ජපාන ඉතිහාස කතා අතරින් “අකෝ සිදුවීම”, එහෙමත් නැත්නම් රෝනින්වරුන් 47 දෙනාගේ කතාව කියන්නෙ අදටත් ජපන් වැසියන් ආදරයෙන් සිහිපත් කරන පුරවෘත්තයක්.
වැඩවසම් ජපානයේ රෝනින්වරයෙකු ලෙස හැඳින්වුණේ ස්වාමියෙකු නැති සමුරායිවරයෙකුව යි. ස්වාමියාගේ මරණයෙන් පසු, හෝ බලයෙන් පහවීමෙන්, හෝ ස්වාමියා විසින් සේවයෙන් පහකරනු ලැබීමෙන් සමුරායිවරයෙකු රෝනින්වරයෙකු බවට පත්වුණා.
මේ කතාවෙන් කියැවෙන සමුරායිවරුන් හතළිස් හත්දෙනා, රෝනින්වරුන් බවට පත්වුණේ ඔවුන්ගේ ස්වාමියා වූ අසානො නගනොරිට මරණ දඬුවම හිමිවීමත් සමග යි. ඒ, 1701 වසර යි.
1701 වසරේ දී සිදු වූ දෙය
අකෝ හි අසානො නගනොරි වැඩවසම් ජපානයේ ඩයිම්යෝ වංශාධිපතියෙක් (ඉඩම්හිමි, බලවත් රදළයෙක්). ඔහු 1701 වසරේ දිනෙක එඩෝ හි (වර්තමාන තෝකියෝ) පිහිටි, ශෝගුන්වරුන්ගේ රජ මාළිගයට පැමිණියේ යම් රාජකාරී කටයුත්තක් සඳහා යි. එහි සිටි අතරතුරේ රාජ සභාවේ ජ්‍යෙෂ්ඨ, උඩඟු නිලධාරියෙකු වූ කිර යොශිනකා අසානොට දිගින් දිගටම විවිධාකාර ඇනුම් පද නඟමින් අපහාස කළ බවයි කියැවෙන්නේ. ඇතැමුන් පවසන ආකාරයට කිර අසානොගෙන් අල්ලස් ඉල්ලූ බව කියැවෙනවා. අසානො, කිරට ලබාදුන් ත්‍යාගයන් ප්‍රමාණය මදි බවට කිර අවලාද නැගූ බව ඇතැමුන් විශ්වාස කරනවා. හේතුව කුමක් වුවත්, කිරගේ හැසිරීමෙන් මහත් කෝපයට පත්වෙන අසානො, සිය කිරිච්චිය ඇද කිරගේ මුහුණ හරහා පහරක් එල්ල කරනවා.
රජ මාළිගයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට එවන් පීඩාවක් සිදුකොට ගැලවී යාමට බැහැ. අසානොව එකෙනෙහිම සිර භාරයට ගැනෙනවා. එඩෝ හි මාළිගයේ දී කිරිච්චිය කොපුවෙන් ඉවතට ගැනීමම බරපතල වරදක් බව අසානොට දැනුම් දෙන නිලධාරීන්, සියතින් පණ නසාගන්නා ලෙස ඔහුට අණ දෙනවා.
පැරණි ජපානයේ වූ චාරිත්‍රානුකූල සියදිවි නසාගැනීමේ ක්‍රමය හැඳින්වුණේ “සෙප්පුකු” නමින්. සිය කඩුවෙන් උදරය කපාගෙන දිවි නසාගැනීම එහි දී සිදුවෙනවා. අසානො මුහුණ පාන්නේත් මේ ඉරණමට යි.
අසානොගේ මරණයෙන් ඔහුගේ පවුල විනාශයට පැමිණෙන අතර, ඉඩකඩම් සියල්ල ද ඔවුනට අහිමිවෙනවා.
