සුප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාව ලියූ ජේ.කේ. රෝලින්ට එවැනි නිර්මාණයක් කිරීමේ අදහස මුලින් ම පහළ වුණේ මැන්චෙස්ටර් සිට ලන්ඩන් බලා දුම්රියකින් ගමන් කරන අතරතුර යි. අද හැරී පොටර් යනු ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වූ ග්‍රන්ථ මාලාවක්. අසල්වැසි ඉන්දියාවේ ඉපදුණු අරුණාචලම් මුරුගනාදම් ලෝකය පුරා ගෞරවයට පාත්‍ර වුණේ නව නිපැයුම්කරුවෙක් ලෙස ඉන්දීය සමාජයට ඉමහත් සේවයක් කළ නිසා යි. ඔහු අඩු වියදමින් සනීපාරක්ෂක තුවා සෑදිය හැකි යන්ත්‍රයක් නිපදවා ඉන්දියාවේ කාන්තාවන් මුහුණ දෙන විශාල ගැටලුවක් විසඳීමට සමත් වුණා.
ඉහත උදාහරණ දෙක ම මිනිස් සිතිවිල්ලක් ක්‍රියාත්මක වීමෙන් බිහි වූ නිර්මාණ කාර්යයන් හෝ නව නිපැයුම් වෙනවා. විශේෂත්වය වන්නේ ඒවා ලෝකය පුරා මිලියන ගණනක ජනතාව රස විඳීම හෝ ප්‍රයෝජනයට ගැනීම යි. ඒ හරහා නිර්මාණකරුවන් විශාල ආර්ථික ප්‍රතිලාභයක් සහ මානසික තෘප්තියක් ලබනවා. ඇතැම් නිපැයුම්කරුවන් තම නිපැයුම් නිසා කලකට පසු බලවත් පසුතැවීමකට ලක් වී තිබෙනවා. ඔවුන්ගේ නිපැයුම් සමාජයට එල්ල කළ අහිතකර බලපෑම හෝ අවභාවිතය ඒ පසුතැවීමට හේතු වුණා. එවැනි නිපැයුම්කරුවන්ගේ තොරතුරු බිඳක් ගෙන ඒමට යි මේ සූදානම් වන්නේ.
අයින්ස්ටයින් සහ ඕපන්හයිමර්ගේ සිත් තැවුල
රොබට් ඕපන්හයිමර් යනු 20 වන සියවසේ බිහි වූ විශිෂ්ටත ම භෞතික විද්‍යාඥයෙක්. ඔහු දෙවන ලෝක යුද සමයේ සුප්‍රසිද්ධ මැන්හැටන් ව්‍යාපෘතියට සම්බන්ධ වෙමින් “ලොස් ඇලමෝස්” විද්‍යාගාරයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළා. මැන්හැටන් ව්‍යාපෘතිය යනු අමෙරිකානු නායකත්වය යටතේ ක්‍රියාකාරී පරමාණුක අවියක් නිපදවීම සඳහා ක්‍රියාත්මක එක්තරා වැඩපිළිවෙළක්. ඒ අනුව ඕපන්හයිමර්ගේ අධීක්ෂණය යටතේ තිබූ “ලොස් ඇලමෝස්” විද්‍යාගාරය තුළ පරමාණු බෝම්බය නිපදවීමේ වැඩ කටයුතු සිදු කෙරුණා.
1945 ජූලි 16 වැනිදා විද්‍යාඥයන් නිව් මෙක්සිකෝවට අයත් ඇලමොගොර්ඩෝ ප්‍රදේශය ආශ්‍රිත ව පළමු පරමාණු බෝම්බය සාර්ථක ව අත්හදා බැලුවා. ඉන්පසු ඕපන්හයිමර් යටතේ සිටි විද්‍යාඥයන් එකිනෙකට වෙනස් පරමාණු බෝම්බ දෙකක් නිෂ්පාදනය කළා. “The Little Boy” සහ “Fat Man” ලෙස නම් කළ එම පරමාණු බෝම්බ පිළිවෙළින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙළමින් සුවිශාල මනුෂ්‍ය සංහාරයක් සිදු කළා.
