Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැණික් සොයා සබරගමුවට පැමිණි මුක්‌කරු

මුක්‌කර හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක්‌ ද? ඔවුන් කුමන ප්‍රදේශයකින් මෙරටට පැමිණි පිරිසක්‌ ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පවතී.
මුක්‌කර යනුවෙන් දැනට හඳුනා ගෙන ඇති පරිදි රත්නපුර ප්‍රදේශයට මැණික්‌ ගැරීම සඳහා පැමිණ ඇති පිරිසක්‌ බව පැහැදිලි වේ. එහෙත් මේ පිළිබඳ ඓතිහාසික කරුණු ලැබෙනුයේ ඉතා අල්පව ය.

මුක්‌කරුන් පිළිබඳ කරුණු දක්‌නට ලැබෙන එකම ලිඛිත සාක්‍ෂිය වන්නේ “මුක්‌කර හටන” නම් පුස්‌කොළ පොත ය. මෙය සිංහල භාෂාවෙන් ලියා ඇති අතර දැනට බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ ඇති හියුනෙවිල් එකතුවට අයත් ව ඇත. එය or6606 වශයෙන් වර්ග කර ඇත.

හියු නෙවිල් එකතුව – store.pariyatti.org 

 

මෙම මුක්‌කර හටන නම් පුස්‌කොළ පොතට අනුව මුක්‌කරුන් පැමිණ ඇත්තේ පුන්නල නම් වූ දේශයේ සිට ය.

“කෝට්‌ටේ නුවර වැඩ සිටි ශ්‍රි පරක්‍රමබාහුදේව 
ස්‌වාමිදුරුවානන්වහන්සේ සිංහාසන මස්‌තකය වැඩ වදාරමින් කේසර සිංහර විලසින් යෙහින් රාජජ
ශ්‍රි සම්පත් විඳ වදාරමින් වැඩසිටින ප්‍රස්‌තාවට ත්‍රී සිංහලද්විපය අලල මැයි සිතා…. සිතමින් පුත්තලමට, නාගපට්‌ටලමට පුනනල දේශයේ සිට……
ත්‍රී සිංහලාධිපති වූ අපගේ දේවස්‌වාමිදුරුවානන් වහන්සේට මුක්‌කරුන් සේවා කමටසැදි…….”

ලංකාවට ගොඩබට මුක්‌කරුන් පලවාහැරීම දේශීය හමුදාවන්ට තනි ව කළ නොහැකිවූ නිසා 6 වන පරක්‍රමබාහු රජු කාංචිපුර, කාවේරි පට්‌ටන, මහා කිලෙක්‌කරේ යන ප්‍රදේශවලින් හමුදාවක්‌ ගෙන්වා ගෙන මුක්‌කරුන් පරාජය කළ බව මුක්‌කර හටනේ සඳහන් වේ.

කාවේරි පටුන – selfstudyhistory.com 

මෙහිදී මෙම මුක්‌කරුන් පලවාහැරීම සඳහා මෙරටට පැමිණි සේනාපතිවරුන් කිහිපදෙනකු පිළිබඳ ව ද කරුණු සඳහන් වේ. මොවුන් අතර,
* මැණික්‌කා තලවන්
* වම්මුනාට්‌ටු දේවර්
* කුරකුලනාට්‌ටු දේවර්
* අදිරාස අඩප්පන්
* වර්ණසූරිය තෝමරාන්නාතන් අඩප්පන්
* කුරුකුලසූරිය මුදියන්සේ.
* පරදාකුල සූරියමුදියන්සේ
* අර්සකුල සූරියමුදියන්සේ
මෙම සේනාපතිවරුන් සමඟ තවත් 1,500 ක සෙබළ පිරිසක්‌ මුක්‌කරුන් පලවා හැරීම සඳහා පැමිණ ඇති බව සදහන් වේ.

සපරගමුවේ පැරණි ලියවිලි ග්‍රන්ථය – sugv.wordpress.com

 

කිරිඇල්ලේ ඥානවිමල හිමියන් රචිත “සපරගමුවේ පැරණි ලියවිලි” නම් ග්‍රන්ථයේ රත්නපුර මහසමන් දේවාලය පිළිබඳ විස්‌තරයෙහි 6 වන පරාක්‍රමබාහු රජු කල ආර්ය කාමදේව නම් ඇමැතිවරයා සපරගමුවේ මැණික්‌ ගැරීම ආරම්භ කළ බව සඳහන් වේ. මෙම ආර්ය කාමදේව මුක්‌කර පෙළපතේ අයකු විය හැකි ය.

