Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාතලේ කැප්පෙටිපොළ මහ වලව්වේ හැංගුණු මතක

1818 උඩරට මහ කැරැල්ලේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ මොනරවිල කැප්පෙටිපොළ  මහ දිසාව දිවි පුදා පසුගිය නොවැම්බර් 26 වැනිදාට වසර 203ක් පිරුණා. තවමත් අපි කැප්පෙටිපොළගේ නාමය ගැන සඳහන් කරනවා. මෙම අභිමානවත් නායකයාගේ ජන්ම භුමිය වුණේ මාතලේට නුදුරු උතුරු මාතලේ යි.

කැප්පෙටිපොළ පරපුරේ ඥාතීන් තවමත් මාතලේ කැප්පෙටිපොළ වලව්වේ ජීවත් වෙනවා. පුරාවිද්‍යා ස්මාරකයක් වන ඒ වලව්ව  ක්‍රමයෙන් දිරාපත් වෙමින් යන ගොඩනැගිල්ලක්. එය වහාම සංරක්ෂණය කළ යුතු වෙනවා. මේ කැප්පෙටිපොල වලව්ව ගැන කළ සොයාබැලීමක්.

 මොනරවිල කැප්පෙටිපොළ ප්‍රතිමාවක් -wikipedia.org

කැප්පෙටිපොළ ජීවන තතු

මොනරවිල කැප්පෙටිපොළ දිසාව ඉපදුණේ  මාතලේ දිසාවේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග්‍රාමයේ යි.  කැප්පෙටිපොළ දිසාවගේ පියා වුණේ රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේ බව සඳහන් වෙනවා. ගොලහැල නිලමේ විවාහ වී සිටියේ මොනරවිල කුමාරිහාමි සමඟ යි. විවාහයෙන් මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් ලැබුණා. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි යි. වැඩිමහල් පුතා මොනරවිල කැප්පෙටිපොළ වුණා. ගොලහැල නිලමේ දළදා මාලිගයේ පඩිපෙළෙන් වැටී මරණයට පත් වෙනවා. කැප්පෙටිපොළට මොනරවිල නාමය ලැබුණේ කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරෙන්.

මොනරවිල කැප්පෙටිපොළ විවාහ වී සිටියේ සබරගමුවේ දෙල්වල එතනා සමඟ යි. උඩරට ජන ප්‍රධානායෙක් ලෙස ඔහු ඉංග්‍රීසින් උඩරට යටත් කරගත් පසු ව ඉංග්‍රීසින් යටතේත් ඌව දිසාව  පාලනය කළා. ඔහුගේ සම්පූර්ණ නම මොනරවිල කැප්පෙටිපොළ රාපජක්ෂ වික්‍රමසේකර බණ්ඩාරනායක යි. කැප්පෙටිපොළ වලව්වේ ඉතිහාසය පිළිබඳ ව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද, උඩරට මහ කැරැල්ල පළමු වැනි කාණ්‍ඩය ග්‍රන්ථයෙහි සඳහන් කර තිබෙන අන්දමට මොනරවිල මුල් වලව්ව ඉංග්‍රීසීන් රාජසන්තක කර තිබෙනවා. පසු ව ඉංග්‍රීසි පාලකයන්ගේ උදහසට ලක් ව එම දේපළ විනාශයට ලක්ව තිබෙනවා. අද පුරාණ වලව්වේ ගල් කණු කිහිපයක් පමණක් ඉතිරි ව තිබෙනවා. කැප්පෙටිපොළ දිසාව පල්ලේපොළ වේළුවනාරාම භූමියේ ඉදිකළ බුදු කුටිය අදත් දැකගත හැකි යි. 

පාවාදීමෙන් පැරදුණු උඩරට කැරැල්ල- ප්‍රසන්න වීරක්කොඩිගේ චිත්‍රයක්- Dailynews.lk

 1818 උඩරට කැරැල්ල

වර්ෂ 1817 ඔක්‌තෝබර් මස සිට 1818 ඔක්‌තෝබර් මාසය දක්‌වා අවුරුද්දක‌ පමණ කාලයක්‌ කන්ද උඩරට ප්‍රදේශයේ පැවති උඩරට මහා කැරැල්ල නිසා ඉංග්‍රීසි ආධිපත්‍යය බිඳවැටීමට ආසන්න තත්ත්වයක් උදාවුණා. 1818 ජාතික විමුක්ති අරගලයේ වීර සෙන්පතියා ලෙස සලකන්නේ මොනරවිල කැප්පෙටිපොළ යි. ඌව පළාතේ කැරැල්ල දරුණුවට ඇවිළුණා. මේ කැරැල්ල මැඩ පැවැත්වීමට ඌවේ දිසාව වුණු මොනරවිල කැප්පෙටිපොළ ඉංග්‍රීසි ආණ්ඩුව යවනවා. කැරැල්ල මැඩ පවත්වනු වෙනුවට බිබිල අලුපොත අසල දී කැප්පෙටිපොළ කැරලිකරුවන්ට එක් ව එය මෙහෙයවීමේ නායකත්වය ගන්නවා.

කැරැල්ලෙන් අනතුරුව කැරැලි නායකයන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නවා. කැප්පෙටිපොල ඇතුළු තවත් 47 දෙනකුට මරණීය දණ්‌ඩනය හිමි වුණා. වෙල්ලස්‌සේ භික්‌ෂූන් දහනමක්‌ දන්ත ධාතුන් සොරකම් කිරීමේ චෝදනාවට යාපනය සිරගෙයකට යැවුණා. තවත් රදළවරුන් 75දෙනකුගේ ඉඩම් රාජසන්තක කෙරුණා. මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ යන දිසාවේවරුන් ඉංග්‍රීසීන්ට පක්ෂපාතී වෙමින් ඔවුන්ට ඔත්තු සැපයූ නිසාත් කැරලිකරුවන් අතර එකම මතයක් නොමැති වූ නිසාත් තමයි කැරැල්ල පරාජයට පත් වන්නේ.

කැප්පෙටිපොළ දක්වන සිත්තමක්- Dinamina.lk

 

කැරැල්ල පරාජය වීමෙන් පසු ව කැප්පෙටිපොළ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා. ඔහු ගැන ඔත්තුවක් දෙන කෙනකුට තාරකා පගෝදි 2000ක් දෙන බව ඉංග්‍රීසි ආණ්ඩුව නිවේදනය කළා. අනුරාධපුර යුද කඳවුරේ ලෙප්ටිනන්ට් විලියම්  ඕනිල්ට ලැබුණු ඔත්තුවක් අනුව මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව නුවර කලාවිය පරවාගම කහල්ල ගමේ දී අත්අඩංගුවට ගැනෙනවා. 

ඒ  1818 ඔක්තෝබර් මස 23 වැනිදා යි. ඉන් පසු යුද අධිකරණයක් මගින් ඔහුට මරණීය දණ්ඩනය ලබා දෙනවා. කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ නිලමේ බෝගම්බර වැව අසල දී 1818 නොවැම්බර් මස 26 වැනිදා හිස ගසා මරා දැමීමට නියම කෙරුණා. එය ක්‍රියාත්මක කළේ බෝගම්බරදී ක්‍රිස්තු වර්ෂ 1818 නොවැම්බර් මස 26වැනි දිනදී ය. ඔවුන්ගේ දේහ බෝගම්බර වැව් ඉවුරේ භූමදානය කළ බවත් සඳහන් වෙනවා.

 එංගලන්තයෙන් ගෙනා කැප්පෙටිපොල හිස් කබල – Wikipedia.org

කැප්පෙටිපොළ හිස් කබල එංගලන්තයට

මේ නායකයාගේ නිර්භීත හැසිරීම නිසා කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට ඉංග්‍රීසින් කටයුතු කළා. පසුව එය එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණා.

ලක් රජයේ ඉල්ලීම මත  1954 නොවැම්බර් 26 වැනිදා එය යළි ලංකාවට ගෙනවිත් මහනුවර මහමළුවේ කළුගල් කුලුනකින් යුත් ස්මාරයකයක් තනා එහි තැන්පත් කර තිබෙනවා.

