Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකානු හමුදාවේ බිස්කාරි සංහාරය

දෙවන ලෝක යුද සමයේ සමූල ඝාතනයන් සම්බන්ධව ප්‍රධානම චෝදනා එල්ල වෙන්නේ ජර්මනිය ප්‍රමුඛ අක්ෂ පාර්ශවයට යි. විශේෂයෙන්  නිරායුධ සිවිල් යුදෙව් වැසියන් මිලියන හයක් සමූල ඝාතනය කිරීම ලොව විශාලම සමූල ඝාතනය ලෙස හඳුන්වනවා.

දෙවන ලෝක යුද්ධය අතරතුර මිත්‍ර හමුදාවට ද විවිධ අවස්ථාවල දී සමූල ඝාතනයන් පිළිබඳව විවිධ චෝදනාවන් එල්ල වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් 1943 ජූලි 14 දින ඉතාලියේ දී නිරායුධ ඉතාලි හා ජර්මානු යුද  සිරකරුවන් 73 දෙනෙක් ඝාතනය කිරීම මෙම සමූලඝාතනවලින් ප්‍රධාන එකක් ලෙස ලෙස හැදින්විය හැකියි.

සිසිලිය ආක්‍රමණයේ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා 

ලුතිනන් ජෙනරාල් ජෝර්ජ් එස්. පැටන් යුද බිමේ (historyonthenet.com)

දෙවන ලෝක යුද්ධය යටතේ ඉතාලියේ සිසිලියේ මිත්‍ර හා අක්ෂ යුධ පෙරමුණු දෙකක් සටන් වදිනවා. 1943 වසරේ ජූලි 14 වන දා සිසිලියේ Caltagirone නම් කුඩා ගම්මානයක් ආශ්‍රිතව ඇති වූ ඇමෙරිකානු හා ඉතාලි යුද ගැටුමක් අවසානයේ දී ඇමෙරිකානු හමුදාව වෙත භාර වූ ඉතාලි හා ජර්මානු සෙබළුන් 73 දෙනෙක් අවස්ථා දෙකක දී විවෘත වෙඩි ප්‍රහාරයන් මඟින් ඝාතනය කිරීමට ඇමෙරිකානු හමුදාවන් ක්‍රියා කරනවා.

සිසිලිය ආක්‍රමණය කිරීමේ මිත්‍ර පාර්ශයයේ හත්වන එක්සත් ජනපද හමුදාව, ලුතිනන් ජෙනරාල් ජෝර්ජ් එස්. පැටන් යටතේ සටන් කරන අතර, බ්‍රිතාන්‍ය අටවන හමුදාව ජෙනරාල් බර්නාඩ් එල්. මොන්ට්ගොමරිගේ නායකත්වයෙන් දිවයිනේ ගිනිකොන දිග සිට ආක්‍රමණය මෙහෙයවනවා.

මෙම ආක්‍රමණයේ දී ඇමෙරිකානු 8 වන හමුදාවේ 45 වන ඩිවිෂණයේ 157 හා 179 වන පාබල රෙජිමේන්තුවලට දූපතේ වෙරළබඩ නගර අල්ලා ගැනීමටත් කොමිසෝ (Comiso) ගුවන්තොටුපොළේ බලය අත්පත් කරගැනීමත් අයත් වූ කාර්යයන් ලෙස සඳහන් වෙන අතර, ගුවන් තොටුපොළේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව එය කැනඩා යුද හමුදාවේ පළමු ඩිවිෂණයට භාර දීමට නියමිත වුණා.

බිස්කාරි ගුවන්තොටුපොළේ සමූලඝාතනය 

ඇමෙරිකානු හමුදා සිසිලියේ (i.pinimg.com)

සිසිලියේ බිස්කාරි ගුවන් පථය අල්ලාගැනීම පවරන්නේ 180 වන පාබල රෙජිමේන්තුවට යි. එය බලය අල්ලාගැනීමෙන් පසුව ඇමෙරිකානු පළමු පාබල ඩිවිෂණය ඒ හා සම්බන්ධ කරවීම ද ඔවුන්ගේ කාර්යය ලෙස සඳහන් වුණා. ඒ සඳහා 1943 වසරේ ජූලි මාසයේ ඇමෙරිකානු හමුදා සිය සටන ආරම්භ කරනවා.

