Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරදානේ පැරණි සිහිවටනවල හැංගුණු කතා

මරදාන අද කොළඹ වාණිජ කේන්ද්‍රස්ථානයක්. නමුත් සියවසකට එපිට මේ ප්‍රදේශය පැවතුණේ පිටකොටුවෙන් ඈත්වුණු නිස්කලංක වටපිටාවක යි. මේ නිසා නිවාස මෙන්ම රංග ශාලා, සිනමා හල්, පාසල් සහිත පෙදෙසක් ලෙස මරදාන ප්‍රකටව තිබුණා. මරදානේ අතීත සිහිවටන කිහිපයක් ගැන විමසිලිමත්වීමට යි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ.

කොළඹ අත්‍යන්ත ස්ටේෂම

පැරණි ස්ටේෂම -Wikipedia.org

ඉස්සර කොළඹ ප්‍රධාන ස්ටේෂන් එක තිබුණේ කොටුවෙ නොවේ. පිටකොටුවෙ කෙළවරක  මරදානට අයත්ව යි. හරියටමට අද මරදාන ටෙක්නිකල් කොලීජිය ඉදිරිපිට යි. එය කොළඹ අත්‍යන්ත හෙවත් පර්යන්ත දුම්රිය පොළ ලෙස යි හැඳින්වුණේ. දුම්රිය මාර්ගය එතැනින් අවසන් වුණා. 1864 දෙසැම්බර් 27 දා අඹේපුස්ස දක්වා ලංකාවේ ප්‍රථම දුම්රිය ධාවනය සිදුවුණේ මෙහි සිට යි. එය ඉදිකිරීමට මුල්වුණේ කොළඹ අඹේපුස්ස දුම්රිය පාර තැනීමට මුල් වූ පෙඩ්‍රික් ෆේවිල් යි. බේරේවැව දුම්රිය පොළේ බටහිර මායිම වුණා. එහි ඉදිරිපසින් පිටකොටුව හරහා දිවෙන වැලි පාර පිහිටා තිබුණා.

දුම්රිය පොළේ පැරණි ආරුක්කු බාල්ක- flickr.com 

එවකට එංගලන්තයේ පැවති දුම්රිය ස්ථානවලට සමාන ලෙස එහි පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම සිදුවුණා. වේදිකා දෙකකින් යුක්ත එහි වේදිකා වසා සිටි වහල දරා සිටියේ එංගලන්තයෙන් ගෙන්වූ කැටයම් සහිත යකඩ ආරුක්කු යි. විවේක කාමර සහ ප්‍රවේශපත් කවුලු දෙකක් ද එහි තිබුණා. මෙම දුම්රිය පොළේ කටයුතු 1906 දී නවතා දැමුවා. ඒ අසල දුම්රිය බඩු ගබඩාවක් ඉදිකළා. එහි කටයුතු මරදාන ස්ටේෂමට මාරු වුණා. කොළඹ අවසන් දුම්රියපොළ බවට කොටුව පත්වුණා. පසුව එය දුම්රිය මතක සටහන් සහිත දුම්රිය කෞතුකාගාරයක් බවට පත්කෙරුනා. ඒ 2009 දී යි. අදටත් පැරණි ගොඩනැගිලි, දුම්රිය වේදිකා එහිදී ඔබට දැකගත හැකියි.

කෝපි ගබඩාවේ ටෙක්නිකල් කොලිජීය

ටෙක්නිකල් කොලිජියේ පැරණි සේයාරුවක්- I love srilanka fb page 

කොළඹ “ටෙක්‌නිකල් හංදිය” නමින් ප්‍රකට ස්‌ථානය ගැන නොදන්න කෙනෙක් නැහැ. එතැනට ඒ නම ලැබුණේ අවුරුදු 128කට පෙර ඇරඹුණු මරදාන ටෙක්නිකල් කොලිජිය නිසයි. වර්ෂ 1893 නොවැම්බර් මස 10 වැනි දින කොළඹ මරදාන දුම්රිය මාර්ග ගොඩනැඟිල්ලට නුදුරින් තිබුණු, අලුත්වැඩියා කරන ලද කෝපි ගබඩාවක තමයි රජයේ කාර්මික පාසල ආරම්භ වුණේ. 

