ඔටෝමන් අධිරාජ්‍යය ගැනත්, පාලක සුල්තාන්වරුන් ගැනත් ඔබ අසා ඇති. කලක දී ඉසුරුමත් සහ බලවත් අධිරාජ්‍යයක් ලෙස වැජඹුණු ඔටෝමන් අධිරාජ්‍යය, පසුව අදූරදර්ශී, දුර්වල සුල්තාන්වරුන් අතට පත්වීම නිසා පරිහාණියට ලක්වුණා. නමුත් එයට යළි දියුණුව සහ කීර්තිය ළඟා කරගැනීමට කැපී පෙනෙන කාර්යයක් ඉටුකළ සුල්තාන්වරයෙකු, ඔහුත් සමගම අධිරාජ්‍යය අවසන් විය යුතු බව තීරණය කළ බව ඔබ දැනගෙන සිටියා ද?
ඔස්මාන්වරු සහ ඔවුන්ගේ ආරම්භය
මොංගෝල් අධිරාජ්‍යයේ ව්‍යාප්තියත් සමග ඇනටෝලියාව, එනම් සුළු ආසියාවේ, එඬේර ජීවිතයක් ගතකළ තුර්කිවරුන් හට ඉස්ලාම් දහම වැළඳගැනීමට සිදුවූවා. එසේ ඉස්ලාම් ධර්මය වැලඳගත් ගෝත්‍රයන් අතරින් බලවත්ව නැගී ආ සෙල්ජක් ගෝත්‍රයේ නායක ඔස්මාන් ගාසි හෙවත් I වන ඔස්මාන් විසින් ඉස්ලාමීය සාරධර්ම අනුව සැකසුනු, මධ්‍යගත පරිපාලන යාන්ත්‍රනයකින් සමන්විත පාලන ක්‍රමයක් ස්ථාපිත කෙරෙනවා. 1299 දී ඇරඹී 1922* වසර තෙක් දිවෙන ඔස්මාන් හෙවත් ඔටෝමන් අධිරාජ්‍යයේ ආරම්භය ලෙස එය සැලකෙනවා.
*කාලානුරූපීව වෙනස් නොවූ ප්‍රතිපත්ති සහ යල්පැන ගිය පුරුදු නිසා තූර්කි ඔටෝමන් අධිරාජ්‍යය බිඳවැටීමෙන් අනතුරුව අවසන් සුල්තාන්වරයා VI වන මෙහෙමෙද්ව ඉවත්කර 1923 දී තූර්කි සමූහණ්ඩුව බිහිවනවා.*
සුල්තාන් සහ පාලනය
අධිරාජ්‍යයේ ප්‍රධානියා හෙවත් පාලකයා සුල්තාන් නමින් හැඳින්වෙනවා. පළමුවෙනි ඔස්මාන්ගෙන් ඇරඹෙන ඔටෝමන් රාජවංශයේ අවසන් සුල්තාන්වරයා VI වන මෙහෙමෙද් (1918-1922) වන තෙක්, එම පාලක පරපුර සුල්තාන්වරුන් 36 දෙනෙකුගෙන් සමන්විත යි.
මුලින් බයිසෙන්තියානු අධිරාජ්‍යයට අයත්ව තිබී, සෙල්ජක් ගෝත්‍රිකයන් විසින් අත්පත් කරගත් බිතයිනියාවේ බුර්සා නගරය කේන්ද්‍ර කරගනිමින් ඇරඹි ඔටෝමන් අධිරාජ්‍යය 1595 වන විට වර්ග කි.මි. මිලියන 19.9ක භූමි ප්‍රමාණයක් පුරා සිය අණ පතුරවනවා. 1453 දී II වන මෙහෙමෙද් විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනෙනවා. එතැන් සිට අද්විතීය ඔටෝමන් අධිරාජ්‍යයේ අගනුවර වන්නේ කොන්ස්තන්තිනෝපලය හෙවත් ඉස්තාන්බූලය යි. 19 වන සියවස මුල් භාගය වනවිට නොයෙක් හැලහැප්පීම්, කැරළි කෝලාහල නිසා “යුරෝපයේ රෝගියා” ලෙස හැඳින්වූව ද, ඔටෝමන් අධිරාජ්‍යය ඉතා විශිෂ්ඨ ගෘහ නිර්මාණ කලාවක් ලොවට දායාද කළා.