සමුරායිවරුන් 300 සහ රෝනින්වරුන් 47 දෙනා
අසානො නගනොරි යටතේ සේවය කළ සමුරායිවරුන් 300ක් දෙනා ඔහුගේ මරණයෙන් අනතුරුව රෝනින්වරුන් බවට පත්වුණා. ඉදිරියේ දී කුමක් කළ යුතුදැ යි ඔවුන්ට අදහසක් තිබුණේ නැහැ. එම පිරිසෙන්, සිය ස්වාමියාට අත්වුණු ඉරණම ගැන කෝපයට පත්වුණු රෝනින්වරුන් 47 දෙනෙකුගේ අදහස වූයේ, එම මරණයට පළිය ගත යුතු බව යි. සිදුවීමට මුල් වූ කිර දඬුවම් ලැබිය යුතු බවත්, ස්වාමියාගේ ගෞරවය යළි ලබාගැනීමට එකම මාර්ගය එය බවත් ඔවුන් තීරණය කළා.
පළිගැනීමේ සැලසුම
පළිගැනීම වුවත් සැලසුම් සහගතව, ක්‍රමානුකූලව සිදුකළොත් පමණයි සාර්ථක වන්නේ. අසානොට පක්ෂපාතී රෝනින්වරුන් හතළිස් හත්දෙනා සිය පළිගැනීම සැලසුම් කිරීමට වසරකට වැඩි කලක් ලබාගත්තා. ඔවුන්ගේ සැලසුම වුණේ කිරගේ නිවෙස ආක්‍රමණය කර පහරදීම යි.
අසානොගේ මරණය සිදුවූයේ තමා නිසා බව දත් කිර, සිය පෞද්ගලික ආරක්ෂාව තර කිරීමට ක්‍රියාකළා. මෙය දැනගත් රෝනින්වරුන් කණ්ඩායම එකිනෙකාගෙන් වෙන්ව ගියා. ඇතැමෙක් කම්කරු රැකියාවන් සොයාගත් අතර, ඇතැමෙක් මහණ වුණා. ඔවුන්ගේ නායකයා වූ ඕඉෂි කුරනොසුකෙ ක්යෝතෝවට ගොස් එහි පදිංචි වුණා.
ක්යෝතෝවේ දී ඕඉෂි බීමටත්, සූදුවටත් ඇබ්බැහි වූ බවට රාවයක් පැතිර ගියා. රාත්‍රියේ ඇරැඹ, අරුණළු වැටෙන තෙක් මධු සාදයන්ට සහභාගී වූ ඔහු ගීෂාවකගේ මායම් වලට හසුව ඇතැයි කියැවුණා. ඕඉෂි බීමතින් කාණුවක වැටී සිටිනු දුටු එක්තරා සමුරායිවරයෙකු ඔහුට පා පහරක් දී, කෙළගසා, ඔහු සමුරායිවරුන්ට අපහාසයක් බව ද කියා සිටි බවක් නගරය පුරා පතළ වුණේ ඔය කාලයේ දී යි. කිර වෙනුවෙන් ඔත්තු බැලූවන් මාස ගණනාවක් තිස්සේ මේ පුවත් සියල්ල කිරට දැනුම් දුන්නා. එහි ප්‍රතිඵලය වුණේ රෝනින්වරුන් සිය පළිගැනීමේ චේතනාව අත්හැර නව දිවියක් අරඹා ඇතැයි තීරණය කළ කිර විසින්, සිය ආරක්ෂාවන් ලිහිල් කිරීම යි.
පහරදීම
මේ සියල්ල සිදුවෙමින් පැවති සමයේ, ඇතැම් රෝනින්වරුන් කිරගේ නිවෙසේ සේවකයින් ලෙස රැකියා ලබා සිටියේ, එහි පිහිටීම ගැන හොඳින් අධ්‍යයනය කිරීමේ පරමාර්ථයෙන්. කිර විසින් සිය ආරක්ෂාව ලිහිල් කිරීම, රෝනින්වරුන්ගේ සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමට සමය උදා කළා. මෙතෙක් කලක් සී සී කඩ විසිර සිටි රෝනින්වරුන් සියලු දෙනා අසානොගේ මරණයෙන් වසර දෙකකට ආසන්න කාලයකට පසු, නැවතත් ඊඩෝවට රැස්ව සිටියා. ක්යෝතොවේ සිටි කිරගේ ඔත්තුකරුවන්ගෙන් සැඟව ඕඉෂී ද එඩෝවට පැමිණීමෙන් අනතුරුව අවසන් භෝජන සංග්‍රහයක් පැවැත්වූ රෝනින්වරුන්, සිය ප්‍රතිඥාව අලුත් කළා.
