Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ආසන 9කින් සමන්විත බදුල්ල දිස්ත්‍රික්කය අතීතයේ සිටම පැවති ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක දිස්ත්‍රික්කයක් වුණා. එම නිසාම මේ දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ හතෙන් 5ක දී ම බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල සහාය දුන් අපේක්ෂකයා යි. ඊට අමතරව ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය යම් අපේක්ෂකයෙකු දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කළ අවම ඡන්ද පරතරය වාර්තා වන්නේත් බදුල්ල දිස්ත්‍රික්කයෙන්. ඒ 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන වැඩි ඡන්ද 281ක් ලබාගනිමින් වාර්තා කළ ජයග්‍රහණය යි.

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව බදුල්ල දිස්ත්‍රික්කය ආසන 9කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) මහියංගනය ආසනය

2) වියලුව ආසනය

3) පස්සර ආසනය

4) බදුල්ල ආසනය

5) හාලි ඇළ ආසනය 

6) ඌව-පරණගම ආසනය 

7) වැලිමඩ ආසනය 

8) බණ්ඩාරවෙල ආසනය 

9) හපුතලේ ආසනය 

මහියංගනය ආසනය 

1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී බිබිලේ ආසනයෙන් කොටසක් වෙන් වී මහියංගනය ආසනය නිර්මාණය වුණා. 1982-2005 කාල සමය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළ මෙම ආසනය, අවසන් වරට පැවති ජනාධිපතිවරණ 2 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එසේම අතීතයේ කොළ බලකොටුවක් වූ මෙම ආසනය 1994 ජනාධිපතිවරණයේ දී රටේම අවධානය දිනාගනු ලැබුවා. ඒ එම ජනාධිපතිවරණයේ දී සමස්ත රටෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ මෙම ආසනය පමණක් වීම නිසා යි.

වියලුව ආසනය 

1976 වසරේ නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී බදුල්ල ආසනයෙන් කොටසක් වෙන් වී වියලුව ආසනය නිර්මාණය වුණා. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ආසන අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන වියලුව ආසනය, අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

පස්සර ආසනය 

1959 වසරේ දී බදුල්ල ආසනයෙන් කොටසක් වෙන් වී පස්සර ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත් වුණු පස්සර ආසනය, ඔවුන් පරාජය වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි.

බදුල්ල ආසනය 

1931 වසරේ සිටම පැවති බදුල්ල ආසනය වරින් වර දෙපසටම දෝලනය වුණු ආසනයක්. එම නිසාම මෙම ආසනය 1982, 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කරන විට 1994, 1999, සහ 2010 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එසේම 1994 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බදුල්ල ආසනය 61.70%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළා. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලෙන් ඉදිරිපත් වුණු අපේක්ෂකයෙකු බදුල්ල දිස්ත්‍රික්කයේ ආසනයක් ජයග්‍රහණය කළ ඉහළම ප්‍රතිශතය බවටත් පත් වුණා.

හාලි ඇළ ආසනය 

1959 වසරේ දී බදුල්ල ආසනයෙන් කොටසක් වෙන් වී සොරණාතොට නමින් ආසනයක් නිර්මාණය වුණා. ඉන් අනතුරුව 1976 වසරේ සිදුවුණු සීමා නිර්ණයේ දී සොරණාතොට ආසනයේ නම හාලි ඇළ නමින් වෙනස් කරනු ලැබුවා. මේ දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ 7 දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක ආසනයක් වූ හාලි ඇළ ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1994 සහ 2010 ජනාධිපතිවරණවල දී පමණ යි.

ඌව-පරණගම ආසනය 

1959 වසරේ දී බණ්ඩාරවෙල ආසනයෙන් කොටසක් වෙන් වී ඌව-පරණගම ආසනය නිර්මාණය වුණා. මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු ඌව-පරණගම ආසනය 1982, 1988, 1999, සහ 2005 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත් 1994, 2010, සහ 2015 වසරවල පැවැත්වුණු ජනාධිපතිවරණවල දී මෙම ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. ඒ අනුව මෙම ආසනය වර්තමානය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක ආසනයක් බවට පත් වෙමින් තිබෙනවා.

වැලිමඩ ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී බණ්ඩාරවෙල ආසනයෙන් කොටසක් වෙන් වී වැලිමඩ ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර ආසනයක් වුණු වැලිමඩ ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1994 සහ 2010 ජනාධිපතිවරණවල දී පමණ යි.

බණ්ඩාරවෙල ආසනය 

1931 වසරේ සිටම පැවති බණ්ඩාරවෙල ආසනය වරින් වර දෙපසටම දෝලනය වුණු ආසනයක්. එම නිසාම මෙම ආසනය 1982, 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කරන විට 1994, 1999, සහ 2010 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

හපුතලේ ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී බණ්ඩාරවෙල ආසනයෙන් කොටසක් වෙන් වී හපුතලේ ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත් වූ හපුතලේ ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි.

