
පුනරුද සමයේ වාසය කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු, සිත්තරෙකු, සහ ප්‍රතිමා ශිල්පියෙකු වූ ඉතාලි ජාතික මයිකල්ඇන්ජෙලෝ, ‘කලාව’ ඔහුගේ බිරිඳ සහ ‘ඔහුගේ නිර්මාණ’ ඔහුගේ දරුවන් ලෙස සැලකූ බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ. 1475 මාර්තු 6 වැනි දින ෆ්ලොරන්ස් හි කැප්රේසි ගම්මානයේ දී වංශවත් දෙමව්පිය යුවළකට දාව ඔහු උපත ලබා ඇත්තේ මයිකල්ඇන්ජෙලෝ ඩි ලෝඩෙවිකෝ බුවනොරොටී සිමෝනි ලෙස යි. පාසලේ දී ඉගෙනීමට එතරම් සමත්කමක් නොදැක් වූ මයිකල්ඇන්ජෙලෝ ව ෆ්ලොරොන්ස් හි වාසය කළ ඩොමෙනිකෝ ගියලැන්ඩායෝ නම් බිතු සිතුවම් ශිල්පියා යටතේ වැඩ පුහුණු වීම සඳහා යොමු කර ඇත්තේ ඔහුගේ පියා විසින්. එහි දී මනා ලෙස සිතුවම් ශිල්පය හැදෑරූ තරුණ මයිකල්ඇන්ජෙලෝගේ දක්ෂතාවයෙන් විශ්මයට පත් ෆ්ලොරන්ස් හි බලවත් සහ ධනවත් පවුලක් වූ මෙඩිචි පවුලේ සාමාජිකයන් විසින් 1496 දී රෝමයට රැගෙන විත් තිබෙනවා.
රෝමයට පැමිණි මයිකල්ඇන්ජෙලෝ විසින් 1499 දී ජේසුතුමන් ව ඔසවාගෙන සිටින කන්‍යා මරියතුමියගේ රුව දැක්වෙන ‘පියටා’ ප්‍රතිමාව සහ 1504 දී අඩි 17ක් පමණ උසින් යුතු ‘ඩේවිඩ්’ පිළිරුව නිර්මාණය කරන අතර, 2 වැනි ජුලියස් පාප් වහන්සේගේ අවධානය මයිකල්ඇන්ජෙලෝගේ නිර්මාණයන් වෙත යොමු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. ඒ අනුව පාප් වහන්සේ විසින් රෝමයේ පුරා විසිරී ඇති පල්ලි රාශියක බිතු සිතුවම් ඇඳීමේ වගකීම මයිකල්ඇන්ජෙලෝ වෙත පවරා තිබෙනවා. මේ ලිපිය රෝමයේ පිහිටා මයිකල්ඇන්ජෙලෝගේ සුරතින් හැඩ වූ ස්ථාන කිහිපයක් ගැන යි.

ශාන්ත පීතර බැසිලිකාව
‘අනුකම්පාව’ යන අරුතින් ‘පියටා’ ලෙස නම් කරන ලද කිරුගරුඬ ප්‍රතිමාව, මයිකල්ඇන්ජෙලෝ විසින් නිර්මාණය කර ඇත්තේ ඔහුට වයස අවුරුදු 24ක් ව තිබිය දී යි. ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති එය, 1500 දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද අතර මයිකල්ඇන්ජෙලෝ විසින් නිම වන ලද ‘පියටා’ ප්‍රතිමා ත්රිත්වයෙක් එකක් ලෙස එය සැලකෙනවා. කුරුසයේ ඇණ ගැසීම හේතුවෙන් මියගිය ජේසුතුමන් ව මහත් වූ දයාවෙන් සහ අනුකම්පාවෙන් යුතු ව ඔසවාගෙන සිටින කන්‍යා මරියතුමියගේ රුව දැක්වෙන ‘පියටා’ ප්‍රතිමාවේ කන්‍යා මරියතුමිය තරුණ කාන්තාවක් ලෙස දක්වා ඇත්තේ ඇයිදැ යි අසන ලද පැනයකට පිළිතුරු ලෙස, මයිකල්ඇන්ජෙලෝ ප්‍රකාශ කර ඇත්තේ සිරුරෙන් සහ ආත්මයෙන් නිර්මල කාන්තාවන් කිසි දිනෙක වයස්ගත නොවන බව යි.

‘පියටා’ ප්‍රතිමාව නිම කිරීමෙන් වසර 45කට පසු ව නැවත වරක් මයිකල්ඇන්ජෙලෝ ශාන්ත පීතර බැසිලිකාවේ කොත නිර්මාණය කිරීමේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කිරීම සඳහා එහි පැමිණ තිබෙනවා. බිම් මට්ටමේ සිට මීටර් 136.57 (අඩි 448.1) ක් උසැති මීටර් 41.47 (අඩි 136.1) ක අභ්‍යන්තර විෂ්කම්භයකින් යුතු එය සැලකෙන්නේ ලොව උසින් වැඩි ම කොත ලෙස යි.
සැන් පියෙට්‍රෝ ඉන් වින්කෝලි

