Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ප්‍රමාණයෙන් කුඩා මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන්නේ ආසන 4ක් පමණ යි. ජනාධිපතිවරණ ඉතිහාසයේ මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක වුණු මාතලේ දිස්ත්‍රික්කය, පසු යුගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණා. එම නිසාම මේ දක්වා පැවති ජනාධිපතිවරණ 7න් 4ක දී ම මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1959 දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව මාතලේ දිස්ත්‍රික්කය පහත ආකාරයට ආසන 4කට වෙන් වී ගියා.

1) දඹුල්ල ආසනය

2) ලග්ගල ආසනය

3) මාතලේ ආසනය

4) රත්තොට ආසනය

දඹුල්ල ආසනය 

1947 දී මාතලේ ආසනයෙන් කොටසක් කැඩී දඹුල්ල ආසනය නිර්මාණය වුණා. මාතලේ දිස්ත්‍රික්කය තුළ පවතින ආසන හතර අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් ලෙසින් දඹුල්ල නම් කළ හැකියි. 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ දඹුල්ල ආසනය ඉන්පසුව පැවති ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

දඹුල්ල ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක එකක් කළ ටී. බී. තෙන්නකෝන් (silumina)

ලග්ගල ආසනය 

1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව දඹුල්ල ආසනයෙන් කොටසක් වෙන් වී ලග්ගල ආසනය නිර්මාණය වුණා. දඹුල්ල ආසනය මෙන්ම ලග්ගල ආසනයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක ආසනයක් වනවා. එම නිසාම 1994-2015 කාල සමය තුළ පැවති සෑම ජනාධිපතිවරණයක දී ම ලග්ගල ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

මාතලේ ආසනය 

1931 වසරේ සිටම පැවති මාතලේ ආසනය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වනවා. එම නිසාම 1982, 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. 

මාතලේ ආසනය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක එකක් කළ ඇලික් අලුවිහාරේ (dinamina)

රත්තොට ආසනය 

1959 දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව මාතලේ ආසනයෙන් කොටසක් වෙන් වී රත්තොට ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක එකක් වන රත්තොට ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1994, 1999, සහ 2010 ජනාධිපතිවරණවල දී පමණ යි.

ජනාධිපතිවරණවල දී මාතලේ දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

1982-2015 කාල සමය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ හතෙන් 4ක දී මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. 1982, 1988, 1994, 1999, සහ 2010 ජනාධිපතිවරණවල දී මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ අපේක්ෂකයින් ආසන 4ම ජයග්‍රහණය කර තිබුණා. නමුත්, 2005 සහ 2015 ජනාධිපතිවරණවල දී දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර ප්‍රබල සටනක් පැවතුණා. එම අවස්ථාවන් 2 දී ම දඹුල්ල සහ ලග්ගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කරන විට මාතලේ සහ රත්තොට ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග බිමට පිවිසුණා. එවර ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කය තුළ තිබෙන ආසන 4ම පහසුවෙන් ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 34,732කින්. 

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 94,031 (58.11%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 59,299 (36.65%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වැදුණේ සිරිමාවෝ බණ්ඩාරනායක යි. දැඩි භීෂණකාරී වටපිටාවක පැවති එම ජනාධිපතිවරණයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු දඹුල්ල ආසනයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 10.63% ලෙස සටහන් වුණා. 1982 ජනාධිපතිවරණයේ දී මෙන්ම 1988 ජනාධිපතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා ආසන 4ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 11,182කින්. 

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 37,007 (57.85%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 25,825 (40.37%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක මාතලේ දිස්ත්‍රික්කයේ ආසන 4ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 48,125කින්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 121,449 (61.00%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 73,324 (36.80%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මාතලේ දිස්ත්‍රික්කයේ ආසන 4ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 19,288ක් ලබාගනිමින්. ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන 4ම දෙවරක් ජයග්‍රහණය කළ එකම අපේක්ෂකයා බවට පත්වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යි. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 111,232 (51.42%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 91,944 (42.51%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂකයින් දෙදෙනාම ප්‍රබල සටනක නිරත වුණා. එහි දී මහින්ද රාජපක්ෂ දඹුල්ල ආසනය සහ ලග්ගල ආසනය ජයග්‍රහණය කරන විට රනිල් වික්‍රමසිංහ මාතලේ ආසනය සහ රත්තොට ආසනය ජයග්‍රහණය කළා. නමුත්, රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද පරතරයකින් ආසන 2ක ජයග්‍රහණය කර තිබුණු නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 5404කින්.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 125,937 (50.25%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 120,533(48.09%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත්  ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවර මාතලේ දිස්ත්‍රික්කයේ ආසන 4ම ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, වැඩි ඡන්ද 57,440කින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 157,953 (59.74%)

සරත් ෆොන්සේකා- ඡන්ද 100,513 (38.01%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. 2005 දී මෙන්ම 2015 දීත් මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂකයින් දෙදෙනා අතර පැවතුණේ  ප්‍රබල සටනක්. එහි දී මහින්ද රාජපක්ෂ දඹුල්ල ආසනය සහ ලග්ගල ආසනය ජයග්‍රහණය කරන විට මෛත්‍රීපාල සිරිසේන මාතලේ ආසනය සහ රත්තොට ආසනය ජයග්‍රහණය කළා. නමුත්, මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද පරතරයකින් ආසන 2ක ජයග්‍රහණය කර තිබුණු නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 12,952කින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 158,880 (51.41%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 145,928 (47.22%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles