කාලයත් සමඟ වැනසී ගිය ආසියාවේ පුරාණ නගර

අතීතයේ එක් සමයක ඉතා ජනාකීර්ණ ව, මහ නගර ලෙසින් වැජඹී, විවිධ හේතූන් නිසා කාලයාගේ ඇවෑමෙන් සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය වී විනාශ මුඛයට ගිය ග්‍රීක -රෝම මෙන්ම ඇමෙරිකානු නගර කිහිපයක් පිළිබඳ ව පසුගිය ලිපි දෙකකින් අපි ඔබ වෙත ගෙන ආවා.

ඉතා දිගු අතීතයකට හිමිකම් කියන ආසියානු මහාද්වීපය තුළත් එවැනි ම නගර කිහිපයක්ම අපට හමු වෙනවා. මේ ඒවා අතරින් ප්‍රමුඛත ම නගර ත්‍රිත්වයක් පිළිබඳ තොරතුරු යි.

පෙට්‍රා – ජෝර්දානය – tripadvisor.com

පෙට්‍රා – ජෝර්දානය

ජෝර්දානයේ පෙට්‍රා නුවර දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියූ, මැදපෙරදිග වූ පැරණිත ම නගරයක් වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ, පසුගිය ලිපිවල සඳහන් වූ අන් සියලු නගර මෙන් නොව, මෙම නගරය කිසි කලක ලෝකයාගෙන් ‘වසන් ව’ නොපැවතීම යි. මෙය කාලයක් ඉතා ජනාකීර්ණ ව සහ දියුණුව පැවති අතර, අනතුරු ව එය විවිධ හේතූන් නිසා අතැර දැමුණා. කෙසේ නමුත් නටබුන් ලෙස හෝ එහි ගොඩනැඟිලිවල කොටස් ශේෂව පැවතුණා. මෙය ඉදිකිරීමෙන් වසර 1000 ක් පමණ ගත වන තුරු බටහිර ජාතීන් මේ පිළිබඳ ව දැනුම්වත් ව නොසිටි අතර, ක්‍රිස්තු පූර්ව 103 දී රෝමානු හමුදා මෙය යටත් කරගන්නට යෙදුණා.

රෝමානු ග්‍රහණයෙන් පසුවත් ඉතා දියුණු නගරයක් ලෙස පැවතුණු පෙට්‍රා නුවරට කණකොකා හැඬුවේ, භූ කම්පනයක් නිසා එහි ජල සම්පාදන ව්‍යුහය විනාශ වීම නිසා යි. කාන්තාරයක් මැද ඉදිකර තිබූ මෙම නගරයට ඉතා දියුණු හා කාර්යයක්ෂ්ම ජල සැපයුම් ක්‍රමවේදයක් තිබූ අතර, භූ කම්පනයෙන් එය බිඳවැටීමත් සමඟ නගරය සම්පූර්ණයෙන් ජල සැපයුමෙන් තොර වූයේ එහි ජීවත් වීම අභියෝගයක් බවට පත් කරමිනු යි.

එය නැවත තැනීමට වඩා, වෙනත් තැනකට සේන්දු වී, නව නගරයක් පිහිටුවීම පහසු වූ බැවින්, එහි වූ ජනයා එය සම්පූර්ණයෙන් අතැර ගියා. අනතුරු ව කාන්තාරයේ වැලි කුණාටු වැනි දේවලින් එය කෙමෙන් කෙමෙන් විනාශ මුඛයට ඇද වැටුණා. කෙසේ නමුත් මෙය ත්‍රාසජනක ගමන් ප්‍රියකරන පුද්ගලයන්ගේ සහ සොරුන්ගේ තිප්පොලක් බවට ඉන්පසු පත් වුණා.

අද වන විට පෙට්‍රා නුවර ලොව ඉතා වැදගත් ඓතිහාසික වටිනාකමකින් යුක්ත ස්ථානයක් බවට හඳුනා ගෙන, එය සංරක්ෂණය කර තිබෙනවා. එහි වූ, ඉතා සුහුරු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිත කොට තැනුණු ගොඩනැඟිලි මිල කළ නොහැකි විශ්මකර්ම බව බොහෝ දෙනාගේ පිළිගැනීම යි.

ට්‍රෝයි – තුර්කිය – yallatoursblog.com

ට්‍රෝයි – තුර්කිය

පැරණි පොත්පත්වල සඳහන් වූ ‘ට්‍රෝයි’ නුවර පිළිබඳ ව 1871 වසරට පෙර බොහෝ දෙනා සිතා සිටියේ, එය හුදු මනඃකල්පිත නගරයක් බව යි. කෙසේ  නමුත් එම වසරේ දී හෙන්ඩික් ෂ්ලීමන් නම් ඉතිහාසඥයෙක් තුර්කියේ හිසලික් නම් පෙදෙසේ, ඉපැරණි භාණ්ඩ සහ ඉදිකිරීම් කිහිපයක් හමු වූ ස්ථානයක වැඩිදුර කැණීම් කටයුතු සඳහා ප්‍රතිපාදන සැපයීමත් සමඟ, එම මතය සම්පූර්ණයෙන් වෙනස් වුණා.

