ඔබ නොසිතන තරම් ඉතා ඈත අතීතයක් හිමි ශිෂ්ඨාචාරයක් ඉන්දියාව ආශ්‍රිතව තිබූ බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. නමුත් ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමට වසර 3300ත් 1300ත් පෙර කාලයේ ඉන්දියාව තුල ඉපැරණි ජනාවාසයක් පිහිටියා කීවොත් ඔබ පුදුම වේවි.
ඉන්දු ගංගාව වටා ගොඩනැගුනු ජනාවාසයක් පිළිබඳව නටබුන් 1856 වර්ෂයේ බ්‍රිතාන්‍ය දුම්රිය මාර්ග තැනීමේදී හමුවුවත්, එහි නිසියාකාර ගවේෂණයන් පටන්ගැනුම 1920 වර්ෂයේ පමණ ආරම්භ කෙරුනා. මෙහිදී මුලින්ම කරන ලද කැණීම මොහෙන්ජො දාරෝ හා හරප්පා යන නගරවල සිදුවූ අතර ඒ නිසාම මෙම ජනාවාස හරප්පා ජනාවාස ලෙසද හදුන්වනු ලබනවා. මෙලෙස නටබුන් හමුවීමත් සමග මෙසපොතේමියාව වැනිම මුල් ජනාවාස පැවති භූමියක් ලෙස ඉන්දියාවද ඉතිහාස පොතට එක්වුනා.
පැරණි ඉන්දියාව විවිධ හේතුනිසා කොටස්වලට වෙන්වූ අතර අද වනවිට මෙම ජනාවාස පද්ධතිය ඉන්දියාවේ වයඹ කොටසටත්, පාකිස්තානයේ කොටසකටත්, හා ඇෆ්ගනිස්ථානයේ කොටසකටත්ලෙස පැතිරී පවතිනවා. නටබුන් වලින් බහුතරයක් පාකිස්තානයේ පිහිටන අතර වර්තමාන ඉන්දියාව තුලත් නටබුන් පවතිනවා.
ඉන්දුනිම්න ජනතාව අතර පැවති සමාජ ක්‍රමය
මෙම ජනාවාස වල ඉතිහාසය මූලිකව කොටස් තුනකට බෙදා දැක්වෙනවා. එනම්, මුල් හරප්පා අවධිය (වර්ෂ 3300-2600), මධ්‍යම හරප්පා අවධිය (වර්ෂ 2600-1900), හා අවසාන හරප්පා අවධිය (වර්ෂ 1900-1600) ලෙසයි.
ඉන්දු ගංගාව ආශ්‍රිතව නටබුන් නගර 1052ක ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන තිබෙන අතර මිලියන 5ක පමණ ජනතාවක් මේ ජනාවාස වල ජීවත්වන්නට ඇතැයි විශ්වාස කරනවා. නමුත් අද වනවිටත් මේ ජනාවාස පිළිබඳව හරියාකාරව විස්තර කරගැනීමට නොහැකිවී තිබෙනවා. ඔවුන්ගේ අක්‍ෂර ක්‍රමය තවමත් කියවීමට නොහැකිවීම එයට හේතුවයි.
නගර නිර්මාණය
නගර නිර්මාණය අතින් ඉතා දියුණු තත්ත්වයක මෙම ජනාවාස පැවති බව දැනට හමුවී ඇති නටබුන් වලින් මනාව පැහැදිලි වෙනවා. නගරවල සෑම නිවසකටම ජලය ලබාගැනීමට ළිදක් භාවිතාකර ඇති අතර, සෑම නිවසකම නෑම සදහා වෙනමම නාන ගෙයක් ඔවුන් ඉදිකර තිබෙනවා. මේවායින් පිටකරන අපිරිසිදු ජලය වෙනමම කානු පද්ධතියක් හරහා නගරයෙන් ඉවතට යෑමට සලස්වා තිබෙනවා.
ඊට අමතරව පොදුවේ භාවිතා කළ නාන තටාකයක්ද නටබුන් අතරින් හමුවී තිබෙනවා. නිවාස පිළිබඳව විවිධ මතයන් ගවේශකයින් දක්වන අතර, නගරවල විවිධ ප්‍රමාණයේ නිවාස පිහිටා තිබූ බව ද ඒවා සමාජ පන්ති බෙදී තිබූ බවට සාක්ෂි යැයි ද ඔවුන් ප්‍රකාශ කරනවා. එලෙසම නිවෙස්, ගබඩා කරන කොටස, නිදන කොටස ආකාරයෙන් අවශ්‍යතා අනුව කොටස්කර භාවිතාකර තිබෙනවා.
තාක්ෂණික දියුණුව
මේ ජනාවාසය පුරාම විවිධ තාක්ෂණික යොදාගැනීම්වල නටබුන් හමුවීම එකල පැවති තාක්ෂණික දියුණුවට උදාහරණයක් වනවා. එලෙස සොයාගන්නා ලද තාක්ෂණික ක්‍රමයන් ලෙස, අව්වේ වියළීමෙන් හා ගින්දර මගින් පුළුස්සා ගන්නා ලද ගඩොල් භාවිතය, මනා ජලකළමනාකරණය (මීට උදාහරණ ලෙස නටබුන් අතර ඇති ලිං, කානු පද්ධති, වැසිකිලි පද්ධති) ආදිය දක්වන්නට හැකියි.
මේ කාලයේ භාවිතා කළ ආයුධ වර්ග විදියට මිටි, පිහි, ඉදිකටු, බිලීකොකු, කියත්, දැලිපිහි, පොරව ආදිය කැණීම් වලදී හමුවී තිබෙනවා. මේ ආයුධ තඹ හා ටින් ලෝහ යොදාගෙන සාදා තිබෙනවා. මීට අමතරව ධාන්‍ය ඇඹරීමට ඇඹරුම් ගල් යොදාගෙන තිබෙනවා.
මූලික අවධියේ වුවත් ඉන්දු නිම්න වැසියන් කපු යොදාගෙන ඇදුම් නිපදවාගෙන තිබෙනවා. විවිධ රූප සහිත කැටයම් කළ මැටි බඳුන් හා සිප්පිකටුත් ලෝහ වලින් සාදාගත් ආභරණත් කැණීම් වලින් සොයාගෙන තිබෙනවා. මේ කාලයේ මිණුම්ක්‍රම (කාලය, දිග, බර) දියුණුවී තිබුණු අතර ඒ සඳහා යොදාගත් මිනුම් දඬු තඹ ලෝහයෙන් නිමවාගෙන තිබෙනවා.
කලාව හා ශිල්ප ක්‍රම
එකල ලෝහ හා මැටි යොදාගෙන විවිධ නිර්මාණයන් තනා ඇති බව දැනට ලැබී තිබෙන සාක්ෂිවලින් පැහැදිලි වෙනවා. එලෙස සෑදු මූර්ති (තඹ, ගල්, හා මැටි), විවිධ ලාංඡන, ටෙරාකොටා නිර්මාණ, චිත්‍ර, කැණීම්වලින් හමුවී තිබෙනවා.
එලෙසම පනා වර්ග, මැණික් ගල්, පබළු, මාල වැනි දෑද සොයාගෙන තිබෙනවා. ඊට අමතරව සංගීත භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.
වෙළදාම හා ගමනාගමනය
ලෝකයේ දැනට හමුවී ඇති පළමු ගව කරත්තය සොයාගැනුනේ මෙම ජනාවාස කැණීම් වලදීයි. එලෙසම ජලය ආශ්‍රිතව සිටි නිසාවෙන් යොදාගත් බෝට්ටුවල ශේෂ කොටස් ද සොයාගනු ලැබ තිබෙනවා. මෙම ශිෂ්ඨාචාරයට අදාළ උපකරණ මෙසපොතේමියානු හා ඊජිප්තු කැණීම් වලදී ද හමුවීම එකල පැවති විදෙස් වෙළදාමේ තත්ත්වය පැහැදිලි කරනවා.
