Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බණ්ඩාරනායකවරුන්ගේ මුල් නිවහන: පැරැණි හොරගොල්ල වලව්ව

යටත් විජිත යුගය අවසන් වී නිදහස ලබා ගැනීමත් සමඟ මෙරට බොහොමයක් වලව් සහ ප්‍රභූ පවුල් කෙරෙහි ජනතාව තුළ තිබූ ගෞරව සම්ප්‍රයුක්ත බව ක්‍රම ක්‍රමයෙන් වියැකී යන්නට වූ අතර බොහොමයක් වලව් නඩත්තු කිරීමට ඒවායේ හිමිකරුවන්ට නොහැකි වූ නිසා සංචාරක හෝටල් වැනි ආයතන ඇති කිරීම සඳහා විදේශිකයින්ට සහ විවිධ සමාගම්වලට ඒවා විකුණා දැමූ බව ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ වෙතත් යටත් විජිත යුගයෙන් පසුව ද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ කිහිප දෙනකුට ම සෙවණ දුන් නිට්ටඹුව පිහිටි හොරගොල්ල වලව්ව පිළිබඳ ව ඔබ අසා ඇති. මෙරට අග්‍රාමාත්‍ය ධූරය දැරූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සහ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, මෙරට දෙවරක් ම විධායක ජනාධිපතිධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ විපක්ෂ නායක සහ කතානායක වැනි තනතුරු දැරූ අනුර බණ්ඩාරනායක වැනි අයට සෙවණ දුන් හොරගොල්ල වලව්ව අද ද ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වේ.

අශ්වයන් රඳවා තැබූ ඉස්තාලය

අප සාමාන්‍යයෙන් හොරගොල්ල වලව්ව යනුවෙන් හඳුන්වන්නේ 19 වැනි සියවසේ අගභාගයේදී පමණ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමන් (බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ පියා) ඉදි කරවූ වලව්ව වන නමුත් ඊට පෙර එම භූමියේ ම ඔහුගේ මුත්තණුවන් විසින් ඉදි කරවූ වලව්ව ද අතීතයේ හැඳින්වූයේ හොරගොල්ල වලව්ව යන නමිනි. එම වලව්ව පසුකාලීන ව සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමන්, වලව්වට අයත් අශ්වයන් රඳවා තැබූ ඉස්තාලය බවට පත් කර තිබිණි. පසුව මෙරට විසු කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෙෆ්රි බාවා නවීකරණය කළ එය වර්තමානයේ දී බණ්ඩාරනායක-සිරිමාවෝ යුවළගේ වැඩිමහල් දියණිය වන සුනේත්‍රා බණ්ඩාරනායකගේ නිවස වේ.

පැරැණි හොරගොල්ල වලව්ව – Facebook- Traveler

වලව්වේ ආරම්භය

සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමන් 19 වැනි සියවසේ අගභාගයේදී ඉදි කරවූ වර්තමාන හොරගොල්ල වලව්ව ආසන්නයේ ම පිහිටා ඇති පැරැණි හොරගොල්ල වලව්වේ ඉතිහාසය 18 වැනි සියවසේ අගභාගය සහ 19 වැනි සියවසේ මුල්භාගය දක්වා දිව යයි. සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමන්ගේ සීයා වූ දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක එවකට සියනෑ කෝරලයේ මුදලිවරයා ලෙස කටයුතු කළ අතර පසුකාලීන ව බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ඉදි කිරීමේදී ඊට අවශ්‍ය ගල් සහ බොරළු වැනි දේ සපයා ඇත්තේ ද ඔහු ය.

