Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පළමු ලෝක යුද්ධයේ ජර්මන් නාවික වීරයා: වයිස් අද්මිරාල් ෆොන් ස්පී

පළමු ලෝක යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට ජර්මනිය විසින් පාලනය කෙරුණ චීනයේ චිංඩාඕ මූලස්ථානය කරගත් ජර්මන් නැගෙනහිර ආසියාතික නාවික බල ඇණියෙහි අණදෙන නිලධාරියා වූයේ වයිස් අද්මිරාල් මැක්සිමිලියන් ෆොන් ස්පී නම් ජර්මන් නාවික නිලධාරියා යි. චීනය ආශ්‍රිත ව රැඳී නොසිට පැසිෆික් සාගරය හරහා ගමන් කර ජර්මනියට ළඟා වීම සඳහා උත්සාහ කිරීමටත්, ඒ අතරවාරයේ දී හැකි පමණ සතුරාට හානි සිදුකිරීමටත් ෆොන් ස්පී තීරණය කළා.

මීළඟ මාස කිහිපය තුළ ෆොන් ස්පීගේ සේනාංකය මිත්‍ර රටවලට හිසරදයක් බවට පත් වුණා.

පළපුරුදු නිලධාරියෙක්

මැක්සිමිලියන් යොහැන්නස් මාරියා හියුබර්ට් රයික්ස්ග්‍රාෆ් ෆොන් ස්පී උපන්නේ 1861 ජූනි 22 වන දා යි. ඔහුගේ පවුලට රයින්ලන්තයේ ඉඩකඩම් තිබුණා. ෆොන් ස්පී 1878 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ජර්මන් නාවික හමුදාවට බැඳුණා.

1882 දී ෆොන් ස්පී දෙවන ලුතිනන් තනතුරට පත් වුණා. 1884 සිට ඔහු කලක් අප්‍රිකාවේ සේවය කළා. 1887 දී ඔහු චීනයේ සේවයට ගියේ SMS ඩොයිෂ්ලන්ඩ් නෞකාවේ නැවියෙකු ලෙස යි. බොක්සර් කැරැල්ලෙන් පසු ඔහු ජර්මනියේ සේවයට පැමිණි අතර කපිතාන් තනතුරට උසස් කෙරුණා.

ෆොන් ස්පී 1910 දී රියර් අද්මිරාල් තනතුරට උසස් කරනු ලැබුණා. 1912 දී නැගෙනහිර ආසියාතික බල ඇණියෙහි අණදෙන නිලධාරියා ලෙස පත් වූ ඔහු, 1913 දී වයිස් අද්මිරාල් ලෙස උසස් කෙරුණා.

තනි ව සටන් කිරීම

1914 අගෝස්තුවේ ජර්මනිය යුද්ධයට අවතීර්ණ වූ පසු ෆොන් ස්පී තේරුම් ගත්තේ තමන් සිටි තත්ත්වය ඉතා අවාසිදායක බව යි. මේ අවස්ථාව වන විට ඔහුගේ සේනාංකය රැඳී සිටියේ මරියානා දූපත් ආශ්‍රිත ව යි. චිංඩාඕ වෙත යන මාර්ගය බ්‍රිතාන්‍ය සහ ජපන් සේනා විසින් අහුරා තිබුණ හෙයින් පැසිෆික් සාගර ප්‍රදේශයේ මිත්‍ර සේනාංකවලට පහර දීමට ඔහු තීරණය කළා. තම නැව්වලට අවශ්‍ය ගල් අඟුරු සහ ආහාර ද ඔහු විසින් සපයා ගත යුතු වුණා.

ෆොන් ස්පීගේ ප්‍රධාන නෞකාව වූ SMS ෂාන්හෝර්ස්ට් (Public Domain)

මෙම අභියෝගය ෆොන් ස්පී බාරගත්තේ එහි වූ බරපතලකම දැනගෙන යි. දකුණු ඇමෙරිකාවේ බටහිරදිග වෙරළ ප්‍රදේශය කරා යා යුතු දුර නාවික සැතපුම් 13,000ක් පමණ වුණා.

සැමෝවා හරහා ප්‍රංශ පොලිනීසියාවේ තහිති වෙත පැමිණි ස්පීගේ සේනාංකය එහි වූ ප්‍රංශ නැව් දෙකක් ගිල්වා නගරයට ද හානි සිදු කළා​. ඉන්පසු ව ඔහුගේ සේනාංකය චිලී රාජ්‍යයට අයත් පාස්කු දිවයින දෙසට ගමන් කළා. එහි දී ලයිප්සිග් සහ ඩ්‍රෙස්ඩන් නෞකා ද ප්‍රධාන සේනාංකයට එකතු වුණා.

ෆොන් ස්පී සිය සේනාංකය චිලී දේශය දෙසට යොමු කළා. ඔහුගේ බලාපොරොත්තුව වූයේ මධ්‍යස්ථ චිලී දේශයේ දී තමන්ට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම යි.

