Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුහුදට බිලි වූ මංකොල්ලකරුවන්ගේ රාජධානිය- රෝයල් පොර්ට් නගරය

අතීතයේ කැරිබියන් මුහුදු මංකොල්ලකරුවන්ගේ රජ දහනක් වූ ජැමෙයිකාවේ එක්තරා නගරයක් ආශ්‍රිත වරායක අද දකින්න ලැබෙන්නේ නටඹුන් පමණ යි. එය වර්තමානය වන විට මුහුදට ගිලී ගිය නගරයක් වන අතර, යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කරනවා.

රෝයල් පොර්ට් ලෙස හඳුන්වන වරාය ආශ්‍රිත නගරය විනාශ වී යෑමට හේතු වන්නේ, විශාල භූමිකම්පාවක් සමග ඇති වූ සුනාමි තත්ත්වය යි. එසේ විනාශ වූ නගරයේ අද දකින්න ලැබෙන්නේ කුඩා ධීවර වරායක් ආශ්‍රිත හුදෙකලා කුඩා ගම්මානයක් පමණයි. ඉතින් ඒ පිළිබඳ ව යි අද ලිපිය.

ස්පාඤ්ඤ යටත් විජිතය බ්‍රිතාන්‍ය යටත් විජිතය බවට පත්වීම

රෝයල් පොර්ට් නගරය (Medium)

1509 දී පමණ ස්පාඤ්ඤ නාවුක කණ්ඩායම් ජැමෙයිකාව යටත් කරගන්නා අතර, ඔවුන් විසින් මෙම දූපතේ ඇති වටිනා ඛනිජ ද්‍රව්‍ය සිය රට කරා රැගෙන යාම තමන්ගේ මූලික අරමුණ ලෙස ක්‍රියාත්මක කරනවා. ස්පාඤ්ඤ නාවිකයන් රෝයල් පොර්ට් නගරය කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකරන අතර, ඔවුන් එය සාමාන්‍ය වරායක් ලෙස භාවිතා කරනවා.

1655 දී බ්‍රිතාන්‍ය නාවුක කණ්ඩායම් ජැමෙයිකාව යටත් කර ගන්නා අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රෝයල් පොර්ට් නගරයෙහි බලය ද ඔවුන්ට හිමිවෙනවා. මෙම වරාය ඉංග්‍රීසින්ට වැදගත් වෙන්නේ කැරිබියන් මුහුදේ වෙළද නාවුක මාර්ගය ජැමෙයිකාව හරහා වැටී තිබීම හේතුවෙන්.

ජැමෙයිකාව අල්ලා ගන්නා ඔවුන් රෝයල් පොර්ට් නගරය මූලික කර ගනිමින් සිය ගණනක් නිවාස, ගුදම්, හා වෙළද සැල් ඉදිකරනවා. ඒ ඔවුන්ගේ වෙළඳ කටයුතු නියමිත පරිදි කරගෙන යාමට යි.

ඉංග්‍රීසින්ගේ ආශිර්වාදය ලත් මුහුදු මංකොල්ලකරුවෝ

නගරය එදා (Amusing Planet)

ඉංග්‍රීසින් විසින් ජැමෙයිකාව යටත් කරගත් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ අවසරය මත ස්පාඤ්ඤ වෙළඳ නෞකා කොල්ලකෑම සඳහා කැරිබියන් මුහුදු මංකොල්ලකාරයන් පිරිසක් රෝයල් පොර්ට් නගරය ආශ්‍රිත ව බිහි වෙනවා. ඔවුන් ස්පාඤ්ඤ වෙළඳ නෞකා කොල්ලකන්නේ එවකට ජැමෙයිකාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ පූර්ණ අවසරය මත යි.

ආණ්ඩුකාරවරයාගේ අවසරයෙන් වරාය නගරයේ මුල්බැස ගන්නා කැරිබියන් මුහුදු මංකොල්ලකාරයන් නගරයේ කොටසක් තම වාසස්ථානය කර ගන්නවා. ඔවුන් කොල්ලකන රන්, රිදී, හා අනෙකුත් වටිනා ඛනිජ ද්‍රව්‍ය ඇතුළු බොහෝ දෑ මෙම නගරයේ ගුදම්වල ගබඩා කරනවා.

ඉංග්‍රීසින්ගේ පූර්ණ අනුග්‍රාහය යටතේ මෙම ක්‍රියාවලිය සිදු වූ අතර, මෙම ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වෙළද කණ්ඩායම් නිතර ම මේ නගරය කරා පැමිණෙනවා. ක්‍රම ක්‍රමයෙන් නගරය අතිශය කාර්යබහුලත්වයට පත්වෙනවා. පැමිණෙන වෙළඳ කණ්ඩායම් හා මුහුදු මංකොල්ලකරුවන් සම්බන්ධීකරණය කිරීම ජැමෙයිකාවේ ඉංග්‍රීසි පාලනය හරහා සිදුවෙනවා.