මේ ආකාරයෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ඉදිකිරීමේ කටයුතු සඳහා අවශ්‍ය දෑ සැපයීමෙන් සැලකිය යුතු ධනයක් උපයාගත් දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක නව නිවසක් ඉදි කිරීමට සිතූ අතර ඒ අනුව එය ඉදිකිරීම සඳහා නිට්ටඹුවට නුදුරු හොරගොල්ල ප්‍රදේශයේ පිහිටි භූමියක් තෝරාගෙන තිබේ. එලෙස ඔහු ඉදි කරවූ නිවස මෙම පැරැණි හොරගොල්ල වලව්ව වන අතර එහි වැඩ අවසන් වූ කාල වකවානුවක් පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොමැති වුවත්, ආසන්න වශයෙන් වර්ෂ 1820 වන විට මෙම නිවසේ වැඩ කටයුතු අවසන් කළ බව මුලාශ්‍රයන්හි සඳහන් වේ.

වලව්වේ විවෘත ආලින්දයක් – Facebook- Traveler

වලව්ව සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමන්ට හිමි වීම

ඒ අනුව ආසන්න වශයෙන් 1820 වසරේදී පමණ ඉදිකිරීම් අවසන් කළා යැයි සිතිය හැකි මෙම හොරගොල්ල වලව්ව දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායකගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වූ දොන් ක්‍රිස්ටෝපර් හෙන්රිකස් ඩයස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න බණ්ඩාරනායකට හිමි වූ අතර ඔහුගෙන් පසුව වලව්ව හිමි වූයේ ඔහුගේ පුත්‍රයා වූ මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායකට යි.

මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක

1862 වසරේ මැයි මස 22 වැනි දින සොලමන් ඩයස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න රාජකුමාරුණ (රාජකුමාරුණ යනු පසුකාලීනව ලැබුණු ගෞරව නාමයකි) කඩුකේරළු බණ්ඩාරනායක නමින් උපත ලැබූ සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ මව්පියන් වූයේ ක්‍රිස්ටෝපර් හෙන්රිකස් ඩයස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න බණ්ඩාරනායක සහ ඇනා ෆ්ලොරන්ටිනා ෆිලිප්ස් ය. සොලමන් ඩයස් බණ්ඩාරනායක කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය.

මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක – Facebook- Beyond the Yellow Press

වයස අවුරුදු 20 දී පමණ, එනම් 1882 වසරේදී මුහන්දිරම් තනතුරකට පත් වූ සොලමන් ඩයස් බණ්ඩාරනායක 1887 වසරේදී  සිය පියාගේ අභාවයෙන් පසුව පියා දැරූ නැගෙනහිර සියනෑ කෝරලයේ මුදලි තනතුරට පත් විය. මේ අතර 1895 වසරේදී එවකට මහමුදලි තනතුර දැරූ ඔහුගේ ඥාතිවරයකු ද වූ කොන්රඩ් පීටර් ඩයස් බණ්ඩාරනායකගේ අභාවයෙන් පසුව එවකට මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් ආතර් හැව්ලොක්, සොලමන් ඩයස් බණ්ඩාරනායකට ‘මහමුදලි’ තනතුර ලබා දී ඇත. එවකට බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලාංකිකයකුට ලබා ගත හැකි වූ ඉහළ ම තනතුර මහමුදලි තනතුර වූ අතර සොලමන් ඩයස් බණ්ඩාරනායක 1896 වසරේදී මහා බ්‍රිතාන්‍යයේ එවකට කිරුළ දැරූ වික්ටෝරියා අධිරාජිණියගේ දියමන්ති ජුබිලිය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.

1898 වසරේ අප්‍රේල් මස ගාල්ල ඔබේසේකර වලව්වේ සොලමන් ක්‍රිස්ටෝපර් ඔබ්සේකරගේ දියණිය වූ ඩේසි ඇසිලින් ඔබේසේකර සමඟ විවාහ වන සොලමන් ඩයස් බණ්ඩාරනායකට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (දිවංගත අග්‍රාමාත්‍ය) නමින් පුතෙක් සහ දියණියන් දෙදෙනකු විය.

