රඟහල යන වදන ඇසීමෙන්ම අප තුළ මතුවන්නේ අතිශය රසවත් හැඟීමකි. නමුත්, රෝමය තුළ බලය විහිදූ වෙස්පාසියානු අධිරාජ්‍ය යුගයේදී ආරම්භ කොට, වහලුන් 60,000කගේ පමණ ශ්‍රමයෙන්, වසර 10ක් පුරා ඉදි වී, ක්‍රි.පූ. 80දී වෙස්පාසියානු උරුමක්කරු ටයිටස්ගේ පාලන අවධියේදී ඉදිකිරීම් අවසන් කරන ලද රෝමයේ කොලෝසියම් රඟහල පිළිබඳ ඇසූ විට, සිත තුළ හටගන්නේ ඊට හාත්පසින් වෙනස් වූ හැඟීමකි. කොලෝසියම්, මෙතෙක් නොනැසී පවතින ලෙස ඉදි වූ දැවැන්ත නිර්මාණයක් බව සැබෑවකි. නමුත් එහි ඇත්තේ මරණයේ සීතලකි. තම භූමිය මත අමානුෂික ක්‍රීඩාවන්ගෙන් වැගිරුණු ලේ ගංගා පිළිබඳ කිසිදු කතාබහක් නොමැතිව, නෙත් සිත් වසඟ කරවන ආලෝක ධාරාවන්ගෙන් හැඩවෙමින්, කොලෝසියම් අද සංචාරකයන්ගේ දෑස් තමා වෙත තරයේ බඳවා ගනිමින් ප්‍රෞඪ ලීලාවෙන් බලා සිටී.
කොලෝසියම් රඟහලේ පිහිටීම සහ ව්‍යුහය
රෝමයේ මරණයෙහි රඟමඬල ලෙස නම් දරන කොලෝසියම්, ඉතාලියෙහි අගනුවර වන රෝම නගරයෙහි නැගෙනහිර පසට වන්නට ඉදිකොට තිබේ. එය ෆ්ලේවියානු රංගපීඨය ලෙස ද හැඳින්වේ. කොලෝසියම්, ලොව විශාලතම එළිමහන් රංග පීඨය ලෙස ඉතිහාසය තුළ නම් දරයි. විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රේක්ෂකයන් 55,000කට අධික ප්‍රමාණයක් දොරටු 76කින් පිරවීමේ හැකියාව පැවති කොලෝසියම් ප්‍රේක්ෂකාගාරය, දරුණු ලේ වැගිරීම්වල ඇසින් දුටු සාක්ෂියකි.
කොලෝසියම් මහල් තුනකින් සමන්විත විය. ගල් සහ කොන්ක්‍රීට් භාවිතයෙන් ඉදි කරන ලද කොලෝසියම් රඟහල, මීටර් 50ක් පමණ උසින් යුතු වන අතර (මහල් 12කින් යුතු ගොඩනැගිල්ලක උසට සමානය) දිගින් අඩි 615ක් (මීටර් 189) පමණ සහ පළලින් අඩි 510ක් (මීටර් 156ක්) පමණ වන අතර අක්කර 6ක් පුරා පැතිර පවතී. එහි පිටත වටප්‍රමාණය අඩි 1788ක් (මීටර් 545ක්) වෙයි. රඟහලෙහි මධ්‍යය හෙවත් රංග පීඨය (වේදිකාව) ලෙස භාවිත කළ වැලි පිටියෙහි දිග අඩි 287ක් වන අතර පළල අඩි 180කි. එය සෙන්ටිමීටර 15ක වැලි තට්ටුවකින් පුරවා තිබී ඇත. රංග පීඨයෙහි ප්‍රාකාරයක උස අඩි 15කි. රංග පීඨයේ බාහිර බිත්තිවල පාදම මීටර් දහතුනක් පමණ පොළොව යටට පවතින බව සොයාගෙන ඇත.
