා යි. අපි මීට පෙර ලිපියකින් දෙවන සේන රජතුමා ශ්‍රී මාර ශ්‍රී වල්ලභට පාඩමක් ඉගැන්වූ හැටි ගැන කතා කළ නිසා මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ගජබා රජතුමා සොළීන්ව මට්ටු කළ ආකාරය ගැන යි.

එළාර-දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවමක් (yukthiyawenuwen.blogspot.com)

වංකනාසික තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලය 

ක්‍රි. ව. 65 දී අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත්වුණු වසභ රජතුමා ලම්භකර්ණ වංශයේ ආරම්භකයා යි. එම රජතුමා තරුණ වියේ පසුවද්දී අනුරාධපුරය පාලනය කළේ දොරටුපාලකයෙකුව සිට පසුව රජකම ලබාගත් සුබ නම් රජතුමා යි. සුබ රජකම් කරමින් සිටිය දී වසභ නැමැත්තෙකු තමා මරාදැමීමට සූදානම් වන බව ඔහුට දැනගන්නට ලැබුණා. එය ඇසීමෙන් කලබලයට පත්වුණු සුබ රජතුමා වසභ යන නම තිබුණු සියලුදෙනාම මරා දැමීමට අණ කර සිටියා. නමුත් එම අවස්ථාවේ දී උපක්‍රමශීලීව සැඟවුණු නියම වසභ පසුව සුබ රජු මරා රජකම ලබාගත්තා.

එලෙස අනුරාධපුරයේ රජවුණු වසභ මහ වැව් සෑදීමේ ආරම්භකයා වශයෙන් සලකනු ලබනවා. එතෙක් පැවති කුඩා වැව් වෙනුවට මහා වැව් සෑදූ මෙම රජතුමා වාරි කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල මෙහෙයක් ඉටු කළා. වසභ රජු වසර 44ක් රට පාලනය කිරීමෙන් පසුව ඔහුගේ පුත් වංකනාසික තිස්ස රජකමට පත්වුණා. සියා පියා මෙන් දක්ෂ පාලකයෙකු නොවුණු වංකනාසික තිස්ස සාමකාමී පුද්ගලයෙක්. දකුණු ඉන්දියාවේ සොළී සහ පාණ්ඩ්‍ය රාජ්‍යයන් ලංකාවේ සිදුවුණු මේ දේශපාලන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටියා.

ලංකාව ගැන අවධානයෙන් සිටි සොළී රජතුමාට දැනගන්නට ලැබුණේ වසභ රජතුමාගෙන් පසුව රජවුණු වංකනාසික තිස්ස දුර්වල පාලකයෙකු බව යි. එම නිසා කරිකාල් නම් සොළී රජතුමා ලංකාව ආක්‍රමණය කිරීමට තීරණය කළා. එදා බලාපොරොත්තු නොවුණු වෙලාවක එල්ලවුණු සොළී ආක්‍රමණය හමුවේ වංකනාසික තිස්ස රජතුමා අසරණ වුණා. මෙහි පැමිණි සොළී සේනාව රටේ වස්තුව කොල්ල කා පාත්‍ර ධාතුව සහ පත්තිනි සලඹ ද ඉන්දියාවට රැගෙන ගියා. ඊට අමතරව ලංකාවෙන් පිරිමින් 12,000ක් ද සිරකරුවන් ලෙස සොළී දේශයට රැගෙන ගියා. මේ සිරකරුවන් ලවා කාවේරි නදිය සංවර්ධනය කළ බව පැරණි පොත පතෙහි සඳහන් වනවා.

සොළී කොඩිය (Wkimedia)