ජපානයේ විනාශයෙන් පසු ඕපන්හයිමර් තමාගේ කටයුතු සම්බන්ධයෙන් බලවත් සිත් තැවුලට පත් වුණා. වඩා බලවත් අවියක් නිපදවා ලෝක සංග්‍රාමය කඩිනමින් අවසන් වනු දැකීම ඔහුගේ අපේක්ෂාව වුණත්, පරමාණු බෝම්බය අමෙරිකානු බල අරගලයේ තවත් එක පියවරක් පමණක් බව ලෝකයට ම පසක් වුණා.
පරමාණු බෝම්බය හමුවේ කනගාටු වූ තවත් පුද්ගලයකු ලෙස ඇල්බට් අයින්ස්ටයින් හැඳින්විය හැකි යි. ජර්මනියේ න්‍යෂ්ටික වැඩසටහන හමුවේ දෙවන ලෝක සංග්‍රාමය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි උපකල්පනය කළ අයින්ස්ටයින්, එක්සත් ජනපදයත් කඩිනමින් එවැනි වැඩසටහනක් කරා යා යුතු බව දන්වා සිටියා. ඔහු මැන්හැටන් ව්‍යාපෘතියට සම්බන්ධ නොවුණත්, එහි ආරම්භය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කළා. කෙසේ නමුත්, නොනවතින බල අරගලයේ වින්දිතයකු වෙමින් ඇල්බට් අයින්ස්ටයින් තමාගේ ක්‍රියාව ගැන අනතුරු ව පසුතැවිලි වුණා.
AK-47 ගැන කම්පා වූ මිඛායිල්
AK-47 යනු ලොව බහුල ව ම භාවිතා වන ප්‍රහාරක රයිෆලයකි. එය නිපදවූවේ රුසියානු ජාතික මිඛායිල් කලෂ්නිකොව්. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය භාවිත කළ StG44 රයිෆලය මඟින් තම ජනතාවට වන බලවත් හානිය දුටු මිඛායිල්ට එවැනි ම විනාශකාරී අවියක් නිපදවීමට අවශ්‍ය වුණා. StG44 රයිෆලය ආදර්ශයට ගනිමින් මිඛායිල් AK-47 නිපදවූ අතර, එය ජර්මානු නිෂ්පාදනයට වඩා කිහිප ගුණයකින් විනාශකාරී වුණා.
AK-47 වඩාත් භයානක නිපැයුමක් ලෙස සලකන්නේ එය වඩාත් ලාභදායි සහ නිෂ්පාදනයට පහසු අවියක් නිසා යි. AK-47 වඩාත් ශක්තිමත් හා සැහැල්ලු අවියක් ලෙස සැලකෙන අතර, නඩත්තු කිරීමත් ඉතා පහසු බව පැවසෙනවා. මේ හේතු නිසා AK-47 ලෝකයේ අතිශයින් ජනප්‍රිය වී මිලියන ගණනකගේ ජීවිත විනාශ කිරීම සම්බන්ධයෙන් නම් දැරූ ආයුධයක් බවට පත් වුණා.
මිඛායිල් මිය යෑමට පෙර රුසියානු ඕතඩොක්ස් පල්ලියට ලිපියක් ලියා තිබුණා. ඒ ලිපියට අනුව AK-47 හමුවේ විනාශ වූ ජීවිත ගැන ඔහු දැඩි ආත්මීය වේදනාවකින් පසු වී තිබෙනවා. AK-47 අවිය මෙතෙක් බිලි ගත් ජීවිත සියල්ලට ම තමා වගකිය යුතු වැනි හැඟීමකින් ජීවිතයේ අවසාන භාගය ගෙවා දැමීමට මිඛායිල්ට සිදු වුණා.
ලැබ්‍රෝඩූඩ්ල් නිසා වොලී දුක් වූ හැටි
වොලී කොන්රන් යනු ඕස්ට්‍රේලියාවේ “Royal Guide Dog Association” නම් ආයතනයේ සුනඛ පැටවුන් අභිජනන කළමනාකරුවකු ලෙස සේවය කළ තැනැත්තෙක්. 1980 ගණන්වල දී අන්ධ කාන්තාවක් සඳහා මාර්ගෝපදේශකයකු ලෙස ක්‍රියා කළ හැකි සුනඛ විශේෂයක් ගැන වොලී පර්යේෂණ පවත්වමින් සිටියා. අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා සුනඛයන්ට අසාත්මිකතාවක් දැක් වූ නිසා සුනඛ විශේෂයේ ලොම් හැලීම ඉතාම අවම මට්ටමක තිබිය යුතු වුණා. එහිදී ඔහු ලැබ්‍රදෝර් රෙට්‍රීවර් සහ පූඩ්ල් සුනඛ විශේෂයක් දෙමුහුන් කරමින් “ලැබ්‍රෝඩූඩ්ල්” නම් අලුත් සුනඛ විශේෂයක් හඳුන්වා දුන්නා.