කාර්මික විද්‍යාලයය ආරම්භ වීමට ප්‍රබලම හේතුව වූයේ 1893 වන විට කොළඹ නගරය ජනාකීර්ණ ප්‍රදේශයක්‌ බවට පත්වීම නිසා ඉහළ යන කාර්මිකයන්ගේ ඉල්ලුම සැපයීම සඳහා යි. බ්‍රිතාන්‍ය පාලකයන් කොළඹ අත්‍යන්ත දුම්රියපොළට යාබදව පිහිටි වසා දමන ලද කෝපි ගබඩාවක කාර්මික පාසල ආරම්භ කරන්නේ එම අවශ්‍යතාව සපුරා ගැනීමට යි. මුලින්ම මෙහි සිටියේ සිසුන් 25 දෙනයි. කුඩා කර්මාන්ත ශාලාවක්‌, පර්යේෂණාගාරයක්‌, දේශන ශාලාවක්‌, හා කුඩා පන්ති කාමරයක් කාර්මික පාසලට අයත් වුණා. එංගලන්තයේ සිට පැමිණි ඊ. හියුමන් නම් කාර්මික විශේෂඥයා මෙහි ප්‍රථම කථිකාචාර්යවරයා ලෙස පත්ව සිටියා. පසුව ඒ. එස්‌. බර්නාඩ්, තෝමස්‌ කොකරිල් වැනි ඉංග්‍රීසි ජාතික වෘත්තීයවේදීන් ද මෙහි කථිකාචාර්යවරු වශයෙන් දේශන පවත්වා තිබෙනවා.

ටෙක්නිකල් කොලිජීය අද – Wikipedia.org

බොරැල්ල ලංකා වෛද්‍ය විද්‍යාලයය ආරම්භ වූ මුල්කාලයේ වෛද්‍ය සිසුන් සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, හා සාමාන්‍ය විද්‍යාව සඳහා මූලික පන්ති පැවැත්වීම සිදුකොට ඇත්තේ ද  කාර්මික විද්‍යාලයය මඟින්. පසුව 1921 දී කොළඹ  විශ්වවිද්‍යාල කොලීජිය ආරම්භ කළ පසු එම පාඨමාලාවන් කාර්මික විද්‍යාලයයෙන් ඉවත්කොට විශ්වවිද්‍යාල කොලීජිය යටතට පත්කොට තිබෙනවා.  පාසල් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම මුලින්ම ආරම්භ වන්නේ ද මරදාන කාර්මික විද්‍යාලයයෙන්. එවකට ගුරු විද්‍යාල නොපැවති නිසා විද්‍යා, ගණිත, භාෂා, තාක්‌ෂණ වැනි විෂයන් සඳහා පුහුණු ගුරුවරුන් මෙම ආයතනයෙන් බිහිකර තිබෙනවා.  

1906 දි රජයේ කාර්මික පාසලෙහි නාමය “ලංකා කාර්මික විද්‍යාලයය” හෙවත් “සිලොන් ටෙක්‌නිකල් කොලේජ්” යනුවෙන් වෙනස්‌ කළා. එයට බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත නව ගොඩනැගිල්ලක් ද  ඉදිවුණා. අදත් එම අලංකාර ගොඩනැගිල්ල කොළඹ නගරයේ මං සලකුණක් ලෙස සැලකෙනවා. මේ කාලය වන විට සිවිල්, විදුලි කාර්මික, යාන්ත්‍රික වැනි ඉංජිනේරු පාඨමාලාවන් සහ විදුලි පණිවුඩ සේවා, භෞතික විද්‍යා, රසායන විද්‍යා වැනි විද්‍යා පාඨමාලාවන් ද මෙහි පවත්වා තිබෙනවා.  

