අනුරාධපුර යුගයේ දී බෝධි ප්‍රාකාරය වෙනුවට බෝධිය වටා කළුගලින් කළ අගනා කැටයම් සපිරි ගොඩනැඟිල්ලක් තිබුණා. එය මැදි කර තමයි බෝධිය රෝපණය කරන්නේ. එවැනි බෝධිඝරවල නටබුන් කිහිපයක් අපේ රටේ හමු වී තිබෙනවා. ඒ අතරින් වඩාත් කලාත්මක නිර්මාණය ලෙස සැලකෙන්නේ නිල්ලක්ගම බෝධිඝරයයි.
බෝධිඝර
පුරාණ විහාරවල ප්‍රතිමාඝරය (පිළිමගෙය), උපෝසථඝරය, (පෝය ගෙය), බෝධිඝරය (බෝධිය සඳහා ගෙය), ජන්ථාඝරය (ගිනිහල්ගෙය) ආදී වශයෙන් ගොඩනැඟිලි පිහිටා කිබුණා.
මුලින් ම බෝධි වෘක්ෂ වටා තිබුණේ බෝ මළුවක් පමණ යි. පසුව පැදකුණු කරමින් වන්දනා කරන අයගේ පහසුවට බෝධිය වටකොට සෙවණ සහිත ගොඩනැඟිල්ලක් ඉදිවුණා. පසුකාලීන ව බෝධි වෘක්ෂය වටා වැටක් සහ ප්‍රදක්ෂිණා කිරීමට මළුවක් ද සකස් කෙරුණා. ඊට පසු මල් පූජා කිරීමට මල් ආසන හතරක් ද එයට එක්වුණා. පසුව මේ කොටස් ඇතුළු කර පිටතින් දොරටුවක් සහිත ප්‍රාකාරයකින් වට කළ ගොඩනැඟිල්ලක් ඉදි වී බෝධිඝරයක් සේ දියුණු වාස්තු විද්‍යාත්මක අංගයක් බිහි වෙනවා.
ඉන්දියාවේ පුරාණ බෝධිඝර භාරුත් හා සාංචිවල පිහිටි මූර්ති කැටයම්වලින් දැකගත හැකි යි. අනුරාධපුරයේ ශ්‍රී මහ බෝධීය සඳහා ද බෝධිඝරයක් නිර්මාණය කර තිබුණු බව වංශ කතාවන්ගෙන් සහ ටීකා ග්‍රන්ථයන්ගෙන් ද හෙළි වෙනවා. ධාතුසේන රජු (ක්‍රි.ව. 455 – 473) එම බෝධිඝරය ප්‍රතිසංස්කරණය කර බිත්තිවල අලංකාර සිතුවම් අන්දවා බොහෝ පූජා කළ බව සඳහන් වෙනවා. කිත්සිරිමෙවන් රජු එම බෝධිඝරයේ පියස්ස ලෝහ තහඩුවලින් සෙවිලි කරවූ බව සඳහන්.
තිබෙන තැන
මෙම ස්ථානය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රිකික්යේ නැගෙනහිර හතළිස් පහ කෝරළේ නිටලුව ගම අසල යි. එය ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්. මෙම ස්ථානයට පිවිසීමට මාර්ග තුනක් තිබෙනවා. ගල්ගමුව – මොරගොල්ලාගම මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ පැමිණි විට බිම්පොකුණ හන්දිය හමුවෙනවා. එතැනින් වමට ඇති මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගෙවා හෙට්‌ටිගමට පැමිණ බෝධිඝරය පිහිටි තැනට ළඟා විය හැකි යි.
