Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැපෝලියන් පළමුවරට සිහසුන අත හැරීම​

ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයා 1812 දී රුසියාව ආක්‍රමණය කිරීමට උත්සාහ කර පරාජය වූ බව ඔබ අසා ඇති. කලක් යුරෝපයේ බලවත්ම පාලකයා වූ ඔහුගේ පරිහානියට බලපෑ ප්‍රධානම සන්ධිස්ථානය වූයේ මෙම පරාජය යි.

කියවන්න​: නැපෝලියන් විනාශයට පත් වූ, රුසියානු ආක්‍රමණය

මේ පරාජයෙන් විශාල හමුදාවක් මෙන්ම අශ්වයින් ප්‍රමාණයක් ප්‍රංශයට අහිමි වුණා. අශ්වයින් අහිමි වීම හේතුවෙන් මෙතැන් පටන් ප්‍රංශයට ප්‍රමාණාත්මක අශ්වාරෝහක සේනාංකයක් ගොඩ නැංවීම පහසු වුණේ නැහැ.

මේ අතර, රුසියාවේ දී සිදු වූ පරාජයෙන් පසුබා සිටි නැපෝලියන්ට එරෙහිව යුරෝපයේ අනෙක් රටවල් ඒකරාශී වන්නට පටන් ගත්තා. 1813 මාර්තු වන විට නැපෝලියන්ට එරෙහි සයවැනි මිත්‍ර සන්ධානය ගොඩ නැගුණා. මීට රුසියාව​, ප්‍රශියාව, ඔස්ට්‍රියාව​​, බ්‍රිතාන්‍යය​, පෘතුගාලය​, ස්පාඤ්ඤය, ස්වීඩනය, සහ කුඩා ජර්මන් රාජ්‍යයන් කිහිපයක් එක් වුණා.

මේ රාජ්‍යයන් අතුරින් කිහිපයක හමුදා සමග නැපෝලියන්ගේ හමුදා 1813 ඔක්තෝබරයේ දී දැවැන්ත සංග්‍රාමයක යෙදුණා. එය ලයිප්සිග් සංග්‍රාමය හෙවත් ජාතීන්ගේ සංග්‍රාමය ලෙස හඳුන්වනු ලබනවා. එහිදී නැපෝලියන් පරාජය කරනු ලැබුණා. සටන අතරමැද දී නැපෝලියන්ට සහය දෙමින් සිටි ජර්මානු රාජ්‍යයන් දෙකක් අනෙක් පාර්ශවයට එක් වීමත් විශේෂ සිදුවීමක්. මෙය නැපෝලියන් තමන්ම මෙහෙයවූ සටනක් පරාජය වූ පළමු අවස්ථාව ලෙස සැලකෙනවා.

ලයිප්සිග් සටන​ (A.I. Zauerweid)

මේ පරාජයෙන් පසුව ස්පාඤ්ඤය දෙසින් මෙන්ම ජර්මනිය දෙසින් ද ආක්‍රමණික හමුදා ප්‍රංශය කරා පැමිණෙන්නට වුණා. එතරම් පුහුණුව නොලද, මෑත දී බඳවාගත් තරුණයින්ගෙන් සමන්විත වූ සේනාංක මෙහෙයවමින් නැපෝලියන් සටන් කිහිපයක් ජයගත් නමුත් ප්‍රතිවාදී සේනාංකයන්හි පිරිස් ශක්තිය සහ පළපුරුද්ද හමුවේ ඔහුට වැඩිකල් සිය ප්‍රතිවිරෝධතාව පවත්වාගන යා නොහැකි බව පෙනෙන්නට තිබුණා.

පැරිසිය සහ ෆොන්ටෙන්බ්ලූ

1814 දී ප්‍රංශයට ඇතුල් වූ මිත්‍ර සන්ධාන සේනා පැරිසිය වෙත ළඟා වුණා. මාර්තු 30 වන දා පැරිස් නගරයේ සටනින් පසු 31 වන දා නගරය සන්ධානයට යටත් වුණා. මෙම සන්ධාන හමුදාවන්හි නායකයා වූ රුසියාවේ පළමුවන අලෙක්සන්දර් සාර්වරයා මාර්තු 31 වන දා ප්‍රකාශයක් නිකුත් කළා.

රුසියානු හමුදා පැරිසියට ඇතුල් වීම​ (Public Domain)

මෙම ප්‍රකාශයට අනුව ඔහු කියා සිටියේ මිත්‍ර සන්ධානයට ප්‍රශ්නය ඇත්තේ ප්‍රංශය සමග නොව නැපෝලියන් සමග බව යි. ඒ අනුව නැපෝලියන් සිහසුන අතැර දැමිය යුතු බවත්, ඔහු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝ සමග සන්ධානය ගනුදෙනු නොකරන බවත් අලෙක්සන්දර් කියා සිටියා. එමෙන්ම යුද්ධවලට පෙර ප්‍රංශ දේශසීමා ප්‍රතිස්ථාපනයත්, භාරකාර රජයක් පිහිටුවීමත් කළ යුතු වූ අතර ජනතාව කැමති ආණ්ඩුක්‍රමයක් තෝරාගැනීමට ඔවුනට ඉඩ දියයුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ වනවිට නැපෝලියන් රැඳී සිටියේ පැරිසිය අසල ෆොන්ටෙන්බ්ලූ මන්දිරයේ යි. අප්‍රේල් 2 වන දා ප්‍රංශ සෙනට් සභාව විසින් නැපෝලියන් බලයෙන් පහ කරන ලද බව ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. නමුත් නැපෝලියන් සම්පූර්ණයෙන්ම සටනක් නැතිව බලය අත හැරීමට සූදනම් වූයේ නැහැ.

