දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය ලෙස ජර්මනිය දෙකඩ වුණා. මේ දෙකඩ වීමේ සංකේතයක් ලෙස වසර 28ක් බර්ලින් නගරය දෙකඩ කරමින් බර්ලින් තාප්පය ගොඩනැගී තිබුණා. පහත ලිපියෙන් ඔබට ඒ ගැන කියවන්න පුළුවන්.
කියවන්න: ජර්මනිය දෙකඩ කළ බර්ලින් තාප්පයේ කතාව
ලිපි කියවන්න කම්මැලියි වගේ නම් මේ වීඩියෝ එකෙන් ඔබට ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=k_800EEvb-E&t=
නැගෙනහිර ජර්මනියේ අවසන් සති කිහිපය තුළ කොමියුනිස්ට් පාලනය එහි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා. එහෙත් එය ප්‍රමාණවත් වුණේ නැහැ. බර්ලින් තාප්පය බිඳ වැටුණ පසු මෙසේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අර්ථයක් නොමැති බව වැටහුණා. ඉන්පසු ක්‍රියාත්මක වූයේ ජර්මනිය යළි එක්සත් කිරීමේ කර්තව්‍යය යි.
1989 නොවැම්බර් මාසයේ 28 වනදා බටහිර ජර්මනියේ චාන්සලර් වූ හෙල්මුත් කෝල්, ජර්මනිය යළි එක්සත් කිරීමේ වැඩපිළිවෙලක් යෝජනා කළා. කෙසේ නමුත්, මෙය කිනම් කාල රාමුවක් තුළ සිදුවේදැ යි නිශ්චිත වූයේ නැහැ.
මෙම වැඩපිළිවෙලෙහි කරුණු දහයක් වූ බැවින් එය කෝල්ගේ කරුණු දහයේ වැඩපිළිවෙල ලෙස හැඳින්වුණා. මෙය වැදගත් වූයේ කෝල් කිසිවකුට හෝ කලින් දැනුම් දීමකින් තොරව මෙය එළිදැක්වීම යි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ තත්ත්වය අනුව ජර්මනිය තුළ දේශපාලන මායිම් වෙනස් කෙරෙන්නේ නම් එයට ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ සෝවියට් දේශය යන රටවල අනුමැතිය අවශ්‍ය වුණා. මෙකල බ්‍රිතාන්‍ය අගමැති වූ මාග්‍රට් තැවර්, එක්සත් ජර්මනියක් සඳහා කැමැත්තක් දැක්වූයේ නැහැ. ප්‍රංශය සැමවිටම එක්සත් ජර්මනියක් පිළිබඳ අකමැත්තක් දැක්වූවා. මෙම රටවල් එක්සත් ජර්මනියක් තමන්ට තර්ජනයක් වේයැ යි විශ්වාස කළා. මේ කරුණු මත කෝල් තීරණය කළේ ඔවුන්ට ද නොදන්වා ජර්මනිය යළි එක්සත් කිරීමේ යෝජනාව ප්‍රසිද්ධ කිරීම යි.
සෝවියට් දේශය වැඩි විරෝධයක් නොමැතිව ජර්මන් එක්සත්භාවය සඳහා සිය කැමැත්ත ලබා දුන්නා. සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ට ඒ වෙද්දී විසඳීමට ඕනෑ තරම් ප්‍රශ්න තිබුණ අතර, ජර්මනියේ කුමක් සිදුවේදැ යි සොයාබැලීමට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ.
නැගෙනහිර ජර්මන් මැතිවරණය
ජර්මනිය එක්සත් කිරීමේ කාර්යය කඩිනම් කිරීමට 1990 මාර්තු 18 වනදා පැවති නැගෙනහිර ජර්මන් මහමැතිවරණය හේතු වුණා. මෙය නැගෙනහිර ජර්මනියේ පැවති එකම නිදහස් සහ සාධාරණ මැතිවරණය යි. එහි දී එවකට බටහිර ජර්මනිය පාලනය කළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රික එකමුතුවේ නැගෙනහිර ජර්මන් ශාඛාව තරග වැදුණේ වේගවත්ව ජර්මනිය නැවත එක්සත් කරන පදනම යටතේ යි. මීට අමතරව නැගෙනහිර ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද නැවත ස්ථාපිත කරනු ලැබ මැතිවරණයට තරග කළා. පැරණි පාලක පක්ෂය වූ සමාජවාදී ඒකාබද්ධතා පක්ෂය, ප්‍රජාතන්ත්‍රික සමාජවාදයේ පක්ෂය නමින් ප්‍රතිසංවිධානය වී මැතිවරණයට ඉදිරිපත් වූ අතර වෙනත් පක්ෂ ද කිහිපයක්ම මැතිවරණයට තරග කළා. 2005 දී ජර්මන් චාන්සලර් බවට පත් වූ ඇන්ගෙලා මර්කල් ද, මෙහි දී කුඩා පක්ෂයක් වූ ප්‍රජාතාන්ත්‍රික පිබිදීම නම් පක්ෂයෙන් තරග බිමට පිවිසුණා.