මෙරට මහමුදලි තනතුරට පත් වූ ළා බාලත ම පුද්ගලයා සොලමන් ඩයස් බණ්ඩාරනායක වූ අතර 1928 වසරේ දී එම තනතුරෙන් විශ්‍රාම ගන්නා තෙක් වසර 33ක කාලයක් ඔහු මහමුදලි ලෙස කටයුතු කළේ ය. මේ අතර එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සොලමන් ඩයස් බණ්ඩාරනායකට සාම විනිසුරු පදවියක් ද ලබා දී ඇත. ඔහුගේ නමට ‘රාජකුමාරුණ’ එනම්, ‘රාජකීය කුමරා’ යන්න භාවිත කිරීම සඳහා ද අවසරය හිමි විය. ‘Companion of the Order of St. Michael and St. George (CMG) යන ගෞරව නාමය ද බ්‍රිතාන්‍යය ඔහුට ලබා දුන් අතර පසු ව බ්‍රිතාන්‍ය රැජන  ඔහුට නයිට් පදවියක් ලබාදී ඇත. එතැන් පටන් සර්. සොලමන් ඩයස් බණ්ඩාරනායක යනුවෙන් හැඳින් වූ ඔහු රාජකීය ආසියාතික සංගමයේ යාවජීව සාමාජිකයකු ද විය.

නව හොරගොල්ල වලව්ව – Roar-සිංහල

හොරගොල්ල වලව්ව අශ්ව ඉස්තාලය බවට පත් වීම

අශ්වයන් ඇති කිරීමට ඉතා ප්‍රිය කළ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමන් සතු ව ඉතා වටිනා අශ්වයන් ගණනාවක් සිටි අතර ඔහු 19 වැනි සියවසේ අගභාගයේදී පමණ නව හොරගොල්ල වලව්ව ඉදිකිරීමෙන් පසුව සිය සීයා, එනම් දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක  ඉදි කළ වලව්ව අශ්ව ඉස්තාලය බවට පත් කරන ඇත. කෙසේ වෙතත් 1946 වසරේ ජුලි මස සොලමන් ඩයස් බණ්ඩාරනයක මහමුදලිතුමන් අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව එම අශ්ව ඉස්තාලය අත්හැර දමා තිබිණි.

ප්‍රතිසංස්කරණය කිරීම

දීර්ඝ කාලයක් තිස්සේ අත්හැර දැමීම හේතුවෙන් තරමක් අබලන් තත්ත්වයකට පත් ව තිබූ හොරගොල්ල පැරැණි වලව්ව 1980 දශකයේ දී පමණ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමන්ගේ මිණිබිරියක වූ සුනේත්‍රා බණ්ඩාරනායකගේ නිවහන බවට පත් වන අතර ඊට පෙර ඇයගේ ආරාධනයකට අනුව එම නිවස නැවත යම් යම් වෙනස්කම් සිදු කර වර්තමානයේ පවතින තත්ත්වයට පත් කරන්නේ මෙරට සිටි සුවිශිෂ්ට ගණයේ ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෙෆ්රි බාවා වීම විශේෂත්වයකි.

ජෙෆ්රි බාවා – Geoffrey Bawa Trust

ජෙෆ්රි බාවාගේ මිතුරියක වූ සුනේත්‍රා බණ්ඩාරනායක ඔහු කළ නිර්මාණ දැකීමෙන් පසුව හොරගොල්ලේ පිහිටි එවකට අබලන් තත්ත්වයක පැවති අශ්ව ඉස්තාලය අලුත්වැඩියා කර සිය නිවස බවට පත්කර ගැනීමට සිතන්නී ය. ඒ අනුව සුනේත්‍රා බණ්ඩාරනායකගේ ආරාධනයෙන් මෙම ස්ථානය නැරඹීමට එන ජෙෆ්රි බාවා මුලින්ම එයට තරමක් අදිමදි කළත් පසුව මෙම නිවස වර්තමානයේ පවතින අයුරින් සකස් කිරීමට කැමැත්ත පළ කර ඇත.

