Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තා පාවහන් එකතු කරන්නට මිනීමැරූ ජෙරී බෲඩොස්

ඉතිහාසය පිරික්සීමේදී හමුවන සමහර දාම ඝාතකයින් එම තත්ත්වයට පත්වී තිබෙන්නේ විවිධ හේතූන් නිසා යි. සමහරෙක් උපතෙන්ම ඇති වූ තත්ත්වයන් නිසා එම තත්ත්වයට පත් වී ඇති අතර, තවත් සමහරෙක් ජීවන අත්දැකීම් හේතුවෙන් මිනීමැරීමට පෙළැඹෙනවා. සමහරුන් දාම ඝාතකයින් බවට පත්වන්නේ විවිධාකාරයේ විකෘති හෝ අසාමාන්‍ය ආශාවන් නිසා යි. ඇමෙරිකානු දාම ඝාතකයෙකු වූ ජෙරී බෲඩොස් එවැනි අමුතුම ආශාවක් තිබූ අයෙක්.

අයහපත් ජීවන අත්දැකීම්

1939 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු ඩැකොටාවේ උපන් ජෙරී බෲඩොස් හට හිමිව තිබුණේ එතරම් ප්‍රීතිමත් ළමා කාලයක් නොවේ. කෙසේ නමුත් ඔහු පස් හැවිරිදිව සිටිය දී කුණු ගොඩක වැටී තිබූ යමක් ඔහුට ප්‍රමෝදය ගෙන ආවා. ඒ කාන්තා උස් අඩි පාවහනක්. අහම්බයකින් හමු වූ එම පාවහනට ඔහු මහත් සේ ඇළුම් කරන්නට වූ අතර එය නිවසට ගෙන අවුත්, හොඳින් සෝදා, සිහිවටනයක් සේ ළඟ තබා ගත්තා. එම සිදුවීම ඔහු කෙමෙන් කෙමෙන් කාන්තා පාවහන් කෙරෙහි ආශක්ත කරන්නට හේතු වුණා. වයසින් මුහුකුරා යත්ම භාවිතා කළ කාන්තා පාවහන් එක්කාසු කිරීමට ඔහු තුළ පාලනය කළ නොහැකි ආශාවක් හටගත්තා.

ජෙරී බෲඩොස්- eonline.com

ජෙරී සිය කුස තුළ දරා සිටින විට ඔහුගේ මව බලාපොරොත්තු වූයේ ගැහැණු දරුවෙකු යි. මේ වන විටත් ඇය හට එක් පිරිමි දරුවෙකු සිටීම එයට හේතු වුණා. ජෙරී පිරිමි දරුවෙකු වීම නිසා ඇය අසතුටට පත් වූ අතර, එය එළිපිටම ජෙරී හට ප්‍රකාශ කරන්නටත් පටන්ගත්තා. කොටින්ම ඇය නිතටම ඔහු හට බැන වදින්නට මෙන්ම, පහර දෙන්නටත් පටන්ගත් අතර ඔහු නොසලකා හැරියා. මේ නිසා කෙමෙන් කෙමෙන් ජෙරී තුළ කාන්තාවන් කෙරෙහි වෛරයක් හටගත්තා. මේ වෛරය හා මුසු වුණු කාන්තා පාවහන්වලට ඇති ආශාව අවසානයේ නතර වූයේ තවත් දාම ඝාතකයෙක් ලොවට බිහි කරවමිනු යි.

ජෙරී කුඩා කළ සිය ගුරුවරියන්ගේ හා අසල්වැසි කාන්තාවන් ගේ පාවහන් සොරකම් කරන්නට පෙළැඹුණා. නව යොවුන් වියට එළැඹෙත්ම එසේ පාවහන් සොරකම් කිරීමෙන් පමණක් තමන් හට තෘප්තිමත් විය නොහැකි බැව් ජෙරී වටහා ගත්තා. මේ අනුව ඔහු 17 වැනි වියේ සිටිය දී මුල්ම වරට කාන්තාවකට පහර දෙනවා. ඔහු එම කාන්තාව පැහැරගෙන ගොස්, පහර දෙන බවට තර්ජනය කර ඇගේ නිරුවත් ඡායාරූප ලබාගත්තේ, විවිධ ඉරියවුවලට පෙනී සිටින ලෙස බල කිරීමෙන් පසුව යි. ඉන් පසු ඔහුගේ ලිංගික ආශාවන් බලෙන්ම ඇගෙන් සන්තර්පනය කරගත් ජෙරී ඇය මුදා හරිනවා. ඇය වහාම මේ පිළිබඳව පොලිසිය දැනුවත් කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු පොලිස් අත් අඩංගුවට පත් වෙනවා. මෙහිදී ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වූ බලධාරීන් ඔහු මානසික වෛද්‍යවරුන් වෙත යොමු කරන ලද අතර එහිදී ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කෙරෙනවා. මෙහිදී ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙන බැව් සොයාගත් අතර, එයට හේතුව ඔහුගේ මව බවත් සොයාගැනෙනවා. මේ අනුව මවගෙන් ඈත්ව වෙසෙන ලෙස ඔහු හට උපදෙස් ලැබෙන අතර, ඒ අනුව ඔහු තනිවම වාසය කරන්නට පටන්ගන්නවා. හොඳින් ඉගෙනුම ලබන ඔහු අවසානයේ නතර වන්නේ යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරුවෙකු බවට පත් වීමෙන් පසුව යි.

