Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සියවසකට පසු තවම කතා මවන මොන්ට්පර්නාස් දුම්රිය අනතුර

දුම්රිය පීලි පැනීම් ශ්‍රී ලංකාව වැනි රටකට විශේෂ දෙයක් නොවේ. ඒ දුම්රිය අනතුරු සහ පීලි පැනීම් වැනි දේ වර්තමානය වන විට සුලභ දෙයක් බවට පත්ව ඇති නිසා ය. කෙසේ නමුත් මීට ශත වර්ෂයකටත් වැඩි කාලයකට පෙර සිදු වූ දුම්රිය පීලි පැනිමක් පිළිබඳ මේ වන විටත් කතාබහට ලක් වීම සහ එය මුල් කර ගෙන චිත්‍රපට පවා නිර්මාණය වී තිබීම අනිවාර්යයෙන් ම පුදුමයට කරුණක් වනු ඇත.

ප්‍රංශයේ පැරිස් නගරයේ ඔබ යම් දිනක සංචාරය කර තිබේ නම් මොන්ට්පර්නාස් දුම්රිය ස්ථානයට අනිවාර්යයෙන් ම යන්නට ඇති. ඔබ දුම්රිය ස්ථානයට ගොස් නැතත් ඒ පිළිබඳ ව අසා හෝ ඇති. මෙම දුම්රිය ස්ථානය සුවිශේෂී ස්ථානයක් වන්නේ මීට වසර 126කට පමණ පෙර අමුතු ම ආකාරයේ දුම්රිය අනතුරක් නැත්නම් පීලි පැනීමක් එම දුම්රිය ස්ථානයේ සිදු වූ නිසා යි.

අනතුර සිදු වූ අයුරු

1895 වසරේ ඔක්තෝබර් 22 වන දින සවස හතරට පමණ ග්‍රැන්විල්-පැරිස් ශීඝ්‍රගාමී දුම්රිය  මොන්ට්පර්නාස් දුම්රිය ස්ථානයේ පර්යන්තයේ බෆර් නැවතුම පසුකර ධාවනය වීම හේතුවෙන් මෙම අමුතු පීලි පැනීම සිදු වූවා. විනාඩි කිහිපයක් ප්‍රමාද වී දුම්රිය ගමන් ආරම්භ කළ බැවින් එම ප්‍රමාද වූ වේලාව ආවරණය කිරීම සඳහා දුම්රිය රියදුරා අධික වේගයෙන් දුම්රිය ධාවනය කළා.

ඒ අවස්ථාව වන විට දුම්රිය තුළ මගීන් 131කට ආසන්න ප්‍රමාණයක් සිටි බවට දුම්රිය ස්ථානයේ සහ විමර්ශන වාර්තාවල සඳහන් දත්ත අනුව පැහැදිලියි. අනතුර සිදුවන අවස්ථාව වන විට එය පැයට සැතපුම් 50ත් 60ත් අතර ප්‍රමාණයක වේගයකින් ධාවනය වෙමින් තිබී ඇති බව කියනවා.

මගීන්ට අමතර ව මෙම දුම්රිය තැපැල් කාර් රථයක්, සාමාන්‍ය මෝටර් රථ හයක් සහ බඩු ප්‍රවාහනය කරන රථයක් ද ප්‍රවාහනය කරමින් තිබූ බවයි කියන්නේ.

මොන්‍ට්පර්නාස් දුම්රිය ස්ථානය වෙත අධික වේගයෙන් ළඟා වූ දුම්රියේ වායු තිරිංග යෙදුවද ද එය ක්‍රියාත්මක නොවූ බැවින් දුම්රිය ස්ථානයේ බිත්තිය ද කඩා බිඳ ගෙන ධාවනය වූ දුම්රියේ එන්ජින් කොටස අඩි තිහක් පමණ පහළට වන්නට පිහිටි බිමට පතිත වූවා. එන්ජිම කොටස සිරස් අතට බිමට පතිත වීමෙන් පසු ව දුම්රිය නැවතුණු අතර ඒ හේතුවෙන් දුම්රියේ ගමන් ගත් කිසිදු මගියකුට ජීවිත හානියක් වුණේ නෑ.

අනතුර දැක බලාගැනීමට පැමිණි අය – twitter

එක් අයකු මරුට, පහකට තුවාල

කෙසේ වෙතත් අධික වේගයෙන් බිමට පතිත වූ දුම්රියේ එන්ජින් කොටසට යට වූ කාන්තාවක් මරණයට පත් වූවා. දුම්රිය එන්ජිම පතිත වූ ස්ථානයේ පිහිටා තිබූ ඇගේ සැමියාට අයත් පුවත්පත් අලෙවි කරන වෙළෙඳසලක ඇය ඒ අවස්ථාවේ රැඳී සිට තිබෙනවා.

ඊට අමතරව අනතුර හේතුවෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලැබුවා. ඒ අතර දුම්රිය මගීන් දෙදෙනකු, නියාමකවරයකු, සඥාකරුවකු සහ මාර්ගයේ ගමන් ගත් පදිකයකු ද වනවා.