කාන්තාවගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් එම දෙමුහුන් කිරීම සිදු කළත්, පසුකලෙක “ලැබ්‍රෝඩූඩ්ල්” විශේෂය ලෝකය පුරා ජනප්‍රිය වීම ඇරඹුණා. ඒත් සමඟ ම සුනඛ විශේෂ දෙමුහුම් කිරීම දැඩි වාණිජකරණයට ලක් වුණා. උදාහරණයක් ලෙස පූඩ්ල් සුනඛ විශේෂය තව තවත් දෙමුහුම් කිරීම්වලට භාජනය වුණා. එහි ප්‍රතිඵලය ලෙස අලුත් දෙමුහුන් පූඩ්ල් විශේෂ විවිධ ශාරීරික ආබාධවලට මුහුණ දෙන්න පටන් ගත්තා. ඇස්, පසුපස ගාත්‍රා ආශ්‍රිත ප්‍රදේශ සහ සන්ධි ආශ්‍රිත ගැටලු ඒ අතරින් බහුල ව ම දක්නට ලැබුණා. ඔවුන් අපස්මාරය හමුවේත් පීඩා වින්ඳා.
පසුකලෙක වොලී කොන්රොන් තමාගේ ක්‍රියාව බරපතළ විනාශයක් ලෙස දකිමින් ඒ ගැන දුක් වුණා.
“පැන්ඩෝරා පෙට්ටියක් විවෘත කළා හා සමාන ක්‍රියාවක් තමයි මා සිදු කළේ. ගොඩක් මිනිස්සු මෙවැනි අභිජනනය කිරීම් සිදු කරන්නේ මුදල් බලාගෙන පමණ යි. එලෙස බිහිවෙන සුනඛයන් බොහෝමයක් විවිධ ශාරීරික ආබාධවලින් පෙළෙනවා. මේක මහා පිස්සුවක්!”
වොලී කොන්රොන්, තම කනගාටුවේ තරම එලෙසින් ප්‍රකාශ කොට තිබුණා.
(පැන්ඩෝරා පෙට්ටිය යනු ග්‍රීක මිත්‍යා කතාවල එන යක්ෂයන් පිරි බඳුනක් වැනි යමක්.)
පොප්-අප් ඇඩ්ස් අවුල
අන්තර්ජාලය භාවිත කරන අප හැමෝ ම සුලබ ව දකින දෙයක් නිසා දුක්වූ නිර්මාතෘවරයකු ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. අන්තර්ජාලය භාවිත කරන අතරතුර අප භාවිත කරන උපාංග තිරය (Monitor) මත හදිසියේ ම දිස්වන දැන්වීම් පොප්-අප් ඇඩ්ස් ලෙස හඳුන්වනවා. මාර්ග ගත දැන්වීම්කරණය තුළ පොප්-අප් ඇඩ්ස් සුලබ ව භාවිත වන නිසා අවධානය වෙනතක යොමු වීමෙන් හෝ අවශ්‍යතාවට බාධා පැමිණීමෙන් බොහෝ අය අපහසුතාවට පත් වෙනවා.
පොප්-අප් ඇඩ්ස් සංකල්පයේ නිර්මාතෘවරයා ලෙස සලකන්නේ ඊතන් සකර්මන්. ඔහු මේ වනවිට මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරනවා. ඔහු පසුකලෙක “The Atlantic” සඟරාවට අදහස් දක්වමින් මිනිසුන්ගේ වඩාත් කෝපයට හේතු වූ පොප්-අප් ඇඩ්ස් සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබුණා.
මව්වරුන්ගේ දිනය සහ ඇනා ජාවිස්
ඇනා ජාවිස් තම මවට බෙහෙවින් ආදරය කළ තැනැත්තියක්. මවගේ මරණයෙන් බොහෝ කලක් ගත වූ පසුත් ඇයට තම මවගේ වියෝව තදින් ම දැණුනා. ඇනා, තමාගේ සිතිවිලි කෙරෙහි පමණක් නොව අනෙකුත් පුද්ගලයන් මව්වරුන්ට දක්වන ආදරය සහ ඔවුන්ගේ වියෝවෙන් ඇති වන හිස්කම ගැනත් සංවේදී වුණා. ඒ වෙනුවෙන් යමක් කළ යුතු බව ඇනා ජාවිස් අදිටන් කර ගත්තා.
