ඇමේසන් වනාන්තරය කොලොම්බියාව, බ්‍රසීලය, ඉක්වදෝරය, බොලිවියාව, පේරු, වෙනිසියුලාව ඇතුළු රටවල් 9ක පැතිරි ලෝකයේ විශාලත ම නිවර්තන වර්ෂා වනාන්තරය යි. අදටත් ප්‍රාථමික ගෝත්‍රික විශාල ගණනක් මේ වනාන්තර ඇතුළේ ජීවත් වෙනවා. ඇමේසන් වනයේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස ගැන පුළුල් පුරාවිද්‍යාත්මක කැණීමක් කර තිබුණේ නැහැ. කොලොම්බියාවේ සිදු කළ එවැනි කැණීමකින් සහ ගවේෂණයකින් හෙළි වූ තොරතුරු පසුගිය වර්ෂයේ ජාත්‍යන්තර මාධ්‍යවල පළ වුණා. එයට අනුව අදින් අවුරුදු 13000කට පෙර පටන් මේ කලාපයේ නූතන මානවයා ජීවත් ව තිබෙනවා. ඔවුන් ඇඳි විශිෂ්ට ගුහා සිතුවම් සංකීර්ණයක් ද හමුවුණේ ලෝකය ම පුදුමයට පත්කරවමින්.
සෙරානියා ලා ලින්ඩෝසා පුරාවිද්‍යා නිධානය
කොලොම්බියාවේ මධ්‍යම ප්‍රදේශයට අයත් සෙරානියා ලා ලින්ඩෝසා වයඹදිග ඇමේසන් වනාන්නතරයේ පිහිටා තිබෙන වන පෙදෙසක්. එය ලොව ජෛව විවිධත්වයෙන් ඉහළ ම වනාන්තර කලාපයක් ලෙස ද සැලකෙනවා. ප්‍රාථමික ගෝත්‍ර ජනකොටස් අදත් මේ නිවර්තන වර්ෂා වනාන්තර කලාපයේ ජීවත් වෙනවා. දැන් මේ කලාපය එරට විශාලත ම ජාතික වනෝද්‍යානය ලෙස නම් කර තිබෙනවා. මේ කලාපයේ බොහෝ ප්‍රදේශවල බලය 1960 දශකයේ පිට 2016 දක්වා පතුරුවාගෙන සිටියේ කොලොම්බියානු මාක්ස්වාදී ගරිල්ලා කණ්ඩායම් විසිනුයි.
ගරිල්ලා පාලනය නිසා පර්යේෂකයන්ට එම කලාපයට ඇතුළුවීමට බාධක තිබුණත් 1990 දශකයේ දී පර්යේෂකයන් පිරිසක් මෙම කලාපයේ සීමිත පර්යේෂණවල නිරත වී තිබෙනවා. ඒ පර්යේෂණවලින් සොයා ගත් මූලික දත්ත පදනම් කරගෙන ඔවුන් පසුගිය 2017 සිට යළිත් පර්යේෂණ ආරම්භ කළා. එහිදී සොයා ගත් තොරතුරුවලට අනුව ඇමේසන් වනයේ මුල් ම ජනාවාස ඇතිකරගෙන තිබෙන්නේ සෙරානියා ලා ලින්ඩෝසා ප්‍රදේශයේ යි. ප්‍රාග් මානව ජනාවාසවලට සාධක වගේ ම ඔවුන් නිර්මාණය කළ, විශාල පෙදෙසක පැතිරුණු සෙල් සිත්තම් ද හමු වී තිබෙනවා. වැදගත්ම කාරණය නම් මෙතෙක් කිසිම විනාශයකයට හසු නොවී ඒවා හොඳින් ආරක්ෂා වී තිබීම යි. එම සිත්තම් රැකගැනීමට පසුගිය කාලය පුරා වනබද වැසියන් උනන්දු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වර්තා පවසන්නේ.
ඇමසෝනියාවේ ආදි මානව ජනාවාස
අමෙරිකාව තුළ ආදී මානව ජනාවාසකරණය පිළිබඳ ව පර්යේෂණවලට අඩුවෙන් ම යොදාගෙන තිබුණේ ඇමසෝනියා වනාන්තර කලාපය යි. මේ කලාපයේ ආදි මානව ජනාවාස ගැන විපරම් කිරීමට මෑතකදී පර්යේෂකයන් රාශියක් උනන්දු වුණා. මෙහි ස්ථාන දෙකකදී ප්‍රාග් මානව සිතුවම් සොයා ගැනීමට ලැබී තිබෙනවා. පළමුවැනි ස්ථානය නම් නිල් කඳුවැටිය ලෙස හඳුන්වන සෙරා අසූල් ප්‍රදේශය යි. එහි 2014- 2015 සහ 2017- 2018 යන වර්ෂවල කැණීම් කටයුතු සිදු වුණා. එම කැණීම් අනුව අදින් වර්ෂ 8000 සිට වර්ෂ 12200කට පෙර දක්වා මානවයන් මෙහි ජීවත්වී තිබෙන බව හෙළි වුණා.
