උතුරු කොනේ පිහිටි යාපනයේ පෘතුගීසි සහ ලන්දේසි කාලයේ කතෝලික පල්ලි රාශියක් තිබුණු බව පැරණි ලේඛකයන්ගේ සටහන්වලින් පේනවා. කතෝලිකාගමට හැරුණු හින්දුවරුන්ගේ දේවස්ථානවල නටබුන් අදටත් එහි දැක ගත හැකි යි. යාපනයට යන බොහෝ කතෝලික සංචාරකයන් පවා මේවා නැරඹීමට උනන්දු වන්නේ නැහැ. අද ඒවා පාළුවට ගිහින්.
මේ නත්තල් සමයේ එසේ නටබුන් වුණු පල්ලි ගැන සොයා බැලීම සුදුසු යයි අප සිතුවා.
උතුරේ කතෝලික දහම
16 වන සහ 17 වන සියවස්වලදී, අප රටේ උතුරුකරය ඇතුළු මුහුදුබඩ ප්‍රදේශවල ජනතාව විශාල ලෙස කතෝලික ධර්මය වැලඳ ගෙන තිබෙනවා. එවකට කතෝලික දහම වැලඳ ගැනීමට හින්දු භක්තිකයන්ට ලොකු බලපෑමක් කර තිබෙනවා. කතෝලික පූජකවරුන් මෙන් ම එවක ආණ්ඩුවේ නිලධාරින් ද එසේ බලපෑම් කර තිබෙනවා. ඒ සමඟ ම උතුරේ වයඹ දෙසින් පිහිටි මන්නාරම දූපතේ සහ යාපනය අර්ධද්වීපයේ මුහුදුබඩ සිට රට අභ්‍යන්තරය දක්වා පල්ලි ජාලයක් ඉදිකිරීමත් සිදුවුණා. ඒ සඳහා යටත්විජිත ආණ්ඩුවල සහයෝගය හිමිවුණා.
වර්ෂ 1543 දී කෝට්ටේ බුවනෙකාබාහු රජු (1521-1551) පෘතුගාලයේ ලිස්බන් නුවර වෙත රාජ්‍ය නියෝජිතයන් යැවූ බව සඳහන්. ඉන් අනතුරු ව 1543 දී ෆ්‍රැන්සිස්කන් පූජකයන් කෝට්ටේ රාජධානියේ පදිංචි වී පල්ලි තනාගෙන රටේ වැසියන් ආගමට හරවා ගැනීමේ කටයුතු ආරම්භ කළා. පෘතුගීසින් යාපනය 1619 දී යටත් කරගැනීමත් සමඟ මිෂනාරි පූජකවරුන් යාපනයේ ද කතෝලික ආගම වේගයෙන් පැතිරවීමට පටන් ගත්තා. 1644 වන විට යාපනය අර්ධද්වීපයේ රෝමානු කතෝලික සභාවට අයත් පල්ලි 12 ක් තිබූ බව සඳහන්.
යාපනේ පෞරාණික කතෝලික සිහිටවන
අද වන විට පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශ කළ පැරණි පල්ලි රාශියක් යාපනය හා අවට දැකගත හැකි යි.
යාපනය නගරයේ සෙන්ට් මාටිනස් මිෂනාරි ගොඩනැඟිල්ල හා කොටුවේ පල්ලිය, චුන්ඩිකුලම්හි ශාන්ත ජෝන් බැප්ටිස්ට් පල්ලිය, නල්ලූර් ශාන්ත ජේම්ස් පල්ලිය, මනල්කාඩු ලන්දේසි පල්ලියේ නටබුන්, අච්චුවේලි ක්‍රිස්තියානි පල්ලිය හා පැරණි ලන්දේසි පල්ලිය, අච්චුවේලි පෘතුගීසි පල්ලිය, කෝපායි ශාන්ත මේරි පල්ලිය, පේදුරුතුඩුව ශාන්ත ප්‍රැන්සිස් පල්ලිය, මිරුසුවිල් ශාන්ත නිකලස් පල්ලිය, මන්ඩතිව් ශාන්ත පීතර පල්ලිය, පුන්කුඩුතිව් ක්‍රිස්තියානි පල්ලිය, මයිලඩි පෘතුගීසි පල්ලිය, වඩුක්කොඩෙයි ක්‍රිස්තියානි පල්ලිය, චංකානෙයි පැරණි ඕලන්ද පල්ලිය, කයිට්ස් ඕලන්ද පල්ලිය, කරම්පන් සෙන්ට් ඇන්තනීස් පල්ලිය හා බිෂොප් නිවස එම පුරාවිද්‍යා රක්ෂිත යි.