කෘෂිකර්මාන්තයේ දියුණුව
මොවුන් තමාට අවශ්‍ය ආහාර වර්ග නගරය අවට වගා බිම්වලින් ලබාගත් අතර ඈත ප්‍රදේශවල වැවූ භෝගයන් බෝට්ටු හා කරත්ත මගින් ගෙන්වාගෙන තිබෙනවා. වගාබිම් ලෙස ඉන්දු ගංගා නිම්නයේ භූමි යොදාගෙන තිබූ බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. මෙලෙස තිරිගු, බාර්ලි, සහල්, රට මෑ, තල වැනි ධාන්‍ය ද මිදි වැනි පලතුරු ද හරක්මස්, ඌරුමස්, කිරි, හා මාලු වැනි ආහාර වර්ග ද එකල ඔවුන් ආහාරයට ගෙන තිබෙනවා.
එලෙසම හරකුන්, ඌරන්, එළුවන්, මීහරකුන්, බැටළුවන්, අලියන්, අශ්වයින්, බල්ලන් හා බළලුන් වැනි සතුන් ඇති කළ බව කැණීම් වලින් ලද සාක්ෂි මත හෙලිවෙනවා.
භාෂාව හා සාහිත්‍ය
මේ වන විට මෙම ශිෂ්ඨාචාරයෙහි භාවිතා කළ සංකේතයන් 4000ක් පමණ සොයාගෙන තිබෙනවා. මේ සංකේත ලිවිම සඳහා ගස්වල කොළ, රෙදි වර්ග, ඉටි, සතුන්ගේ සම, මැටිපුවරු, මැටිබදුන් ආදී බොහෝ මාධ්‍යයන් යොදාගෙන තිබෙනවා. මේ අකුරු ඔවුන්ටම ආවේණික වූ ඒවායි.
ආගමික වත්පිළිවෙත්
ඉන්දු නිම්න සංස්කෘතියෙහි ආගමික ඇදහිලි වලට වැඩි ඉඩක් ලැබුණු බවට තවමත් සාක්ෂි හමුවී නැති අතර, ලැබුණු සාක්ෂිවලින් ඔවුන් මවු දෙවඟන, එනම් සරු බවේ දෙවඟන ඇදහූ බවට ඉතිහාසඥයන් මත පළකරනවා. ස්වාස්ථික වැනි පසුකාලීනව හින්දු, බෞද්ධ ආගම්වල භාවිත කරන ලාංජනද මේ අතර හමුවී ඇති අතර ඒවා යම් ඇදහිලි ක්‍රමයක් සදහා යොදාගන්නට ඇතැයි සලකනවා.
ඉන්දුනිම්න ශිෂ්ඨාචාරයේ අවසානය
මෙම ශිෂ්ඨාචාරයේ අවසානය සිදු වූ අයුරු පිළිබඳව නිශ්චිත අදහසක් නොමැති වුවත් පහත හේතූන් නිසා අවසාන වන්නට ඇතැයි ඉතිහාසඥයන් මත පලකරනවා. එනම් ආර්යන්ගේ පැමිණීම සමග ඇතිවූ යුද්ධය නිසා ජනාවාස බිඳවැටීම, ඉන්දු ගංගාව පිටාරගැලීම නිසා ඇතිවූ ගංවතුර, අහිතකර පාරිසරික විපර්යාසයන් මේ හේතුන් අතර වනවා.
ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් වූ මොහෙන්ජො දාරෝ- හරප්පා බිඳවැටුන ද එමගින් වර්තමාන ඉන්දීය සමාජයට ලැබුණු දායාද විශාල ප්‍රමාණයක් තිබෙනවා. අදත් ගවයන් මගින් ගමනාගමන කටයුතු ඉන්දියාවේ සුලභ වීම මෙයට හොද උදාහරණයක්. තවද අනාගතයේදීත් මේ පිළිබඳව තවත් තොරතුරු ගවේශකයින් විසින් සොයාගනු ඇතැයි බලාපොරොත්තු වීමට හැකියි.
මුලාශ්‍ර:
khanacademy.org
bbc.co.uk
importantindia.com
boundless.com
mapsofindia.com
ancient.eu
crystalinks.com
newworldencyclopedia.org
britannica.com
කවරයේ පින්තූරය : Olson & Farlow