“ලංකාවේ ඉතා උසස්‌ දේවාලය අතුරෙන් දෙවිනුවර දේවාලයට පමණක්‌ දෙවෙනිවූ මේ පැරණි දේවාලය ජම්බුද්‍රෝණිපුර වරාදීශ්වර කලිකාල සාහිත්‍යය සර්වඥ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ ආර්ය කාමදේව නම් ඇමැතියා විසින් රජතුමා වෙනුවෙන් වූ බාරයක්‌ ඉටුකිරීම පිනිස කරවන ලද්දකි. සපරගමුවේ මැණික්‌ හෑරීම ආරම්භ කොට ඉන් සැලකිය යුතු ධනයක්‌ ලැබුනොත්…………”

එසේම මේ කාලවකවානුව තුළ ලංකාවේ මැණික්‌ ගැරීම සඳහා අරාබිවරුන් පැමිණ ඇති බව “ක්‍රිස්තු වර්ෂ 900 – ක්‍රිස්තු වර්ෂ 1500 කාල පරිච්ඡේදය තුළ සෙරන්ඩිබ් දිවයිනට ආ ගිය මුස්‌ලිම් වෙළෙන්දන් හා වන්දනාකරුවන්” යන මැයෙන් ලිපියක්‌ රචනා කරන ආචාර්ය ලෝනා දේවරාජ පවසයි. එම ලිපියෙහි අල්ඉද්‍රිසි (1155) නම් ලේඛකයා සඳහන් කර ඇති පාඨයක මෙසේ සඳහන් කර ඇත.

“ශ්‍රී පාද කන්ද අවට පිහිටි කඳු වැටිවලින් ඔවුන් සෑම වර්ගයකට ම අයත් මැණික්‌ ගල් එක්‌ රැස්‌ කරගන්නා අතර මුදුවලට මැණික්‌ ගල් ඇල්ලීම සඳහා අවශ්‍යය කැටයම් කැපීමට උපයෝගී කර ගන්නා දියමන්ති ඔව්හු අවට ගංගා නිම්නවලින් සොයා ගනිති.” 

අල් ඉද්‍රිසි ලේඛකයා – www.prints-online.com

 

ශ්‍රී පාදය පිහිටා ඇති කඳු පන්තිය ද සබරගමු පළාතට අයත්වීම නිසා රත්නපුර මැණික්‌ ගැරීමට පැමිණි මුක්‌කරු ජනයා හා යම් සබඳතාවක්‌ මෙම කරුණ සමඟ තිබිය හැකි ය.

ආචාර්ය දේවරාජා තව දුරටත් සඳහන් කරන පරිදි ශ්‍රී පාදය ආදම්ගේ පාදය පිහිටි කන්ද ලෙස මුස්‌ලිම්වරුන් සැලකූ බැවින් එය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් මෙන් මැණික්‌ සොයා ආ මුස්‌ලිම්වරුන් පෙනී සිට ඇත.

ශ්‍රී පාද කන්ද – www.saatchiart.com

 

මුස්‌ලිම්වරුන් මේ ප්‍රදේශයට පැමිණ ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි මගින් ද ඔප්පුවන අතර ඊට කදි ම සාධකයක්‌ වන්නේ ශ්‍රී පාදස්‌ථානයට අඩි 100 ක්‌ පමණ පහළින් පිහිටි ගල් ලෙනක්‌ වන භගවා ලෙනෙහි තිබී සොයා ගත් 13 වැනි සියවසට අයත් යෑයි සැලකෙන අරාබි ශිලා ලිපිය යි.

ඊ. ඒ. සෙනරත් වික්‍රමසිංහ ලියූ “මුක්‌කරුන් පිළිබඳ මානව වංශ විද්‍යත්මක අධ්‍යයනයක්‌” යන ලිපියෙහි මුක්‌කරුන් පිළිබඳ ජනප්‍රවාදයක්‌ සඳහන් කර ඇත. එම ජනප්‍රවාදයට අනුව රත්නපුරයට මැණික්‌ ගැරීමට පැමිණි මුක්‌කරුන් 700 ක පිරිසක්‌ තමන්ට මැණික්‌ නැව් 7 ක්‌ හමුවුවහොත් ඉන් එක්‌ නැවක්‌ සමන් දෙවියන් උදෙසා පූජා කරන බවට බාරයක්‌ වී තිබේ.