යාපනේ කොටුවේ පිහිටි පල්ලිය
කොටුවේ ප්‍රධාන ද්වාරය අසලයි මේ පල්ලිය පිහිටා තිබෙන්නේ. එය වර්ෂ 1706 දී ඕලන්දයන් ඉදි කළ දේවස්ථානයක්. අප රටේ පිහිටි පැරණි ම ප්‍රොතෙස්තන්ත පල්ලියක් ලෙස එය සැලකෙනවා. මෙය හඳුන්වා ඇත්තේ කෘයිස් පල්ලිය ලෙස යි. එවකට යාපනේ ඕලන්ද අණදෙන නිලධාරි ලෙස සිටි ඇඩම් වැන් ඩුයින් එයට මුල් වූ බව පැවසෙනවා. මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කර ඇත්තේ මාර්ටිනස් ලෝසේකම් නමැත්තා යි.
යාපනය, බ්‍රිතාන්‍ය හමුදා 1995 දී යටත් කරගත් පසු මෙම පල්ලිය ඔවුන්ගේ වැඳුම් පිදුම්වලට ලක් ව තිබෙනවා. ඉංග්‍රීසින් 1872 දී මෙම පල්ලිය අත්හැර දමා යාපනය නගරය මැද පිහිටි පල්ලියක ආගමික වතාවත් සිදු කර තිබෙන බව සඳහන්. හොඳ තත්ත්වයේ පැවති මෙම ගොඩනැඟිල්ල සහ යාපනේ කොටුවත් කොටි සංවිධානය සමඟ රජයේ හමුදා සිදුකළ සටන්වල දී වෙඩි ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාර නිසා බොහෝදුරට නටබුන් වුණා. මෙය ග්‍රීක කුරුසයක හැඩයට ඉදි කළ පල්ලියක් වන අතර බැතිමතුන් 600කට ඉඩපහසුකම් සැලසීමට සමත් ගොඩනැඟිල්ලක්.
මයිලඩි පල්ලිය
මෙය පිහිටා තිබෙන්නේ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලඩ්ඩිතුරෛයි දකුණ ග්‍රාම නිලධාරි වසමෙ යි. 2013. 08. 16 දින මෙම පල්ලිය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා. මෙය දේව දූතයන්ගේ දේවස්ථානය ලෙස සැලකුණා. ලන්දේසි ජාතික පිලිප්පස් බෝල්ඩියස් පියනම මයිලඩි පල්ලිය පිළිබඳ ව 1672දී මෙසේ සඳහන් කර තිබෙනවා:
‘‘මයිලඩි පල්ලිය තෙලිප්පලෙයි සිට පැයකුත් කාලක දුරින් පිහිටා තිබේ. තනිව ම සියල්ල ම උගන්වන එක් ගුරුවරයෙක් එහි සිටී. තෙලිප්පලෙයි ගුරුවරුන් දෙදෙනාට වඩා මෙහි ගුරුවරයාට වැඩ තිබේ. පල්ලියේ සාමාජිකයන් සංඛ්‍යාව 1500ක් හෝ 1600කි. පල්ලිය විශාල ය. හොද හිරිගලින් සාදා ඇත. එයට අයත් නිවස ඉතා උස ය. එහි මුදුනේ බැල්කනියකි. පල්ලියට මුහුදු වෙරළේ සිට සැතපුම් බාගයකට වඩා දුර නැත (බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය, පරි. බී.එන්. ආර්. ජයසේන, 435 පිට)
මයිලඩි යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ ධීවර ගම්මානයක්. මෙය ධීවර බෝට්ටු සඳහා වෙන් වූ වරායක් පිහිටා තිබෙනවා. මෙම පල්ලිය නටබුන් වී තිබුණ ද 1970 දශකයේ දී නැවත ගොඩ නඟා තිබෙනවා. කොටින් රජයේ හමුදා සමඟ යුද්ධ කළ 30 වසරක කාලය තුළ දී එය නැවත විනාශ වී ගොස් තිබෙනවා. කොටින් 2009 දී පරාජය කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා යුද හමුදාව 2010 දී වන වැදී තිබූ පල්ලිය පවිත්‍ර කළ අතර පසුව 2000 කට අධික පිරිසක් සහභාගී වෙමින් දිව්‍ය පුජාවක් පවත්වා තිබෙනවා. මෙහි පැරණි ස්වරූපය දැක්වෙන චිත්‍රයක් ද බැල්ඩියස්ගේ කෘතියේ දැකගත හැකි යි.
