Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මාතර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ආසන 7කින් සමන්විත මාතර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත් වුණේ අතීතයේ සිටම යි. එම නිසාම 1982 ජනාධිපතිවරණයෙන් පසුව පැවති ජනාධිපතිවරණ 6 දී ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයාට මාතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැහැ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලෙන් ජනාධිපතිවරුන් තේරී පත් වූ 1994, 2005, සහ 2010 ජනාධිපතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා මාතර දිස්ත්‍රික්කය තුළ දී 60%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා තිබීමත් සුවිශේෂී සිදුවීමක්. 

මාතර දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1959 දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව මාතර දිස්ත්‍රික්කය ආසන 7කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) දෙනියාය ආසනය

2) හක්මන ආසනය

3) අකුරැස්ස ආසනය

4) කඹුරුපිටිය ආසනය

5) දෙවිනුවර ආසනය 

6) මාතර ආසනය 

7) වැලිගම ආසනය 

දෙනියාය ආසනය 

1931 වසරේ දී මොරවක නමින් පැවතුණු ආසනයෙන් කොටසක් කැඩී, 1947 දී දෙනියාය නම් නව ආසනය නිර්මාණය වුණා. 1947-1977 කාල සමයේ පැවති මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක වුණු දෙනියාය ආසනය 1982 ජනාධිපතිවරණයේ දීත් ජයග්‍රහණය කළේ, එක්සත් ජාතික පක්ෂය යි. නමුත්, ඉන් අනතුරුව පැවති ජනාධිපතිවරණ 6දී ම දෙනියාය ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. 

හක්මන ආසනය

1947 දී මොරවක ආසනයෙන් කොටසක් කැඩී හක්මන ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන හක්මන ආසනය මේ දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ 7දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ; 2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ 70.66%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන හක්මන ආසනය ජයග්‍රහණය කිරීම යි.

අකුරැස්ස ආසනය 

1947 වසරේ දී වැලිගම ආසනයෙන් කොටසක් වෙන් වී අකුරැස්ස ආසනය නිර්මාණය වුණා. 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී මෙම ආසනය ජයග්‍රහණය කළේ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත්, ඉන් අනතුරුව පැවති සියලුම ජනාධිපතිවරණවල දී අකුරැස්ස ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

අකුරැස්ස ආසනයේ සිටි ප්‍රබල දේශපාලන චරිතය එස්. ඒ. වික්‍රමසිංහ (Roar සිංහල)

කඹුරුපිටිය ආසනය 

1959 දී හක්මන ආසනයෙන් කොටසක් කැඩී කඹුරුපිටිය ආසනය නිර්මාණය වුණා. හක්මන ආසනය මෙන්ම කඹුරුපිටිය ආසනයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වනවා. එම නිසාම මේ දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ 7දී ම කඹුරුපිටිය ආසනය ජයග්‍රහණය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ 2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් පක්ෂයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ 70.04%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් මෙම ආසනය ජයග්‍රහණය කර තිබීම යි.

දෙවිනුවර ආසනය 

1959 දී මාතර ආසනයෙන් කොටසක් වෙන් වී දෙවිනුවර ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 

ප්‍රමුඛ පිලට වාසිදායක වන මෙම ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී පමණ යි.

දෙවිනුවර ආසනය නියෝජනය කළ රොනී ද මෙල් (Ft.lk)

මාතර ආසනය 

1931 වසරේ සිටම පැවති මාතර ආසනය 1988-2010 දක්වා පැවති සියලුම ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත්, අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මාතර ආසනය ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

වැලිගම ආසනය 

1947 වසරේ සිටම පැවති වැලිගම ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වනවා. එම නිසාම 1988 වසරේ සිට පැවති ජනාධිපතිවරණ 6දී ම වැලිගම ආසනය ජයග්‍රහණය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

ජනාධිපතිවරණවල දී මාතර දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

මාතර දිස්ත්‍රික්කයට අයත් වන ආසන 7ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වනවා. එම නිසාම 1988-2015 කාල සීමාව තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 6ක දී ම මාතර ආසනය ජයග්‍රහණය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එහි දී ජේ. ආර්. ජයවර්ධන හක්මන සහ කඹුරුපිටිය හැර අනිකුත් සියලුම ආසන ජයග්‍රහණය කළ නිසා ඔහු දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ, වැඩි ඡන්ද 20,138ක් ලබා ගනිමින්.

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 164,725 (49.32%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 144,587 (43.29%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. රට පුරාම භීෂණකාරී වටපිටාවක් නිර්මාණය වී තිබුණු අවස්ථාවක පැවති එම ජනාධිපතිවරණයේ දී, මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 23.84%ක් ලෙස සටහන් වුණා. එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු හක්මන ආසනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 4.45% වන විට, කඹුරුපිටියේ ප්‍රතිශතය 7.45%ක් බවට පත්ව තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ පැවති ජනාධිපතිවරණයේ දී අකුරැස්ස සහ දෙවිනුවර හැර අනෙකුත් සියලුම ආසන ජයග්‍රහණය කළ සිරිමාවෝ බණ්ඩාරනායක, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 12,025ක් ලබා ගනිමින්.

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 57,424 (54.30%)

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 45,399 (42.93%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ, ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක මාතර දිස්ත්‍රික්කයේ ආසන 7ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 109,641ක් ලබා ගනිමින්. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 227,865 (64.70%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 118,224 (33.60%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ, රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මාතර දිස්ත්‍රික්කයේ ආසන 7ම පහසුවෙන් ජයග්‍රහණය කළා. නමුත්, එවර ඇය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 54.32% දක්වා අඩු වී තිබුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 205,685 (54.32%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 139,677 (36.89%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ, රනිල් වික්‍රමසිංහ යි. එවර මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් ලැබුණු වැඩි ඡන්ද පරතරය විශාල සහායක් ලබා දුන්නා. එහි දී මාතර දිස්ත්‍රික්කයේ ආසන 7ම ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, වැඩි ඡන්ද 113,574කින් දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කර ගත්තේ 61.85%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්. මහින්ද රාජපක්ෂ එවර මාතර දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය දෙවැනි වුණේ, ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී ලබාගත් 63.43%ක ඡන්ද ප්‍රතිශතයට පමණ යි.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 279,411 (61.85%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 165,837 (36.71%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත්  ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ, සරත් ෆොන්සේකා යි. එවරත් දිස්ත්‍රික්කයේ ආසන 7ම අපහසුවකින් තොරව ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 147,645ක් ලබා ගනිමින්. එසේම දිස්ත්‍රික්කය තුළ 65.53%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගත් මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මාතර දිස්ත්‍රික්කය වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවටත් පත් වුණා. එහි දී ඔහු බිඳ දැමුවේ, 1994 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මාතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබුණු 64.70%ක ඡන්ද ප්‍රතිශතය යි.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 296,155 (65.53%)

සරත් ෆොන්සේකා- ඡන්ද 148,510 (32.86%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ, මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් මහින්ද රාජපක්ෂ මාතර  දිස්ත්‍රික්කයේ ආසන 6ක් ජයග්‍රහණය කරන විට, මෛත්‍රීපාල සිරිසේනට ජයග්‍රහණය කිරීමට හැකි වුණේ මාතර ආසනය පමණ යි. එම නිසාම මහින්ද රාජපක්ෂ මාතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 85,388ක් වාර්තා කරමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 297,823 (57.81%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 212,435 (41.24%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව) 

Related Articles