මාතලේ ඉඳන් දඹුල්ලට හුඟ දෙනෙක් ගියත් ඒ අතරමඟ හමුවන නාලන්ද ගෙඩිගේ දැකබලාගන්න නම් උනන්දු වන්නේ එහෙමත් කෙනෙක් තමයි. මාතලේ ඉඳන් නාලන්දට දුර කි. මී. 35යි. දඹුල්ලෙ සිට වුණත් පහසුවෙන් මෙතැනට එන්න පුලුවන්. නාලන්ද රෝහල අසලින් හැරිලා තවත් කි. මී. 1.5ක් අතුරු මාර්ගයක (තාර දමා කාපට් කළ) ගමන් කළ විට ගෙඩිගේ පිහිටි පුරාවිද්‍යා භූමියට ළඟාවිය හැකි යි. අවට පැතිරී තිබෙන බෝවතැන්න ජලාශය නිසා වටපිටාව අපූරු සුන්දරත්වයක් උසුලනවා. ඈතින් දුම්බර කඳුවැටිය නීල වර්ණයෙන් පැතිර යන ආකාරයත් රමණීය දර්ශනයක්.
තියෙන්නේ රටේ හරි මැද
ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය කියල බොහෝ දෙනා සලකනුයේ මාතලේ නාලන්දාව යි. නාලන්දා ගෙඩිගෙය ලංකාවේ හරි මැද ලක්ෂ්‍යයේ පිහිටා තිබෙන බව පුරාණයේ සිටම සමහරු විශ්වාස කළා. තවත් විශ්වාසයකට අනුව රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කළ බවත්, මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවෙනවා.
ගලවා ආයෙත් සවිකළා
මුලින්ම නාලන්ද ගෙඩිගේ ගැන සඳහන් වන්නේ 1893 දී ඉංග්‍රීසි ජාතිකයන්ගේ වාර්තාවල යි. පසුව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව විසින් එකල කුඹුරු යායක පිහිටා තිබූ මේ නටබුන් ගොඩනැගිල්ල රජයට පවරාගෙන තිබෙනවා. මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් ද මේ ස්ථානය ගවේෂණය කර වාර්තා කර තිබෙනවා. 1970 දී මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ බෝවතැන්න ජලාශය ඉදිකිරීමට නියමිත වුණා. එකල ගෙඩිගේ වටා පැතිර තිබුණේ කෙත් යායක්. ජලාශය පුරවන විට නාලන්ද ගෙඩිගේ පිහිටි භුමිය ද යටවීමට නියමිත වූ නිසා පුරාවිද්‍යාඥයන් ගෙඩිගෙය ගලවා යළිත් ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුමක් සකස් කළා. සෑම ගලකටම අංක යොදා සැලසුම් ඇඳ ගෙඩිගේ ගලින් ගල ගැලෙව්වා. ඊට පසු එම භූමිය කැණිම් කළා. මෙලෙස ගෙඩිගේ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ වූයේ 1977 දී. මුලින්ම ගෙඩිගෙය ගලවා එහි කළුගල් ඉවත් කර එම භුමිය පස් පුරවා අඩි 23ක් උස් කර තැනුවා. ඊට පසු මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලකගේ උපදේශකත්වය යටතේ එය නැවත තහවුරු කිරීමේ කටයුතු ආරම්භ කළා. ලංකාවේ සම්පූර්ණයෙන් ගලවා තැවත සවිකළ එකම පුරාවිද්‍යා ගොඩනැගිල්ල වන්නේ නාලන්ද පමණයි. එය අපේ පුරාවිද්‍යාඥයන් අතින් ඉටු විශිෂ්ට ප්‍රතිසංස්කරණයක්. අද වන විට එය ගලවා නැවත සවිකළ ගොඩනැගිල්ලක් කියා කාටවත් හඳුනාගන්න බැහැ. එදා රෝපණය කළ පැළ අද මහ ගස් බවට පත්වී වනගත සිසිල් පරිසරයක් නිර්මාණය වෙලා.
නැවත පුරාණ ස්වරූපයට ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කළේ 1985 ජුනි 13 දා යි. ඒ එවකට සංස්කෘතික ඇමැති ඊ. එල්. බී. හුරුල්ලේ සහ කතානායක ඊ. එල්. සේනානායකගේ සහභාගීත්වයෙන්.
ඊජිප්තුවේ අස්වාන් වේල්ල නිසා අබුසිම්බල් දේවාලය යටවන අවස්ථාවේ එයත් මෙලෙසම උස් භූමියක නැවත සවිකර තිබෙනවා. ජලාශයෙන් වට වූ උස්බිමක ගස්වැල් පිරිවරාගෙන පිහිටි මේ ගොඩනැගිල්ල දැකුම්කළු දර්ශනයක් මවනවා. එය සිත සුවපත් කරන නිස්කලංක බිමක් වශයෙන් ද හැඳින්විය හැකි යි.