ගජබා රජතුමා රාජ්‍යත්වයට පත්වීම 

වංකනාසික තිස්ස රජතුමා වසර 3ක් රජකම් කිරීමෙන් පසුව ඔහුගේ පුත් ගජබාට රජකම පවරනු ලැබුවා. ගජබා ඔහුගේ පියා මෙන් දුර්වල පාලකයෙකු වුණේ නැහැ. එම නිසා වැඩිකල් යන්නට පෙර ගජබා රජතුමා රටවැසියන් අතර ජනප්‍රියත්වයට පත්වුණා. රටවැසියන්ගේ ආදරය දිනාගත් ඔහු සිය රාජධානිය දියුණු කිරීම සඳහා කටයුතු කළා. ඒ අතරතුර ඔහු තම රටවැසියන් ගැන සොයා බැලීමට ද අමතක කළේ නැහැ. තම රටවැසියන් හොඳින් සිටිනවා ද යන්න සොයාබැලීම සඳහා ගජබා රජතුමා අමුතුම ක්‍රමයක් අනුගමනය කළා. ඒ, රාත්‍රී කාලයේ දී වෙස් වලාගෙන ගම්මානවල ඇවිදිමින් තොරතුරු එක්රැස් කිරීම යි. මෙසේ වෙස් වලාගෙන රටවැසියන් පිළිබඳව තොරතුරු එක්‍ රැස් කළ රජතුමාට එක් දිනයක දී කණගාටුදායක සිදුවීමකට මුහුණදෙන්නට සිදුවුණා.

සිය පියා නිසා විඳින්නට වුණු ලැජ්ජාව 

දිනක් ගජබා රජතුමා රාත්‍රී කාලයේ දී නිවසක් අසලින් යන විට කාන්තාවක් වැළපෙන ශබ්දයක් ඇසුණා. සෑම විටම සිය රට වැසියා සතුටින් සිටිනු දැකීමට කැමති වුණු රජතුමාට එම වැළපීමේ හඬ කුතුහලයක් ඇතිකළා. එම නිසා අදාල ගෙය මතකයේ තබාගත් රජතුමා ආපසු රජ මාළිගය ගොස්, පසුදින උදෑසන රාජ පුරුෂයන්ව කැඳවා පෙරදින රාත්‍රියේ වැළපුණු ස්ත්‍රියගේ නිවසට යන ගමන් මඟ ඔවුන්ට දන්වා සිටියා. රජතුමා නියම කළේ එම ස්ත්‍රීය වැළපීමට හේතුව සොයාගෙන එන ලෙස යි. 

එදා එම ස්ත්‍රියගේ නිවස වෙත ගිය රාජ පුරුෂයන් සියලු තතු සොයාගෙන ආපසු රජතුමා වෙත පැමිණියා. ඔවුන් රජතුමාට පහත සඳහන් කරුණු පවසා සිටියා.

“රජතුමනි, එම නිවසේ ජීවත්වන්නේ මහළු ස්ත්‍රියක් පමණ යි. එම ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයා මීට බොහෝ කලකට පෙර මියගොස් තිබෙනවා. ඇයට පුතුන් දෙදෙනෙකු සිටියත් ඔවුන් ද දැන් එම නිවසේ නැහැ. ඒ, ඔබතුමාගේ පියාගේ කාලයේ දී සොළීන් මෙහි පැමිණ අල්ලාගෙන ගිය සිරකරුවන් 12000 අතරට ඇයගේ පුතුන් දෙදෙනාත් අයත්වුණු නිසා යි. ඇයට සිය දරුවන් දෙදෙනා සිහිවන නිසා සෑම රාත්‍රියකම වැළපෙන බව අපට පවසා සිටියා.”

එය ඇසීමෙන් ගජබා රජතුමාට මහත් ලැජ්ජාවක් ඇතිවුණා. සිය පියාගේ අතින් රට වැසියන්ට වුණු වරද වහා නිවැරදි කිරීමට ඔහු අධිෂ්ඨාන කරගත්තා. 

ගජබා රජතුමා සහ නීල මහා යෝධයා සොළී රටට යයි 

සිය රටෙන් ගෙන ගිය පිරිස මුදවාගැනීමේ අරමුණෙන් සේනාවක් ද රැගත් ගජබා රජතුමා, නීල මහා යෝධයා ද කැටුව මහාතිත්ථ වරායෙන් සොළී රට බලා පිටත්වුණා. සොළී රජුගේ මාළිගයට ගිය ගජබා රජතුමා නීල මහා යෝධයා උද්‍යානයේ නවත්වා රජු හමුවීමට ගියා. ඒ වන විට සොළී රට පාලනය කරමින් සිටියේ කරිකාල්ගේ පුත් නාවන්කිලි යි. නාවන්කිලි රජු අසල්වැසි රටේ රජතුමා එහි පැමිණි කාරණය විමසා සිටියා.