කොලෝසියම් ප්‍රේක්ෂකාගාරයෙහි එක් ආසනයක පළල සෙන්ටිමීටර් 40ක් පමණ වන අතර ආසන පේළි 60ත් 80ත් අතර ප්‍රමාණයක් තිබුණු බව සැලකේ. කොලෝසියම් රඟහල ඉදිකිරීම සඳහා කිරිගරුඬ ඝන මීටර් 100,000 පමණ යොදාගෙන තිබෙන බවට ගණනය කර ඇත.
රංග පීඨයෙහි පොළොවට යටින් උමං මාර්ග පද්ධතියක් සහ සතුන් රඳවා තබාගැනීම සඳහා කුටි 32ක් ද පැවතුණි. සටන් සඳහා යොදාගන්නා ලද වනසතුන්, සටන්කරුවන් මෙන්ම වහලුන්, සිය සටන් වාරය එනතෙක් එම කුටිවල ගාල් කර තබන ලදී. විශාල සතුන්ව පිටියට ඇතුල් කිරීම සඳහා විශේෂ වේදිකාවන් පැවති අතර සාමාන්‍ය ප්‍රමාණයේ සතුන්ට ක්ෂණිකව පීඨයට පිවිසීම සඳහා ද පසුබිම සකසා තිබුණි.
කොලෝසියම් රඟහල ත්‍රාසයෙන් හා භීතියෙන් මුසපත් කළ ම්ලේච්ඡ ක්‍රීඩා
රංග පීඨයකට පිවිසීමට සිදුවීම දඬුවමක් විය හැකි යැයි ඇදහිය හැකිද? සාමාන්‍ය රංග පීඨයක රංගනයෙහි යෙදීම සෞන්දර්යවාදී අත්දැකීමක් වීම අතිශයින් ස්වභාවික කරුණක් වුවද කොලෝසියම් ප්‍රේක්ෂකාගාරය සතුටට පත් කිරීමට ලැබුණු ආරාධනාවන් අතිශය භයංකර ඒවා විය. රෝම යුගය තුළ වහල් මෙහෙයට එරෙහි වූවන්ට, රාජ ද්‍රෝහීන්ට මෙන්ම රෝම නීතිය කඩ කළ ඕනෑම පුද්ගලයෙකුට කොලෝසියම් රංග පීඨය විවෘත විය. හීලෑ නොමැති වන සතුන් සමඟ සටන් කිරීමට ඔවුනට නියම වූ අතර, ඇතැම් විට දුර්වල වහලුන්ට දක්ෂ සටන්කරුවන් සමඟ මෙහිදී සටන් කිරීමට නියම විය. මෙවැනි දඬුවම් ලබාදීම හරහා රෝම පාලකයෝ අතිශය අමානුෂික සතුටක් භුක්ති වින්දෝය. ඊට අමතරව දක්ෂ සටන්කරුවන් (gladiators) අතර සටන් තරඟ පැවැත්වීමට, සත්ව දඩයම් ක්‍රීඩා පැවැත්වීමට, මරණ දඬුවම් ලබාදීමට, සම්භාව්‍ය නාට්‍ය රඟදැක්වීමට මෙන්ම ප්‍රිය සම්භාෂණ සහ විවිධ උත්සව පැවැත්වීමට ද කොලෝසියම් භූමිය යොදාගන්නා ලදී. පොළොව යට කුටි තැනීමට පෙර කොලෝසියම් වෙත වතුර පුරවා බෝට්ටු යුධ සටන් පවා පවත්වා ඇත.
කුරිරු ආස්වාදය උදෙසා බිලිවූවෝ
කොලෝසියම් රංග පීඨය තුළ 9000කට අධික සතුන් ප්‍රමාණයක් ඝාතනයට ලක් වී ඇත. කොලෝසියම් තුළ සතුන් සමඟ සටනෙහි යෙදුණ ඇතැම් පුද්ගලයෝ හොදින් පුහුණු කරන ලද දක්ෂ වෘත්තීය සටන්කරුවෝ (gladiators) වූහ. නමුත් සතුන් සමඟ සටන් කිරීම සඳහා යොදන ලද බොහොමයක් පුද්ගලයන් නිරායුධ අපරාධකරුවන් සහ සිරකරුවන් විය. මේ අතුරින් බොහෝමයක් සිරකරුවන්; සතුන් සමඟ සටන් කර මියයාමට සිදුවීම පිළිබඳ භීතියෙන්, තම අත රැඳි කුමන හෝ දෙයකින් හානි කරගනිමින් සියදිවි නසාගැනීමට පෙළඹුණහ.
විශේෂයෙන්ම උතුරු අප්‍රිකාවේ සහ මධ්‍යධරණී කලාපයේ වනජීවීන්ට කොලෝසියම් හේතුවෙන් මහත් ව්‍යසනයකට මුහුණ දීමට සිදු විය. නයිල් නදී තීරයෙන් හිපපොටේමස් ජීවීන් අතුරුදහන් වීමට ප්‍රධානතම හේතුව වූයේ කොලෝසියම් රඟහලයි. උතුරු අප්‍රිකානු අලින් වඳවී යාමට, සටන් සඳහා ඔවුන්ව අධිකව භාවිත කිරීම හේතු විය. අධිරජ කොමෝඩස් කොලෝසියම් තුළ සතුන් ඝාතනයෙන් අපමණ ප්‍රීතියක් ලැබූ අතර එක් දිනක් ඔහු වාර්තාගත ලෙස වලසුන් සියයකට අධික ප්‍රමාණයක් මරා දැමුවේය. සටන් සඳහා යොදාගත් සතුන් නිසි ලෙස රැකබලා ගැනීමක් රෝමන්වරුන් අතින් සිදු නොවූ අතර ඔවුන් රැකබලා ගැනීම සඳහා දැරීමට වන වියදම් අවම කරගැනීම සඳහා සටන් තරගාවලිවලින් අනතුරුව ඔවුන්ව මරා දමන ලදී. මෘගයන්, රයිනෝසරස්, හිපපොටේමස්, අලි ඇතුන්, ජිරාෆ්, සිංහයන්, දිවියන්, වලසුන්, කිඹුලන් හා පැස්බරුන් වැනි සතුන් කොලෝසියම් තුළ සටන් සඳහා යොදා ගනිමින් ඝාතනය වීමට ඉඩ සලස්වා ඇත. ප්‍රේක්ෂකාගාරය විසින් අකමැත්තක් දක්වා ඇත්තේ අලි ඇතුන් ඝාතනය වනු දැකීමට පමණි.
කොලෝසියම්හි ඉරණම
කලක් මරණයේ ප්‍රීතිය සැමරූ කොලෝසියම් පසු කලෙක සම්පූර්ණයෙන්ම අත්හැර දමන ලද අඩවියක් බවට පත් විය. වරෙක එය ශාන්ත පීතර, ශාන්ත ජෝන් වැනි දේවස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘති, ටයිබර් ගංගාව දිගේ බලකොටු ඉදිකිරීමේ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතීන් සඳහා ගල් පතලක් ලෙස භාවිත වී ඇත. අයහපත් කාලගුණික තත්ත්වයන්, භූමිකම්පාවන්, භාවිතයෙන් අත්හැර දමා තිබීම සහ සොරුන්ගේ ක්‍රියාවන් නිසාවෙන් ද කොලෝසියම්හි 2/3ක් පමණ ක්‍රමයෙන් විනාශයට පත් වූ අතර අද වන විට සංරක්ෂණය වී පවතින්නේ මුල් ආකෘතියට සාපේක්ෂව කුඩා කොටසකි.
කවරයේ පින්තූරය (Wikimedia Commons)
මූලාශ්‍ර
- Colosseum – Rome’s Arena of Death, bbc.co.uk
- COLOSSEUM, history.com
- Karl Smallwood, 10 Cruel and Unusual Facts about The Colosseum’s Animal Fights, listverse.com
- Dimensions of the Colosseum, tribunesandtriumphs.org