ඇමෙරිකානු 180 වන පාබල ඩිවිෂණය මීට පෙර එවැනි යුද හමුදා මෙහෙයුම්වලට සහභාගී නොවූ භටයන්ගෙන් යුක්ත වූ අතර ඒ හේතුවෙන් සටන ආරම්භ වී පැය 48ක් තුළ ඔවුන් දක්වන්නේ දුර්වල සටන විලාශයක් පමණ යි. 180 වන ඩිවිෂණයේ සියලු භටයන් අමතා කතා කරන ලුතිනන් ජෙනරාල් පැටන් තම සතුරාට කිසිදු කරුණාවක් නොදක්වන ලෙසත් කිසිම යුද සිරකරුවෙක් භාර නොගන්නා ලෙසත් අණ දුන් බව සඳහන් වෙනවා. ඔහුගේ උද්වේගකර අණදීම් හමුවේ අත්දැකීම් රහිත තරුණ භට පිරිස් අමානුෂික ඝාතක යන්ත්‍ර බවට පත් වූ බව ඇතැමුන් සඳහන් කර තිබෙනවා.

අවස්ථා දෙකක දී යුද සිරකරුවන් 73ක් ඝාතනය වේ 

ජෙනරාල් පැටන් සිසිලියේ දී (.thoughtco.com)

බිස්කාරි ගුවන් පථය අංශ දෙකකින් ආක්‍රමණය කරන අතර පළමු භට කණ්ඩායම ට දැඩි තර්ජනයක් එල්ල කරන්නේ ගුවන් තොටුපොළේ සිට සැඟවී පහර දෙන ඉතාලි ස්නයිපර් භට ඛණ්ඩය යි. මේ හේතුවෙන් 180 වන පාබල රෙජිමේන්තු සෙබළුන්ට බරපතල හානි සිදුවන අතර භටයන් බොහෝ පිරිසකට මරු කැඳවීමට ඉතාලි ස්නයිපර් භටයන්ට හැකියාව ලැබෙනවා. කෙසේ හෝ මෙම ස්නයිපර් භටයන්ගේ අවධානයට ලක් නොවී ගමන් කළ 180 වැනි පාබල රෙජිමේන්තුවේ භටයන් කිහිපදෙනෙකු ස්නයිපර් භටයන් ඇතුළුව ඉතාලි යුද හමුදා සාමාජිකයන් 35 දෙනක් හා ජර්මානු සෙබළුන් දෙදෙනෙක් යුද සිරකරුවන් ලෙස ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගනු ලබනවා.

පළමු අංශයේ මෙහෙයුම් භාරව සිටි 180 වන පාබල රෙජිමේන්තුවේ පළමු බැටෑලියනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් රොජර් ඩෙන්මන් අත්අඩංගුවට ගත් සිරකරුවන් පැන යාම වැලැක්වීම සඳහා ඔවුන්ගේ බූට් සපත්තු හා යුදහමුදා උඩුකය නිළ ඇදුම් ගලවා ඉවත් කිරීමට අණ කරනවා. ඉන් පසුව එම සිරකරුවන්ව වැඩිදුරටත් ප්‍රශ්න ඇසීම සඳහා යොමු කළ යුතු බව දන්වමින් ඔවුන්ව ඒ සඳහා රැගෙන යාමට තම කණ්ඩායමේ සැරයන් හොරස් ටී. වෙස්ට් ඇතුළු භටයන්ට භාර දෙනවා. සිරකරුවන් රැගෙන මාවතේ ඉදිරියට ඇදෙන විට යම් ස්ථානයක දී සිරකරුවන් නවත්වා තම අසල සිටි අනෙක් ඇමෙරිකානු හමුදා භටයාගේ මැෂින් තුවක්කුව උදුරාගන්නා සාජන්වරයා සිරකරුවන් 37 දෙනාට දිගට හරහට වෙඩි තබනවා. සියලුම සිරකරුවන් මැරී වැටුනු පසුත් මැෂින් තුවක්කුවේ තවත් මැගසින අලුත් කරමින් මළ සිරුරු සිදුරු වන සේ තව තවත් ඔහු විසින් වෙඩි තබනවා.