පොල්පිතිගම – මඩගල්ල මාර්ගයේ පැමිණ සාලියගම හන්දියෙන් ගල්ගමුව දෙසට ඇති මාර්ගයේ ගල්ලෑව හන්දියට ගමන් කර නිතලව හරහා හෙට්‌ටිගමට පැමිණීමෙන් ද නිල්ලක්ගමට ළඟා වීමට පුළුවන්. වැටකොලුවාගම හන්දියෙන් හැරී මීගලෑව මාර්ගයේ බුල්නෑවට පැමිණ හේල්වලගම හරහා ද මෙම ස්‌ථානයට පැමිණීමට හැකියාව තිබෙනවා. බෝධිඝරය පිහිටා ඇත්තේ නිල්ලක්ගම වැව් බැම්මට නුදුරින් ඉතා සුන්දර වටපිටාවක යි. නටබුන් දාගැබ් ගොඩැල්ලක් ද ඒ අසල පිහිටා තිබෙනවා.
පුරාවිද්‍යා ගවේෂණ
මෙම අගනා නටබුන් ගොඩනැගිල්ල ගැන ප්‍රථමයෙන් ම සැලසුම් සහිත වාර්තාවක් 1895 දී ඉදිරිපත් කළේ එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල්. ඒ වනවිට එය බෝධිඝරයක් යයි ඔහු දැන සිටියේ නැහැ. නිතලව නටබුන් ස්ථානය ලෙස එතැන නම් කර තිබෙනවා.
ගම්මුන් “දළදා මාලිගාව” නැත්නම් පත්තිරිප්පුව ලෙස හැඳින්වූ එම නටබුන් ගොඩනැඟිල්ල පිළිබඳ ව සංක්ෂිප්තව 1895 පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ 13 පිටුවේ බෙල් සඳහන් කරනවා. එහි තිබූ අලංකාර ශෛලමය සිංහ, හස්ති සහ හංස රූප ගැනද ඔහු තම ගවේෂණ විස්තරයේ කෙටි සඳහනක් ඉදිරිපත් කරනවා.
මහාචාර්ය සෙනරත් පරණවිතාන පසු ව සඳහන් කරන්නේ පරිදි බෙල්ගේ ගවේෂණයෙන් එතරම් කලක් යන්නට මත්තෙන් එහි උඩ මළුව නිදන් හොරුන් මුළුමනින් කඩාදමා තිබෙන බව යි. පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් පරණවිතාන එම ස්ථානයට යන විට ගොඩනැගිල්ලේ හරි මැදින් අඩි 10 පමණ ගැඹුරු වළක් ද සාරා ස්ථානය විනාශ කර ඇති අන්දම දකිනවා. මේ නිසා පනාබැම්මේ බැඳ තිබූ කැටයම් ගල් පුවරුවලටත් හානි වී තිබෙනවා.
ඉන් පසුව අසල තිබූ කෝන් ගසක අත්තක් කඩා වැටීම නිසා ගොඩනැගිල්ලේ නැගෙනහිර දොරටුවේ උළුවස්ස සුනුවිසුනු වී ගොස් තිබුණා. ගැමියන් අසල හේනක් ගිනි තැබීම හේතුවෙන් පහළ මළුවේ ඇත් පවුරේ සෑහෙන කොටසකට ද හානි සිදු වී තිබෙන බව සඳහන් වෙනවා. පරණවිතාන 1954 වසරේ එම ස්ථානයට යන විට ගොඩනැගිල්ල පිහිටි බිමේ ද හේනක් කෙටීම සඳහා පිරිසක් උත්සාහ කර තිබුණු බව ද පැවසෙනවා.
1954 වර්ෂයේ දී එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරනවා. මුලින් ම කැලෑව එළිකර සංරක්ෂණය ආරම්භ කළ ආකාරය ගැන පරණවිතාන සඳහන් කරනවා. මාර්ග දුෂ්කරතාවත් විඳගෙන එවකට වන මැද පිහිටි මෙහි ප්‍රතිසංස්‌කරණ කටයුතු අවසන් කර ඇත්තේ 1956 වර්ෂයේදී යි.