රජයක් විසින් පාලනය කෙරුණු, මනාව පුහුණුකරණ ලද, හොඳින් නඩත්තු කෙරුණු හමුදාවක් හිමි මුල්ම රටවලින් එකක් ලෙස තුර්කිය සැලකෙනවා. ජැනිසරි ලෙස හැඳින්වුනු මෙම හමුදාව මුල් අවධියේ කටයුතු කළේ සුල්තාන්වරුන්ගේ ආරක්ෂකයින් ලෙස යි. පසු කාලවල දී සුල්තාන්වරුන් බලයෙන් පහකිරීමට තරම් ජැනිසරිවරුන් බලසම්පන්න වුණා. ඔටෝමන්වරුන්ගේ බලය මහද්වීප තුනක් පුරා විහිදී, ව්‍යාප්තවීමට මෙම හමුදාවේ කාර්‍යශූරත්වය මහත් පිටිවහලක් වූ බව අවිවාදිත යි. තව ද සිපය් යනුවෙන් හඳුන්වන ලද අශ්වාරෝහක හමුදාවක් ද ඔටෝමන්වරුන් සතු වූවා.
සෑම සුල්තාන්වරයෙකුටම අන්තඃපුරයක් තිබුනා. ඔවුන් වාසය කළේ මාලිගාවේ “හේරීම්” යනුවෙන් හැඳින්වුනු, සුල්තාන්ගේ මව බිරින්දෑවන්, දරුවන්, සහ සහෝදරියන් ආදී සුල්තාන් පවුලේ කාන්තා සාමාජිකයින් ජීවත් වූ කොටසේ යි. සුල්තාන්ගේ ලිංගික වහලියන් ලෙස යටත් ප්‍රදේශවලින් අල්ලාගෙන ආ කාන්තාවන් ද මෙහි රඳවා සිටියා. වහලියන් වුව ද හේරීමයේ ඔවුන් ගත කළේ ඉතාම සුඛෝපභෝගී ජීවිතයක්. හේරීමයට රැගෙන එන සියළුම වහලියන් අළුතෙන් නම් ලබනවා. හේරීමයට පැමිණීමත් සමග වෙනස්ම ජීවිතයක් ඇරඹෙන නිසා සමහරවිට මින් අදහස් කෙරෙන්නෙ ඔවුන් නැවත උපන් බව විය හැකියි. සියළුම හේරීම් කාන්තාවන්ට නැටුම්, ගැයුම්, වාදනය, සහ මැහුම් ගෙතුම් ද ඇතුළත් අධ්‍යාපනයක් ලැබුනා. බිරින්දෑවරුන්ට දාව උපදින දරුවන්ට අමතරව සුල්තාන්ධුරයට උරුමකම් කියන්නේ හේරීම් වහලියන් බිහිකරන පිරිමි දරුවන් පමණ යි. සුල්තාන්ට දාව දරුවන් බිහිකරන සියළුම වහලියන් බිරින්දෑවරුන් (සුල්තානා) ලෙස උසස් කෙරෙනවා. වහලියක් ලෙස ඇරඹූ ජීවිතය රැජිණක් ලෙස අවසන් කළ හැකි එකම තැන හේරීමය බව කියැවෙනවා.
කෲරත්වයෙන් ඇරඹෙන සුල්තාන්වරය
පියාගෙන් පුතුට (බොහෝ විට වැඩිමල් පුතු) හුවමාරු වන පාලන බලය බොහෝවිට ඇරඹෙන්නේම කෲර ඝාතන වැලකිනුයි. නව අධිරාජයෙක් පත්වීම ඉතා උත්කර්ෂවත්, සතුටුදායක දවසක් වුවත් ඒ අනිත් කුමාරවරුන්ගේ මරණ වරෙන්තුව ලියැවෙන දවස යි.
පාලනයේ සිටින සුල්තාන්වරයා මියයාමත් සමග ඊළඟ සුල්තාන්වරයාගේ පාලන සමය ඇරඹෙනවා. එදිනම හෝ පසු දින රාජකීය මැදුර පිරී යන්නේ සුල්තාන්වරියන්ගේ විලාපයෙන්. ඒ තම පුත් කුමාරයන්ගේ ඝාතනය සැලවීමත් සමග යි. බලයට පත්වන සුල්තාන්වරයා විසින් තම සහෝදරයින් ඝාතනය කිරීමේ අරමුණ, තම පාලනයට අභියෝග කිරීම සහ කුමන්ත්‍රණ මඟින් බලය අත්පත් කරගැනීම වලක්වාලීම යි. නමුත් අහමෙද් I (IV වන මුරාද්ගේ පියා) විසින් මෙම සිරිත නොපිලිපැදීම නිසා අද අපි කතාකරන සුල්තාන් මුරාද් ජීවත්වීමට වරම් ලැබුවා. අහමෙද් I, ඔහුගේ සොහොයුරු මුස්තාෆාව ඝාතනය නොකර ඔහුව නිවාස අඩස්සියේ තබනවා.
