කොළඹ සිට කි. මී. 251ක් දුරින් පිහිටි මහියංගනයට මහනුවර 18 වංගුව හරහා මෙන්ම රන්දෙණිගල රජමාවත හරහාත් ගමන් කළ හැකියි. මහියංගනය රජ මහා විහාරය දාගැබක් මුල්කරගෙන ගොඩනැගුණු රජ මහා විහාරයක්. එය ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත්. මහවැලි ගංගාව විහාරයට නුදුරින් ගලා බසිනවා. කොළඹින් තරමක් දුරබැහැර පිහිටි නිසා වැඩිදෙනෙක් මහියංගනයට යන්නේ අඩුවෙන්. නමුත් ඒ අවට දැකබලාගත යුතු තැන් රාශියක් ද තිබෙනවා.
ඇමැති ඩී. එස්.
වර්ෂ 1942 එක් දිනයක එවකට කෘෂිකර්ම ඇමැතිව සිටි ඩී. එස්. සේනානායක නිලධාරින් පිරිසක් ද සමග මහියංගනයට නුදුරින් පිහිටි මිනිපේ ගොවි ජනපදයේ රාජකාරි කටයුත්තකට ගියා. එහිදී දුම්බර උප දිසාපතිව සිටි ටී. සී. පෙරේරා මහියංගන සෑය ගරාවැටී තිබෙන අන්දම ගැනත්, එය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් ඇමැති ඩී. එස්.ට පවසා සිටියා. යළිත් දිනක මිනිපේට යන විට මහියංගය දාගැබ බැලීමට යාමට ඩී. එස්. කැමති බව පවසා සිටියා. එවකට මහියංගනය දක්වා මාර්ග පහසුකම් තිබුණේ නැහැ. මහවැලි ගඟෙන් ඔරුවකින් එතෙර වී ඩී. එස්. ඇතුළු කණ්ඩායම මහියංගනය දාගැබ් බිමට ගියා. දාගැබේ කනගාටුදායක ස්වරූපය දුටු ඇමැතිවරයා එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව වටහාගෙන දිසාපතිවරයාට වැඩිදුරටත් ඒ ගැන සොයාබැලීමට පැවරුවා. දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් 1942 ජූනි 18 දා අස්ගිරි පාර්ශ්වයේ මහානායක පලිපාන චන්දානන්ද නාහිමි ඇතුළු පිරිස ප්‍රධානත්වයෙන් මහියංගන රජ මහා විහාරයේ දී සාකච්ඡාවක් පවත්වා මහියංගන විහාර වර්ධන සමිතිය ආරම්භ කළේ ඒ අනුව යි.
මහියංගන චෛත්‍යය සහ පූජා භූමිය ඇතුළත් සැලැස්ම පිළියෙල කළේ නගර නිර්මාණ ශිල්පී ඔලිවර් වීරසිංහ, ෂර්ලි ඩී. අල්විස්, ඩී. ඒ. පීරිස් යන අය යි. මෙම සැලැස්මට අනුව දාගැබේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරමින් පළමු පස් පිඩැල්ල එවකට අගමැති ඩී. එස්. සේනානායක විසින් කැපුණේ 1949 සැප්තැම්බර් 9 දා යි.
පුරාවිද්‍යා කැණීම්
දාගැබ නව සැලැස්මකට සම්පූර්ණයෙන් අලුත්වැඩියා කෙරෙන නිසා එයට පෙර එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ මහාචාර්ය සෙනරත් පරණවිතානට ආරාධනා කළේ ගරාවැටුණු දාගැබ කැණීම් කිරීමට යි. දාගැබ කලකට පෙර නිධන්හොරු හාරා තිබුණා. පරණවිතානගේ කැණීම්වල අරමුණ වුණේ විවිධ රාජ යුගවල සහ මෑත අතීතයේ කළ අලුත්වැඩියා නිසා ගොඩගැසී තිබුණු සුන්බුන් ඉවත්කර මුල් ගඩොල් බැම්ම පාදා ගැනීම යි. ටික දුරක් කැණීම් කරන විට පුරාවිද්‍යාඥයන් පුදුමයට පත් කරමින් ආරක්ෂා වී තිබුණු ධාතු ගර්භය මතුවුණා. එය දාගැබේ මුල් ධාතු ගර්භය නොව මළුව මට්ටමේ සිට අඩි 22ක් ඉහළින් බුරුල් ගඩොල් බැම්ම මත ගොඩනගන ලද්දක්.