වලව්ව ඉදිරිපසින් දිස්වන අයුරු- Dinamina.lk

කැප්පෙටිපොළ මහ වලව්ව

මොනරවිල කැප්පෙටිපොළ දිසාව මාතලේ දිසාව භාර ව රාජකාරි කරද්දී වාසය කර ඇත්තේ මොනරවිල ගමේ. ඔහු රාජකාරි සඳහා මහනුවර රජ වාසල වෙත යාමේ දී අතරමග නැවතී ගිමන් හැරීම පිණිස මාතලේ හුලංගමුව ගමේ වලව්වක් ඉදිකර තිබෙනවා. එම වලව්ව ඉංග්‍රීසින්ගේ අතවරයට පත් ව නොමැති අතර අදත් අපට දැකගත හැකි යි.  මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව ඌවේ දිසා පදවිය දැරූ ජිවිතයේ අවසාන කාලයේ දී මෙම වලව්වේ ගත කර තිබෙන බව පැවසෙනවා. ඒ අතර ම තමයි ඔහු කැරැල්ලට එක් ව එය මෙහෙයවන්නේ. හුලංගමුව වලව්ව විශාල දෙමහල් ගොඩනැගිල්ලක්.

මොනරවිල කැප්පෙටිපොළ දිසාව ඉංග්‍රීසි පාලකයන්ගේ උදහසට ලක්වීම නිසා ඔහුගේ එක ම පුතාට කිසිම ඉංග්‍රීසි ආණ්ඩුවකින් කිසිම නිලයක් ලැබී නැහැ. පසුකාලීන ව ඔහුගේ මුණුබුරකු වූ මුතුබණ්‍ඩා මොනරවිල කැප්පෙටිපොළට මාතලේ දිසාව තනතුර හිමි ව තිබෙනවා. මුතුබණ්ඩා කැප්පෙටිපොල  හුලංගමුවේ කැප්පෙටිපොළ වලව්ව ප්‍රතිසංස්කරණය කර එහි පදිංචි වී ඇති බව පැවසෙනවා. ඔහු  මෙම වලව්ව නඩු ඇසීම සදහා ද භාවිත කර තිබෙනවා. පසුව සිය පුතාගේ විවාහ මංගල්‍යය නිමිතිකර ගෙන  වලව්ව අලුත්වැඩියා කර තිබෙන බවත් සඳහන්. ඉන් පසුවත් මෙම වලව්ව කිහිපවරක් ම ප්‍රතිසංස්කරණයට ලක් ව තිබෙනවා. 

වලව්වේ ඉදිරිපස ආරුක්කු -Dailymotion.com

කාමර 16ක වලව්වක්

ඓතිහාසික සිද්ධි රැසකට පාදක වුණු මේ වලව්ව දැනට අවුරුදු 200කට පමණ ඉහත දී තැනූ ගොඩනැගිල්ලක්. පර්චස් 120ක පමණ භූමියක ඉදිකර තිබෙන  වලව්ව කාමර 16කින් යුක්ත යි. 18 වැනි ශත වර්ෂයේ උඩරට  ගෘහ නිර්මාණ කලාවේ සිහිවටන අදටත් එහිදී දැකගත හැකි යි.  

මෙම ගොඩනැගිල්ල උසින් අඩි 30ක් පමණ වෙනවා. ගොඩනැඟිල්ලේ දිග අඩි 40ක් ද පළල අඩි 25ක් ද වෙනවා.  මැටි බදාමවලින් තනා හුණුවලින් කපරාරු කළ තාප්ප බිත්තියක ඝණකම අගල් 16ක්. වහලයේ බාල්ක සහ රීප්පවලටත් දොර, ජනේල වලටත් වටිනා දැව යොදාගෙන තිබෙනවා. පුරාණකම නිසා මේ බොහෝ දැව දැන් දිරා ගිහින්.

ප්‍රධාන දොරටු දෙකක්

වලව්වේ ඉදිරිපස පිවිසුම ආරුක්කු හැඩයෙන් තනා ඇති අතර ප්‍රධාන දොරටු දෙකක් තිබෙනවා. බරාඳයෙන් විසිත්ත කාමරයට පිවිසීම සඳහා දැවයෙන් නිම කළ දෙපියන් දොරටු දෙකක් දැකගත හැකි යි. ගොඩනැඟිල්ලේ ඉදිරිපස තවත් කොටසක ඕලන්ද සම්ප්‍රදායේ රවුම් කුලුනු සහිත බරාඳයක් දැකගත හැකි යි.

සඳළුතලයේ දැව වැට – facebook

විසිත්ත කාමරය දිගින් අඩි 40ක් සහ පළලින් අඩි 15ක් පමණ වෙනවා. මෙහි හරි මැදින් අලංකාර බිත්ති ආරුක්කුවක් තනා සාලයට කදිම පෙනුමක් ලබා දී තිබෙනවා. ඒ අසල කෑම කාමරයක් ද තිබෙනවා. කෑම කාමරයට  දොරටු දෙකකින් පිවිසිය හැකි යි. මේ කෑම කාමරයත් විසිත්ත කාමරය තරම් විශාල ව තනා තිබෙනවා.

