Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉඩී අමීන්ට පාඩමක් ඉගැන්වූ අපේ වීරයා

සුප්‍රකට නෙයිනගෙ සූදුව ඇල්ලූ ජෝන් කොතලාවල එම අවදියේ රටේ සිටි එඩිතර පොලිස් නිලධාරියෙක්. සිය කීර්තිමත් පොලිස් දිවිය අවසන් කිරීමෙන් පසුව මිනිරන් කර්මාන්තයට පිවිස විශාල ධනවතෙකු බවට පත්වුණු කොතලාවල ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට ජෝන් ලයනල් කොතලාවල ලෙසින් නම් තැබුවා. රාජකීය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබූ කුඩා කොතලාවල උසස් අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයට ඇතුළත් වුණා. ඉන් අනතුරුව හමුදා සේවයට බැඳුණු ඔහු සිය පියා මෙන්ම එඩිතර පුද්ගලයෙකු වුණා. මේ ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ ජෝන් ලයනල් කොතලාවල හමුදා සේවයේ නිරතව සිටිය දී කළ වීර ක්‍රියාවක් පිළිබඳව යි. 

ජෝන් කොතලාවලගේ පියා (wikipedia)

පළමු ලෝක යුද්ධයේ නිමාවත් සමගම කාපිරි හමුදාවක් ලංකාවට පැමිණෙයි 

පළමු ලෝක යුද්ධයේ අවසානයත් සමගම අප්‍රිකන් කාපිරි සොල්දාදුවන්ගෙන් සමන්විත භට පිරිසක් පුහුණුවක් සඳහන් ලංකාවට එවා තිබුණා. එදා අප්‍රිකානු සොල්දාදුවන් ලංකාවට එවූ පුවත ලැව්ගින්නක් සේ රට පුරාම පැතිර ගියේ භීතියක් ද සමගින්. එලෙස පැමිණ සිටින කාපිරි හමුදාව මිනී කන බවත්, මිනී කෑම වැලැක්වීමට ඔවුන්ගේ කටට ඉබ්බන් සවිකර ඇති බවට ද කතා පැතිර තිබුණා. එලෙස පැතිරුණු කතාවලට භියවීම නිසා ඇතැම් පිරිස් තම ගම් ප්‍රදේශයන් අතහැර වෙනත් පළාත්වලට ගියේ ආරක්ෂාව සඳහා යි. එලෙස සමහර ප්‍රදේශවල සිටි අහිංසක ජනතාව ගම් ප්‍රදේශ අතහැර යාමට පිළියමක් ලෙසින් මෙම භට පිරිස අනුරාධපුරයේ ජනතාව අඩුවෙන් ගැවසෙන පෙදෙසකට යැවුණා.

කාපිරි පිරිසට වනගත ජීවිතය එපා වෙයි 

එදා කාපිරි භට පිරිස භාරව සිටියේ පසුකලෙක හමුදා කුමන්ත්‍රණයකින් උගන්ඩාවේ පාලන බලය අල්ලාගත් ඉඩී අමීන් නම් දරුණු පුද්ගලයා යි. ඉඩී අමීන් සිය භට පිරීස සමග අනුරාධපුර ප්‍රදේශයේ වැවක් අසල සිය කඳවුර සාදාගත්තේ බාධාවකින් තොරව පුහුණුවීම් කිරීමේ අරමුණෙන්. නන්නාඳුනන රටකට පැමිණ සිටි කාපිරි සොල්දාදුවන්ට මනුස්ස වාසයකින් තොර ප්‍රදේශයේ වාසය කිරීම ටික කලක් යන විට දුෂ්කර වුණා. එම නිසා ඔවුන් අසල තිබෙන ගම්මානවලට යාමට ඒමට පටන්ගත්තේ වනගත ජීවිතය එපා වුණු නිසා යි.

ඉඩී අමීන් (gettyimages)

සිංහල වැසියන් අතින් කාපිරි සොල්දාදුවෙකු මරණයට පත්වෙයි 

කාපිරි හමුදා භටයන් නිතර ගම් බිම්වලට පැමිණීම නිසා සිංහලයන්ගේ දෛනික ජන ජීවිතය අඩාල වුණා. නමුත් එම ගම් ප්‍රදේශවල ජීවත් වුණු සිංහලයන් කටුක ජීවිතයට හුරුවුණු එඩිතර ජන කොටසක්. ඔවුන්ගෙන්  බොහෝ දෙනෙකු ගොවිතැනට අමතරව දඩයමට ද හුරුව සිටි නිසා පිට දේශයකින් පැමිණ සිටි මෙම භට පිරිසට බියක් දැක්වූයේ නැහැ. එලෙස කාපිරි භටයන් ගම් වැදීමට පටන්ගෙන ටික කාලයක් ගතවන විට ගම්වැසියන්ට හිසරදයක් වන තරමටම ඔවුන්ගේ හැසිරීම අයහපත් වුණා. බොහෝ විට පිරිමින් නිවසේ නොමැති අවස්ථාවල නිවසට පැමිණි මෙම කාපිරි සොල්දාදුවන් කාන්තාවන්ට හිරිහැර කළ නිසා ගම්වැසියන් සහ ඔවුන් අතර නිතරම ගැටුම් ඇතිවුණා. එලෙස අඛණ්ඩව ඇතිවුණු ගැටුම් නිසා කාපිරි භටයෙකු මියගියේ සිංහලයන්ගේ පහරකෑම්වලට ලක්වීමෙන්. 

