Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රංශ සෙබළුන් නැති ප්‍රංශ හමුදා රෙජිමේන්තුව

ඈත අතීතයේ සිට මේ දක්වාම ප්‍රංශ යුධ හමුදාව තුළ පිහිටුවා තිබෙන ප්‍රංශ විදේශ ලීජනය (French Foreign Legion) පිළිබඳව ඔබ අසා තිබෙනවා ද? එහි විශේෂත්වය වන්නේ බලකායේ සියලුම සෙබළුන් හා නිලධාරීන් විදේශිකයන් වීම යි.

1831 වසරේ දී මෙය පිහිටුවන අතර බලකායේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රංශය විසින් යටත් කරගන්නා රටවල්වල ආරක්ෂාව භාරව කටයුතු කිරීම යි. බලකායට ඇතුළත් වීම ප්‍රංශ පුරවැසිභාවය ලබාගත හැකි හොද ක්‍රමයක්. එබැවින් යහපත් ජීවන රටාවක් නිර්මාණය කරගැනීමට උත්සාහ දරන ලොව පුරා තරුණයන් මෙම බලකායට එක්වීමට මහත් උනන්දුවක් දක්වනවා.

විදේශ ලීජනයේ ඉතිහාසය

ප්‍රංශ විදේශ ලීජනය (YouTube)

ප්‍රංශය පාලනය කළ රජෙකු වූ ලුවී පිලිප් විසින් 1831 දී මෙය ආරම්භ කරනවා. ලීජනය සඳහා ප්‍රංශය හැර විදේශීය රටවලින් සෙබළුන් බඳවා ගැනීමට තීරණය වෙනවා. ඔවුන්ගේ ප්‍රථම රාජකාරිය වන්නේ ප්‍රංශය විසින් ආක්‍රමණය කළ ඇල්ජීරියාවේ ආරක්ෂාව භාරව කටයුතු කිරීම යි.

ප්‍රථම රාජකාරියෙන් පසුව ඔවුන්ව විශේෂ රාජකාරියක් සඳහා අනියුක්ත කරනවා. ඒ ප්‍රංශය විසින් ආක්‍රමණය කර යටත් කරගන්නා රටවල ආරක්ෂාව භාරව කටයුතු කිරීම යි.

1833 සිට 1940 දක්වා පැවති පළමු කාර්ලිස්ට් යුද්ධය (ස්පාඤ්ඤ සිවිල් යුද්ධය) සඳහා ප්‍රංශය මැදිහත් වෙනවා. ඒ සඳහා ප්‍රංශය විසින් ස්පාඤ්ඤය වෙත තම විදේශ ලීජනය පිටත් කර හරිනවා.

ඔවුන්ගේ තෙවන මැදිහත් වීම වන්නේ ක්‍රිමියානු යුද්ධය යි. එහි දී ප්‍රබල රුසියානු අධිරාජයාට එරෙහිව ප්‍රංශය විසින් විදේශ ලීජනය භාවිතා කරනවා. 1853 සිට 1856 දක්වා පැවති මෙම සංග්‍රාමයේ ජය අත් වන්නේ ප්‍රංශ අධිරජායාට යි.

විදේශ ලීජනයේ යුධ මෙහෙයුම්

විදේශ ලීජනයේ සෙබළෙක් (Spec Ops Magazine)

විදේශ ලීජනය 1831 සිට බොහෝ යුධ මෙහෙයුම් ප්‍රමාණයකට සහභාගී වී තිබෙනවා . නිදහස සඳහා වූ ඉතාලියේ දෙවන යුද්ධය (1859), ප්‍රංශය විසින් මෙක්සිකෝව ආක්‍රමණය කිරීම (1861 -1867 ), ප්‍රංශ කොරියානු ගැටුම (1866), ප්‍රංශ – පර්සියානු යුද්ධය (1870 – 1871 ), පළමු ලෝක යුද්ධය (1914 – 1918) හා දෙවන ලෝක යුද්ධය (1939 -1945) වැනි යුධ මෙහෙයුම් සහභාගී වූ ප්‍රධාන සටන් ලෙස හැදින්විය හැකි යි.

මෑත කාලයේ දී ඔවුන් මැදිහත් වූ සටන් අතුරෙන් පළමු ඉන්දු චීන යුද්ධය [(1946 – 1954) ප්‍රංශ හමුදාවන්ට ලැජ්ජා සහගත පරාජයක් හිමි වූ ඩියෙන් බියෙන් ෆූ සටනේ දී වියට්මින් ගරිල්ලන් හා සටන් වැදුනේ මෙම රෙජිමේන්තුව යි], ඇල්ජිරියානු සටන (1954 – 1962), ලෙබනන් සිවිල් යුද්ධය (1975 – 1990), ගල්ෆ් යුද්ධය (1990- 1991), ඇෆ්ගනිස්තාන් යුද්ධය (2001 සිට මේ දක්වා) හා මධ්‍යම අප්‍රිකානු ගැටුම් (2012 සිට මේ දක්වා ) වැනි මෙහෙයුම් ප්‍රධාන ස්ථානයක් ගන්නවා.

බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය

ඇමරිකානු මැරීන් භටයන් විසින් විදේශ ලීජනයේ භටයන් පුහුණු කරවීම (YouTube)

ලොව පුරා විසිරී සිටින වයස අවුරුදු 17 ත් 35 ත් අතර තරුණයන්ට මේ සඳහා අයදුම් කළ හැකි යි. අයදුම් කිරීමෙන් පසුව සියලුම අයදුම්කරුවන් තම වියදමෙන් ප්‍රංශයේ ඇති ලීජනයේ ප්‍රධාන මුලස්ථානයට වාර්තා කළ යුතු යි.

තෝරාගැනීමේ පරීක්ෂණය තරමක් අසීරු වන අතර එය දින 14ක් පුරා ක්‍රියාත්මක වෙනවා. ශාරීරික යෝග්‍යතාවය පරික්ෂා කිරීම සඳහා පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට අයදුම්කරුට සිදුවෙනවා. ඉන් සමත් වෙන අයදුම්කරුවන්ට බුද්ධි පරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදුවෙනවා.

මෙම පරීක්ෂණ සියල්ල සමත්වෙන අයදුම්කරුවන් පමණක් තෝරාගන්නා (සුදුසුකම් ලැබීමට ප්‍රංශ භාෂාව තරමක් දැන සිටිය යුතු වෙනවා. බරපතල අපරාධ හා මිනීමැරුම් චෝදනා ඇති පුද්ගලයින් මේ සඳහා තෝරාගන්නේ නෑ) අතර අනෙක් පිරිසට නැවතත් තම රට බලා පිටත් වීමට සිදුවෙනවා.  

තෝරාගත් පිරිස මූලික හමුදා පුහුණුව සඳහා යොමු කරනවා. එවිට ඔවුන් පළමු අවුරුදු 5 සඳහා ගිවිසුමකට එළඹිය යුතු යි. පළමු වසර පහ අවසානයේ දී ඔවුන්ට ප්‍රංශ පුරවැසිභාවය හිමිවෙන අතර තම කැමැත්ත මත තව දුරටත් ලීජනයේ සේවය කළ හැකි යි.

මූලික පුහුණුව

ලීජනයේ සෙබළුන් (Pinterest)

තෝරාගත් අයදුම්කරුවන්ට සති 15 – 17ක පමණ කාලයක් හමුදා හා සටන් පුහුණුවක් ලබාදෙනවා. මුල් සති කිහිපය තුළ මූලික හමුදා පුහුණුව හා ප්‍රංශ භාෂා පාඨමාලාව ලැබෙන අතර ඉන්පසුව අසීරු පුහුණුවීම්වලට යොමු කරනවා.

කඳු ආශ්‍රිත සටන් පුහුණුව, තාක්ෂණික දැනුම, දින 3ක් ඇතුළත කි.මී. 120ක් දිවීම, පැරිෂුට් පුහුණුව හා රියදුරු බලපත්‍රය ලබාගැනීම ඊට අඩංගු යි. එම සියලු පාඨමාලාවලින් සමත්වෙන භටයන් පමණක් ප්‍රංශ විදේශ ලීජනයට බඳවා ගන්නා අතර ඔවුන්ට පමණක් අනන්‍ය වූ යුධ හමුදා නිළ ඇඳුමක් ලබාදෙනවා.

විශේෂතා

පුහුණුව අතරතුර (Getty Images)

ලීජනයට ඇතුළත් වන සොල්දාදුවන්ට ප්‍රංශ හමුදා භටයන්ට මෙන්ම සියලු පහසුකම් හිමිවෙනවා. ඔවුන්ට අවශ්‍ය නම් වැඩිදුරටත් පාඨමාලා හැදෑරීමේ අවකාශය පවතිනවා. ස්නයිපර් තුවක්කු කරුවෙක්, යුධ ටැංකි හසුරවන්නෙක්, සන්නද්ධ රථ හසුරවන්නෙක්, පැරිෂුට් සෙබළෙක් හෝ මැෂින් තුවක්කුකරුවෙක් බවට පත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා ද අවස්ථාව හිමිවෙනවා.

තව ද, අවශ්‍ය නම් හා සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු යුධ හමුදා පරිපාලන අංශයට, උපදේශක අංශයට, හමුදා නඩත්තු හෝ සංඥා අංශයට ඇතුළත් වීමට මෙම සෙබළුන්ට හැකියාව පවතිනවා.

මේ වන විට විදේශ ලීජනය ප්‍රංශ හමුදාව සමග එකතු වී ලොව පුරා විවිධ මෙහෙයුම්වල නිරතව සිටිනවා. ඇෆ්ගනිස්ථානය, අයිවරි කෝස්ට් හා මධ්‍යම අප්‍රිකානු ජනරජය එවැනි රටවල් තුනක්. මෙම මෙහෙයුම්වල දළ වශයෙන් භටයන් 8000ක් පමණ සේවයේ නිරතව සිටිනවා.

අනෙක් රටවල් ද විදේශ ලීජනය මෙන් හමුදා ඒකක පිහිටුවීමට නොයෙකුත් වාරයන්හි දී උත්සාහ කර තිබෙනවා. ඉන් ප්‍රංශ විදේශ ලීජනයට සමානකම් ඇති එක් බලකායක් ලෙස ස්පාඤ්ඤ විදේශ ලීජනය හඳුන්වා දිය හැකි යි.

කවරයේ ඡායාරූපය: EJ Insight

Related Articles