මෙහි දී ස්පීට රාජකීය නාවික හමුදාවේ රියර් අද්මිරාල් ක්‍රිස්ටෝපර් ක්‍රැඩොක් විසින් මෙහෙයවන ලද බල ඇණිය හමුවුණා. ඔවුන් අතර කොරොනෙල් සටන නමින් නම් කරන ලද සටනක් සිදු වූ අතර ක්‍රැඩොක්ගේ බල ඇණියේ වූ ගුඩ් හෝප් සහ මොන්මත් නෞකා ගිලාබත් වුණේ එවායේ සිටි 1600ක් පිරිස සමගින්. ජර්මන් සේනාංකයට වූ හානිය වූයේ නැවියන් තිදෙනෙකු තුවාල ලැබීම යි.

රියර් අද්මිරාල් ක්‍රිස්ටෝපර් ක්‍රැඩොක් (Public Domain)

කොරොනෙල් සටන විසින් ෆොන් ස්පී ජර්මනියේ වීරයෙකු බවට පත් කළා. මෙය බ්‍රිතාන්‍ය නාවික සේනාංකයක් අවුරුදු 100කට පමණ පසු ව ලැබූ පළමු පරාජය ලෙස ද ඉතිහාසයට එක් වුණා.

නමුත් කොරොනෙල් සටනේ දී ස්පීට එක් අවාසියක් සිදු ව තිබුණා. එනම්, සිය උණ්ඩ ප්‍රමාණයෙන් අඩක් පමණ අවසන් වීම යි. තුවක්කු සඳහා උණ්ඩ ලබාගැනීම ආහාරපාන සහ ගල් අඟුරු ලබාගැනීම තරම් පහසු කාර්යයක් වූයේ නැහැ.

රාජකීය නාවික හමුදාව මෙම පරාජයෙන් බලවත් සේ අපකීර්තියට මෙන්ම කෝපයට ද පත් වුණා. ෆොන් ස්පීගේ සේනාංකය විනාශ කිරීමේ වගකීම වයිස් අද්මිරාල් ඩව්ටන් ස්ටර්ඩි වෙත පවරනු ලැබුණා. ඔහුගේ සේනාංකයට HMS ඉන්වින්සිබ්ල් සහ HMS ඉන්ෆ්ලෙක්සිබ්ල් යන බැට්ල් කෲසර් වර්ගයේ නෞකා දෙක අයත් වුණා.

ෆෝක්ලන්ත සටන

චිලී දේශයට පැමිණි ෆොන් ස්පී තමන්ට අවශ්‍ය ගල් අඟුරු සහ ආහාරපාන ලබාගත්තා. ඉන්පසු ඔහු අත්ලාන්තික් සාගරය වෙත ගමන් කිරීමට තීරණය කළා. නමුත් කේප් හෝර්න් හරහා ගමන් කරද්දී නාවුක සේනාංකය කුණාටුවකට හසු වූ අතර ඔවුනගේ ගල් අඟුරු ගබඩාවෙන් කොටසක් හිස් කරන්නට ඒ අනුව ඔවුන් කටයුතු කළා.

ෆොන් ස්පීගේ සේනාව චිලී රාජ්‍යයේ වැල්පරයිසෝවෙන් නික්මෙයි (Public Domain)

මේ හේතුවෙන් ෆොන් ස්පී තීරණය කළේ ෆෝක්ලන්ත දූපත් වෙත පැමිණ එහි ආණ්ඩුකාරයා අල්ලාගෙන ගල් අඟුරු ද සපයා ගැනීමට යි.

ෆොන් ස්පී ෆෝක්ලන්ත දූපත් කරා පැමිණියේ දෙසැම්බර් 8 වන දා යි. නමුත් ඊට දිනකට පෙර බ්‍රිතාන්‍ය නාවික සේනාංකය එහි අවුත් තිබුණා. ෆොන් ස්පීගේ නෞකා නිරීක්ෂණය කළ බ්‍රිතාන්‍යයන් සටනට සූදානම් වුණා.

බලාපොරොත්තු විරහිත ලෙස බ්‍රිතාන්‍ය බල ඇණිය මතු වීමෙන් පුදුමයට පත් වූ ෆොන් ස්පී පලා යාමට උත්සාහ කළා. ඔහුගේ නෞකාවලට වඩා වේගවත් බ්‍රිතාන්‍ය නෞකාවලින් ගැලවීමක් වූයේ නැහැ. ඩ්‍රෙස්ඩන් නෞකාව හැරුණු විට​, ජර්මන් බල ඇණියේ ප්‍රධාන නෞකාව වූ ෂාන්හෝර්ස්ට් ඇතුළු ව අනෙක් සියලුම නෞකා විනාශ කෙරුණා. ෆොන් ස්පී මෙන්ම ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු ව 2200ක් දෙනා මෙහි දී මිය ගියා.

මීට මාස කිහිපයකට පසු, 1915 මාර්තු 14 වන දා, ඩ්‍රෙස්ඩෙන් නෞකාව ද ගිල්වා දමනු ලැබුණා. ඒ රොබින්සන් කෲසෝ දූපත අසල දී.

වයිස් අද්මිරාල් ෆොන් ස්පී ජර්මනියේ වීරයෙකු බවට පත් වුණා. ඔහුගේ නමින් පසු කාලයක යුධ නැව් කිහිපයක් ම නම් කරනු ලැබුණ අතර, ඇතැම් නගරවල ඔහුගේ නමින් මාර්ග ද නම් කෙරුණා.

 

කවරයේ පින්තූරය: වයිස් අද්මිරාල් ෆොන් ස්පී (Die Welt)

Related Articles