කියවන්න: ජර්මනියේ පළමු කාන්තා චාන්සලර් – ඇන්ගෙලා මර්කල්
ලෝතාර් ඩි මයිසියර් යටතේ තරග කළ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව මැතිවරණයෙන් ආසන 400න් 163ක් දිනාගත්තා. පැරණි පාලක පක්ෂයට ලැබුණේ ආසන 66ක් පමණයි.
අප්‍රේල් මාසයේ දී ක්‍රිස්තියානි ප්‍රජතාන්ත්‍රික එකමුතුව සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්, කුඩා පක්ෂ කිහිපයකුත් එක්ව සන්ධාන රජයක් නැගෙනහිර ජර්මනියේ පිහිටුවාගනු ලැබුණා.
ආර්ථික ඒකාබද්ධතාව
නැගෙනහිර ජර්මනියේ නව අගමැතිවරයා වූ ලෝතාර් ඩි මෙයිසියර් යටතේ ජර්මනිය යළි එක්සත් කිරීම පිළිබඳ සාකච්ඡා සිදුවුණා. මෙහි දී මුල් අවධානය යොමු වූයේ ආර්ථික ඒකාබද්ධතාව කෙරෙහි යි. 1989 වන විට නැගෙනහිර ජර්මන් මාර්ක් මුදල් ඒකකය වටිනාකමක් නොමැත්තක් බවට පත් වෙමින් පැවතුණා. රටේ පැහැදිලි මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් පැවතියා. මේ අනුව ආර්ථිකය වේගයෙන් ප්‍රතිසංස්කරණය කළ යුතු වුණා.
1990 මැයි මාසයේ දී බටහිර සහ නැගෙනහිර ජර්මනිය අතර මූල්‍ය, ආර්ථික සහ සාමාජීය ඒකාබද්ධතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ අනුව එම වසරේ ජූලි 1 වනදා සිට දෙරට මූල්‍යමය වශයෙන් ඒකාබද්ධ වුණා. බටහිර ජර්මනියේ ඩොයිෂ් මාර්ක් මුදල් ඒකකය නැගෙනහිර ජර්මනියේ ද මුදල් ඒකකය බවට පත් වුණා. එමෙන්ම මේ කාලය තුළ බටහිර ජර්මනියේ නීති පද්ධතියට නැගෙනහිර ජර්මනිය ද කෙමෙන් අනුගත කිරීම සිදුකෙරුණා.
ආර්ථික ඒකාබද්ධතාව සම්පූර්ණ වූ පසු ජර්මනිය එක්සත් කිරීමේ අනෙකුත් කරුණු වැඩි කලක් නොගොස් සිදුවීම ස්වභාවිකව බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් වුණා. මේ පිළිබඳ දෙපාර්ශවයේ නියෝජිතයන් විසින් සාකච්ඡා කෙරුණ අතර, 1990 අගෝස්තු මස අවසන් වන විට ඔවුන් බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය අතර ඒකාබද්ධතා ගිවිසුමක් පිළියෙල කිරීමට සමත් වුණා. මීට අගෝස්තු 31 වනදා අත්සන් තැබුණා.
සැප්තැම්බරයේ දී දෙරටේම පාර්ලිමේන්තු විසින් මෙම ගිවිසුම අනුමත කරනු ලැබුණා. මේ අනුව, ගිවිසුම් ප්‍රකාරව 1990 ඔක්තෝබර් 3 වනදා ජර්මනිය නැවත එක්සත් රාජ්‍යයක් බවට පත් වුණා.