ඉතිහාසය
මෙම අපූරු ගෙඩිගේ ගොඩනැගිල්ල කවුරුන් විසින් ඉදිකරවූවා ද කියා ඉතිහාසයෙන් සාක්ෂ්‍ය ලැබෙන්නේ නැහැ. නමුත් මේ අවට ගැන ඉතිහාස මූලාශ්‍රවල සඳහන්වෙනවා. පළමුවන පරාක්‍රමබාහු රජු බලය තහවුරු කර ගැනීමට (1153-1186) ගජබාහු සහ මානාභරණ යන රජවරු සමඟ කළ සටන්වල දී නාලන්දේ බලකොටු පිහිටුවාගත් බව මහාවංශයේ සඳහන්. 1818 උඩරට කැරැල්ල පැවති කාලයේ බ්‍රිතාන්‍ය සේනාංකයක් මෙහි ස්ථානගත කර තිබුණා. ඔවුන් බලකොටුව ඉදිකර තිබූ කඳුගැටය අදත් කොටුවේගොඩැල්ල ලෙස හඳුන්වනවා.
සෙල්ලිපිය
බොහෝ දුරට ගෙවීගිය ටැම් ලිපියක් මෙහි කැණීම් කිරීමේ දී පුරාවිද්‍යාඥයන්ට හමුවුණා. එය ගෙඩිගෙය අසල පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ දී ඔබට දැකගත හැකියි. එවකට මෙම ස්ථානයේ විහාරයක් පැවති බව ඉන් හෙළි වෙනවා. එහි දැක්වෙන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත්, විහාරයේ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත්. අක්ෂර විකාශනය අනුව මේ ලිපිය ක්‍රි.ව. 9 – 10 සියවස්වලට අයත් බව නිගමනය කර ඇති අතර මෙම කරුණු පාදක කොටගෙන නාලන්ද ගෙඩිගෙය ක්‍රි.ව. 8 – 10 අතර කාලයේ දී නිමවන්නට ඇතැයි සමහර ඉතිහාසඥයන් පවසනවා.
ඉහත දැක්වූ ටැම් ලිපියෙන් මෙන්ම භූමියේ විසිරී පවතින ගල් කැබලිවලින්ද මෙහි දියුණු විහාර සංකීර්ණයක් පිහිටා තිබූ බව පැහැදිලි වෙනවා.
පල්ලව වාස්තු විද්‍යාව
ක්‍රි.ව. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 9 වැනි සියවස දක්වා ඉන්දියාවේ පල්ලව අධිරාජ්‍යය සමයේ පැවැති පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය වර්ධනය වුණා. එහි දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් (මාමල්ල ශෛලිය) රජුගේ කාලයේ ගෘහ නිර්මාණ ශෛලියට අනුව ගෙඩිගේ නිර්මාණය කර තිබෙනවා. දකුණු ඉන්දියාවේ පාලර් නදී මුවදොර, මහාබලිපුරම්හි කඳුගැටයක පිහිටි මාමල්ල ශෛලියේ නිර්මාණ සම්පූර්ණ කළු ගලින් නිමවා තිබෙනවා. ඒ අතර නාලන්දට සමාන ගොඩනැගිලි හමුවෙනවා. මෙහි වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කර තිබෙනවා. ශෛලමය වහල ශිඛරයක් ලෙසින් නිර්මාණය කිරීම පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව දක්වන සලකුණක්. මේ ලක්ෂණ නිසාම නාලන්ද ගෙඩිගෙය පල්ලව සම්ප්‍රදායට අයත් යැයි පිළිගැනෙනවා.
දකුණු ඉන්දීය පල්ලව වාස්තු විද්‍යා ලක්ෂණ සහිත අප රටේ එකම ගොඩනැගිල්ල නාලන්ද ගෙඩිගෙය යි. මෙහි වහල ද සහිත සම්පූර්ණ ගොඩනැගිල්ලම කළුගල් කුට්ටි භාවිතයෙන් ඉදිකර තිබෙනවා. ඒවා ඉතා සියුම්ව එකිනෙක වද්දා තිබෙන බව පේනවා. ගොඩනැගිල්ලට පිටින් එය වටා යන සේ ගඩොල් භාවිතයෙන් ප්‍රාකාරයක් තනා තිබෙනවා.
මෙය හින්දු මෙන්ම බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ද ඇතුළත් ගොඩනැගිල්ලක්. ගොඩනැගිල්ලේ ඉදිරිපස පිවිසුම බෞද්ධ විහාරයක් මෙන් නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රවේශය සඳකඩ පහණ, කොරවක්ගල, සහ පියගැටපෙළකින් යුක්ත යි. කොරවක් ගලෙහි ලියවැලකින් යුක්ත මකර රුවක් ද කැටයම් කර තිබෙනවා.
