Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

නැගෙනහිර පළාතට අයත් වන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආසන 3කින් සමන්විත වනවා. මෙම පළාත තුළ පිහිටා තිබෙන අනෙක් දිස්ත්‍රික්ක දෙකේ මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් දෙමළ සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වනවා. එම නිසාම මෙම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ හැක්කේ දෙමළ සහ මුස්ලිම් පක්ෂවල සහාය වැඩි වශයෙන් ලැබෙන අපේක්ෂකයාට යි. ඒ අනුව අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයට දෙමළ සහ මුස්ලිම් පක්ෂවල සහාය වැඩි වශයෙන් ලැබුණු නිසා, මෙතෙක් පැවති ජනාධිපතිවරණ හතෙන්  6ක දී ම මෙම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1976 වසරේ දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කය ආසන 3කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) සේරුවිල ආසනය

2) ත්‍රිකුණාමලය ආසනය

3) මුතූර් ආසනය

සේරුවිල ආසනය 

1976 වසරේ දී මුතූර් ආසනයෙන් කොටසක් වෙන් වී සේරුවිල ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මෙම ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

ත්‍රිකුණාමලය ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී ත්‍රිකුණාමල-මඩකළපුව ආසනයෙන් කොටසක් වෙන් වී ත්‍රිකුණාමලය ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මෙම ආසනය ඔවුන් 1982, 1999, 2005, 2010, සහ 2015 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළා. ත්‍රිකුණාමලය ආසනය ගැන සිහිපත් කරන විට 1988 ජනාධිපතිවරණය අමතක කරන්නට බැහැ. ඒ, එවර ජනාධිපතිවරණයේ දී මහජන පක්ෂයේ අපේක්ෂකයා ත්‍රිකුණාමලය ආසනය ජයග්‍රහණය කිරීම නිසා යි.

ඔසී අබේගුණසේකර (Wikipedia)

මුතූර් ආසනය 

1946 වසරේ දී ත්‍රිකුණාමල-මඩකළපුව ආසනයෙන් කොටසක් වෙන් වී මුතූර් ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හිතකර ආසනයක් නොවුණු මෙම ආසනය ඔවුන් ජයග්‍රහණය කළේ 1994 සහ 1999 ජනාධිපතිවරණවල දී පමණ යි.

ජනාධිපතිවරණවල දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

1982 සහ 1988 වසරවල පැවැත්වුණු ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළත්, එහි දී ඔවුන් ඉහළ ඡන්ද ප්‍රතිශත වාර්තා කිරීමට සමත් වුණේ නැහැ. ඉන් අනතුරුව 1994 වසරේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. නමුත්, පසුකලෙක දී එක්සත් ජාතික පක්ෂයට නැවතත් වාසිදායක වුණු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 4 දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එවර ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කය තුළ තිබෙන  ආසන 3ම ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 13,822කින්. 

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 45,522 (48.64%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 31,700 (33.87%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. එහි දී රණසිංහ ප්‍රේමදාස මුතූර් ආසනය ජයග්‍රහණය කරන විට සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඔසී අබේගුණසේකර පිළිවෙලින් සේරුවිල සහ ත්‍රිකුණාමලය ආසන ජයග්‍රහණය කළා. නමුත්, රණසිංහ ප්‍රේමදාස සෑම ආසනයකින්ම සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණු නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 7,162ක් ලබා ගනිමින්.

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 36,841 (45.70%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 29,679 (36.81) 

ඔසී අබේගුණසේකර- ඡන්ද 14,103 (17.49%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර ජනාධිපතිවරණයේ දී විශාල ජන රැල්ලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා ගොඩනැගී තිබුණු නිසා ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන් ජයගැනීමේ අවස්ථාව හිමි වුණේ පොදුජන එක්සත් පෙරමුණට යි. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 77,943 (71.60%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 28,006 (25.70%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක සේරුවිල සහ මුතූර් ආසන ජයග්‍රහණය කරන විට, රනිල් වික්‍රමසිංහ ත්‍රිකුණාමලය ආසනය ජයග්‍රහණය කළා. එහි දී රනිල් වික්‍රමසිංහ ත්‍රිකුණාමලය ආසනය වැඩි ඡන්ද පරතරයකින් ජයග්‍රහණය කළ නිසා, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 6,660ක් ලබා ගනිමින්.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 63,351 (50.25%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 56,691 (44.96%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර රනිල් වික්‍රමසිංහ සේරුවිල ආසනය හැර දිස්ත්‍රික්කයේ ඉතිරි ආසන 2ක පහසුවෙන් ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 36,517ක් ලබා ගනිමින්. 

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 92,197 (61.33%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 55,680 (37.04%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එහි දී  සරත් ෆොන්සේකා සේරුවිල හැර ඉතිරි ආසන 2ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එම නිසාම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල දිස්ත්‍රික්කය කළේ වැඩි ඡන්ද 17,909කින්.

සරත් ෆොන්සේකා- ඡන්ද 87,661 (54.09%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 69,752 (43.04%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා සේරුවිල ආසනය හැර ඉතිරි ආසන 2ක විශාල ඡන්ද පරතරයකින් ජයග්‍රහණය කළා. එම නිසාම ඔහුට වැඩි ඡන්ද 88,227ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණා. එසේම මෙය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ යම් අපේක්ෂකයෙකු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය බවටත් පත් වුණා.

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 140,338 (71.84%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 52,111 (26,67%)

මෛත්‍රීපාල සිරිසේන (gettyimages)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles