මාතලේ දිස්ත්‍රික්කයට අයත් ලග්ගල පුරාණයේ පටන් සැලකුණේ ඉතා දුෂ්කර බිම් පෙදෙසක් හැටියට යි. දුම්බර කන්දේ බෑවුම්වල පැතිර ඇති ලග්ගල ගම්මානවල අදටත් පාරම්පරික සිරිත් විරිත් අනුගමනය කරනු දකින්න පුළුවන්. තමන් රාවණ රජුගෙන් පැවත එන බව සමහර ලග්ගල වැසියන් අදටත් විශ්වාස කරනවා. කුතුහලය දනවන අබිරහස් කතාපුවත් පැතිරි මේ සුන්දර බිම් පෙදෙසේ ජනප්‍රවාද ගැන සොයා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.
ලග්ගලට මායිම්
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය මාතලේ නගරයෙන් කිලෝ මීටර 86 ක් පමණ දුරකින් පිහිටා තිබෙනවා. එය හඳුන්වන්නේ ලග්ගල – පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස යි. උතුරින් නාවුල සහ ඇළහැරින් ද, දකුණින් මහනුවර දිස්කයෙන් ද, නැඟෙනහිරින් විල්ගමුවත්, බටහිරින් අඹන්ගඟ කෝරළේ සහ රත්තොටටත් මායිම් වෙලා තමයි ලග්ගල පිහිටා තිබෙන්නේ. දුම්බර කඳුවැටියේ වැඩි ප්‍රමාණයක් ලග්ගලට අයත් වෙනවා. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කලාප තුනකින් සමන්විත වන අතර ග්‍රාම නිලධාරි වසම් 37 කින් ද, වර්ග කිලෝමීටර් 375 කින් යුක්ත යි.
මොරගහකන්ද කළුගග ව්‍යාපාරයටත් ලග්ගල විශාල බිම් පෙදෙසක් අයත් වෙනවා. ලග්ගල ස්වභාවික මායිම් වශයෙන් නැඟෙනහිරට මහවැලි ගඟ ද, දකුණට හීන් ගඟ සහ ලකේගල කන්ද ද, බස්නාහිරට බඩාටුකන්ද සහ පුවක්පිටි ගඟ ද, උතුරට අඹන් ගඟ සහ වස්ගමුව ඔය ද පිහිටා තිබෙනවා. ලග්ගල පුරාණ බෙදීම් අනුව උඩුසිය පත්තුව සහ පල්ලේසිය පත්තුව වශයෙන් පත්තු දෙකකින් යුක්ත යි.
ගමන් මඟ
හසලක-හෙට්ටිපොළ හරහා හෝ මහියංගණ සිට දඹුල්ල මාර්ගයේ ගමන් කරන විට හෙට්ටිපොළ නගරය පසුකර ගමන් කිරීමෙන් ලග්ගලට පැමිණිය හැකි යි. මාතලේ සිට යන්නේ නම් වඩාත් පහසු රත්තොට රිවස්ටන් ඉලුක්කුඹුර හරහා කඳුකර මගේ ගමන් කිරීම යි.
ලග්ගල ගොවිතැන
ලග්ගල ජනයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැන යි. යල මහ ලෙස කන්න දෙකක් වගා කටයුතු කරන ඔවුන් මැද කන්නය අතිරේක බෝග වගාවන්වලට යොමු වී සිටිනවා. ඔවුන් වගා කරන්නේ අහස් දියෙන්. මෑතක දී තැනූ කළුගඟ ජලාශය මඟින් දැන් කුඹුරුවලට දියවර ලැබෙනවා. කඳු බෑවුම්වල හෙල්මළු ක්‍රමයට වී වගාකරන ගොවීන් කඳු අතර දෙනි බිම්වල එළවළු වගා කරනවා. අතීතයේ ඔවුන් ජිවත් වුණේ වන මැද හේන් වගාවෙන්. මිරිස්, බෝංචි, කරවිල, වට්ටක්කා, බඩ ඉරිඟු වගාවන්වලට ලග්ගල පල්ලේසිය පත්තුවේ ගොවීන් යොමු වී සිටිනවා.
උඩසිය පත්තුවේ ගොවීන් වැඩි වශයෙන් තක්කාලි, බෝංචි ආදිය වගා කරනවා. කරදමුංගු, එනසාල් වගාවට ද පසුගිය දශක කිහිපය තුළ ලග්ගල ප්‍රදේශයේ විශාල නැඹුරුවක් තිබු අතර, අද වන විට එය අඩුවී සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ දුම්බර එනසාල් වගාව කළ කලුපහන කඳු කොටස අධි රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කර එනසාල් වගාව තහනම් කර ඇති නිසා යි.