කැණීම් කටයුතු සිදුකරගෙන යාමේ දී හෝමර් සිය සාහිත්‍ය කෘතිවල සඳහන් කළ ආකාරයේ ම විශාල පවුරුවල කොටස් හමු වූ අතර, ඒවායේ ට්‍රෝයි නුවර තිබේ යැයි පැවසුණු රන්, රිදී, මුතු මැණික් මෙන් ම ඒවා බහාලන ලදැයි සැලකෙන මංජුසා ද හමු වුණා. ෂ්ලීමන් ඉතා ප්‍රවේශමෙන් හෝමර්ගේ ලියැවීම් අධ්‍යයනය කර, ඒවා, තුර්කියේ සිදුකළ කැණීම්වලින් තමන්ට හමු වූ වස්තූන් හා සංසන්දනය කළා. එහිදී හෙළි වූයේ, ඔහු නැවත ගවේෂණය කර ඇත්තේ ඇත්තෙන් ම එතෙක් කාලයක් මනඃකල්පිත නගරයක් ලෙස බොහෝ දෙනෙක් සිතා සිටි ට්‍රෝයි නුවර බව යි.

ජර්මානුවෙක් වූ ෂ්ලීමන් තමන්ට ට්‍රෝයි නුවරින් හමු වූ වස්තූන් සිය මවු රටට ගෙන ආ අතර, දෙවන ලෝක යුද්ධය වන තුරු ම ඒවා ජර්මානුවන් සතු වුණා. කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධය අවසානයේ දී රුසියානුවන් බර්ලිනය ආක්‍රමණය කළ විට, ජර්මානුවන්ගෙන් තමන්ට වූ දෙපළ හානි ප්‍රතිපූරණය කිරීම උදෙසා මේවා රුසියාවට රැගෙන ගියා. නවීන තාක්ෂණයට අනුව පසුකාලීනව අධ්‍යයන සිදු කිරීමේ දී හෙළිවූයේ ට්‍රෝයි නුවර ඉදිකර ඇත්තේ ක්‍රි.පූ 3000 දී පමණ බව යි. එය කිහිප වාරයක් විනාශ වී ඇති අතර, නටබුන් උඩින් නැවත ඉදි කර තිබෙනවා. මෙම ඉදිකිරීම්වලින් කුමන කොටස ග්‍රීකයින් ඉදි සිදුකරන්නට ඇති ද යන්න විවාදිත අතර, හෝමර් රචිත ‘ට්‍රෝජන් අසු’ සැබවින් ම පැවති බවට තහවුරු කෙරෙන අවශේෂ ද මින් හමු වී තිබීම සුවිශේෂී යි.

මොහෙන්ජෝ දාරෝ – පාකිස්තානය Pinterest.com)

මොහෙන්ජෝ දාරෝ – පාකිස්තානය

ඉන්දු ගංගා නිම්නය පාදක කොටගෙන පැවති මොහෙන්ජෝ දාරෝ ශිෂ්ටාචාරය සැලකෙන්නේ ලොව පැරණිත ම ශිෂ්ටාචාරයක් ලෙස යි. මෙය ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ටාචාර හා සමකාලීන ව, එලෙස ම දියුණු ලෙසින් පැවතී ඇති අතර, එහි ජීවත් වූවන් ලිවීම, විද්‍යාත්මක පර්යේෂණවල නිරත වීම, ශිල්ප ප්‍රගුණ කිරීම, වෙළෙඳාම,  ආගම් ඇදහීම සහ කෘෂිකාර්මික කටයුතුවල නිරත වීම වැනි දේ යුහුසුළු ව සිදුකර තිබෙනවා. මෙය උපරිම තත්වයෙන් පැවතී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 2000 තරම් අතීතයක යි. 

මොවුන් කෙතරම් තාක්ෂණික ව ඉහළ ස්ථානයක සිටියා ද යන්න ඉන්දු නිම්නයෙන් හමු වී ඇති, මෙම ශිෂ්ටාචාරයේ ගොඩනැඟිලිවල නටබුන්වලින් ඔප්පු වන අතර, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි ප්‍රධාන නගරය වන මොහෙන්ජෝ දාරෝ හි ගොඩනැඟිලි සැකසුම්, සංකීර්ණ ජල මාර්ග පද්ධති ඉතා ඉහළ තාක්ෂණයකින් යුක්ත ව නිමැවී තිබෙනවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එහි විශේෂ මාලිගා හා දෙවොල්වල නටබුන් හමු නොවීම යි. මේ නිසා මෙම ශිෂ්ටාචාරය සමානාත්මතාව ප්‍රිය කළ, ඇදහීම් එතරම් තදින් සිදු නොකළ මිනිසුන්ගෙන් සමන්විත වී තිබෙන්නට ඇති බවට අනුමාන කෙරෙනවා. කෙසේ නමුත් විද්වතුන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් නිශ්චිත මතයකට පැමිණීමට සාධක ප්‍රමාණවත් නොවන බව යි.

ඉන්දු ගංගාව කලින් කලට පිටාර ගැලීම මෙම නගරයේ සහ ශිෂ්ටාචාරයේ ක්‍රමික පරිහානියට හේතු වන්නට ඇති බැව් සැලකෙනවා. මෙලෙස විශාල ගංවතුර ඇතිවීම නිසා මොහෙන්ජෝ දාරෝ නගරය අවම වශයෙන් සය වතාවක් විනාශ වී ඇති අතර, ඒ සෑම වාරයක දී ම එය නැවත ගොඩනැඟීමට එහි වූ ජනයා ක්‍රිය කර තිබෙනවා. කෙසේ නමුත්  ක්‍රිස්තු පූර්ව 1800 දී පමණ මෙය සම්පූර්ණයෙන් ම අත් හැර තිබෙන අතර, එලෙස අතැර යන්නට නිශ්චිත ම හේතුව අද වන තුරු අනාවරණය වී නැහැ. ක්‍රිස්තු පූර්ව 1800 න් පසු නැවත මෙම නගරය ගවේෂණය කොට ඇත්තේ 1922 වසරේ දී යි.

කවරයේ ඡායාරූපය - Burt Johnson / Alamy Stock Photo
මූලාශ්‍ර:
Britannica.com
Harappa.com
internetstones.com

Related Articles

Exit mobile version