ධාතු ගර්භය
දාගැබේ කැණිම් කළ පරණවිතාන මෙසේ සිය අත්දැකීම් සඳහන් කර තිබෙනවා:
දහස් වසරක් මුළුල්ලේ වැසී තිබුණු ධාතු ගර්භය වැසූ ගල්ලෑලි පළමු වරට ඉවත්කළ විට, එහි ඇතුළත හිරු එළියෙන් නැහැවී ගිය විට, පැරණි ධාතු ගර්භයක නිදන් වස්තු තැන්පත් කර තිබෙන අන්දම දැකගැනීමේ අවස්ථාව එහි රැස්ව සිටි බොහෝ දෙනෙකුට ලැබුණේ ය. එහි බිතුසිතුවම් දක්නට ලැබීම අප බලාපොරොත්තු නොවූ දෙයකි. පුරාණ ලංකාවේ ධාතු ගර්භ බිතුසිතුවමින් අලංකාර කරන ලද බව වංශකතාවලින් අප දැනසිටි නමුදු එවැනි ධාතු ගර්භයක් මින් පෙර දක්නට ලැබී තිබුණේ නැත.
(පුරාවිදු පරියේසණ- සෙනරත් පරණවිතාන)
ධාතු ගර්භය 1951 ජනවාරි 1 දා අස්ගිරි මහානායක හිමියන් ඇතුළු මැති ඇමැතිවරුන් ඉදිරියේ විවෘත කෙරුණා. එය ගඩොලින් තනා තිබූ අඩි හතරේ චතුරස්‍රයක්. එහි බිත්ති බිතුසිතුවමින් අලංකාර කර තිබුණා. බිතුසිතුවමේ සමහර බදාම ස්ථර ගැලවී බිමට වැටී තිබුණා. ගර්භය වටා ලෝකඩ අශ්වාරෝහක ප්‍රතිමා හතරක් තබා තිබුණා. යකඩ ත්‍රිශූල ද රන් කොඩි සවිකළ යකඩ යෂ්ටි ද එහි තිබුණා. ධාතු කරඬු, පොළොන්නරු යුගයට අයත් කාසි, කුඩා බුද්ධ ප්‍රතිමා, ආභරණ, මැණික්ගල් ආදී පුරාවස්තු ද එහි හමුවුණා. මෙහි දී ලැබුණු කාසි සහ පුරාවස්තු අනුව මෙය පොළොන්නරු යුගයේ පළමුවැනි විජයබාහු රජු විසින් (1055-1110) කරවන ලදැ යි මහාවංශයේ සඳහන්. මෙය ප්‍රතිසංස්කරණය කළ ධාතු ගර්භයක් බව හෙළි වුණා. මෙහිදී හමුවූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන සංරක්ෂණය කළ අතර අනෙක් පුරාවස්තු රජමහා විහාරයට බාර දී තිබෙනවා.
චෝල ආක්‍රමණය
11 වැනි සියවසේ දී දකුණු ඉන්දීය චෝල ආක්‍රමණයට ලක්වූ රජමහා විහාර අතර මහියංගනය ද එකක් වුණා. චෝලයන් මේ දාගැබ විනාශ කළ බව සඳහන්. චෝලයන් පරදා බලයට පත් පළමුවන විජයබාහු රජු මේ දාගැබ ද ප්‍රතිසංස්කරණය කළා. දාගැබ මුලින්ම කරවා ඇත්තේ ක්‍රි. පූ. යුගයේ බව ඒ කාලයට අයත් වඩු ලකුණු යෙදූ ගඩොල් හමුවිමෙන් පැහැදිලි වුණා. සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළ මහියංගන දාගැබ 1961 දී කොත් පළදවා විවෘත කළා.