පළමු යුධ සිරකරුවන් සමූහය ඝාතනය වී පැය කිහිපයකින් පසුව දෙවන කණ්ඩායමත් ඝාතනයට ලක් වෙනවා. ගුවන් තොටුපොළේ අනෙක් අන්තයේ සටන් වැදුණු ඇමෙරිකානු හමුදා 180 වැනි පාබල ඩිවිෂණයට ද ඉතාලි ප්‍රහාරවලින් බරපතල හානි සිදුවෙනවා. ඒ ඔවුන් විසින් අමෙරිකානු භටයන් ඉලක්ක කර මෝටාර් ප්‍රහාර හා නොනවතින ස්නයිපර් ප්‍රහාර එල්ල කිරීම යි. මෙම අවස්ථාවේදීත් ඇමෙරිකානු සෙබළුන් උපක්‍රමශීලිව ස්නයිපර් භටයන් ඇතුළුව ඉතාලි භටයන් 36ක් යුද සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගනු ලබනවා.

මෙහිදී ඇමෙරිකානු භට කණ්ඩායම භාරව කටයුතු කළ කපිතාන් ජෝන් කොම්ප්ටන් සිරකරුවන් අතරින් ස්නයිපර් භටයන් ඉදිරිපත්වෙන නියෝග කරනවා. නමුත් ස්නයිපර් භටයන් කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. මේ හේතුවෙන් සියලු යුද සිරකරුවන් පෝලිමට සිටුවා මරා දැමීමට ඇමෙරිකානු යුද හමුදා කපිතාන්වරයා සිය භටයන්ට අණ දෙනවා. ඒ සමගම ක්‍රියාත්මක වූ භටයන් සිරකරුවන් ඉලක්ක කරගනිමින් විවෘත වෙඩි ප්‍රහාර එල්ල කරන අතර මෙම වෙඩි ප්‍රහාර හේතුවෙන් ඉතාලි යුද සිරකරුවන් 37 දෙනාම මරණයට පත්වෙනවා.

සංහාරයේ චෝදනාව 

බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු සෙබළුන්ගේ හමුවීමක් (i.pinimg.com)

පසුව මෙම සංහාරවලට එරෙහිව ඇමෙරිකානු ඉහළ හමුදා නිලධාරීන් විසින් සැරයන් සාජන් හොරස් ටී. වෙස්ට් හා කපිතාන් ජෝන් කොම්ප්ටන්ට එරෙහිව හමුදා අධිකරණයේ චෝදනා ගොනු කරනවා. මෙහිදී සැරයන්වරයා වැරදිකරු ලෙස ඔප්පුවෙන අතර ඔහුට සිර දඬුවම් හිමිවෙනවා. නමුත් ඔහුගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් 1944 වසරේ දී ඔහුව නිදහස් වෙන අතර සැරයන් තනතුර අහිමි ව සාමාන්‍ය සෙබලෙක් ලෙස ඇමෙරිකානු හමුදාවට නැවතත් ඇතුළු වීමට ද අවස්තාව ලැබෙනවා.

නඩු විභාගයේ දී කපිතාන් ජෝන් තමන් නිවැරදි බවත්, තමන් සිදුකලේ ඉහළ නිලධාරියා වූ ලුතිනන් ජෙනරාල් පැටන්ගේ නියෝගය බවත් සඳහන් කරන අතර අවසානයේ ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීරණය කරනවා. හෙතම වෙනත් රෙජිමේන්තුවකට මාරු කිරීම ද සිදු වෙනවා. නැවතත් යුද පිටියට යන ඔහු එම වසරේම සතුරු ප්‍රහාරයකින් මරණයට පත්වෙනවා.

Related Articles