1612 ජූලි මස 27වන දා ටොප්කපි මන්දිරයේ දී මුරාද් උපත ලබනවා. ඔහුගේ පියා සුල්තාන් අහමෙද් I වන අතර මව ග්‍රීක වහළියක් වූ අනස්ටාසියා යි. ටොප්කපි මන්දිරයේ දී ඇයට ලැබුනු නම මෙහෙපෙකර්. කොසෙම් නමින් ද ඇය හැඳින්වෙනවා. පසුකලක දී අහමෙද් I ඇයව තම නීත්‍යානුකූල බිරිය බවට පත්කරගන්නවා. කොසෙම් ඔටෝමන් ඉතිහාසයේ බලවත්ම සුල්තාන්වරියන් හතර දෙනාගෙන් අයෙකු ලෙස හැඳින්වෙනවා.
අහමෙද් I 1617 දී මිය යනවා. ඒ වෙද්දී ජීවතුන් අතර සිටින වැඩිමහල්ම කුමාරයා නිසා සුල්තාන් ලෙස පත් වෙන්නෙ මුස්තාෆා යි. කුඩාකල සිටම නිවාස අඩස්සියේ පසුවීමත්, කිසිදු සමාජාශ්‍රයක් නොතිබීමත් නිසා ඒ වනවිට මුස්තාෆා මානසික රෝගියෙක්. මේ බව හෙළිවීමත් සමග මුස්තාෆා යලි නිවාස අඩස්සියට පත්වනවා. මීළඟ සුල්තාන් වන්නේ අහමෙද්ගේ පළමු පිරිමි දරුවා වන ඔස්මාන්. ඔස්මාන්ගේ මව මහෆිරූzසේ සුල්තාන්. II වන ඔස්මාන්ගේ පාලන කාලය වසර හතරකට සීමා වෙනවා. ඔටෝමන් ඉතිහාසයේ රාජකීය හමුදා සෙබළුන් අතින් ඝාතනය වූ පළමු (සහ එකම) සුල්තාන් ලෙස ඔස්මාන් මිය යනවා.
මුස්තාෆා යළිත් සිහසුනේ වාඩි කෙරෙනවා. දිනෙන් දින උග්‍රවන මුස්තාෆාගේ මානසික රෝගී තත්ත්වය හෙළිවීමත් සමග ඉස්ලාම් කටයුතු පිළිබඳ මණ්ඩලය “උමතු මුස්තාෆාව” බලයෙන් පහ කරනවා.
IV වන මුරාද්
මේ වන විට මුරාද් යාන්තම් එකොලොස් වියට පා තැබූ කොළු පැංචෙක්. ඔහුගේ සම්පූර්ණ නම මුරාද් බින් අහ්මෙද් හන්. IV වන මුරාද් නමින් ඔහුව සිහසුනේ වාඩිකරන ඔහුගේ මව් කොසෙම්, පාලන බලය අතට ගන්නවා. කොසෙම්ගේ පාලනය කාලයේ සමහර රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා කැරළි කෝළාහල සහ හමුදා කුමන්ත්‍රණයන් පැණ නගිනවා.