මනල්කාඩු ලන්දේසි පල්ලිය
පේදුරුතුඩුවේ සිට කිලෝ මීටර් 12ක් දුරින් පිහිටි මුහුදුබඩ පිහිටි මනල්කාඩු වැලිපරවලින් පිරුණු පෙදෙසක්. ධීවර ගම්මානයක් වන මෙහි බිඳීගිය පෞරාණික ලන්දේසි පල්ලියක නටබුන් දැක ගත හැකි යි. ඒ අසල ම වර්තමානයේ තැනූ සෙන්ට් ඇන්තනීස් පල්ලියත් පිහිටා තිබෙනවා.
පැරණි පල්ලියේ අද දැකගත හැක්කේ විශාල බිත්ති පමණ යි. ආයත චතුරස්‍රාකාර පල්ලි ගොඩනැගිල්ල දිගින් මීටර 29.80ක් ද පළලින් මීටර 7ක් ද වෙනවා. බිත්ති සෙන්ටි මීටර 60ක් ඝනකමින් යුක්ත යි. කොරල් ගල්, ගඩොල් සහ උළු කැබලි භාවිතයෙන් බිත්ති තනා තිබෙන අතර බිත්තිවල පියස්ස යාවන ස්ථානය ලීස්තරවලින් අලංකාර කර තිබෙනවා.
ආරුක්කු හැඩැති ජනෙල් සහ උළුවහු එක් පසෙකට 6ක් බැගින් 12ක් තිබෙනවා. දේවස්ථානයේ ඉදිරිපස කොටසේ බිත්ති තරමක් හොඳින් පවතිනවා. පූජාසන කුටියේ බිත්ති අලංකාර බොරදම්වලින් යුක්ත යි. වැලි සහිත බිමක පිහිටි අලංකාර පල්ලියක් ලෙස මනල්කාඩු ලන්දේසි පල්ලිය හැඳින්විය හැකි යි.
චන්කානෙයි පෘතුගීසි පල්ලියේ නටබුන්
මෙය පෘතුගීසින් 1630 දී ඉදි කළ දේවස්ථානයක්. යාපනයේ මානිපායි මාර්ගයේ සංගිලියන්පායි හන්දියෙන් වමට හැරුණු විගස ම සංගිලිපායි හන්දිය අසල එය පිහිටා තිබෙනවා. වර්ෂ 1658 දී ඕලන්ද ජාතිකයන් මෙය අලුත්වැඩියා කළ බව සඳහන්. අද දකින්නට ලැබෙන්නේ පියස්ස සම්පුර්ණයෙන් විනාශ වී ගිය බිත්ති පමණ යි. එය හෝලි ට්‍රිනිටි පල්ලිය ලෙසයි හඳුන්වා ඇත්තේ.
ගොඩනැඟිල්ල දිගින් අඩි 110 අඟල් 6ක් ද, පළලින් අඩි 31 අඟල් 8ක් ද වෙනවා. කොරල් ගල් සහ හුණුගල් එකතු කර තැනූ බිත්තියක ඝනකම අඩි 4 අඟල් 2ක්. නටබුන් අනුව පෙනෙන්නේ මෙය එකල ඉතා අලංකාර දේවස්ථානයක් ව පවතින්නට ඇති බව යි. මෙය 2007 .02 .23 වැනි දා පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
කෝපායි පැරණි පල්ලිය
කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අච්චුවේලි උතුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටා තිබෙන දේවස්ථානයක්. මෙය අදටත් හොඳ තත්ත්වයේ ක්‍රියාත්මක ව පවතිනවා. මෙම පල්ලිය 2011.12. 30 වැනි දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කෙරුණා.
මෙහි ඉදිරිපස කොටස් හොඳින් පැවතුණ ද පිටුපස ගොඩනැඟිලිවල නුග ආදී ගස්වල මුල් යාම නිසා ගරාවැටෙමින් පවතිනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි වැවී ඇති වල් පැල සහ ශාක ඉවත් කීරිමේ රසායන සංරක්ෂණ වැඩසටහනක් සිදු කළා. මේ සඳහා පුරාවිද්‍යා රසායන සංරක්ෂණ අංශයේ සහාය ලැබී තිබුණා.