අනතුරෙන් පසු තත්ත්වය

එක් අයකුට මරු කැඳවමින් සහ මගීන් පස් දෙනකුට තුවාල සිදු කරමින් සිදු වූ මෙම අනතුරට වරදකරු වූ දුම්රිය එන්ජින් රියදුරාට මාස දෙකක සිර දඬුවමක් සහ ෆ්‍රෑන්ක් 50 ක දඩයක් නියම වුණා. ලිපිගොනු සම්බන්ධයෙන් පමණක් උනන්දුවක් දක්වා අත් තිරිංග ක්‍රියාත්මක නො කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ දුම්රිය නියාමකවරයකුට ෆ්‍රෑන්ක් 25 ක දඩයක් නියම කෙරුණා. විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ මෙම දුම්රිය නියාමකවරයා අත් තිරිංග යෙදීමට අදාළ ලිපිගොනු සම්පූර්ණ කිරීම පිළිබඳ ව අවධානය යොමු කර ඒවා සිදු කරමින් සිට ඇති බවයි.

මොන්ට්පර්නාස් දුම්රිය ස්ථානයේ පැරැණි ඡායාරූපයක් – www.pinterest.com

දුම්රිය සමාගම මියගිය කාන්තාව ගේ පවුලේ අය සමග එකඟතාවකට පැමිණි අතර ඇගේ කුඩා දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලු වියදම් දැරීමටත් අවශ්‍ය අනිකුත් පහසුකම් සැලසීමටත් පොරොන්දු වූ බව සැළයි. එපමණක් නොව එම සමාගම ඇයගේ දරුවන් දෙදෙනා සුදුසු වයසට පැමිණි විට ඔවුන්ට රැකියා ලබා දීමට ද කටයුතු කර තිබුණා.

මෙම අනතුර නිසා දුම්රියේ ගමන් ගත් මගීන්ට හෝ දුම්රිය මැදිරිවලට කිසිදු හානියක් සිදු නොවූ අතර මැදිරි සියල්ල පහසුවෙන් ඉවත් කෙරුණා.  අනතුර පිළිබඳ ව විමර්ශන සහ අනිකුත් නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පැය 48ක පමණ කාලයක් ගත වුණා.

දුම්රිය ස්ථානයේ වර්තමාන තත්ත්වය – www.seat61.com

දුම්රිය එන්ජිම ඉවත් කිරීම

මෙම කාලය තුළ අති විශාල පිරිසක් ඉන් අනතුරු ව දුම්රිය එන්ජිම එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා බලධාරින් අවසර ලබා දුන්නා. ශක්තිමත් අශ්වයන් 14ක් උපයෝගී කරගනිමින් දුම්රිය එන්ජිම එම ස්ථානයෙන් ඉවත් කිරීමට මුලින් උත්සහ කළ ද අශ්වයන්ට එය සෙලවීමට හෝ නොහැකි වූවා.

ඉන් අනතුරු ව ටොන් 250ක පමණ බරින් යුතු දොඹකරයක් වැනි යන්ත්‍රයක් යොදාගෙන මිනිසුන් 10 දෙනකු, පළමු ව සිරස් අතට බිමට පතිත වී තිබූ දුම්රිය එන්ජිම බිමට පහත් කළ අතර ඉන් අනතුරු ව එය ඔසවා දුම්රිය ස්ථානය වෙත ගෙන ගියා. එම දුම්රිය එන්ජිම කොතරම් ශක්තිමත් ව නිපදවා තිබුණේ ද යත් ඒ වන විට ඊට සිදුව තිබුණේ ඉතාමත් සුළු හානියක් පමණයි.

අනතුරෙන් පසුව එම ස්ථානයේ ඉතිරි වූ සුන්බුන් දින කිහිපයක් දුම්රිය ස්ථානයෙන් පිටත දක්නට ලැබුණු අතර ස්ටුඩියෝ ලෙවි ඇන්ඩ් සන්ස්, එල්. මර්ෂියර්, සහ හෙන්රි රොජර්-වයලට් වැනි ඡායාරූප ශිල්පීන් සහ ආයතන ගණනාවක් විසින් එම ස්ථානයේ ඡායාරූප රැසක් ලබාගත්තා. 

බ්‍රසීලයේ කෞතුකාගාරයක ඇති අනුරුව – twitter

පසුකාලීන තත්ත්වය

දුම්රිය ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ අනතුරුවලින් එකක් ලෙස මොන්ට්පර්නාස් පීලි පැනීම හැඳින්වෙනවා. පෝස්ටර්, ඇල්බම ආවරණ, පොත් සහ ටී ෂර්ට්වල පවා මෙම අනතුරේ පින්තූර භාවිතා කර තිබුණා. සුවිශේෂී කරුණක් වන්නේ මෙම අනතුර සිහි ගැන්වෙන  අනුරුවක් බ්‍රසීලයේ දුම්රිය කෞතුකාගාරයක ප්‍රදර්ශනය කර තිබීමයි. ඊට අමතර ව මාටින් ස්කොර්සෙස් 2011 වසරේ දී නිර්මාණය කළ “Hugo” චිත්‍රපටය තුළින් මෙම අනතුර ප්‍රතිනිර්මාණය කිරීමයි.

“Hugo” චිත්‍රපටයේ දර්ශණයක් – www.dealstudios.com

Cover Photo- www.monovisions.com

මූලාශ්‍ර-

www.mashable.com
www.routeyou.com
www.musee-orsay.fr
www.historydaily.org

Related Articles