නිසි වයස සපිරුණු වහාම සියළු පරමාධිපත්‍ය බලතල අතට ගන්නා මුරාද්, ඒ වන විට අධිරාජ්‍යය පුරා ඔඩුදුවා තිබුනු දූෂණ, වංචා, අල්ලස, සහ අනීතික ක්‍රියා මැඩපැවැත්වීමට කටයුතු කරනවා. අක්‍රමවත්ව කෙරෙමින් තිබූ බදු අයකිරීම යළි ක්‍රමවත් කර, අනවශ්‍ය රාජ්‍ය වියදම් කපාහැරීමෙන් භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමට පියවර ගන්නවා. ඒ වන විට දරුනු ලෙස පිරිහී තිබූ ජැනිසරීවරුන්ගේ සහ වැසියන්ගේ විනය පවත්වාගෙන යාමට අබිං, මත්පැන්, කෝපි පානය, කෝපිහල්, බීමහල් සහ විනෝද මධ්‍යස්ථාන (ගණිකා නිවාස) තහනම් කරනවා. රාත්‍රී වීදි සංචාර තහනම් කරනවා. හොර රහසේ කෝපිහල්, බීමහල් සහ විනෝද මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ටත්, ඒවායේ පාරිභෝගිකයින්ටත් මුරාද්ගෙන් සමාවක් නම් ලැබුනේ නැහැ. හිටි ගමන් සාමාන්‍ය වැසියෙකු ලෙස වෙස්වලාගෙන සංචාරයේ යෙදුන ඔහු, නීතිවිරෝධී වැඩවල යෙදුනු පුද්ගලයන් අතටම අල්ලාගෙන මරණීය දණ්ඩනය ඇතුළු දරුණු ශාරීරික දඬුවම් පැමිණවූවා.
මුළු ඔටෝමන් ඉතිහාසයේම පූජක ධුරයේ ඉහළම තනතුර දැරූවකු ඝාතනය වන්නේ ද මුරාද් අතිනුයි. හේතුව අපැහැදිළි වුව ද එවකට තිබූ තත්ත්වය අනුව මෙම පූජකයා යම්කිසි නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධව සිටි බවට අනුමාන කළ හැකියි.
IV වන මුරාද් ඉතාමත් දැඩි හිතැති හිතුවක්කාරයෙක්. ඔටෝමන් අධිරාජ්‍යයේ පහළවූ බලවත්ම සුල්තාන්වරුන් කිහිපදෙනාගෙන් කෙනෙක්. අසමසම කාය ශක්තියෙන් යුතු බුද්ධිමත් ඔහුට අණ පිළිනොපැදීම, නීතිගරුක නොවීම, අක්‍රමවත්බව ඉවසුම් නොදෙන්නක් උනා. දක්ෂ අසරුවෙකු සහ දුණු සහ කඩු ශිල්පයේ අතිදක්ෂයෙකු ලෙස ඔහු සැලකෙනවා. සිය සෙබළුන්ට අණ දෙමින් යුධබිමට පිවිස, සතුරු හමුදාවන් සමග මුහුණට මුහුණ සටන් කළ අවසන් සුල්තාන් ලෙස IV වන මුරාද් ඉතිහාසගත යි. තව ද, විචිත්‍ර අත් අකුරු ලිවීමේ කලාවේ දක්ශ මුරාද් තමා විසින් පණවන ආඥාවන් ලස්සන අත් අකුරෙන් ලියා තැබුවා. ඔහු “මුරාදි” යන ආරූඪ නාමයෙන් කවි ලියූ බවත් කියැවෙනවා.
බිඳවැටෙමින් තිබූ අධිරාජ්‍යය නගා සිටුවීමටත්, අහිමි වෙමින් තිබූ භූමීන් යළි අත්පත් කරගනිමින් ඔටෝමන් අධිරාජ්‍යය ‘විභූතිමත් සුලෙයිමාන් සමයේ’ මෙන් ඉසුරුමත් සහ බලවත් කිරීමට ඔහු නොගත් උත්සාහයක් නැති තරම්. මේ නිසා ඔහු මව කෝසෙම් සමගත්, රාජ්‍ය නිලධාරීන් සමගත් නිතර ගැටුම් ඇති කරගත්තා.
බිරිඳ සහ දරුවන්
අනෙකුත් සියළුම ඔටෝමන් සුල්තාන්වරුන්ගේ හේරීමය සහ ඔවුන්ගේ භාර්යාවන් පිළිබඳ ප්‍රමාණවත් සටහන් තිබුනත්, අගමෙභෙසිය ලෙස හැඳින්වෙන අයිෂා සුල්තාන් සහ තවත් එක් භාර්‍යාවක් ලෙස සනාවෙබර් නම් කාන්තාවක් ගැන හැරුණු විට මුරාද්ගේ අන්තඃපුරය, ඔහුගේ භාර්යාවන්, හෝ දරුවන් පිළිබඳ පැහැදිළි සටහනක් නැහැ. ඔහුට දාව බොහෝ දරුවන් සිටිය ද, ඔවුන් සියළුදෙනාම පාහේ බිළිඳු වයසේ දීම මියගිය බව කියනවා. නමුත් ඔහුට “කායා” නමින් දියණියක් සිටි බව බොහෝ තැන්වල සඳහන් වෙනවා. මුරාද් ගැහැණුන් සහ පිරිමින් දෙකොටසටම ලිංගිකව ප්‍රිය අයෙකු විය හැකි බවත් අනුමාන කෙරෙනවා.
ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයක්
මිනිසෙකු පළමුවරට ගුවනේ පියෑඹීම
1631දී හෙසාර්ෆන් අහමඩ් නම් පර්යේෂකයා තමන් විසින්ම නිර්මාණය කෙරුණු පියාපත් යුගලක් ආධාරයෙන් ගල්ටා කුළුණ මුදුනේ සිට උස්කුදෝරය දක්වා පියාසර කරනවා.
ලොව පළමු රොකට්ටුව අත්හදාබැලීම
මුරාද්ගේ දියනිය “කායා” ගේ උපත නිමිත්තෙන් පැවති උත්සවයේ දී (1633) ලගාරි හසන් නම් ඉංජිනේරුවා රොකට්ටුවක් ආධාරයෙන් පියාසැරියක් අත්හදා බැලූ බව එව්ලියා නම් දේශාටකයාගේ සටහනක සඳහන් වෙනවා.
බැග්ඩෑඩය යළි අත්පත්කරගැනීම
1623 සිට පර්සියාව සමග පැවති යුද්ධය නිමාකරමින් 1639 දී බැග්ඩෑඩය යළි ඔටෝමන් අධිරාජ්‍යයට නතුකර ගැනීම IV වන මුරාද් ලද විශිෂ්ඨතම යුධ ජයග්‍රහනය යි.
මූගල් අධිරාජ්‍යය සමග සම්බන්ධකම
බැග්ඩෑඩය වටා කඳවුරු බැඳගෙන සිටින අවධියේ දී එවක මෝගල් අධිරාජ්‍ය ෂා ජහාන්ව මුනගැසීමත්, දෙදෙනා අතර වටිනා ත්‍යාග සහ අවි ආයුධ හුවමාරු කරගැනීමත්, පසුව තානාපති හුවමාරුවකුත් සිදුවනවා.
නාට්‍යමය අවසානය
IV වන මුරාද්ගේ මරණය පිළිබඳ මතයන් දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න නම් දැඩි ලෙස මත්පැනට ඇබ්බැහිවීම නිසා සිරෝසීස් රෝගයට ගොදුරුව ඔහු මියගිය බව යි. දෙවැන්න නම් හන් පරපුරේ උරුමය වූ ඔටෝමන් අධිරාජ්‍යය තමාගෙන් පසු අවසන් විය යුතු බව තීරණය කළ මුරාද්, අධිරාජ්‍යයේ මීළඟ උරුමක්කාරයා වූ සිය බාල සහෝදර ඉබ්‍රාහිම්ව ඝාතනය කිරීමට අණ කිරීම නිසා මුරාද්ගේ මව කොසෙම් සුල්තාන් ඔහුට වස දුන් බව යි.
මුස්තාෆා හා සමාන මානසික රෝගියෙකු වූ ඉබ්‍රාහිම්ට මේ අද්විතීය අධිරාජ්‍යයේ අනාගතය භාර දීමට අකමැති වූ මුරාද්ගේ අණ පරිදි ඉබ්‍රාහීම්ගේ ඝාතනය සිදුවූවා නම්, ඔටෝමන් අධිරාජ්‍යය සුල්තාන්වරුන් 17 දෙනෙකුගෙන් අවසන් වන්නට තිබුනා. නමුත් එය එසේ සිදු වූයේ නැහැ.
ඔටෝමන් අධිරාජ්‍යයේ 17 වන සුල්තාන් මුරාද් බින් අහ්මෙද් හන් 1623 සිට වසර 17ක තම පාලන කාලය හමාරකර වයස 27 දී, වර්ෂ 1640 පෙබරවාරි 08 වනදා ජීවිතය හැර යනවා. ඔහුව මිහිදන් කෙරෙන්නෙ සුල්තාන් අහමෙද් දේවස්ථානයේ යි. එතෙක් මෙතෙක් බිහිවූ බලවත්ම ඔටෝමන් සුල්තාන්වරුන් අතලොස්සෙන් එක් අයෙකු වන IV වන මුරාද්ගේ කතාව එසේ අවසන් වනවා.