මුස්ලිම් මැණික් වෙළෙන්දෝ 1870 – udithadevapriya.medium.com

 

මොවුන් සිතූ ලෙසම මොවුන්ට නැව් 7 කට සරිලන මැණික්‌ ලැබී ඇති නමුත් මොවුන් බාරය නිසි ලෙස ඔප්පුකර නැත. බාරයට අනුව මැණික්‌ නැවක්‌ පූජා කරනු වෙනුවට නොවටිනා පාෂාණ වර්ගයක්‌ පූජා කර ඉන්දියාවට යාත්‍රා කරන අතරතුර නැව් 7 ම මුහුදේ ගිලී ගිය බව එම ජනප්‍රවාදයේ  සඳහන් වේ.

ශ්‍රී ලංකාවෙන් හමුවන මැණික් – www.attractionsinsrilanka.com

 

මෙම මුක්‌කර ජනයාගෙන් ම පැවත එන තවත් ජන කොටසක්‌ ලෙස “මුක්‌කුවාර්වරුන්” හැඳින්වේ. මෙම මුක්‌කුවාර්වරුන් ශ්‍රීලංකාවේ වෙරළ බඩ ප්‍රදේශවල පදිංචිව සිට ඇති අතර වර්තමානය දක්‌වා ම මොවුන් මෙම ප්‍රදේශවල වාසය කරයි. මෙම ජනයා මුතු කිමිදීම හා ධීවර කටයුතුවල නිරතවූ පිරිසකි. ඓතිහාසිකව බලන විට මොවුන් තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට කේරළයට, ශ්‍රී ලංකාවට හා ලක්‍ෂද්වීපයට පැමිණ ඇත.

අරිප්පු මුහුදේ මුතු කිමිදීම – www.lankadeepa.lk

 

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ හමුදාමය ආක්‍රමණිකයන් ලෙස ය. නැගෙනහිර ප්‍රදේශයේ සිට මුක්‌කුවාර්වරුන් පදිංචි කරවන ලද්දේ දෙමළ රජකු වූ පන්ඩියා විසින් බව මෙම ජනයා විශ්වාස කරයි. නැගෙනහිර දෙමළ ජනයාගෙන් විශාල ප්‍රජාවක්‌ නියෝජනය කරන්නේ ද මෙම ජනයා බව විශ්වාස කෙරේ. මොවුන් මුක්‌කුවාර් නීති අනුගමනය කරන බවත්  මෙම නීති දපන්ඩියා රජු නිකුත් කර ඇති බව ද සඳහන් වේ.
එසේම වන්නි උපත නම් ග්‍රන්ථයෙහි භාතිය නම් රජු කල කාකමුක්‌කරා නම් දෙමළ පුද්ගලයකු ගොඩබැස ඇති බව සදහන් වේ.

“…….තවද භාතිය නම් සිංහල මහරජහු කාලයෙහි මේ ශ්‍රී ලංකා ද්වීපය කාකමුක්‌කර නම් දෙමළෙක්‌ මේ ලංකාවට ගොඩබැස ඔවුන්ගෙන් නල මුදලියා කියන රජා ගල්ගමුවට පැමිණ…….”

ශ්‍රී ලංකාවේ පැරණි මුතු වෙළෙන්දෙක් – www.wikiwand.com

 

මේ ආකාරයෙන් මෙම ජන කොටස පිළිබද විවිධ මතිමතාන්තර පැවතිය ද ඔවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් හෙළිදරව් වී නොමැත.

කවරයේ ඡායාරූපය -මන්නාරම් බොක්කේ මුතු කිමිදීම - www.heritagevembaru.in 

මූලාශ්‍ර:

මුක්කර හටන -හියු නෙවිල් එකතුව

සපරගමුවේ පැරණි ලියවිලි, කිරිඇල්ලේ ඥානවිමල හිමි

වන්නි උපත - ගනනාථ ඔබේසේකර.

ක්‍රි.ව. 900 – ක්‍රි.ව. 1500 කාල පරිච්ඡේදය තුළ සෙරන්ඩිබ් දිවයිනට ආ ගිය මුස්‌ලිම් වෙළෙන්දන් හා වන්දනාකරුවන් - ලෝනා දේවරාජ

Related Articles