ලංකා දේශපාලන ඉතිහාසය තුළ බිහිවුණු ප්‍රබලම දේශපාලඥයන් අතුරින් ජේ. ආර්. ජයවර්ධනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. 1978 වසරේ මෙරට මුල්ම විධායක ජනාධිපතිවරයා බවට පත් වුණු ජේ. ආර්. ජයවර්ධන මහා මැතිවරණයක දී සිය අසුන පරාජයට පත් වුණේ එක ම අවස්ථාවක දී පමණ යි.
1956 මැතිවරණයට ආසන්න කාල සමයක ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ජී. සේනානායක යන ඇමතිවරුන් දෙදෙනා භාෂා ප්‍රශ්නය නිසා විරසක වුණා. එලෙස ඇති වුණු මත ගැටුමෙන් පසුව ආර්. ජී. සේනානායක ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙසින් කටයුතු කළා. ඉන් අනතුරුව එළඹි මහා මැතිවරණයේ දී ආර්. ජී. සේනානායක ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙසින් දඹදෙණිය සහ කැළණිය යන ආසන දෙකටම තරග වැදුණා. එහි දී ආර්. ජී. සේනානායක කැළණිය ආසනය සඳහා තරග කිරීමට තීරණය කළේ ජේ. ආර්. ජයවර්ධනගෙන් ලැබුණු අභියෝගයක් නිසා යි.
භාෂා ප්‍රශ්නය
සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු යැයි යෝජනාව මුලින්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනා කළේ ජේ. ආර්. ජයවර්ධන යි. නමුත් පසුකලෙක සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂාවන් කළ යුතු බවට ඩී. එස්. සේනානායක යෝජනා කළා. එලෙස ඩී. එස්. සේනානායක කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම නිසා සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයම රාජ්‍ය භාෂාවන් බවට පත් වුණා. නමුත් 1947 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂය රජය යටතේ සිටි සොලමන් බණ්ඩාරනායක නායකත්වය දුන් සිංහල මහා සභාව සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් 1951 වසරේ දී ‘මාදම්පා යෝජනා’ නමින් යෝජනා මාලාවක් රජයට ඉදිරිපත් කළා. එහි මුල්ම යෝජනාව වුණේ, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ යුතුය යන්න යි. එදා ඔවුන්ගේ යෝජනා මාලාවට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා සොලමන් බණ්ඩාරනායක රජයෙන් ඉවත් වී ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ පිහිටවනු ලැබුවා.
ඉන් පසුව තරමක් දුරට යටපත් වී තිබුණු භාෂා ප්‍රශ්නය නැවත කරළියට පැමිණියේ 1955 වසරේ එවකට අගමැති තනතුර හෙබවූ ජෝන් කොතලාවල යාපනයේ දී සිදු කළ කතාවක් නිසා යි. එහි දී කොතලාවල ප්‍රකාශ කළේ එළඹෙන වසරේ පැවැත්වෙන මහා මැතිවරණයෙන් පසුව තමන් යළි අගමැතිවරයා බවට පත්වුණොත් සිංහල සහ දෙමළ යන භාෂාවන් දෙකම රාජ්‍ය භාෂාවන් ලෙසින් පිළිගන්නා බවයි. එම ප්‍රකාශය නිසා කෝපයට පත් වුණු ආර්. ජී. සේනානායක, අගමැති කොතලාවල සමග ගැටුම් ඇති කරගත්තා. එලෙස කොතලාවල සහ ආර්. ජී. සේනානායක ගැටුණු අවස්ථාවේ ජේ. ආර්. ජයවර්ධන සිය සහෝදර ඇමතිවරයෙකු වුණු ආර්. ජී. සේනානායකව දැඩි ලෙස විවේචනය කළා. සිය පක්ෂ නායකයන් සමග ඇති කරගත් ගැටුම හේතුවෙන් ආර්. ජී. සේනානායක පක්ෂයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළා.
ජේ. ආර්. ජයවර්ධනගෙන් අභියෝගයක්
ආර්. ජී. සේනානායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සති කිහිපයක් යන විට මහා මැතිවරණය සඳහා දින නියම වුණා. ඒ වන විට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ආර්. ජී. සේනානායක ඉදිරි මහා මැතිවරණයේ දීත් ස්වාධීනව දඹදෙණිය ආසනය සඳහා තරග කිරීමට ඉදිරිපත් වුණා. එසේම රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිටම කැළණිය ආසනය නියෝජනය කළ ජේ. ආර්. ජයවර්ධන සුපුරුදු පරිදි කැළණිය ආසනය වෙනුවෙන් සටනට පිවිසීමට සූදානම් වුණා. මහා මැතිවරණයට නාම යෝජනා ලබාදීමට ටික දිනක් තිබිය දී කැළණිය ප්‍රදේශයේ පැවති රැස්වීමක දී ජේ. ආර්. ජයවර්ධන විසින් ආර්. ජී. සේනානායකට අභියෝග කළේ හැකිනම් කැළණියට පැමිණ තමන් සමග ඡන්ද සටනක් සිදු කර ඉන් ජයග්‍රහණය ලබන ලෙස යි.
ආර්. ජී. සේනානායක අභියෝගය භාර ගනියි
එදා ජේ. ආර්. ජයවර්ධන විසින් ලබාදුන් අභියෝගය භාරගත් ආර්. ජී. සේනානායක ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් කැළණිය සහ දඹදෙණිය යන ආසන ද්විත්වය සඳහා ම තරග කිරීමට තීරණය කළා. එම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ආර්. ජී. සේනානායක පවසා සිටියේ ඔහුට ජේ. ආර්. ජයවර්ධන සමග කිසිදු පුද්ගලික අමනාපයක් නොමැති බව යි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ආර්. ජී. සේනානායක පවසා සිටියේ ජේ. ආර් ජයවර්ධනව කැළණියේ දී පරාජය කර පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම අහිමි කිරීම ඔහුගේ එකම අරමුණ බව යි. ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ජී. සේනානායක අතර පැවති ‘කැළණි සටන’ එම අවධිය තුළ දේශපාලන පිටියේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණා.
1956 කැළණි මැතිවරණ සටන
ආරම්භයේ සිටම දැඩි වාග් ප්‍රහාරවලින් අඩුවක් නොතිබුණු කැළණි මැතිවරණ සටන ගැන මුළු රටේම අවදානය යොමුව තිබුණා. එදා ජේ. ආර්. ජයවර්ධන විසින් ඔහුගේ ප්‍රතිවාදියාව අපහසුතාවයට පත්වීම සඳහා ඔහු ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන්නට වුණා. එහි දී ජේ. ආර්. ජයවර්ධන පවසා සිටියේ ආර්. ජී. සේනානායක වෙනුවෙන් මැතිවරණය සඳහා ඇප තැන්පත් කළේ කැළණි විහාරයේ ලොකු හාමුදුරුවන් බව යි. එසේම මැතිවරණ වැඩ කටයුතු සිදුකිරීමට උන්වහන්සේ ආර්. ජී. සේනානායකට රුපියල් 60,000ක් ලබාදීමට පොරොන්දු වී සිටින බව ජේ. ආර්. ජයවර්ධන වැඩිදුරටත් පවසා සිටියා. ඉන් පසුව ජේ. ආර්. ජයවර්ධන උපහාසයෙන් පවසා සිටියේ සිය ප්‍රතිවාදියාට මුදල් නැත්නම් ඔහු වෙනුවෙන් වියදම් කිරීමට තමා සූදානම් බවයි. ජේ. ආර්. ජයවර්ධන විසින් සිදු කළ ප්‍රකාශය නිසා උරණ වුණු ආර්. ජී. සේනානායකගේ අනුගාමිකයෝ සිය අපේක්ෂකයා වෙනුවෙන් මුදල් එකතු කරා. එලෙස අනුගාමිකයන් මුදල් එකතු කරන අතරතුර ජේ. ආර්. ජයවර්ධනට පිළිතුරු ලබාදුන් ආර්. ජී. සේනානායක පවසා සිටියේ හුළං පිරවූ ‘මිඩ්ලන් පප්පෙක්’ වන ජේ. ආර්. ජයවර්ධන දැවැන්තයෙකු නොවන බව යි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ආර්. ජී. සේනානායක පවසා සිටියේ අද සිට එම මිඩ්ලන් පප්පාගේ හුළං ටික ටික ඇරීමට තමා සූදානම් බවයි.
එදා ආර්. ජී. සේනානායක කළ අපූරු ප්‍රකාශයත් සමගම කැළණියේ ප්‍රසිද්ධ ස්ථාන රැසක දී මිඩ්ලන් පප්පලාගේ පිළිරූ දක්නට ලැබුණා. එම පිළිරූවල හුළං ප්‍රමාණය දිනෙන් දින බස්සවන්නට කටයුතු යොදා තිබීමත් විශේෂ සිදුවීමක් වුණා. ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් කැළණිය අසුනට තරග කළ ආර්. ජී. සේනානායකගේ ඡන්ද සලකුණ වුණේ කුඩය යි. එදා ආර්. ජී. සේනානායකට සහාය දැක්වූ කැළණියේ ජනතාව ආලෝකමත් කරන ලද කුඩයක් බොහෝ නිවෙස්වල එල්ලා තිබුණා. එලෙස උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණු කැළණි මැතිවරණ සටනේ අවසන් අදියරට එළඹෙන විට ආර්. ජී. සේනානායකගේ මව වුණු ඇලන් සේනානායක දැඩි ලෙස ගිලන් වුණා. එම නිසා සිය ඡන්ද සටන අතරමග නවතා දැමූ ආර්. ජී. සේනානායක සිය මව ගැන සොයා බැලීම සඳහා සිය කාලය වැය කළා. එය සිය වාසියට හරවාගත් ජේ. ආර්. ජයවර්ධන මැතිවරණ රැස්වීම්වල දී පවසා සිටියේ ආර්. ජී. සේනානායක මැතිවරණ සටන අත්හැර ඇති බවයි. ජේ. ආර්. ජයවර්ධන විසින් සිදුකරන ලද අසත්‍ය ප්‍රචාරයන් නිසා උරණ වුණු කැළණියේ ජනතාව ආර්. ජී. සේනානායකව හමුවීමට ගියේ ඔහු යළිත් කැළණියේ මැතිවරණ කටයුතු සඳහා කැඳවාගෙන එන අරමුණ ඇතිව යි. නමුත් සිය මව හැර දමා ඒමට අකමැති වුණු ආර්. ජී. සේනානායක දඹදෙණිය ආසනයේ කටයුතු සොයා බලමින් සිටි සිය බිරිඳ වුණු එරින් සේනානායකව කැළණියේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාවනු ලැබුවා. එදා සිය සැමියාගේ ඉල්ලීමට සවන් දුන් එරීන් වහාම කැළණියට පැමිණ ඉතිරි මැතිවරණ කටයුතු සිදු කළා.
ආර්. ජී. සේනානායකට විශිෂ්ට ජයක්
මැතිවරණ දිනය එළඹෙන විට ආර්. ජී. සේනානායක කැළණිය ආසනය ජයග්‍රහණය කරන ලකුණු පෙනෙන්නට වුණේ ඔහු වටා එකතු වී සිටි විශාල අනුගාමිකයන් පිරිස නිසා යි. නමුත් එම අවධියේ දේශපාලන පිටියේ සිටි දැවැන්ත චරිතයක් වුණු ජේ. ආර්. ජයවර්ධන පරාජය කිරීමත් ලෙහෙසි පහසු දෙයක් වුණේ නැහැ. එවර මහා මැතිවරණය පැවති කාල සමය වන විට එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස ජනතා දැඩි අප්‍රසාදයට පත්ව සිටි නිසා කැළණියේ මැතිවරණ මැතිවරණ ප්‍රතිඵලය බලාපොරොත්තු නොවුණු ආකාරයේ එකක් වුණා. එහි දී ආර්. ජී. සේනානායක 22,836ක් තරම් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන කැළණිය ආසනය ජයග්‍රහණය කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡන්ද ප්‍රතිඵලය යි.
ආර්. ජී. සේනානායක (ස්වාධීන)- ඡන්ද 37,023
ජේ. ආර්. ජයවර්ධන (එ.ජා.ප.)- ඡන්ද 14,187
කැළණිය ආසනයට අමතරව දඹදෙණිය ආසනය සඳහා ද තරග කළ ආර්. ජී. සේනානායක එම ආසනයත් වැඩි ඡන්ද 24,907කින් ජයග්‍රහණය කළා. ඒ අනුව එකම මැතිවරණයක දී ආසන ද්විත්වයක් ජයග්‍රහණය කරමින් ආර්. ජී. සේනානායක අපූරු වාර්තාවක් තැබුවා. පහත දැක්වෙන්නේ දඹදෙණිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය යි.
ආර්. ජී. සේනානායක (ස්වාධීන)- ඡන්ද 26,414
ජේ. ආර්. ජයවර්ධන (එ.ජා.ප.)- ඡන්ද 1,507