1655න් පසු ඉංග්‍රීසි පාලන කාලයේ, නගරය සෑම දිනක ම පාහේ උත්සවශ්‍රීයෙන් ඇලලී ගොස් තිබුණ අතර, නගරයේ ගොඩනැඟිලිවලින් 75%ක් ගණිකා නිවාසවලින් හා තැබෑරුම්වලින් සමන්විත වෙනවා. මුහුදු මංකොල්ලකාරයන් නාවුක ගමන්වල නොයෙදුණු කාලවල නගරයට වී ඉතා සල්ලාල දිවියක් ගත කළ බව සඳහන්.

නගරය ආශ්‍රිත ව ස්ථානගත වූ රාජකීය නාවුක හමුදාව

මුහුදු මංකොල්ලකාරයන් (Iran-livetv)

මෙම කාලයේ දී රාජකීය නාවුක හමුදාවේ භට ඛණ්ඩයක් වරාය නගරය ආශ්‍රිත ව ස්ථානගත වෙනවා. ඔවුන් මුහුදු මංකොල්ලකාරයන් සමග සහයෝගයෙන් කටයුතු කළ බව සඳහන්.

නාවුක හමුදා විසින් මේ ආශ්‍රිත ව නාවුක හමුදා පුහුණු කදවුරු සංකීර්ණ, හමුදා රෝහල්, හා අවි ගබඩා ගොඩනඟනවා. ඔවුන් වරායේ සංවර්ධන කටයුතු ද දිගින් දිගට ම කරගෙන යන අතර, පුළුල් වූ වරාය ජැමෙයිකාවේ විශාල ම වරාය බවටත්, කැරිබියන් මුහුදු ප්‍රවාහන මාර්ගයේ ඉතා වැදගත් වරායක් ලෙසත් ලෝකය තුළ ප්‍රසිද්ධ වෙනවා.

අවාසනාවන්ත ආකාරයෙන් පැමිණි භූමිකම්පාව හා සුනාමිය

ගිලුණු නගරය (repeatingislands.com)

1692 වසර වන විට වරාය නගරයේ ජනගහනය 6,500 ඉක්මවා ගිය අතර, නිවාස ප්‍රමාණය 2000 දක්වා ඉහළ නගිනවා. 1692 ජූලි හත්වන දා දින එකවර ම ඇති වූ භූමිකම්පාව සමග නගරයේ උතුරු කොටස සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඒ සමග ම ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් මුළු නගරය ම පාහේ මුහුදෙන් යට වෙනවා. ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් වරායේ මීටර් 20ක් උසට වැලි කන්දක් ගොඩනැඟුණු බව සඳහන්.

භූමි කම්පාවෙන් හා සුනාමියෙන් මියගිය මුළු පිරිස නගරයේ ජීවත් වූ ප්‍රමාණයෙන් අඩකටත් වඩා වැඩි වන අතර, එය 3000 ඉක්මවා යන බව ඇතැම් වාර්තාවල සඳහන් වෙනවා. සුනාමි තත්ත්වයෙන් පසු ව හටගත්  විවිධ වසංගත හේතුවෙන් නගරයේ ඉතිරි වූ ජනගහනයෙන් තවත් 2000ක් පමණ ඊළඟ මාස කිහිපය ඇතුළත දී මරණයට පත් වෙනවා.

ගොඩබිම නටඹුන් (Jamaicans.com)

මෙම ස්වභාවික උවදුර නිසා රෝයල් පොර්ට් නගරය අත්හැර දැමීමට ඉංග්‍රීසින් විසින් තීරණය කරනවා.

පළමු භූමිකම්පාවෙන් හා සුනාමියෙන් පසු ව වරින් වර නැවත නැවතත් ඇති වෙන  භූමි කම්පා, සුනාමි, හා සුළි සුළං හේතුවෙන් රෝයල් පොර්ට් නගරය තව තවත් විනාශ වෙනවා.

අතීතයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ රජදහනක් ව පැවති රෝයල් පොර්ට් නගරය, වර්තමානය වන විට කුඩා හුදෙකලා ධීවර වරායක් හා 2000ක පමණ ජනගහනයක් සිටින කුඩා නගරයක් බවට පත්වෙලා තිබෙනවා.

වරාය නගරයේ ගොඩබිමේ ඇති නටඹුන් හා මුහුදුට බිලි වී ඇති නටඹුන් ඉතිහාසගත වටිනාකමක් ඇති උරුමයන් ලෙස මේ වන විට යුනෙස්කෝව විසින්  නම් කර අවසන්. ඒ හේතුවෙන් මෙම වරාය නගරයේ කිසිදු වාණිජ හා වෙළඳ කටයුත්තක් සිදු නොවන අතර, එය හුදෙක් ම සංචාරක ව්‍යාපාරය සමග සම්බන්ධ ව පවතිනවා.

 

කවරයේ පින්තූරය: Medium

මූලාශ්‍රයයන්:

bbc.com

atlasobscura.com

Related Articles