1703 ජනවාරි 30 දා, රෝනින්වරුන් හතළිස් හත්දෙනාම කිසිවෙකුත් බලාපොරොත්තු නොවන අයුරින් කිරගේ නිවෙසට කඩාපැන, ඔහුගේ ආරක්ෂකයින්ට පහර දී කිරව කොටුකරගත්තා. ඕඉෂි එහි දී කිරව ගෞරවයෙන් අමතා, තමන් කවුරුන් ද යන වගත්, තමා පැමිණියේ කුමකට ද යන වගත් පවසා, සෙප්පුකු ක්‍රමයෙන් සියදිවි නසාගන්නා ලෙස කිරගෙන් ඉල්ලූ බවයි ප්‍රසිද්ධ ප්‍රවාදය. නමුත් කිර එයට එකඟ නොවූ නිසා අසානො සියදිවි නසාගැනීමට යොදාගත් කිරිච්චියෙන්ම ඔහුගේ හිස ගසා දැමූ ඕඉෂී, එය බාල්දියක දමාගෙන, ඉතිරිව සිටි රෝනින්වරුන් 45 දෙනා ද සමග (එක් රෝනින්වරයෙකු කිරගේ නිවසේ සිදු වූ සටනින් මියගොස් තිබුණා) සෙන්ගකු-ජි පන්සලේ පිහිටා තිබූ අසානොගේ සොහොන වෙත ගොස්, එම හිස ඒ මත තැන්පත් කළා.
රජ මාළිගයේ උසස් නිලධරයෙකු මරාදැමීමට තමන්ට ලැබෙන දඬුවම මරණය බව රෝනින්වරුන් දැන සිටියා. එනිසා සිය මළගම සිදුකිරීමට අවශ්‍ය මුදල් සෙන්ගකු-ජි පන්සලේ භික්ෂූන්ට ගෙවූ පසුයි ඔවුන් නැවතත් ශෝගුන්ගේ රාජ නිලධාරීන් වෙත ගියේ.
රෝනින්වරුන්ගේ මරණය
නැවත එඩෝ වෙත ගිය රෝනින්වරුන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වුණා. එයින් වරදකරුවන් වූ ඔවුන්ට ලබාදුන් දඬුවම වූයේ සියතින් උදරය කපාගෙන පණ නසාගැනීම යි. රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ 1703 පෙබරවාරි 4 වන දා මේ සියදිවි නසාගැනීම් සිදු වූ අතර, ඔවුන්ගේ සිරුරු සියල්ල සෙන්ගකු-ජි පන්සලේ සොහොන් බිමේ, ඔවුන්ගේ ස්වාමියා වූ අසානොගේ සමාධිය අසලින් මිහිදන් කෙරුණා.
ඕඉෂී රෝනින්වරයාට ක්යෝතෝවේ දී කෙළ ගසා අපහාස කළ සමුරායිවරයා මෙම සිදුවීම් ගැන දැනුවත් වීමෙන් පසු මහත් කම්පාවට පැමිණ, සෙන්ගකු-ජි පන්සල වෙත ගොස් සිය වරදට සමාව ඉල්ලා, රෝනින්වරුන්ගේ සමාධිය අසල දී සෙප්පුකු ක්‍රමයෙන් සියදිවි නසාගත් බව ජනප්‍රවාදයන්වල කියැවෙනවා.
අද වන විට සෙන්ගකු-ජි සොහොන්බිමේ රෝනින්වරුන්ගේ සමාධි වන්දනා නඩයන්ගේ පූජාවට පාත්‍ර වල ස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ සන්නාහයන් අදටත් සෙන්ගකු-ජි පන්සලේ තැන්පත් කොට තිබෙනු දැකගත හැකියි. වර්තමානයේත් රෝනින්වරුන්ගේ වීරත්වයට උපහාර පිණිස, සෑම වසරකම දෙසැම්බර් 14 වන දා (රෝනින්වරු පළිගැනීම ක්‍රියාත්මක කිරීමට එකට රැස්වූ දිනය) සැමරුම් උත්සවයක් සෙන්ගකු-ජි පන්සලේ දී පැවැත්වෙනවා.
මූලාශ්‍රයයන්:
The Telegraph
samurai-archives.com
47ronins.com
cover image: රෝනින්වරුන්ගේ ප්‍රහාරය (ukiyo-e.org)