ගොඩනැගිල්ල
මෙහි ශිලා ස්තම්භ 24කින් යුත් ආලින්දයක් සහිත යි. අන්තරාලයක් සහ මණ්ඩපයක් ද එයට සම්බන්ධ කර තිබෙනවා. ගොඩනැගිල්ල වටා පැදකුණු කිරීමට ප්‍රදක්ෂිණා පථයක් ද සහිතයි. අන්තරාලය මත දක්නට ලැබෙන කැටයමින් යුක්ත ශිඛරය හින්දු කෝවිලක් මතක් කරනවා. ගොඩනැගිල්ල මැද පිහිටි ගර්භය තුළ ඇත්තේ අභය මුද්‍රාවෙන් යුත් හිටි බුද්ධ ප්‍රතිමාවක්. එය අනුරාධපුර යුගයට අයත් ලක්ෂණ සහිත යි.
මෙහි බිත්තියේ පිටතට පන්නවා තනා ඇති අපූරු කැටයම් පුරාණ පල්ලව කැටයම් ශිල්පයේ විශිෂ්ටත්වයට නිදසුන් සපයනවා. ඒ කැටයම් ගොඩනැගිල්ල වටේටම බිත්ති අලංකාර කරනවා. ගල්කුට්ටිවලින් තැනූ බිත්තියේ චෛත්‍ය කාවාට, වාමන හිස්, සත්ත්ව රූප, සහ පේකඩ ආදිය දැකගත හැකියි.
ලිංගික සංසර්ග කැටයම
ඉන්දියාවේ කාජුරාහෝ වැනි දේවාලවල විවිධ ලිංගික ඉරියව් සුලබ නමුත් ලංකාවේ ඒවා හමුවන එකම ස්ථානය නාලන්ද පමණයි. මෙහි බිත්තියේ පහළ පේකඩයක තුන්දෙනෙක් පසුපසින් ලිංගිකව රමණය කරන ආකාරය දැක්වෙනවා. මෙම ස්ථානයේ කණුවක දක්නට තිබූ මෙවන් තවත් කැටයමක් පිළිබඳ 1910-11 වර්ෂ සඳහා වූ එච්. සී. පී. බෙල් මහතාගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සඳහන් වන මුත් එය මේ වන විට සොයාගැනිමට නැහැ. මෙම ලිංගික කැටයම් නිසා මේ ස්ථානය තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් සිදු කළ ස්ථානයක් ලෙස සමහරු පවසනවා. ථෙරවාද බුදුදහමේ මෙවැනි ඉරියව් සහිත කැටයම් අනුමත කරන්නෙ නැහැ.
කළුගල් උළුවස්ස
නාලන්ද පුරාවිද්‍යා බිමට ඇතුළුවන ස්ථානයේ කැණීම්වලින් හමුවූ පැරණි කළුගල් උළුවස්සක් සවිකර තිබෙනවා. එය චාම් කැටයමින් යුක්ත යි. එයට අමතරව කුලුනු හිස්, බොරදම් කොටස් ඇතුළු කැටයම් කළ කළුගල් කැබලි රාශයක් මේ බිමේ තැන තැන දක්නට ලැබෙන්නේ පුරාණයේ පැවති මහා ආරාමයක් ගැන මතක අපට එක්කරමින්.
ස්ථුපය
ගෙඩිගෙයට උතුරු දෙසින් කුඩා ස්ථුපයක් හමුවී ඇති අතර එය 1953 දී කැණීම් කළා. ගඩොලින් කළ වේදිකාවක් මත එය ඉදිකර තිබෙනවා. එහි පේසාවළලු තුනක් දැකගත හැකි යි. ගර්භයට ඉහළින් පිහිටි කොටස් විනාශ වෙලා. මේ දාගැබ පසුගිය කාලයේ සංරක්ෂණය කර තිබෙනවා.
කෞතුකාගාරය
නාලන්ද ගෙඩිගේ ඉතිහාසය සහ ලැබුණු පුරාවස්තු තැන්පත් කර පුරවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කෞතුකාගාරයක් ඒ අසලම ඉදිකර තිබෙනවා. ස්මාරකය පිළිබඳව නරඹන්නන්ට හොඳ දැනුමක් ලබාගැනීමට ඒ නිසා ඉඩ සැලසෙනවා.
ආශ්‍රිත මූලාශ්‍ර:
නාලන්ද ගෙඩිගේ- පී.එල්. ප්‍රේමතිලක (මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශන)
නාලන්ද ගෙඩිගේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන
කවරය- සොඳුරු පරිසරයක පිහිටි නාලන්ද ගෙඩිගේ – කුසුම්සිරි විජයවර්ධන