ඉතිහාසයේ ලග්ගල
පැමිණීමට අපහසු කඳුවලින් වටවූ මේ බිම් පෙදෙස අනුරාධපුර – පොළොන්නරු යුගවල ඇතැම් රජවරුන් ආරක්ෂිත ස්ථානයක් සේ සලකා තිබෙනවා. මහනුවර රාජධානි කාලේ දී ලග්ගල යොදා ගෙන ඇත්තේ වරද කරන අපරාධකරුවන් පිටුවහල් කරන තැනක් විදිහට යි. වන සතුන් නිතර ගැවසෙන, කැලෑ උණ වැනි රෝග බහුල දුර්ගවලින් වටවුණු ලග්ගල ස්වභාවික සිර ගෙයක් සේ සැලකුණා. පොළොන්නරු යුගයේ දී රණමුරේ මුරපොළක් පැවති බවට සාධක හමුවෙනවා. මහමුරේ නමින් තවත් මුරපොළක් එයට ආසන්නව පැවති අතර ඒ ගම්මානය අද හඳුන්වන්නේ මීමුරේ නමින්.
රාවණ ජනප්‍රවාද
පුරාණයේ ලග්ගල පෙදෙසේ යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වූ බව ජනප්‍රවාදවල පැවසෙනවා. රාවණ රජු ලග්ගලට නුදුරු ලකේගල කන්දේ තම රාජධානිය පිහිටුවාගෙන සිටි බවත් සමඟ සීතා දේවිය හිමිකර ගැනීමට දොළොස් අවුරුද්දක් රාම කුමරු සමඟ යුද්ධ කළ බවත් කියවෙනවා. ලකේගල මුදුනේ මාලිගාතැන්න නමින් ස්ථානයක් ද තිබෙනවා. ජනප්‍රවාද පවසන්නේ එසේ සටන් කර ඇත්තේ රණමුරේ ගම්මානය පිහිටි තැන දී බව යි.
වස්ගමුවේ වන මැද ඇති යුදඟනාපිටියත් මේ කතාවට සම්බන්ධ යි. රාම කුමරු එතැන සිට ලකේගලට හී සැරයක් යැව්වේ ලු. ඒ සඳහා දුනුදිය අදින විට ඊතලය වැදී පොළොවේ වළක් හෑරුණ බවත් අද දුනුවිල නමින් හඳුන්වන්නේ ඒ ස්ථානය බවත් ගැමියන් පවසනවා.
මේ රාවණ කතාව ගැන සඳහන් ජන කවියක්:
‘‘කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ
රාවණ සිරුර ඇත මහකුඩු ගල මුදුණේ
ඇටි කුකුළෙකුගේ රුව ඇටිපොල කඳු මුදුනේ
ඊතල ලකුණ ඇත ලග්ගල මුදුනේ ‘‘
ලකේගල රාවණ රජු
දෝතළුගල, ගොම්බානිය, වමාරපූගල, දුම්බානාගල ආදී කඳු අතර පිහිටි ලකේගල අභිමානවත් පෙනුමකින් යුක්ත යි. පල්ලෙගම, රණමුරේ හරහා නාරංගමුවට පැමිණෙන විටත් ලකේගල වැනි ම තවත් කන්දක් දැකගත හැකි යි. එය නාරංගමුවේ ලකේගල නොහොත් කොමලෑවේ ගල ලෙස හඳුන්වනවා. මීමුරේ ලකේගල සහ කොමලෑවේ ගල අතර පිහිටි තවත් කන්දක් හඳුන්වන්නේ මීරියගොල්ල ලෙස යි.
ඒ අනුව ලකේගල කන්ද විශාල පර්වත තුනක් සහිත කඳු පද්ධතියක් සේ සැලකිය හැකි යි. මෙම ගල් තුන ම දැවැන්ත කළු ගල් පාෂාණවලින් පමණක් සෑදී තිබෙන අතර විශාල ගස් ඒ මත වැවෙන්නේ නැහැ.
ත්‍රිකෝණාකාර ලකේගල කන්ද ඉතා අලංකාර දසුනක් මවා පානවා. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර 1200 ක්. ලකේගල මුදුනට යාමට ඇත්තේ ඉතා අනතුරුදායක දුෂ්කර මංපෙතක්. කඳු මුදුනට නඟින්නකුට අවට අක්කර දෙකක පමණ ප්‍රදේශයක් ඇස ගැටෙනවා. මේ කඳු මුහුණත, ශ්‍රී ලංකාවේ සතර කොනට ප්‍රහාර එල්ල කිරීමට ඉලක්ක ගත හැකි ස්ථානයක් වශයෙන් රාවණා රජු යොදා ගෙන තිබෙන බව සැලකෙනවා. රාවණා රජු ඉලක්ක ගලේ සිට යුදයට සැරසුණු බවත්. එසේ බර ඊතලයකින් පහර දීමේදි එල්ල කළ ඊතලයේ බරට ලකේගල කොටසක් කෑලි කෑලිවලට කැඩි ගිය බවත් කියවෙනවා.