සුන්දර සංකල්පයක් ලෙස මව්වරුන්ගේ දිනය කරළියට පැමිණියේ ඇනාගේ අදහසක් අනුව යි. 1908 දී ඇනා ජාවිස් දේවස්ථානක දී ප්‍රථම මව්වරුන්ගේ දිනය සැමරූ බව පැවසෙනවා. එහිදී ඇය සුදු පැහැති කානේෂන් මල, මව්වරුන්ගේ දිනය සැමරීම සඳහා සංකේතයක් ලෙස යොදා ගත්තා. සුදු කානේෂන් යනු ඇනා ජාවිස්ගේ මව වඩාත් ම ප්‍රිය කළ පුෂ්පය යි.
ඇනා ජාවිස්ට ප්‍රබල ලෙස දැනෙන ආකාරයෙන් ලිවීමේ හැකියාව තිබුණා. මව්වරුන් වෙනුවෙන් දිනයක් වෙන්කොට සැමරීමේ සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය විශාල පරිශ්‍රමයක් දැරූ අතර, එය සාර්ථක වුණා. බොහෝ පවුල්වල දරුවන් තම මව්වරුන් ගෙන් වෙන් වී දුරස්ථ ව පිහිටි අමෙරිකානු ප්‍රාන්තවල ජීවිත උරගා බලමින් සිටි නිසා ඇනාගේ සංකල්පය ඔවුන්ට යම් මානසික නිදහසක් ගෙන දුන්නා.
ආරම්භයේ දී කානේෂන් මලක් ශතයක් හෝ දෙකක් වැනි සුළු මුදලකට අලෙවි වුණා. මව්වරුන්ගේ දිනය ප්‍රචලිත වී වසර හතරක් ගත වූ තැන එහි මිල ශත 15 ක් දක්වා ඉහළ ගියා. ඉන්පසු සුබ පැතීම් පත් නිපදවන ආයතන අනෙකුත් උත්සව සමයවල මෙන් මව්වරුන්ගේ දිනය තුළත් ක්‍රියාත්මක වීම ඇරඹුණා.
චොක්ලට් කර්මාන්තය පවා මව්වරුන්ගේ දිනය තුළ තම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළා. තම සංකල්පය ලාභ ලබන තවත් එක වාණිජ අරමුණක් බවට පත් වන අයුරු දුටු ඇනා ජාවිස්, තම ලිවීමේ හැකියාව වාණිජකරණයට විරුද්ධ ව යෙදවීමට උත්සහ කළා. ඒ වනවිට මව්වරුන්ගේ දිනය වාණිජ අරමුණුවලට හසුවී අවසාන යි. 1948 දී මිය යන තුරුම ඇනා ජාවිස් මව්වරුන්ගේ දිනය නිර්මාණය කිරීම ගැන කනගාටුවෙන් සිටි බව පැවසෙනවා.
ජෛව ආචාර ධර්ම සහ ඒජන්ට් ඔරේන්ජ්
ආතර් ගැල්ස්ටන් යනු ශාකවල කායික විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රවීණත්වය ලැබූ විද්‍යාඥයෙක්. ඔහු තම පර්යේෂණවල දී ශාක ප්‍රකාශ ජීව විද්‍යාව, ශාක හොර්මෝන සහ පොලිඇමයින කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. පර්යේෂණ අතරතුර ඔහු එක්තරා තීරණාත්මක අවස්ථාවකට පැමිණියා.
ගැල්ස්ටන්, ශාක වර්ධනය නියාමනය කළ හැකි ට්‍රයිඅයඩෝබෙන්සොයික් නමැති අම්ලය සමඟ අත්හදා බැලීම් සිදු කළ අතර, එහිදී සෝයා බෝංචි ශාකවල මල් පිපීම සහ වර්ධනය වේගවත් වන බව නිරීක්ෂණය කළා. අදාළ රසායනිකය වැඩි සාන්ද්‍රණයකින් ශාකයට යෙදුවහොත්, ශාකයේ පත්‍ර හැලීමට ලක් වන බවත් ඔහු අවබෝධ කර ගත්තා.