මහාචාර්ය පරණවිතාන පවසන්නේ විචිත්‍ර කැටයම් අතින් නිල්ලක්ගම බෝධිඝරය අභිබවා යන වෙනත් සමකාලීන ගොඩනැගිල්ලක් නැති බවයි:
නිල්ලක්ගම දොර උළුවහු මෙන් 9 වැනි සියවස තරම් පැරණි අවදියකට අයත් දොරඋළුවහු ද හමු වී නැත. මෙම ස්ථානය අත්තම්වලින් මෙතරම් ඔප්නැංවීමට තැත් කර ඇත්තේ මෙය අතිපූජනීය සිද්ධස්ථානයකට කැපකර තිබුණු නිසා විය යුතුය. උඩමළුව මැද පිහිටි බෝරුක ශ්‍රී මහා බෝධියේ පැළයකින් පැන නැගුණු ශාඛාවකැයි විශ්වාස කරන්නට ඇත (පුරාවිදු පරියේසන- සෙනරත් පරණවිතාන, 192 පිට).
විශිෂ්ට කැටයම් සපිරි බෝධිඝරය
මෙම ගොඩනැඟිල්ල ඉදිකර තිබෙන්නේ මාලක දෙකකින් යුක්තව යි. සමස්ත ගොඩනැගිල්ල තනා තිබෙන්නේ පැත්තක් අඩි 34 ක් දික්වූ පාදමක් මත යි. ශෛලමය පාදමෙහි උස අඩි 4 ක්. පිටත බිත්තිය තනා තිබෙන්නේ ගල්පුවරු එකිනෙක සවිකර තැබීමෙන්.
ගොඩනැඟිල්ලට පිවිසීම සඳහා නැගෙනහිර පැත්තේ සහ බටහිර පැත්තේ දොරටු දෙකක් ඉදිකර තිබෙනවා. පිටත බිත්තියේ පහළ තීරුව වටා යන සේ ඇත් රූප කැටයම් කර තිබෙනවා. ඉහළ තීරුවේ කැටයම් කිසිවක් නැහැ.
ඇතුළත වූ මළුව සමචතුරශ්‍රාකාර ස්වරූපයක් ගන්නවා. බෝධිය රෝපණය කර තිබී ඇත්තේ ඒ මළුව මැදයි. පුරාණ බෝධිඝරයට අයත් වූ ගල්කණු කීපයක් ද හමු වී තිබෙනවා. මෙහි හමුවන අනුරාධපුර යුගයට අයත් උළු කැබලිවලින් පැහැදිලි වන්නේ මෙම ගල්කණු මත වහලක් ද නිර්මාණය කර තිබූ බව යි.
බෝධිය පිහිටි ඇතුළු මාලය ද සම්පූර්ණයෙන් ම ගල්පුවරුවලින් තමයි තනා තිබෙන්නේ. වටේට තනා ඇති ගල් වැට මත නිරූපණය කර තිබෙන්නේ සිංහ රූප පන්තියක්. සිංහයන් ඉදිරිපසට හැරී අත් බිම තබාගෙන සිටින විලාසය මෙන්ම පැත්තට හැරී ගමන් කරන ආකාරයත් නිරූපිත යි. මෙම සිංහයන් සිටින්නේ පද්ම බොරදමක් මත යි. ඊට යටින් අත්තිවාරම් ගල්පුවරු කුඩා හංසරූපවලින් අලංකාර කර තිබෙනවා.
දෙරටු මණ්ඩපය කොරවක් ගල් සහ සඳකඩ පහණ සහිත ප්‍රවේශයකින් යුක්ත යි. සඳකඩ පහණවල කැටයම් දකින්න ලැබෙන්නේ නැහැ. මකර රූප කැටයම කොරවක් ගල්වල නෙළා තිබෙනවා. දොරටු මණ්ඩපය මුදුන සමතලා වහලයක් පරිදි යටිපැත්ත ඉතා සුමට කරන ලද ගල් පුවරුවකින් ආවරණය කර තිබෙනවා.