කැප්පෙටිපොළ දිසාව මේ විශාල කෑම කාමරේ දී අලි ඇතුන්ට පවා ආහාර ලාබාදී තිබෙන බවට කතා පැතිර තිබෙනවා. ගොඩනැඟිල්ලේ පියස්ස අලංකාර ලෙස තනා ඇති අතර මැද මිදුලක් ද සහිත යි. මේ අංග නිසා වලව්වට ගම්භීර පෙනුමක් ලැබී තිබෙනවා.

උඩුමහල

වලව්වේ උඩුමහල සඳලූතල දෙකකින් සමන්විත යි. උඩුමහලේ පිහිටා ඇත්තේ දැව සොල්දරයක්. එක සඳලුතලයක ආරක්ෂිත වැට නිර්මාණය කර ඇත්තේ ලීවලින්. ප්‍රධාන ගොඩනැගිල්ල දෙපසින් හා පිටු පසින් ඉහළ මහලයට පිවිසීමට පියගැට පෙළ දෙකක් තනා තිබෙනවා. ඒවා අලංකාර ලියකම් සහිත ව නිමා කර තිබෙනවා. පියස්ස සිව්රැස් ආකාරයේ වහලකින් යුක්ත යි. එයට සෙවිලි කර ඇත්තේ සිංහල උළු යි.

 කැප්පෙටිපොළ භාවිත කළ බව කියන හුණු කිල්ලෝටය- sundaytimes.lk

කැප්පෙටිපොළ පරම්පරාව

මේ ඓතිහාසික වලව්වේ මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ පරපුරේ 6 වැනි පරම්පරාව අදත් ජීවත් වෙනවා. 6 වැනි පරපුරේ මිණිබිරියන් තිදෙනෙක් සිටිනවා. ඒ අතරින් සුජාතා වජිරා කුමාරි කැප්පෙටිපොළ 1989 දී මියගියා.  මැණික් කුමාරි කැප්පෙටිපොළ සහ ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ යන වියපත් සොයුරියන් දෙදෙනා ජීවතුන් අතර සිටිනවා.

ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ සිය සැමියා වන වින්ඩ්සර් හුලංගමුව සමඟ මේ මහ වලව්වේ ජීවත් වුණා. මේ පරපුරෙන් බිහිවුණු ඥාතීන් රටේ බොහෝ ප්‍රදේශවල විසිරී සිටින අතර විදේශ ගතවත් සිටින බව වාර්තා වෙනවා.

වලව්වේ පිටුපස -facebook   

වලව්ව සංරක්ෂණය

කැප්පෙටිපොළ වලව්ව පුරාවිද්‍යා සංරක්ෂණයට යොමු කළ යුතු ජාතික උරුමයක්. මේ මහ වලව්ව අනාගත පරපුර සදහා සංරක්ෂණය කර පෞරාණික තත්ත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කරන මෙන් ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ වගකිවයුතු අංශවලින් ඉල්ලීමක් ද කර සිටි බව ජනමාධ්‍ය වාර්තා කළා. එහි සංරක්ෂණය සදහා 2013 දී රජයේ අවධානය යොමුවුණු බව ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එහිදී ඇමැතිවරුන් වලව්වට පැමිණ එය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැනත් අවධාරණය කළා. එහෙත් සංරක්ෂණයක් නම් ආරම්භ වුණේ නැහැ. 2017 දීත් කැප්පෙටිපොළ වලව්ව සංරක්ෂණයට රජයේ අවධානය යොමුවුණු බව පැවසුණා. එහෙත් එයත් කතාවලට පමණයි සීමා වුණේ. මේ නිසා වගකිවයුතු අංශ මැදිහත් ව එහි සංරක්ෂණය ආරම්භ කළ යුතු බව අපගේ හැඟීම යි.

කවරයේ ඡායාරූපය - කැප්පෙටිපොළ වලව්ව - Lankadeepa.lk

මූලාශ්‍ර:

 උඩරට මහ කැරැල්ල -තෙන්නකෝන් විමලානන්ද, පරි. රත්නායක තිලකරත්න

ත්‍රිසිංහලේ නායකයෝ- නුවරඑළියේ හේමපාල

culture.cp.gov.lk

Dinamina.lk

Lankadeepa.lk

Related Articles