ආතර් ගැල්ස්ටන්ගේ අනාවරණය අමෙරිකාවේ ජීව අවි පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් තේරුම් ගත්තේ වෙනස්ම ආකාරයෙන්. ගැල්ස්ටන්ගේ සොයා ගැනීම් භාවිත කරමින් ඔවුන් සාමාන්‍ය ව්‍යවහාරයේ දී “ඒජන්ට් ඔරේන්ජ්” ලෙස හැඳින්වූ ප්‍රබල පැළෑටි නාශකයක් නිපදවූවා.
වියට්නාම යුද්ධය අතරතුරේ දී අමෙරිකානු හමුදාව “ඒජන්ට් ඔරේන්ජ්” ජීව අවියක් ලෙස යොදාගත් අතර, රසායනිකයේ බලපෑමෙන් වියට්නාමයේ වනාන්තර සහ ගොවිබිම් අක්කර මිලියන ගණනක් විනාශ වුණා. එපමණක් නොව, වියට්නාමයේ කඩොලාන පද්ධතිය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියත් බරපතළ ලෙස බිඳ වැටුණා.
“ඒජන්ට් ඔරේන්ජ්” හි ඩයොක්සීන් නමැති ඉතා විෂ සහිත අපවිත්‍රකයක් අන්තර්ගතව තිබුණා. ඒවා පහසුවෙන් ක්ෂය වීමට ලක් වන්නේ නැහැ. ඩයොක්සීන් අපවිත්‍රකය පරිසර දූෂකයක් ලෙස වියට්නාමයේ ස්වභාවික පරිසරයට එකතු වූ නිසා පිළිකාව, උපත් ආබාධ සහ වෙනත් ශාරීරික ආබාධවලින් මිනිසුන් බොහෝ කාලයක් පීඩා වින්දා. එලෙස බලපෑමට ලක් වූ වියට්නාම ජාතිකයන්ගේ ගණන මිලියන තුනක් පමණ වෙනවා. අවම වශයෙන් බරපතල උපත් ආබාධ සහිත ව උපන් දරුවන්ගේ සංඛ්‍යාව 150,000 ක් පමණ වෙනවා.
තම සොයාගැනීම් බරපතල ලෙස අවභාවිත වීම හමුවේ ආතර් ගැල්ස්ටන් දැඩි කලකිරීමට ලක් වුණා. එතනින් නොනැවතී සිදු වූ අසාධාරණයට එරෙහි වීමටත් ගැල්ස්ටන් ක්‍රියා කළා. ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් එකල ජනපති ව සිටි රිචඩ් නික්සන්, “ඒජන්ට් ඔරේන්ජ්” භාවිතය අත් හිටුවීමට නියෝග දුන්නා. තහනමෙන් පසු වියට්නාමයේ ඉතිරි ව තිබූ රසායනික ද්‍රව්‍ය තොගය එක්සත් ජනපදයේ පාලනය යටතේ තිබෙන ජොන්ස්ටන් දූපත් වෙත ගෙන ගොස් විනාශ කළා.
මෙම සිදුවීම්වලින් පසු ආතර් ගැල්ස්ටන් ජෛව ආචාර ධර්ම ප්‍රචලිත කිරීමෙහිලා කැපවීමෙන් යුතු ව ක්‍රියා කළා. යේල් විශ්වවිද්‍යාලය තුළ ජෛව ආචාර ධර්ම අධ්‍යනය වෙනුවෙන් වෙන ම මධ්‍යස්ථානයක් පිහිටුවීමට පවා තම දායකත්වය ලබා දුන්නා. 2003-2004 අතර කාලයේ දී ගැල්ස්ටන්ගේ ප්‍රධානත්වයෙන් යේල් විශ්ව විද්‍යාලය තුළ පැවැත්වූ ජෛව ආචාර ධර්ම පාඨමාලාව සඳහා සිසුන් 460 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වුණා. විද්‍යාවේ ආචාර ධර්ම සිසුන්ට වඩාත් සමීප කිරීම සහ ජීව අවි නිපදවීමට එරෙහි වන නව පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් ඔහු සිදු කළ මෙහෙය අදටත් ගෞරවයට පාත්‍ර වෙනවා.