ඇතුළුවීමේ දොරටුව- Sampath TMS –wikipedia.org

1908 වසරේ දී කළමනාකරණ හා ව්‍යාපාර අධ්‍යයන පාඨමාලාවන් ද කාර්මික විද්‍යාලයයෙහි ආරම්භ වුණා. 1946 වසරේ දී වාණිජ විද්‍යා පූර්ණකාලීන පාඨමාලාව ඇරඹුණා. 1950 වසරේ ලංකා විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨය ආරම්භ වන තුරුම ලන්ඩන් විශ්වවිද්‍යාලයය සඳහා සිසුන් යොමු කළේ මරදාන කාර්මික විද්‍යාලය මඟිනුයි. ලංකා විශ්වවිද්‍යාලයය ආරම්භ වූ පසුව උපාධි පිරිනැමීම එය වෙත පැවරීම සිදු වුණා.

1953 වසරේ දී කාර්මික විද්‍යාලයයේ කලා ශිල්ප අංශය රජයේ සෞන්දර්ය විද්‍යාලයය වෙත අනුයුක්‌ත කිරීම සිදුවුණා. 1966 වසරේ එහි නම ලංකා තාක්‌ෂණ විද්‍යාලයය වශයෙන් වෙනස්කර මෙරට කාර්මික අධ්‍යාපනය පුළුල් කිරීමක් සිදුවුණා. මෙලෙස රටපුරා ව්‍යාප්ත වුණු කාර්මික විද්‍යාල පාලනය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ වූ අතර, වර්තමානයේ එය ද මරදාන කාර්මික විද්‍යාලයය තුළම පිහිටා තිබෙනවා.

මරදාන ටෙක්‌නිකල් කොලීජිය, ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර, ආචාර්ය එන්. එස්‌. කුලසිංහ, ඇස්. පී. චාල්ස්, මහගමසේකර වැනි රටට විශිෂ්ඨ සේවයක්‌ ඉටුකළ විශාල පිරිසක් බිහිකළ තැනක්.

ආණ්ඩුකාරයකු සිහිපත් කළ එල්පිනිස්ටන්

එල්පිනිස්ටන් මදාන් සමාගමට අයත් කාලයේ- madantheatres.com

1890 වන විට මරදානේ රංගශාලා කිහිපයක් පිහිටා තිබුණා. ඒවා ටකරන් මඩු යි. මරදාන දුම්රිය ගබඩාව පිහිටි තැන ද රඟහලක් ආරම්භ වුණා. වොරික් මේජර් නම් ඉංග්‍රීසි ජාතිකයා සතුව මරදාන හන්දියේ “පැවිලියන් පැලස්” නමින් තවත් කුඩා සිනමාහලක් පැවතුණා. ලංකාවට පැමිණි ඉන්දියාවේ මදාන් චිත්‍රපට සමාගම මේ ටකරන් මඩු සිනමාහල මිල දී ගත්තා. එම සමාගම පැවිලියන් පැලස් සිනමාහල නවීකරණය කර වඩාත් පහසුකම් සහිතව තැනුවා. එහි නම “එල්ෆින්ස්ටන් පික්චර් පැලස්’ ලෙස නම් කළා. ඒ 1917 කාලය යි. ඒ නම තැබුවේ ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු සිහිවීමට බව පැවසෙනවා. ටික කාලයක් යන විට එවකට නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනයට පැවති අධික ඉල්ලුම නිසා වඩාත් නවීන සිනමා ශාලාවක් ඉදිකිරීමට මදාන් සමාගම තීරණය කර තිබෙනවා. 1925 ඔක්තෝබර් 9  දී නව ශාලාවකට මුල්ගල තැබුණේ කොළඹ නගරාධිපතිව සිටි එච්. ඊ. නිව්හැම් විසිනුයි. එහි සැලැස්ම පුනරුද සමයේ අංග ලක්ෂණ සහිතව සකස් කළේ එච්. එෆ්. බිලිමෝරියා යි. එවකට කොළඹ පැවති නවීනතම පහසුකම් සපිරි සිනමා ශාලාවක් ලෙස එල්පිනිස්ටන් ශාලාව 1930 දී විවෘත වුණා. පසුව සිලෝන් තියටර්ස් සමාගම එල්පිනිස්ටන් මිල දී ගෙන චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළා. යලිත් ආණ්ඩුවට පවරාගත් මේ ශාලාව 1980 දශකයේ දී ආණ්ඩුව යලිත් නවීකරණය කර විවෘත කළා. සරසවිපාය සංස්කෘතික මන්දිරය  ද එයට යාබදව ඉදිකළා.