ෆොන්ටෙන්බ්ලූ මන්දිරය (Wikimedia Commons)

ඔහු දන්වා සිටියේ මිත්‍ර සන්ධානයට ගැටළුව ඇත්තේ තමන් බැවින් තමන් සිය පුත්‍රයා වෙනුවෙන් සිහසුන අතහරින බව ය​. සිය බිරිඳ වූ මාරි ලුවිසා අධිරාජිණිය ළදරු අධිරාජයා වෙනුවෙන් රජකමෙහි වැඩ බලනු ඇතැයි ඔහු සඳහන් කළා​.

නමුත් මේ අදහසට සෙනට් මණ්ඩලය සහ මිත්‍ර සන්ධානය එරෙහිව සිටියා. එම දෙපාර්ශවයම සඳහන් කළේ නැපෝලියන්ගේ පවුලේ අයකුට ද සිහසුන හිමි නොවන බව යි. මේ අවස්ථාවේ නැපෝලියන් සන්ධානයේ ඉල්ලීම් පිළිගැනීමට තීරණය කළා.

මේ අනුව අප්‍රේල් 6 වන දා නැපෝලියන් දන්වා සිටියේ තමන් සිහසුන අත හැරීමට සූදානම් බව යි. තම පෙළපතෙහි අයකුට සිහසුන සඳහා වන අයිතිය අත හරින බව ඔහු කියා සිටියා.

ෆොන්ටෙන්බ්ලූ මන්දිරය

පැරිසියෙන් කිලෝමීටර 55ක් පමණ ගිණිකොනදිගින් පිහිටි ෆොන්ටෙන්බ්ලූ මන්දිරය යුනෙස්කෝ ලෝක උරුමයක් ද වනවා. 12 වන සියවසෙහි පටන් එහි බලකොටුවක් වූයේයැ යි සාක්ෂ්‍ය පවතින අතර බොහෝ ප්‍රංශ පාලකයන් මෙම මැදුර සිය නිවහනක් ලෙස භාවිතා කළා. 1981 දී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කෙරුණා.

ෆොන්ටෙන්බ්ලූ මන්දිරයේදී ප්‍රකට ගිවිසුම් දෙකක් අත්සන් කරනු ලැබුණා. එයින් එකක් ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර 1762 දී ඇති වූ ගිවිසුම යි. නමුත් වඩා ප්‍රකට වූයේ 1814 ගිවිසුම යි.

ෆොන්ටෙන්බ්ලූ ගිවිසුම​

මේ අනුව දෙපාර්ශවය අතර ෆොන්ටෙන්බ්ලූ ගිවිසුම නම් එකඟතාව ඇති කරගනු ලැබුණා. මෙම ගිවිසුමට ඔස්ට්‍රියාව​, රුසියාව, ප්‍රශියාව යන රටවල්වල, සහ ප්‍රංශයේ නියෝජිතයන් 1814 අප්‍රේල් 11 වන දා අත්සන් කළා. දින දෙකකට පසු, අප්‍රේල් 13 වනදා, නැපෝලියන් එම ගිවිසුම පිළිගත්තා.

ෆොන්ටෙන්බ්ලූ ගිවිසුම අත්සන් කළ කාමරය (Wikimedia Commons)

ගිවිසුමෙහි කොන්දේසි ප්‍රකාරව නැපෝලියන්ට මෙන්ම මාරි ලුවීට ද පිළිවෙලින් අධිරාජයා සහ අධිරාජිණිය යන තනතුරු තබා ගැනීමට අවසර හිමි වුණා. නැපෝලියන් එල්බා දිවයිනට පිටුවහල් කෙරුණ අතර එය ඔහුගේ පාලනය යටතේ වූ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කෙරුණා. ප්‍රංශයේ වූ ඔහුගේ ඉඩකඩම් ප්‍රංශ රජයට පවරා දෙනු ලැබුණා. මේ අතර මාරි ලුවීසා අධිරාජිණිය පාර්මා, ප්ලැසෙන්ටියා, සහ ගුවස්ටලා ආදිපාද ප්‍රදේශයන්හි ආදිපාදවරිය ලෙස ද පිළිගනු ලැබුණා.

නැපෝලියන් කුඩා සේනාංකයක් සමග​ එල්බා දිවයිනට පිටව ගියේ අප්‍රේල් 20 වන දා යි. පැරණි බුර්බන් රාජවංශයේ දහ අටවන ලුවී ප්‍රංශ රජු බවට පත් වුණා. කෙසේ නමුත් වසරකටත් අඩු කාලයක දී නැපෝලියන් යළිත් ප්‍රංශයේ පාලකයා බවට පත් වුණා. එයින් දින සියයකට ආසන්න කාලයක් තුළ ඔහු දෙවන සහ අවසන් වතාවට සිහසුන අතැර දැමුවේ වෝටර්ලූ සටනෙන් වූ පරාජයත් සමග යි.

Cover Image: නැපෝලියන් ෆොන්ටෙන්බ්ලූ වෙතින් පිටව යයි (Antoine Alphonse Montfort)

Related Articles