උළුවස්සේ දාර සහ උඩඑළිපත ඉතා අලංකාර අන්දමට කැටයමින් පුරවා තිබෙනවා. එහි පිටතින් ම වූ තීරුවේ ගිනිසිළු රටාවක් නිරූපිත යි. උළුවහු කණු දෙකේ ඉහළට විහිදී යන්නේ කල්ප වෘක්ෂ කැටයම් දෙකක්.
සෙල්ලිපිය
මෙහි සංරක්ෂණය කිරීමේ දී ගල්පුවරුවක හමුවූ සෙල්ලිපි පාඨය නිසා ගොඩනැගිල්ල ගැන තිබූ ගැටලුව ලිහී එය කුමක්ද යන කරුණ පැහැදිලි වුණා. බටහිර දොරටුව අසල පිටත මණ්ඩපයේ අත්තිවාරම් ගලෙහි තමයි එම සෙල්ලිපිය කොටා තිබුණේ. සෙල්ලිපියේ අක්ෂර අනුව එය ක්‍රිස්තු වර්ෂ 8 සහ 9 වැනි සියවස්වලට අයත්. මේ නිසා බෝධිඝරය ඒ කාලයේ ඉදි කළ එකක් බව පැහැදිලි වෙනවා. ඒ අනුරාධපුර යුගයේ වඩාත් දියුණු කාලයයි. බෝධිඝරය ඉදිකර ඇත්තේ එම කාලයේ බවට පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
“මොනරගල් බුද් මි මෙ දස ඇතුන් කරවා මහබොහි පිදූ පින්හි බෙලෙන් අනුත්තර සම්මා සම්බුදු වෙම්වා”
මොනරගල බුද් වන මා දස ඇතුන් කරවා මහබෝධියට පූජා කළ පිනෙන් සම්බුදු බව ලැබෙම්වා යනු එහි තේරුමයි.
සෙල් ලිපියට ඉහළින් පිහිටි ඇත් පවුරේ වූ සෙල්මුවා ඇතුන් දසදෙනකු මොනරගල් බුද් නම් පුද්ගලයා වියදම් කරවා කැටයම් කරවූ බවයි ඉන් පැවසෙන්නේ. මෙම නටබුන් ගොඩනැගිල්ලේ ආරක්ෂාව සඳහා නාගයකු සිටි බවට ගැමියන් විශ්වාස කරනවා.
මහාචාර්ය පරණවිතාන මෙහි කැණීම් කරන කාලයේ ඔහුටත් ඒ ජන විශ්වාසය ගැන අසන්නට ලැබී ඒ ගැන තම පාලන වාර්තාවේ පවා ඇතුළත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ විසැති නාගයකු ආරක්ෂාව සැලසුවත් එය නිදන් හොරුන්ගෙන් නම් බේරී නැති බව යි. අදත් පුරාවිද්‍යා මුරකරුවන් සඳහන් කරන්නේ මෙහි විවිධ අද්භූත ස්වභාව ඇති බව යි.
වත්මන් තත්ත්වය
නැරඹීමට පැමිණෙන අයගේ පහසුව සඳහා ඒ අසල විශ්‍රාම ශාලාවක්, පානීය ජලය ලබා ගැනීමට ළිඳක් හා වැසිකිළියක් 2001 දී ඉදිකර තිබෙන්නේ කොළඹගම මියුගුණරාම රජමහා වෙහෙරේ විහාරාධිපති මදුරැස්‌සේ ශ්‍රී සීලරතන හිමියන්ගේ මූලිකත්වයෙන්. එම ඉදිකිරීම් ද නිසි නඩත්තුවක් නැතිකම නිසා කැලෑවට බිලිවී ගොස් තිබෙනවා.
අද වන විටත් මෙම ස්ථානය නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා. නිසි ආරක්ෂණ වැඩ පිළිවෙලක් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වය තමයි තිබෙන්නේ. මෙම ඉපැරණි ස්ථානය වෙත ගමන් කිරීම සඳහා ඇති මාර්ගය ද ඉතාම අබලන්.