මෙහිදී ගජබා රජු පවසා සිටියේ තම රටෙන් පැහැරගෙන ආ පාත්‍රා ධාතුව, පත්තිනි සලඹ, සහ සිරකරුවන් 12000 ආපසු රැගෙන යාමට පැමිණි බව යි. එය ඇසූ සොළී රජතුමා උපහාසයෙන් සිනාසුණා. ඔහු පවසා සිටියේ ඒවායෙන් කිසිවක් ආපසු භාරදීමට තමන් සූදානම් නැති බව යි. මෙවිට රජුන් සිටි තැනට කලබලයෙන් දුව ආ රාජ පුරුෂයෙකු සොළී රජතුමාට පවසා සිටියේ ලක්දිවෙන් පැමිණි මහා බලසම්පන්න යෝධයෙකු මාළිගයේ උද්‍යානයේ මහා කලබලයක් කරමින් සිටින බව යි.

චෝල දේශය ලක්දිවට සමීපව පිහිටා තිබුණු ආකාරය (Wikimedia)

නීල මහා යෝධයා සොළී රජතුමා හමුවට රැගෙන එයි 

මේ සිද්ධිය ඇසීමෙන් විශ්මයට පත්වුණු සොළී රජතුමා කලබල කරනා යෝධයා තමා වෙත රැගෙන එන ලෙස අණකර සිටියා. එවිට සිය හඬ අවදිකළ ගජබා රජතුමා පවසා සිටියේ ඔබේ අණට නීල මහා යෝධයා කිසි විටෙක අවනත නොවනු ඇති බව යි. සොළී රාජ පුරුෂයා ඇමතූ ගජබාහු රජතුමා සිංහල කතාකළ බව පවසමින් යෝධයාව එහි රැගෙන එන්නට අණ කළා. බර අඩි තබමින් රාජ සභාව වෙත පැමිණි යෝධයා දුටු සොළී රජතුමා තරමක් බියට පත්වුණා. ඔහු යෝධයාගෙන් උද්‍යානය විනාශ කිරීමට හේතු විමසා සිටියා. එවිට නීල මහා යෝධයා පවසා සිටියේ සොළී රාජ පුරුෂයන් ඔහුව අල්ලාගන්නට පැමිණි අවස්ථාවේ දී ඇතිවුණු කේන්තිය නිසා එසේ කළ බව යි. පිට දේශයකට පැමිණ නීල මහා යෝධයා පෑ හපන්කම් පිළිබඳව සොළී රජතුමා මවිත වුණා. එම නිසා යෝධයාගේ ශරීර ශක්තිය මැන බැලීමට රජු තීරණය කළා.

යෝධයාට ලැබුණු අභියෝග ද්විත්වය 

යෝධයාගේ ශක්තිය මැන බැලීම සඳහා සොළී රජතුමා ලබාදුන් මුල්ම අභියෝගය වුණේ වැලි මිරිකා තෙල් ගෙන පෙන්වීම බව කියැවෙනවා. නීල මහා යෝධයා පහසුවෙන්ම එම අභියෝගය ජයග්‍රහණය කළා. ඉන්පසු සොළී රජතුමාගෙන් තවත් අභියෝගයක් ලැබුණා ඒ, යගදාව මිරිකා ජලය ගෙන පෙන්වීමට යි. යෝධයා එම අභියෝගයත් ජයගැනීමෙන් පසුව සොළී රජු පරාජය පිළිගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගජබා රජුගේ ඉල්ලීම් ඉටුකිරීමට සොළී රජතුමා එකඟ වූ බව කියැවෙනවා. 

ගජබා රජතුමා 24000ක පිරිසක් සමග යළි ලංකාවට පැමිණෙයි 

නීල මහා යෝධයා පෑ හපන්කම් නිසා ලංකාවෙන් සොළී රටට රැගෙන ගිය පාත්‍රා ධාතුව, පත්තිනි සලඹ, සහ සිරකරුවන් 12000 ආපසු ලැබුණා. එසේම සොළී රජතුමා ඔවුන්ගේ රටෙන් සොළීන් 12000ක් ද ගජබා රජතුමාට ලබාදුන්නා. එම සොළී සිරකරුවන් 12000 ලංකාවට රැගෙන ආ ගජබා රජතුමා ඔවුන්ව යොදාගෙන රට අස්වැද්දූ බව පැරණි පොත පතෙහි සඳහන් වනවා. 

කවරයේ ඡායාරූපය- සොළී පාලකයන් දැක්වෙන සිතුවමක් (Scroll.in)

මූලාශ්‍රයයන්- රාජාවලිය 

Related Articles