ඒ අනුව දකුණු අමරිකානු මහාද්වීපයේ මුල් ම හෝමෝ සේපියන්ස් මානව ජනාවාස හෙළි කර ගැනීමට මෙහිදී හැකියාව ලැබුණා. එසේ පැමිණි ශිලා යුග මානවයා ප්ලයසිටොසීන හිම යුගයේ සිට අද අපි ජීවත්වන හොලොසීන යුගයට අවතීර්ණ වන සංක්‍රාන්ති කාලයට (අදින් අවුරුදු 13000 සිට 8000 දක්වා) මුහුණු දුන් බවයි පෙනෙන්නේ. කොලොම්බියා ජාතික විශ්වවිද්‍යාලයේ ගැස්පර් මොකොටෙ රියොස් ප්‍රමුඛ පර්යේෂකයන් සහ ඇන්ටිගුවා සරසවියේ ප්‍රැන්සිස්කන් ජොවියර් ඇතුළු පර්යේෂක කණ්ඩායම් කිහිපයක්ම මෙහි කැණීම් කටයුතුවලට එක් ව තිබුණා. ලෙන් කැණිම්වල පහළ ම ස්තරවලින් ඔවුන් චිත්‍ර නිර්මාණයට භාවිත කළ ගුරුගල්වල කොටස් ද හමුව තිබෙනවා.
ප්‍රාථමික ලෙන් සිතුවම්
මෙ කොටසේ වනය තුළින් තැනින් තැන සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පර්වතවල ප්‍රාග් ඓතිහාසික මානවයන් තම විවේකය ගෙවා ගැනීමට ඇඳි ප්‍රාථමික සිතුවම් විශාල ප්‍රමාණයක් හමු වුණා. මේවායේ විවිධ රූප දසදහස් ගණනක් අන්තර්ගත යි. පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් මේ සොයා ගැනීමෙන් පුදුමයට පත් වුණා. ඇමේසන් වනාන්තරය නිජබිම කරගත් මුල් ම මානවයන් මෙම ගුහා සිතුවම් කරන්නට ඇති බව විශ්වාස කරනවා.
එම මානවයන් මධ්‍ය ශිලා යුගය නියෝජනය කරන බවයි පේන්නේ. පර්වත බිත්තිවල චිත්‍ර ඇඳීමට ප්‍රධාන වශයෙන් යොදා ගෙන තිබෙන්නේ රතු පැහැති ගුරු ගල් අඹරා තනා ගත් සායම්. එයට අමතර ව වෙනත් ඛනිජ වර්ග කිහිපයක් ද සායම් ලෙස භාවිත කර තිබෙනවා. ගුරුගල්වලින් ශරීර අලංකාර කර ගැනීමත් මධ්‍ය ශිලායුග මානවයන්ගේ සිරිතක් බවට පුරාණ ලංකාවෙන් ද සාධක හමුවුණා. රාවණඇල්ල ලෙනෙන් සහ පාහියං ලෙනින් ගුරුගල් ආලේප කළ හිස්කබල් හමුවී තිබෙනවා.
පෘථිවි භූ ඉතිහාසයේ ප්යිස්ටොසීන හෙවත් මහා හිම යුගය තුළ ඇමේසන් වනය ආශ්‍රිත ව ජීවත් වූ සත්ව විශේෂ රාශියක් මේ චිත්‍රවලින් නිරූපණය වෙනවා. අද වන විට ඒ අතරින් සත්ව වර්ග රාශියක් වඳ වී ගොස් හමාර යි. මේ නිසා පුරාණ සත්වයන් ගැන අධ්‍යයනයටත් මේ සිත්තම් උපයෝගී කරගත හැකි බව මානව විද්‍යාඥයන් පවසනවා.
චිත්‍ර, ගල්බිත්තිවල පහළ සිට ඉහළ මට්ටම දක්වා තිබීම නිසා ඒවා ඇඳීමට ඉණිමං හෝ දැව කුලුනු වැනි ආධාරක යොදා ගෙන ඇති බව සිතනවා. දැන් කොලොම්බිටයානු රජය මේ ප්‍රදේශය ආරක්ෂා කර සංචාරක අවධානය දිනා ගැනීමට පුරාවිද්‍යා ස්ථාන 60ක් සහිත පුරාවිද්‍යා උද්‍යාන කලාපයක් නම් කිරීමට තීරණය කර තිබෙනවා. මෙයට පෙර දකුණු අමෙරිකාවේ මෙවැනි චිත්‍ර හමු ව තිබුණේ බ්‍රසීලයේ ඊසානදිග පෙදෙසේ ෆෙඩ්රා පුරුසාවල සහ ආර්ජන්ටිනාවේ පැන්ටගෝනියා කලාපයේ පමණ යි. කොලොම්බියාවේ චිත්‍ර කාණ්ඩය ඒ සියල්ලට ම වඩා විශාලත්වයෙන් වැඩි යි.