මරදාන දුම්රිය ස්ථානය

 මරදාන දුම්රිය පොළ -serendib.btoptions.lk

කොළඹ දුම්රිය ස්ථාන අතරින් විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නේ මරදාන යි. එය 1889 වන විටත් ඉදිකර තිබුණු බව මිනින්දෝරු සිතියම්වලින් පැහැදිලි වෙනවා. එවකට එහි තිබී ඇත්තේ දැවයෙන් සකස් කළ කුඩා ගොඩනැගිල්ලක්. එවකට භාවිත කළ කොළඹ අත්‍යන්ත දුම්රිය ස්ථානයේ සිට මහනුවර මාර්ගයේ සහ දක්ෂිණ මාර්ගයේ දුම්රිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම අසීරුවීම නිසා මරදානට ස්ථිර පහසුකම් සහිත ගොඩනැගිල්ලක ඉදිකළ දුම්රියපොළක් 1893 ජුලි 12 දා විවෘත කර තිබෙනවා. එය වේදිකාවකින් ආවරණය වූ දුම්රිය මාර්ගයකින් ද ආවරණයක් රහිත තවත් දුම්රිය මාර්ගයකින් ද යුක්ත වුණා.

දුම්රිය පොළේ පැරණි ටිකට් කවුන්ටර- serendib.btoptions.lk 

ටික කලකින්ම විශාල මඟීන් සංඛ්‍යාවක් වගේම බඩුභාණ්ඩ ප්‍රවාහනයටත් වැඩි පහසුකම් සැපයීම සඳහා වඩාත් ඉඩකඩ සහිත දුම්රියපොළක් නැවතත් ඉදිකිරීම ආරම්භ වුණා. අද දක්නට ලැබෙන දුම්රියපොළ ඉදිකර විවෘත කළේ 1908 නොවැම්බර් 9 දා යි. අලංකාර ඔරලෝසු කණුවක් සහිත ප්‍රධාන ගොඩනැගිල්ලට මඟී වේදිකා, මඟී පාලම් ආදියත් සහිත යි.

දුම්රිය පොළ 1920 දී – I love srilanka fb page

දෙමහල් ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව ඉදිකර ඇති අතර ප්‍රවේශපත් කවුන්ටර, මඟී විවේකාගාර, දුම්රිය කාර්යාල ආදියෙන් ද එය සමන්විත යි. අද මධ්‍යම දුම්රිය පාලන මැදිරිය පිහිටා තිබෙන්නෙත් මරදානේ. දිනකට දුම්රිය වාර 300කට ආසන්න සංඛ්‍යාවක් ඉන් පාලනය වෙනවා.

මරදාන මුස්ලිම් පල්ලිය

මුස්ලිම් පල්ලියේ පැරණි සේයාරුවක්- Wikipedia.org

මෙම පල්ලිය පිහිටා තිබෙන්නේ සහිරා විද්‍යාල භූමියෙයි. සහිරා විදුහල මෙරට පළමු මුස්ලිම් පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ වුණේ 1892 දී යි. විදුහල පටන්ගන්නා විටත් මේ බිමේ මුස්ලිම් පල්ලිය පැවතුණා. එය ඊට බොහෝ කලකට පෙර ආරම්භ කළ දේවස්ථානයක්. මුලින්ම කුඩා පල්ලියක් ලෙස පැවති මෙය පසුව විවිධ අනුග්‍රාහකයන්ගේ ධන පරිත්‍යාගයෙන් විශාල පල්ලියක් ලෙස ඉදිකර තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Divaina.com

කොළඹ පුරාණය- සමන් කළුආරච්චි

Cover- එල්පින්ස්ටන් රඟහලේ පැරණි සේයාරුවක් - madantheatres.com

Related Articles