තරුණ කාලය

ජෙරී බෲඩොස් 22 හැවිරිදි වියේ පසුවන විට දී 17 හැවිරිදි යුවතියක හා විවාහ වුණා. නව යුවල පෝට්ලන්ඩ් කරා සංක්‍රමණය වුණා. සියළු දේ හොඳින් සිදුවන බැව් පෙනී ගියත්, ජෙරී බෲඩොස් ගේ සිතෙහි පැළපදියම්ව තිබූ කාන්තා පාවහන් පිළිබඳ ආශාව හා කාන්තාවන් කෙරෙහි වූ වෛරය බිඳකදු අඩු නොවී ඇති බැව් පෙන්නුම් කරන්නට වැඩි කලක් ගත වූයේ නැහැ.

ජෙරී නිතරම සිය මනාලියට නිරුවත් වන ලෙස දන්වා, ඇය හට උස් අඩි පාවහන් යුගලක් ලබා දී, එය පමණක් පැළඳගෙන නිවෙස ශුද්ධ පවිත්‍ර කරන ලෙස දැන්වූවා. එම කටයුතු සිදුකරන විට ඔහු ඡායාරූප ද ලබාගත්තා. ඔහුට දාව ඇය හට දරුවන් දෙදෙනෙකු ද ලැබුණා. කෙසේ නමුත් මේ කාලය අතරතුර ඔහු විවිධ කාන්තාවන්ට අඩන්තේට්ටම් ද සිදු කළා.

1967 වසරේදී ජෙරී තවත් කාන්තාවකට පහර දෙනවා. මෙයට හේතුවී තිබුණේ ඇගේ දොරකඩ අලංකාර කාන්තා උස් අඩි පාවහන් යුගලක් තිබෙනු ඔහුගේ ඇස ගැටීම යි. ඇය රාත්‍රියේ නින්දට ගිය පසු නිවසේ දොරගුළු බිඳ ඊට ඇතුළු වූ ජෙරී, සිහි නැති වන තුරු ඇගේ ගෙල සිර කොට, ලිංගික අඩන්තේට්ටම් කර පලා යන්නේ උක්ත පාවහන් යුගල ද සොරකම් කරගෙන යි.

ජෙරී බෲඩොස් නම් ඝාතකයා

ජෙරී බෲඩොස් ගේ ගොදුරු කිහිපයක්- cvltnation.com

1968 වසරේ දී ජෙරී බෲඩොස් සිය ප්‍රථම ඝාතනය සිදුකරනවා. ඔහුගේ ගොදුර බවට පත්වූයේ පොත් වෙළඳාමේ නිරතව සිටි ලින්ඩා ස්ලෝසන් නම් කාන්තාවකුයි. ඔහු ඇය හට ලිංගික අඩන්තේට්ටම් සිදුකර, පාවහන් යුගල සොරාගන්නට පෙර ඇයට තදින්ම පහර දී ගෙල ද මිරිකා දැමුවා. මේ නිසා ඇය මියගියා.

ජෙරී සිය ‘සිහිවටන’ පාවහන් රඳවා තබාගැනීම සඳහා භාවිතා කළේ සිය නිවසේ ගරාජය යි. මේ නිසා ඔහු සිය බිරියට එහි යාම තහනම් කළා. සාමාන්‍යයෙන් ඔහු මෙහි ගෙන එන්නේ සිය ගොදුරුවල පාවහන් පමණක් වුවත්, මෙවර පියවරක් ඉදිරියට යමින් ඔහු ස්ලෝසන් ගේ පාදයක් ද කපාගෙන වුත් එහි වූ පාවහන් එකින් එක එයට පළඳා බැලුවා. අනතුරුව පැරණි කාර් එංජිමකට එය බැඳ දමා, එය ගංගාවකට මුදාහැරියා.

එම වසරේම සරත් ඍතුවේ දී තවත් කාන්තාවක් ඝාතනය කරන ජෙරී ඇගේ පියයුරක් කපා දැම්මා. අනතුරුව එම සිරුර ගරාජයට ගැනවුත් කිහිප විටක් ඒත් සමග ලිංගිකව එක් වුණා. එය එපා වූ පසු එයටත් අත් වූයේ ස්ලෝස්න්ගේ පාදයට අත් වූ ඉරණමම යි. එම වසර අවසන් වන්නට මත්තෙන් තවත් කාන්තාවන් දෙදෙනෙකුට එම ඉරණමම අත් වුණා.

පොලිසියට කොටු වීම හා නිදහස් වීම

1969 වසරේ මැයි මාසයේ දී පෝට්ලන්ඩ් අසල ගංගාවක මාළු බාමින් සිටි ධීවරයෙකුට එහි පාවී ආ මළසිරුරක් හමුවෙනවා. මෙය පොලීසියට දැන්වීමෙන් අනතුරුව, ඊට දින දෙකකට පසු ආසන්නයේ තිබී තවත් සිරුරක් සොයාගන්නට පොලිසිය සමත් වෙනවා. මේ සිරුරු දෙකම දැඩි ලෙස විකෘති කර තිබූ අතර, එය ගංගාවේ පතුල කරා යන පරිදි මෝටර් රථ කොටස් ගැටගසා තිබුණා. දෙකම කාන්තා මළසිරුරු වුණා.මේ සිරුරු ඔස්සේ පොලීසිය පර්යේෂණ ආරම්භ කළ අතර, ඉක්මණින්ම එක් සිරුරක අනන්‍යතාව සොයාගත හැකි වුණා.

හමු වූ එක් සිරුරක අයිතිකාරිය ප්‍රදේශයේ කාමරයක නවාතැන් ගෙන සිටි තැනැත්තියක වූ අතර, ඇගේ කාමරයේ සිටි මිතුරියන්ගෙන් වැදගත් හෝඩුවාක් ලැබුණා. මරණකාරිය හට තලතුනා මිනිසෙකුගෙන් දිගින් දිගටම ඇමතුම් ලැබී තිබූ අතර, ඔහු ඇය සමග ආදර සම්බන්ධයක් ගොඩනගාගන්නට උත්සාහ ගෙන තිබුණා. ඇය ඇතුරුදන් වීමෙන් දින කිහිපයකට පසු ඔහු කාමරයේ ඇනෙක් තරුණියන් හටත් දුරකථනය ඔස්සේ යෝජනා ගෙන එමින් සිටියා.

උක්ත සිද්ධිය ඔස්සේ පර්යේෂණ ඇරඹූ බලධාරීන් කාමරයේ හුන් තවත් තරුණියක් යොදාගෙන ඝාතකයා කොටු කරන්නට දැලක් එලුවා. මෙය සාර්ථක වූ අතර, ජෙරී එම තරුණිය සොයාගෙන කාමරයටම පැමිණියා. ඒ අනුව ඔහු පොලිස් භාරයට පත් වුණා.

ජෙරී බෲඩොස් පොලිසියට කොටු වී- Youtube

පොලිසිය විසින් අල්ලාගැනුන ද ජෙරීට එරෙහි සාක්ෂ්‍ය කිසිවක් ඔවුන් සතුව තිබුණේ නැහැ. මේ නිසා ඔහු මුදා හරින්නට ඔවුනට සිදුවුණා. කෙසේ නමුත් මේත් සමගම වාගේ කාන්තාවක් ඉදිරිපත් වී ජෙරී තමන්ට අඩන්තේට්ටම් කිරීමට උත්සහ දැරූ බවත්, ඒ අවස්ථාවේ දී පැන එන්නට තමන් සමත් වූ බවත් පොලිසියට පැවසුවා. මේ අනුව ජෙරී ගේ නිවෙස පරීක්ෂා කිරීමේ බලපත්‍ර ලබාගන්නට පොලිසියට හැකි වුණා.

අවසානය

ජෙරීගේ ගරාජයේ තිබී පොලිසියට වැදගත් සාක්ෂ්‍ය රාශියක් හමුවුණා. නයිලෝන් කඹ, මියගිය තරුණියගේ ඡායාරූප සහ විශේෂයෙන් කාන්තා උස් අඩි පාවහන් රාශියකුත් එහි වුණා. එමෙන්ම අවසන් වරට ඔහු විසින් ඝාතනය කළ යුවතියන් දෙදෙනාගේ පියයුරුවල කොටස් ද එහි වුණා.

නැවතත් වහාම ජෙරී බෲඩොස් අත් අඩංගුවට ගැණුනා. ඔහුට එරෙහි නඩු විභාගයත් ඉක්මණින් ඇරඹුණු අතර මිනිමැරුම් රාශියකට වරදකරු වී ඔහු ජීවිත කාලයටම සිපිරිගෙට නියම වුණා. වසර 37ක් සිරබත් කෑ ඔහු 2006 වසරේදී බන්ධනාගාරයේ දීම මියගියා.

Related Articles