වලව්වේ සොල්දරය – Facebook- Traveler

ඒ සඳහා ඉන්දියානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පියකුගේ ද සහාය ලබාගත් බව කියැවේ. මේ කාලය ඇතුළත සුනේත්‍රා බණ්ඩාරනායක මෙම නිවස වටා හොර, කොට්ටන් සහ කොහොඹ වැනි ශාක ද රෝපණය කර, නිවසේ අලංකාරය සඳහා ඉපැරණි කෞතුක භාණ්ඩ වැනි දේ ද එක්රැස් කර තිබිණි.

වලව්වේ වත්මන් තත්ත්වය – Facebook- Traveler

වලව්වේ ස්වභාවය සහ වර්තමාන තත්ත්වය

ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ලක්ෂණවලින් හෙබි පැරැණි හොරගොල්ල වලව්ව තනි මහල් නිවසක් වුවත් එහි ඇතුළත දැවයෙන් තැනූ සොල්දරයක් දැකගත හැකි ය. සිංහල උළු සෙවිලි කර ඇති නිවසේ එක් පසෙක ආලින්දයකුත්, ඒ දෙපසින් ඉදිරියට නෙරා ආ කාමර දෙකකුත් දැකගත හැකියි. දොර ජනෙල් බොහෝ ප්‍රමාණයක් දැවයෙන් තනා තිබේ.

නිවස තුළ විවිධ ප්‍රතිමා වැනි කලා නිර්මාණ සහ කෞතුක භාණ්ඩ රැසක් ද දැකගත හැකි අතර පැරැණි පන්නයට තවමත් පවත්වාගෙන යන මුළුතැන්ගෙයක් ද ඒ තුළ වේ.

වලව්වේ මුළුතැන්ගෙය – Facebook- Pioosa Leisure

පැරැණි නිවසට අළලා අලුතින් කොටසක් ද බාවා එකතු කර තිබෙන අතර එය ගොඩනැගිල්ලේ පෞරාණික බවට කිසිම හානියක් නොවන පරිදි ඉදිකරතිබීම විශේෂ ය.

හැකි තරම් පරිසරයට විවෘත වන පරිදි මෙම නිවස සැලසුම් කර තිබේ. ඉතාමත් අඩු ගෘහ භාණ්ඩ ප්‍රමාණයක් එහි අභිමානයට හානි නොවන පරිදි භාවිත කර ඇත.

වලව්ව ඇතුළත – Facebook- Traveler

 

1980 දශකයේ අගභාගයේදී පමණ මෙම නිවසේ පදිංචියට පැමිණි බණ්ඩාරනායක-සිරිමාවෝ යුවළගේ වැඩිමහල් දියණිය සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සහෝදරිය වූ, ප්‍රකට සමාජ සේවිකාවක් වන සුනේත්‍රා බණ්ඩාරනායක මේ වන විට මෙම නිවසේ වාසය කරයි.

ජෙෆ්රි බාවා මෙම නිවස සකස් කළ ආකාරයට ම එය පවත්වාගෙන යාම පිළිබඳ ව ඇය කෙතරම් උනන්දු වන්නේ ද යත් වර්තමානයේදී පවා නිවස තුළ තබා ඇති ප්‍රතිමා ආදිය තබා ඇත්තේ ජෙෆ්රි බාවා ඒවා මුලින් ම තැබූ ලද ස්ථානවල ම බව කියැවේ.

සුනේත්‍රා බණ්ඩාරනායක  – Facebook- Beyond the Yellow Press

 

කවරයේ ඡායාරූපය- පැරැණි හොරගොල්ල වලව්වේ එක් පසෙක ඡායාරූපයක් - Facebook- Pioosa Leisure

මූලාශ්‍ර:

දේශපාලකයන් බොහෝ බිහි කළ හොරගොල්ල වලව්ව -Roar.lk

www.bandaranaikefamily.org 

www.sundayobserver.lk 

Facebook- Beyond the Yellow Press Facebook-

Chandrika Bandaranaike Kumaratunga

Related Articles