හපුතලේ ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වුණු වි.ජ.මු. ලොකුබණ්ඩාර (Youtube )

ජනාධිපතිවරණවල දී බදුල්ල දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

බදුල්ල දිස්ත්‍රික්කය මුල් යුගයේ පැවති ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත්ව තිබුණා. එම නිසාම 80 දශකයේ පැවැත්වුණු ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මෙම දිස්ත්‍රික්කය 58%කට වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළා. නමුත්, 1994 වසරේ දී සිදුවුණු විශාල බල පෙරළියෙන් පසුව මෙම දිස්ත්‍රික්කය පෙර අවස්ථාවල තරම් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණේ නැහැ. එම නිසාම ඔවුන් අවසන් වරට බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ අවස්ථා තුනෙන් 50% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යාමට හැකි වුණේ 2005 වසරේ දී පමණ යි. එහි දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා වුණු රනිල් වික්‍රමසිංහ 53.11%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගෙන තිබුණා. 

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එවර ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කය තුළ තිබෙන  ආසන 9ම පහසුවෙන් ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන, බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 52,600කින්. එසේම ජේ. ආර්. ජයවර්ධන 73.21%ක ඡන්ද ප්‍රතිශතයකින් මහියංගනය ආසනය ජයග්‍රහණය කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 141,062 (58.67%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 88,462 (36.79%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. දැඩි භීෂණකාරී වටපිටාවක පැවති එම ජනාධිපතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව 41.80%ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. 1982 ජනාධිපතිවරණයේ දී මෙන්ම 1988 ජනාධිපතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා ආසන 9ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 30,556කින්. එහි දී රණසිංහ ප්‍රේමදාස ඌව-පරණගම ආසනය 76.35%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර තිබුණා. එය ජනාධිපතිවරණ ඉතිහාසයේ දී යම් අපේක්ෂකයෙකු බදුල්ල දිස්ත්‍රික්කයේ ආසනයක් ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය යි. එසේම එවර රණසිංහ ප්‍රේමදාස බදුල්ල දිස්ත්‍රික්කය 60.08%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළේ බදුල්ල දිස්ත්‍රික්කය ඉහළම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවට පත් වෙමින්.

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 80,779 (60.08%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 50,223 (37.36%)

රණසිංහ ප්‍රේමදාස (Gulf News)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර ජනාධිපතිවරණයේ දී විශාල ජනරැල්ලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා ගොඩනැගී තිබුණු නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 8ක් ම පහසුවෙන් ජයගැනීමේ අවස්ථාව හිමි වුණේ පොදුජන එක්සත් පෙරමුණට යි. එහි දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළ මහියංගනය ආසනය ලංකාවෙන්ම ඔවුන් ජයග්‍රහණය කළ එකම ආසනය බවට පත් වුණා. එසේම 1994 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක අඩුම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ දිස්ත්‍රික්කය බවට පත් වුණෙත් බදුල්ල දිස්ත්‍රික්කය යි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 182,810 (55.30%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 139,611 (42.20%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා  ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර ප්‍රබල සටනක් පැවතුණා. එහි දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බදුල්ල, වියලුව, සහ බණ්ඩාරවෙල ආසන ජයග්‍රහණය කරන විට රනිල් වික්‍රමසිංහ ඉතිරි ආසන 6ම ජයග්‍රහණය කළා. නමුත් රනිල් වික්‍රමසිංහ එම ආසන 6ම එතරම් පරතරයක් සහිතව ජයග්‍රහණය නොකළ නිසා ඔහුට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ වැඩි ඡන්ද 5884කින්. මෙය එක්සත් පක්ෂය ප්‍රමුඛ පිලේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු බදුල්ල දිස්ත්‍රික්කය 50%කට අඩු ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ මුල්ම අවස්ථාව බවටත් පත් වුණා.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 172,884 (47.97%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 167,000 (46.33%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර රනිල් වික්‍රමසිංහ වියලුව ආසනය හැර බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු ආසන 8ම පහසුවෙන් ජයග්‍රහණය කළා. එම නිසාම එවර ඔහු දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 33,841ක් ලබාගනිමින්.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 226,582 (53.11%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 192,734 (45.18%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවර බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ හපුතලේ ආසන සරත් ෆොන්සේකා ජයග්‍රහණය කරන විට ඉතිරි ආසන 7ම  මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළා. ඒ අනුව මහින්ද රාජපක්ෂ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 38,744ක් ලබාගනිමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 237,579 (53.23%)

සරත් ෆොන්සේකා- ඡන්ද 198,835 (44.55%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවර බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර ප්‍රබල සටනක් පැවතුණා. එහි දී මහින්ද රාජපක්ෂ වියලුව, මහියංගනය, සහ ඌව-පරණගම ආසන ජයග්‍රහණය කරන විට මෛත්‍රීපාල සිරිසේන ඉතිරි ආසන 6ම ජයග්‍රහණය කළා. නමුත්, මෛත්‍රීපාල සිරිසේන එම ආසන 6ම එතරම් පරතරයක් සහිතව ජයග්‍රහණය නොකළ නිසා ඔහුට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ වැඩි ඡන්ද 281කින්. මෙය ජනාධිපතිවරණ ඉතිහාසයේ  යම් අපේක්ෂකයෙකු දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කළ අඩුම ඡන්ද පරතරය බවටත් පත් වුණා. 

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 249,524 (49.21%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 249,243 (49.15%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles