Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රසීලයේ සිදු වූ දරුණුම පාරසරික අනතුර – බෲමඩිනෝ වේල්ල බිඳී යාම

මින් සති දෙකකට පමණ පෙර, බ්‍රසීලයේ මිනාස් ජෙරායිස් ප්‍රාන්තයේ බෲමඩිනෝ නගරය ආසන්නයේ ආකරයක් ආශ්‍රිතව තිබූ වේල්ලක් කැඩී යාම හේතුවෙන් පුද්ගලයන් 182කට වඩා වැඩි ප්‍රමාණයක් අතුරුදහන් වුණා. මේ වන විට තවත් 157 දෙනෙකුට වැඩි ප්‍රමාණයකගේ සිරුරු සොයා ගැනීමට ආරක්ෂක අංශයන් සමත් වී තිබෙනවා.

අග්නිදිග බ්‍රසීලයේ යපස් කණින ආකරයක් ආශ්‍රිතව මෙම අනතුර සිදු වුණේ පසුගිය ජනවාරි 25 දා යි. එහිදී ආකරයේ සේවය කළ බොහෝ සේවකයන් ප්‍රමාණයක් තම දිවා අහාරය ගැනීමට ආකරය ආසන්නයේ පිහිටි ආපනශාලාව වෙත පැමිණ තිබෙනවා. මේ අවස්ථාවේ දී බිඳී ගිය වේල්ලේ මඩ හා ජලය එම ආපන ශාලාව යටකර ගාලයාම නිසා සේවකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වී තිබෙනවා.

දිගින් දිගටම සිදුවන ස්භාවික අනතුරු

2015 දී සිදු වූ අනතුර (ABC)

2015 වසරේ නොවැම්බර මාසයේ මිනාස් ජෙරායිස් ප්‍රන්තයේම මරියානා ප්‍රදේශයේ වේල්ලක් බිඳී යාම හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු මරණයට පත්වෙන අතර, තවත් 16කට අධික පිරිසක් තුවාල ලබනවා. මෙහිදී ගම්මාන දෙකක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙන අතර එම ගම්මානවල වැසියන් ආරක්‍ෂිත ස්ථානවලට ප්‍රවාහනය කිරීමට රජය සමත් වෙනවා.

අනතුර හේතුවෙන් මෙම වේල්ල ඉදිකළ සමාගම් දෙකට (වේල් සහ බීඑච්පී බිලිටන්) එරෙහිව දීර්ඝ නඩු විභාගයක් පැවති අතර, අවසානයේ විශාල වන්දි මුදලක් රජයට ගෙවන ලෙස සමාගම් දෙකට නියම වෙනවා.

එම අනතුර මෑත ඉතිහාසයේ බ්‍රසීලයේ සිදුවූ දරුණුතම පාරසරික අනතුර ලෙස එරට රජය විසින් හඳුන්වා දී තිබුණි. නමුත් එය සිදු වී වසර තුනක් ගතවීමෙන් අනතුරුව බ්‍රසීලයේ මිනාස් ජෙරායිස් ප්‍රාන්තයේ බෲමඩිනෝ නගරය ආසන්නයේ මේ ආකාරයට වේල්ලක් බිඳී යනවා. එම බිඳී යාම එරට මෑත ඉතිහාසයේ දරුණුතම පාරිසරික අනතුර ලෙස මේ වන විට බ්‍රසිල් රජය විසින් නිවේදනය කර තිබෙනවා.

වේල්ල බිඳී යාම සිදු වූ ආකාරය

කැඩී යාමට පෙර හා පසු (Kamsack Times)

බ්‍රසීලයේ බොහෝ ප්‍රමාණයක් වේලි ඉදිකර තිබෙන්නේ ආකර ආශ්‍රිතව යි. එම වේලිවල ප්‍රයෝජනය වන්නේ ආකරයෙන් ඉවත්කරන මඩ, ජලය හා අනෙකුත් අපද්‍රව්‍ය රඳවා තබා ගැනීම යි. 1976 වසරේ දී ඉදිකර ඇති මෙම වේල්ල ද භාවිතා කර තිබෙන්නේ එම කාර්යය සඳහා යි.

ජනවාරි 25 වන දා දහවල් වන විට ආකාරය ආශ්‍රිත එක් වේල්ලක් කැඩී යන අතර ඒ හේතුවෙන් ගලා ආ ජලය හා මඩ තවත් වේල්ලක් කඩා බිඳ දමමින් පහළට ගමන් කරනවා. පහළට ගමන් කරන මඩ හා ජලය ආකරයේ සේවය කළ සේවකයන්ගේ නිවාස හා වාහන සම්පූර්ණයෙන් වසා දමනවා. තවත් ඉදිරියට පැමිණි ජලය හා මිශ්‍රිත මඩ සේවකයන් දිවා ආහාරය ගනිමින් සිටි ආපන ශාලාව යට කරමින් ගලා යනවා.

ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම්

ගලවා ගැනීමේ මෙහෙයුම් (Time Magazine)

අනතුර සිදු වූ මොහොතේ වහාම ක්‍රියාත්මක වෙන බ්‍රසීල ගුවන් හමුදාව ප්‍රමුඛ එරට ආරක්ෂක අංශ හා ජීවිතාරක්ෂක ඒකක විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරනවා. පිරිස සෙවීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා ද යොදවා තිබූ අතර පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් ඒ මඟින් බේරා ගැනීමට ජීවිතාරක්ෂක අංශ සමත් වෙනවා. හෙලිකොප්ටර් යානාවලට අමතරව ගලවා ගැනීමේ කණ්ඩායම් බර යන්ත්‍රෝපකරණ යොදාගනිමින් මඩ ඉවත් කරමින් මෙහෙයුම්වල නිරත වෙනවා. විපතට පත්වූවන් බොහෝ දෙනෙකු මඩවලට යට වී ඇති බැවින් ජීවග්‍රහයෙන් බේරා ගැනීමට අපහසු බවත්, මළසිරුරු පමණක් සොයා ගැනීමට හැකිවන බවත් ජීවිතාරක්ෂක ඒකක සදහන් කර තිබෙනවා.

වේල්ල බිඳී යාමත් සමග ඒ අවට ගම්මානවල නිවාස හා රථවාහනවලට ද දැඩි ලෙස හානි වී තිබෙනවා. 3000කට අධික ජනතාවක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට මේ වන විට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. ආපදාවෙන් විපතට පත් වූ මෙම ජනතාවගේ මූලික අවශ්‍යතා හා සෞඛ්‍යමය අවශ්‍යතාවන් සපුරා ගැනීමට හැකිවන ආකාරයේ සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට බ්‍රසීල රජය හා විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට හැකි වී තිබෙනවා.

කෙසේ නමුත් මෙම අනතුර හේතුවෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳව ස්ථිරව ප්‍රකාශ කර නොමැති අතර එහි ජන ජීවිතය නැවතත් සාමාන්‍ය අතට පත් කිරීමට විශාල කාලයක් ගත වනු ඇති බවට වාර්තාවල සඳහන් වෙනවා.

සමාගමට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග

ඇති වී තිබෙන විනාශය (Folha – Uol)

වේල්ල බිඳී යාමට ප්‍රථම අනතුරු ඇගවීමේ සංඥා ක්‍රියාත්මක නොවීම ද ගැටළුවක් ලෙස සැලකිය හැකි වනවා සේම 2015 දී බිඳුණු වේල්ල නිර්මාණය කළ එක් සමාගමක් වන වේල් සමාගම විසින් මෙම වේල්ල ද ඉදිකිරිම විශේෂත්වයක්. එම සමාගම බ්‍රසීලයේ විශාලතම කැණීම් සමාගම වන අතර වේල්ල කඩා වැටීමට හේතුව කුමක්දැ යි යන්න ඔවුන් තවම පැහැදිලි කර නෑ.

වේල්ල බිඳී යාමට ටික කාලයකට ප්‍රථම මෙහි තත්ත්වය පරික්ෂා කළ TÜV SÜD නම් ජර්මානු සමාගම, වේල්ලේ කිසිදු අස්ථාවරත්වයක් ඇති බවට ප්‍රකාශ නොකළ බව වේල් සමාගමේ ඉහළ නිලධාරීන් පවසා තිබෙනවා.

දිගින් දිගටම සිදු වන මෙම අනතුරු පිළිබඳව අදහස් දක්වන විවිධ පරිසර සංවිධාන ප්‍රකාශ කර තිබෙන්නේ බ්‍රසීල රජය හා කැණීම් සමාගම් අනතුරුවලින් පාඩම් ඉගෙන නොගන්නා බව යි. මෙය හුදෙක් පාරසරික අනතුරක් නොවන බවත් අපරාධයක් බවත් ඒ වෙනුවෙන් අදාළ පාර්ශවයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් පරිසර සංවිධාන විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ගලවාගැනීමේ සේවකයෙක් (MarketWatch)

කෙසේ නමුත් මෙම අනතුර සම්බන්ධයෙන් පසුගිය දිනක දී වේල් සමාගමේ හා TÜV SÜD ජර්මානු සමාගමේ පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

කවරයේ පින්තූරය - The Weather Channel

මූලාශ්‍රයයන්:

theguardian.com

cnn.com

bbc.com

Related Articles