මාලිගාතැන්න
ලකේගල පාමුලට වන්නට ගලේ මුහුණත කඩා වැටුණු කොටස් විසිරි ගිය බවත්, ජනප්‍රවාදවල පැවසෙන කතාවක්. මීමුරේ සහ රණමුරේ ගම්වලට නුදුරින් ඉහළ නැගෙන මේ කන්ද වන්දනාමාන කරන රාවණා පරපුරෙන් පැවත එන්නන් අදටත් මීමුරේ ගමේ වාසය කරනවා. ගැමියන්ගේ විශ්වාසයට අනුව රාවණා රජුගේ මාලිගය තිබූ තැන ‘මාලිගාතැන්න යි’. රාවණා රජු හනුමාගේ වල්ගයට ගිනි තැබූ ස්ථානය ‘ගිනිකෙළිය යි’. සීතා දේවියගේ ආභරණ සඟවා තිබූ ‘අතකරේ’ වන අතර සීතා දේවියට වැලඳුණු ඇස් රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර සඳහා හිරු එළිය තපින්නට සැලැස්වූ තැන ‘සීතාඑළිය’ යි.
රාවණා යක්කම
ලකේගල පාමුල පිහිටි රණමුරේ ගම්මානයේ ජනතාව රාවණා රජු දේවත්වයෙන් අදහනවා. ඔවුන් වාර්ෂික ව ඒ වෙනුවෙන් පවත්වන උත්සවය ‘‘රාවණා යක්කම’’ යි. රණමුරේ ජනතාව කියා සිටින්නේ ‘‘රාවණා යක්කම’’ පරම්පරා ගණනාවක සිට පැවැත එන දෙයක් බව යි. මීමුර වැසියන් ද රාවණා රජු වෙනුවෙන් “රාවණා යක්කම” පවත්වන බව සඳහන්. මෙහිදී ඔවුන් මහාරාවණා රජු හඳුන්වන්නේ ‘ගඟේ බණ්ඩාර දෙවියෝ’ නැතහොත් ‘කන්දේ බණ්ඩාර දෙවියෝ’ ලෙස යි.
‘‘යක්කම’’ පවත්වන්නට දින තීරණය කරන්නේ මාසයකට පමණ ඉහත දී ගමේ දස දෙනකු එක්ව කරන සාකච්ඡාවකින් පසුව යි. පසුව සාම්ප්‍රදායික සිරිත අනුව බුලත් හුරුලූ දී දේවාලයේ ප්‍රධාන කපු මහතාට හා ගමේ වැඩිහිටි පිරිසට මේ ගැන දැනුම්දෙනවා.
‘යක්කම’’ පවත්වන්නට පෙර ගම්මුන් එකතු වී ගමේ දේවාලයේ යහන් තනා අලංකාර තොරණක් ද සවි කරනවා. පසුදා උදේ ඉරු නැඟෙන්නට පෙර දේවාලයේ තැන්පත් කර ඇති ඉපැරණි යකඩ ආයුධ, කැති, කඩු, කිණිසි හා තවත් එවැනි ආයුධ මිටියක් ලබාගෙන එම ආයුධ පෙරහරකින් ගොස් පිරිසුදු ජල පහරකින් සෝදනවා. ඒවායේ මුල පුවක් මල් බැඳ පෙරහරකින් දේවාල භූමියට නැවත රැගෙන එනවා.
ඉන්පසුව ප්‍රධාන කපු මහතා එම ආයුධ එකින් එක ආරූඩයෙන් බණ්ඩාර දෙවියන් උදෙසා පේ කිරීම සිදු කරනවා. එම ආයුධ අතර කුරුල්ලා බැඳි ආයුධය නම් ආයුධය ගමේ ජනතාවගේ හිස මත තබා දේව ආශිර්වාද ලබා දෙන අතර ඉන් හරක බාන වතු පිටි සියල්ල ආරක්ෂා කර දීමට දෙවියන් පොරොන්දු වෙන බවට විශ්වාසයක් පවතිනවා.
විජය රජු ගැන කතා
විජය රජු ලංකාවට ගොඩ බසින විට මෙරට ජීවත්වී ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයන්. තම්මැන්නාවට මුලින් ම හමු වූ කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කාන්තාව සමඟ දීග කනවා. විජය රජු මුලින්ම කුවේණි සමඟ පැමිණ ඇත්තේ ලග්ගල යහන්ගල කන්දට යි. ලකේගලට ආසන්න ව පිහිටි යහන්ගල කන්දේ යක්ෂ ගෝත්‍රිකයන් එක්ව විජය රජුට යහනක් තනා දුන් බව සැලකෙනවා. එම කන්ද ඈතට පේන්නේ යහනක් ලෙස යි. පසුව විජය රජු රාජවංශික තරුණියක් හා විවාහ වීමට කුවේණිය එලවා දමනවා. මාතලේ, ලග්ගල පිහිටි එලෝනා කන්දට ඇය එළවා දැමූ බවයි ජනප්‍රවාදවල පැවසෙන්නේ.
හෙට්ටිපොළ නගරය පසුකර ලග්ගල දෙසට කිලෝමීටර් හතක් පමණ ගියවිට එලෝනා කන්ද හමුවෙනවා.මහා මාර්ගය ඇදී යන්නේ මෙම කන්ද හරහා යි. මෙම කන්ද නැඟ ලග්ගල නගරයට යා යුතු යි. මෙම කන්ද නඟින හා බසින වාහන නිතර ම අනතුරුවලට පත්වන බැවින් කන්ද නඟින තැන ම පඬුරු දමා යෑමට ස්ථානයක් සකස් කොට තිබෙනවා.