අතීත කතාව
මහවැලි ගංගා තීරයේ පිහිටි මහියංගනය සොළොස්මස්ථාන අතර මුල්ම පූජනීය ස්ථානය යි. බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් නව වන වසරේ දුරුතු පසළොස්වක පෝය දින මහියංගනයට වැඩියේ යක්ෂයන් පලවාහැරීමට බව මහාවංශයේ සඳහන් වෙනවා. මහවැලි ගඟබඩ මහානාග වනයෙහි යොදුනක් දිග යොදුනක් පළල බිම්කඩකට බුදුන් වහන්සේ වැඩ මහියංගන දාගැබ ඉදිවන ස්ථානයේ හිඳ යක්ෂයන්ට ධර්මය දෙසා දමනය කළ බව සඳහන් වෙනවා.
ඉන්පසු සමනළ කන්දට අධිපති සමන් දෙවි ඇතුළු පිරිස පැමිණ බුදුන් පිරිවරා වැඳ නොයෙක් පූජා ගෙන සිටියායැ යි පූජාවලියේ සඳහන් වෙනවා. එහිදී දහම් අසා සෝවාන් වූ සමන් දෙවියන්ට වැඳපුදාගැනීමට කේශධාතු මිටක් ලබා දි තිබෙනවා. බුදුන් ජීවමාන කාලයේම ඒවා නිදන් කර මහියංගනයේ දාගැබක් තනා පුදපූජා කළ බව වංශකතාවල සඳහන්. වංශකතාවට අනුව බෞද්ධ ලෝකයේ මුල්ම දාගැබ මහියංගනය යි.
රාජකීය අනුග්‍රහය
දේවානම්පියතිස්ස (ක්‍රි. පූ. 247-207) රජුගේ බෑණනුවන් වූ උද්ධචූලාභය රජු මේ දාගැබ රියන් 30ක් උස්කර බඳවා තිබෙනවා. දුටුගැමුණු රජු එළාර සමඟ සටනට යන අතරතුර මහියංගනයේ කඳවුරු බැඳ සිටිමින් මේ දාගැබ 80 රියන් උස්කර බැඳවූ බව සඳහන්. වෝහාරික තිස්ස (ක්‍රි. ව. 209-231) රජු දාගැබට ඡත්රයක් කරවා තිබෙනවා. දෙවැනි සේන (ක්‍රි. ව. 853-887) රජු මේ දාගැබට පුදපූජා පැවැත්වූයේ ගම්වරයක් පූජා කිරීමෙන්. හතරවැනි කාශ්‍යප (ක්‍රි. ව. 894-914) ද උදය රජු ද මහියංගනය වන්දනා කිරීමට පැමිණ තිබෙනවා. පොළොන්නරු යුගයේ දී පළමුවැනි විජයබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරුන් ද මේ දාගැබ පිළිසකර කර තිබෙනවා. කෝට්ටේ යුගයේ දී හයවැනි පරාක්‍රමබාහු රජු මේ දාගැබ පිළිසකර කර තිබෙනවා.
ගරාවැටුණු දාගැබ
යටත්විජිත යුගයේ දී ගරාවැටී පැවති දාගැබ නැවත පිළිසකර කිරීමට උනන්දු වුණේ 1851 සිට යි. රට පුරා සම්මාදම් කරමින් දාගැබ පිළිසකර කරගෙන ආ අතර, හතරැස් කොටුව සමීපයට පැමිණි විට 1873 දී බැම්ම කඩා වැටුණා. යළිත් පිළිසකර කර 1890 දී කොත් පැළඳවූවා. නමුත් එම ඉදිකිරීම ශක්තිමත් නොවීමෙන් පැළඳූ කොත සහිත කොටස 1907 දී කඩා වැටුණා. නැවතත් දාගැබ පිළිසකරකිරීමේ කටයුතු ආරම්භ කළත් කොත් කැරුල්ල තෙක් බැඳි බැම්ම 1922 ජනවාරියේ දී කඩා වැටී තිබෙනවා. ඊට පසු තමයි මහියංගන විහාර වර්ධන සමිතිය ආරම්භ කර නැවත අංගසම්පූර්ණ ප්රතිසංස්කරණයක් කරන ලද්දේ. අද ඔබ දකින්නේ එසේ ඉදිකළ දාගැබ යි.