හිම යුගයෙන් නූතනයට
ප්ලයිස්ටොසීන යුගයේ ඇති වූ කටුක කාලගුණ තත්ත්වය එම කාල වකවානුවේ ජීවත් ව මානවයන්ට මෙන් ම සතුන්ටත් දුෂ්කරතා ඇති කළ කාලයක්. මේ කාලයේ අවසන් හිම යුගයට සමු දෙමින් හොලොසීන යුගය ආරඹෙමින් තිබුණා. එය සිදුවුණේ අදින් වසර දොලොස් දහසකට කට පෙර දී යි.
සෙරානියා ලා ලින්ඩෝසා (Serranía La Lindosa) හි සිදු කළ පුරාවිද්‍යා කැණිම්වලින් ප්‍රාග් ඓතිහාසික මානවයන් එකල පැවති පරිසර තත්ත්වයන්ට මුහුණ දුන්නේ කෙසේද යන්න ගැනත් තොරතුරු මතු කර ගෙන තිබෙනවා. එම කරුණ පැහැදිලි කර ගැනීමට ගුහා බිත්තිවල ඇඳ ඇති දස දහස් ගණනක් වූ සිත්තම් කාණ්ඩය ද උපයෝගී කර ගෙන තිබෙනවා.
වනය ඔස්සේ සැතපුම් ගණනක් යනතෙක් විහි දී ඇති කඳු පර්වතවල ඇති ලෙන් සංකීර්ණයේ ජ්‍යාමිතික හැඩ තල, මානව රූප, අත් සටහන්, ශාක සහ සතුන් දහස් ගණනකගේ සටහන් ඇඳ ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. මේවා ඡායාරූපයට නගා ඇති අතර රූපවාහිනී වාර්තා වැඩසහන් සඳහා රූපගත කිරීම් ද කර තිබෙනවා. එම ලෙන් ආවරණ ජීවත්වීමට යොදා ගත් මානවයන්ගේ පුරාකෘති රාශියක් ද කැණීම්වලින් හමු වී තිබෙනවා. ඒවා කාලනිර්ණය කර ඇත්තේ අදින් වසර 12000ක් ඈත අතීතයකට යි.
සිතුවම් සියල්ලක් ම පාහේ ඇඳ තිබෙන්නේ සුමට ව සකසාගත් පැතලි ගල් බිත්තිවල යි. වසර දහස් ගණනක් තිස්සේ වනාන්තරයට නොකඩවා ඇද වැටුණු මහ වැසිවලට නොතෙමෙන ලෙන් ආවරණ සහිත තැන්වල ඒවා ඇ ඳීම නිසා අදටත් හොඳින් ආරක්ෂා වී තිබෙනවා. මානව රූ සටහන් බොහෝමයක් නිරූපණය කර ඇත්තේ දඩයම් සහ අභිචාර සිදු කරන ආකාරයෙන්.
වඳවී ගිය හිම යුගයේ සත්තු
හඳුනා ගත හැකි සත්ව රූප අතරින් මුවන්, කිඹුලන්, වවුලන්, වඳුරන්, ඉබ්බන් සර්පයන් සහ ඉත්තෑවන් සහ තවත් බොහෝ සතුන් සිටිනවා. මෙම සතුන්ට අමතර ව හිම යුගයේ දිවි ගෙවූ අද පොසිල සාධක පමණක් හමුවන දැනට වඳ ව ඇති සත්ව විශේෂ හමුවීම ද මෙම සිතුවම්වල වටිනාකම වැඩි කරනවා. ඊට අමතරව අත් සලකුණු, ජ්‍යාමිතික මෝස්තර, දඩයම් අවස්ථා, අභිචාර විධි ආදියත් මෙහි නිරූපණය කර තිබෙනවා.
වඳ වී ගිය සතුන් අතර යෝධ ස්ලොත් වලසුන්, ටේපියර් නම් දකුණු අමෙරිකාවේ සිටි ඌරන් වර්ගයක්, විශාල මැමත් සතුන්, ඔටුවන්, අශ්වයන්, කුර තුනක් සහිත ශෙනොරයිනෝතේරියම් නම් විශාල ක්ෂීරපායී සත්වයා ද සිටිනවා. විශාල හිසක් සහිත අමෙරිකානු කලායේ හිම යුගයේ දී ජීවත්වූ අශ්ව විශේෂයක් ද සිටිනවා. මේ සතුන්ගේ සිතුවම් අතර මානව රූප ඇ ඳ තිබෙන්නේ ඉතා කුඩාවට යි.