සිය සහෝදර භටයාගේ මරණයේ වාඩුව ගැනීමට කාපිරි භටයන් ගමට එයි 

සිය සගයාගේ මරණය ගැන ඇසූ කාපිරි භටයන් දැඩි ලෙස කෝපයට පත්වුණා. පිට දේශයක මිනිසුන් පිරිසක් අතින් තම සගයා මරණයට පත්වුණු නිසා එම ගම්වැසියන්ගෙන් පළිගැනීමට ඔවුන් තීරණය කළා. එහිදී ඔවුන්ගේ සැලසුම වුණේ ආයුධ සන්නද්ධව පැමිණ ගම වටකර ගම් වැසියන් සියලුදෙනාම මරණයට පත් කිරීම යි. එදා කාපිරි භටයන් සැලසුම් කළ මෙම කෲර සැලැස්ම පිළිබඳව එවකට හමුදාවේ සේවය කළ ජෝන් කොතලාවලට ආරංචි වුණා. එම ආරංචිය ලැබුණු විගසම ක්‍රියාත්මක වුණු කොතලාවල එහි ඇත්ත නැත්ත සොයා බැලුවා.  

කොතලාවල සහ ඉඩී අමීන් මුහුණට මුහුණ හමුවෙයි 

තම රටේ වෙසෙන අහිංසක වැසියන්ට සිදුවන්නට යන විනාශය දුටු කොතලාවල වහාම ඔහු යටතේ සිටි සෙබල පිරිස කැඳවනු ලැබුවා. අනතුරුව මනාව සංවිධානය වුණු කොතලාවල ප්‍රමුඛ භට පිරිස ගම්මානය බලා ගියා. ඔවුන් එහි යන විටත් ඉඩී අමීන් ඇතුළු කාපිරි භට පිරිස ගම්මානය වට කිරීමට පැමිණ සිටියා. නමුත් නොසිතූ මොහොතක එතනට පැමිණි කොතලාවල ඇතුළු භට පිරිස දුටු ඉඩී අමීන් කලබලයට පත්වුණා. එම අවස්ථාවේ ඉඩී අමීන් සහ කොතලාවල අතර ඇතිවුණු දෙබස මෙසේ බව යි පැවසෙන්නේ.

කොතලාවල : උඹල මොකද මේ අපේ ගම්වලට ඇවිල්ල කරන්නේ?

ඉඩී අමීන් : අපිට මේ ගමේ මිනිස්සු එක්ක ප්‍රශ්නයක් බේරාගන්න තියනවා. අපි ඒකට යි මේ ඇවිත් ඉන්නෙ.

කොතලාවල : මොකක්ද උඹලට මේ අහිංසක මිනිස්සු එක්ක බේරාගන්න තියන ප්‍රශ්නය ?

ඉඩී අමීන් : උඹලගෙ ගමේ මිනිස්සු අපේ භටයෙක් මරලා දැම්මා. අපි ආවෙ ඒකෙ පළිය ගන්න.

අයුක්තිය සහ අසාධාරණය හමුවේ උරණ වුණු අයෙකු බව කියැවෙන කොතලාවල, පිටරටකින් පැමිණ සිටින මෙම භට පිරිසේ නායකයා කියූ කතාවට දැඩි ලෙස කෝපයට පත්වුණා. 

කොතලාවලගෙන් කාපිරි සේනාවට දරුණු වාග් ප්‍රහාරයක් 

එම අවස්ථාවේ සිය කටහඬ අවදිකළ කොතලාවල පවසා සිටියේ, “උඹල දැනගනිල්ලා, මේක අපේ රට බව. මෙහේ ඉන්නෙ අපේ සිංහල මිනිස්සු. තොපි ටික දිනකට මෙහේ ආපු පරදේසක්කාර එවුන් ටිකක්. මෙහේ ඉන්නකම් උඹල වැඩ කරන්න ඕනි, උඹලට ඕනි විදිහට නෙමේ, අපට ඕනි විදිහට යි. පණ පිටින් ආපහු ඔහෙලගෙ රටට යන්න ඕනි නම් ඉක්මනට මෙතනින් පිටවුණොත් හොඳයි. නැත්නම් උඹලටත් වෙන්නේ අර යාළුවාට වුණ දේම තම යි.” 

කොතලාවලට බයේ කාපිරි භට පිරිස පළා යයි.

කොතලාවල එල්ල කළ වාග් ප්‍රහාරය හමුවේ පියවරක් පසුපසට ගත් ඉඩී අමීන් ඇතුළු භට පිරිස එන පොට හොඳ නැති බව තේරුම් ගත්තා. එම නිසාම ලද අවසරයෙන් ඔවුන්ගේ කඳවුර වෙත ආපසු යන්නට ගියා. කොතලාවල එදා කළ තර්ජනයෙන් බියට පත්වුණු අමීන් ඇතුළු භට පිරිස පසුදිනම කොළඹට ගිය බවයි කියැවෙන්නේ. ඔවුන් මෙහි තබාගැනීම අවදානම් ක්‍රියාවක් බව තේරුම් ගත් ඉංග්‍රීසීන් එම කාපිරි භට පිරිස මැලේසියාවට පිටත් කළා. 

එදා මෙය සිදු නොවුණේ නම් අහිංසක මිනිසුන් රැසකට සිය ජීවිතය අහිමි වීමට ඉඩ තිබුණා. කොතලාවල කළ බවට කියැවුණු මෙම වීරකම ගැන රට පුරාම සිටි මිනිසුන්ට ආරංචි වුණා. පසුකලෙක දේශපාලනයට පිවිසි කොතලාවල, පහසුවෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වුණේත් ඔහුගේ වීරකම් ජනතාව අතරට ගොස් තිබුණු නිසා යි.

කවරයේ ඡායාරූපය - ජෝන් කොතලාවල (gettyimages)

මූලාශ්‍රයයන් - දේශපාලඥයන්ගේ රස කතා - සෝමදාස අබේවික්‍රම 

Related Articles