1505 දී 2 වැනි ජුලියස් පාප් වහන්සේ විසින් ඔහුගේ සොහොන් කොත නිර්මාණය කිරීමේ වගකීම මයිකල්ඇන්ජෙලෝ වෙත පවරා ඇති අතර, ඉන් වසර 30කට පසු ව ‘සැන් පියෙට්‍රෝ ඉන් වින්කෝලි’ නම් ප්‍රමාණයෙන් කුඩා බැසිලිකාවේ වැඩ කටයුතු අවසන් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. එය කිරුගරුඬ ප්‍රතිමා රාශියකින් අලංකාර කිරීමට 2 වැනි ජුලියස් පාප් වහන්සේට අවශ්‍ය වුව ද, උන් වහන්සේගේ අභාවයෙන් පසු ව ධුරයට පත් වූ 10 වැනි ලියෝ පාප් වහන්සේ විසින් සැන් පියෙට්‍රෝ ඉන් වින්කෝලි හි ප්‍රතිමා ත්‍රිත්වයක් පමණක් තැන්පත් කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. මයිකල්ඇන්ජෙලෝ විසින් ඔහුගේ තරුණ විය කැප කරමින් නිර්මාණය කරන ලද සැන් පියෙට්‍රෝ ඉන් වින්කෝලි බැසිලිකාව හඳුන්වා ඇත්තේ ‘සොහොන් කොතේ ශෝකාන්තය’ ලෙස යි. එහි ඇති සුවිශේෂි නිර්මාණයක් ලෙස අං තට්ටුවක් සහිත ‘මෝසස්’ පිළිරුව සැලකෙනවා.
සිස්ටීන් දෙව් මැදුර

ප්‍රතිමා ශිල්පියෙකු ලෙස ප්‍රකට ව සිටි මයිකල්ඇන්ජෙලෝට 1508 මැයි මාසයේ දී සිස්ටීන් දෙව් මැදුරේ සිවිලිම සිතුවමින් හැඩ කිරීම සඳහා ආරාධනා කර ඇත්තේ 2 වැනි ජුලියස් පාප් වහන්සේ විසින්. ඉන් අනතුරු ව එළැඹුණු වසර 4ක කාලය මයිකල්ඇන්ජෙලෝ ගත කර ඇත්තේ වර්ග අඩි 12,000ක වපසරියකින් යුතු සිස්ටීන් දෙව් මැදුරේ සිවිලිම, උප්පත්ති පොතේ දැක්වෙන කථාන්තර 9කින්, සහ මිනිස් රූ 343කින් සිතුවම් කිරීම සඳහා යි. ඒ අතර ඇති සුවිශේෂී නිර්මාණයක් ලෙස ‘දෙවියන් වහන්සේ විසින් ආදම් ව නිර්මාණය කිරීම’ දැක්වෙන සිතුවම සැලකෙනවා. පසුකාලීන ව 1536 දී 3 වැනි පාවුළු පාප් වහන්සේ විසින් නැවත වරක් මයිකල්ඇන්ජෙලෝ ව සිස්ටීන් දෙව් මැදුර කරා කැඳවා ඇත්තේ ‘අවසන් විනිශ්චය’ සිතුවම නිර්මාණය කිරීම සඳහා යි.
පියට්සා ඩෙල් කැම්පිඩොලියෝ

රෝමය සතු කඳුවැටි 7 අතරින් එකක් ලෙස සැලකෙන කැම්පිඩොලියෝ කන්ද, වර්ෂ 2,000කට අධික කාලයක් තිස්සේ රෝම අධිරාජ්‍යයේ වැදගත් පාලන මධ්‍යස්ථානයක් ලෙස පැවති බව පැවසීමේ වරදක් නැහැ. 1538 දී 3 වැනි පාවුළු පාප් වහන්සේ විසින් එයට නව මුහුණුවරක් ලබා දීමේ බැරෑරුම් වගකීම, මයිකල්ඇන්ජෙලෝ වෙත පවරා ඇත්තේ එවකට රෝම අධිරාජ්‍යයා ලෙස කටයුතු කළ 5 වැනි චාල්ස් රජුගේ හොඳහිත දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස යි. එහි ප්‍රතිඵලයක් ලෙස මයිකල්ඇන්ජෙලෝ විසින් ක්‍රි. ව. 2 වැනි සියවසේ දී රෝමය පාලනය කළ මාකස් ඔරේලියස්ගේ ප්‍රතිමාව සඳහා නව පාදමක් ද සහිත ව ඕවලාකාර මෝස්තරයක් සහිත නගර චතුරස්‍රයක් වූ ‘පියට්සා ඩෙල් කැම්පිඩොලියෝ’ නිර්මාණය කර තිබෙනවා. කෙසේ වුව ද, එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් වී ඇත්තේ මයිකල්ඇන්ජෙලෝගේ මරණයෙන් පසු ව බව යි සඳහන් වන්නේ.
සැන්ටා මරියා ඩෙග්ලි ඇන්ගෙලි ඊ ඩෙයි මාටේරි

මානවවාදියෙකු වූ මයිකල්ඇන්ජෙලෝ, පුරාණ රෝම නටඹුන් සංරක්ෂණය කිරීම කෙරෙහි උනන්දුවක් දැක් වූ අයෙක්. ක්‍රි. පූ. 3 වැනි සියවසේ දී ඩයක්ලීෂියන් අධිරාජ්‍යයා විසින් ගොඩනංවන ලද පොදු ස්නානාගාර (public baths) කන්‍යා මරියතුමිය වෙනුවෙන් කැප කරන ලද දෙව් මැදුරක් බවට පරිවර්තනය කිරීමේ වගකීම, 1561 දී මයිකල්ඇන්ජෙලෝ විසින් භාරගෙන ඇත්තේ ඒ හේතුවෙන්. රතු පැහැ ග්‍රැනයිට් යොදාගනිමින් යළි ගොඩනංවන ලද දෙව් මැදුරේ වැඩ කටයුතු සඳහා ක්‍රිස්තියානු වහලුන් 40,000ක් යොදවා ගන්නා ලද බව යි වාර්තා වන්නේ. මයිකල්ඇන්ජෙලෝගේ මරණයෙන් පසු ව එහි වැඩ කටයුතු අවසන් කර ඇත්තේ ඔහුගේ ශිෂ්‍යයෙකු වූ යොකොපෝ ලෝ ඩූකා විසින්.